Image Credit : cbc.ca

පොලීසියක් තුළදී කාන්තාවක් සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමක් මෙරට සිංහල මාධ්‍යක් විසින් වාර්තා කර සිටියේ ලාංකීය ‘දූපත් මානසිකත්වයේ’ තරම මැනවින් කියාපාමිනි. තම සැමියා අත්අඩංගුවට පත්වී තිබිම ගැන සොයා බැලීමට ඉන්දියාවේ පොලිසියක් වෙත ගිය කාන්තාවක් එම පොළිසියේ නිළධාරීන් විසින් පොළිස් ස්ථානයේදීම දූෂණයට ලක්කිරීම, ලංකාවේ මාධ්‍යක් වාර්තා කර සිටියේ ‘එක කාන්තාවක් සමඟ මුළු පොලිසියම රති කෙළියේ..‘ යන ශීර්ෂය යටතේය.

දූෂණයක්, සමූහ දූෂණයක්, ‘රතී කෙළියක්‘ බවට හදුන්වා ශිර්ෂ පාඨ යෙදීමෙන් පෙන්වන්නේ ලංකාවේ ජනමාධ්‍ය කෙතරම් පිරිහීමකට ලක්ව ඇති බව නොවේද? එක් පැත්තකින් රාජ්‍ය මර්දනය හමුවේ, ලංකාවේ මාධ්‍ය, මාධ්‍යෙව්දීන් පීඩනයට පත් කරමින් තිබෙන මොහොතක මෙවැනි සංවේදී ප්‍රවෘත්ති නරැම ආකාරයෙන් ඉදිරිපත් කිරීම තුළින් පෙන්වන්නේ එක්කෝ ‘ස්ත්‍රී දූෂණය‘ ඛේදවාචකයක් ලෙස නොගන්නා බව ද, නැතිනම් දූෂණය ගැනත්, ‘රතී කෙළිය‘ යන්න ගැනත් මේ ‘මාධ්‍ය බබාලා‘ නොදන්නා බව ද? නැත, මෙවන් අවකාශයන්ට අවශ්‍ය වන්නේ සියලු දේ විකුණාගැනීමටය. අනෙකාට වඩා වේගයෙන් විකුණාගැනීමටය. එබැවින් සමූහ දූෂණය, දූෂණය, දූෂණය කර මරා දැමීම…..වැනි දේවල් – ‘හරි ෂෝක්‘ කියා ශිර්ෂයන් දැමුවත් පුදුම නොවන්න.

කෙසේ නමුත් ලංකාවේ මාධ්‍ය තුළ මෙවන් දේ සිදු වන්නේ, ලංකාවේ දිනපතා ස්ත්‍රීන් 4 දෙනෙක් දූෂණය වෙන, වසරකට 1400කට වඩා ස්ත්‍රීන් දූෂණයට ලක්වන පරිසරයක් තුළ බව ද අප අමතක කල යුතු නැත. නමුත් මෙවන් ත්ත්වයක් තුළදී ලෝකයේ කොතනක හෝ දූෂණයට ලක්වන ගැහැණුන් පිළිබදව මෙසේ පුවත් පළ කිරීමෙන් නැවත නැවතත් පෙන්වන්නේ අන් කිසිවක් නොව මෙවන් මාධ්‍ය තුළ ඇති අන්ත දූගි භාවය මෙන්ම නරැම භාවයයි.


අනතුරක්,

ලංකාවේ මේ වන විට සාකච්ඡා වෙමින් පවතින ‘දූෂණ-විවාහ’ අළුත් නීතිය යටතේ, කිසියම් ස්ත‍්‍රියක් දූෂණය කරන පුද්ගලයාට, ඉන් පසු එම ස්ත‍්‍රියව විවාහ කර ගන්නේ නම්, එම දූෂණ අපරාධයේ වගකීමෙන් නිදහස් වන්නට දූෂකයාට පුලුවන් වීමටත් සහ එයට අදාළ එකම කොන්දේසිය වන්නේ, එම විවාහයට, අදාළ ස්ත‍්‍රියගේ ‘කැමැත්ත’ තිබීමයි. එවිට දූෂණය යන අපරාධයෙන් නිදහස් වීමට ඕනෑම දූෂකයෙකුට හැකිය. මෙවැනි නීතී සකස් කිරීමට සාකච්ඡා කරන ‘නරැම පාලකයන්‘ සිටින රටක මෙවැනි ශිර්ෂ පාඨයන් ලිවීම ඉදිරියේදී සාමන්‍ය විය හැකිය. එබැවින් පරෙස්සම් වෙයල්ලා..!

##

පහත පළවන්නේ එම පුවතයි.
AM


එක කාන්තාවක් සමඟ මුළු පොලිසියම රති කෙළියේ..

ඉන්දියාවේ පොලිසියක් වෙත ගිය කාන්තාවක් එම පොලිස් ස්ථානය තුළදීම සමූහ දූෂණයකට ලක් වීමේ සිද්ධියක් ඉන්දීය මාධ්‍ය තුළින් අනාවරණය වී තිබේ.

සිය සැමියා පොලිස් අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පොලිස් ස්ථානයට ගිය කාන්තාවක් මෙලෙස සමූහ දූෂණයට ලක්වී ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට එම පොලිස් ස්ථානයේම නිලධාරීන් විසින් ඇයව සමූහ දූෂණයට ලක් කර තිබේ.

එම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයාද මෙම දූෂණයට සම්බන්ධ බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් කරුණු අනාවරණය කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වේ.
මෙලෙස දූෂණයට ලක්වූ කාන්තාවගේ සැමියා පසුගිය ජුනි 9 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව නිත්‍යානුකූල නොවන ගිනිඅවියක් තිබූ බවට මාධ්‍ය කරුණු වාර්තා කරයි.

ඉන්දියාව තුළ මීට ඉහතදීත් කාන්තාවන් සමූහ දූෂණයන්ට ලක් වීමේ සිදුවීම් රැසක් වාර්තා විය.

##
ඉහත පුවතට සමාන හෝ එම පුවතම විය හැකි පුවතක් ‘ද ගාඩියන්‘ වෙබ් අඩවිය වාර්තා කර සිටියේ මෙලෙසිනි. පිවිසෙන්න