සිංහල, Democracy, Human Rights, Human Security, Life quips, Trincomalee

පොලිසියට ‛පොලිසිය’ අල්ලගන්න තාමත් බැරිවෙලා…


පසුගිය 13වනදා ත්‍රිකුණාමලය, මහමායාපුර ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට ත්‍රීකුණාමළය පොලීසියේ නිළධාරින් සිව් දෙනකුගේ වැඩතහනම් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පසුගිය දා නියෝග කෙරිණී. නමුත් මේ වන විටත් එම පොළිස් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වී ඇතැයි වාර්තා වේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොළිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය මෙම පොලිස් නිළධාරීන් කිසිදු වරදක් නොකල තිදරු පියෙකු වු බී. ආර්. ආර් බන්දුල නැමති ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කළේ ය. ඉන්පසු ප්‍රදේශයේ ජනයා පොලීසියට එරෙහිව වීදි බැස්සේ ය. නමුත් ඒ වන විටත් එම ව්‍යාපාරිකයා ජනයා ආරක්ෂා කරන පොළිසියේ තුවක්කුවෙන් වෙඩි තබා ඝාතනය කළ හමාර ය. දැන් නීතියේ සරණ පිළිබදව ද සැකකරමින් ඔහුගේ බිරිදත් දරු තිදෙනාත් ඉතිරි වූ වේදනාව පමණක් තුරුළු කරගනිමින් ජීවිත් වෙයි.

පසු සටහන

පසුගිය කාලයේ පොලීසියේ මෙවැනි සිද්ධින් පිළිබද සටහනක් අප ‛විකල්ප’ වෙබ් අඩවිය වාර්තා කළ අතර එවැනි සිදුවීම් වලට සම්බන්ධ පොලීසියේ ‛මැර පොළිස්කරුවන්’ බොහොමයක් මෙසේ නීතිය හමුවට කැඳවීමට තවමත් පොළිසිය අසමත්වීම පිළිබඳ නීතිය පිළිබද ජනතාවට ඇති විශ්වාසය වියැකි යාමටත් ජනතාව පොළිසියට එරෙහි විරෝධයන් දැක්වීමත් වැලැක්විය නොහැකි වනු ඇත. එය මගහරවා නොගතහොත් ඉදිරියේදී බරපතල සමාජ අර්බුදයක් දක්වා දිග් ගැස්සීමට වැඩි කාලයක් නොයනු ඇත.