සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛පැහැර ගන්නකු නැතිව අතුරුදහන්වේ. ඝාතකයකු නැතිව වෙඩි වදී.’’ ප්‍රගීත් සොයාගැනීමේ සම්මන්ත්‍රණයේ දී එස්. ජී. පුංචිහේවාගේ විවරණය.

‛‛දයාව වශයෙන් හදුනා ගත යුත්තේ ජාතිවාදීන්ගේ ද්වේශයයි. අධ්‍යාපනය වශයෙන් ලැබෙන්නේ බැලමෙහෙවර කිරීමේ පුරුදුය.
යුක්තිය යනු අච්චු අකුරුවලට කියන තවත් නමකි. ඉහළ අධිකරණ තීන්දුවක් යනු රොබෝවරුන්ගේ වචන සමූහයකි.
දේශපාලනය යනු 1948 සිට පුරවන ලද ජාතික වැසිකිළිවළකි.’’

අතුරුදහන්කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සොයා ගැනීම සදහා වූ සම්මන්ත්‍රණයක් පසුගිය 31 වන දා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය. එහිදී රටේ වත්මන් තත්වය පිළිබදව විගයක් කරමින් අදහස් දැක්වූ නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා ඉහත ප්‍රකාශය කරමින් මෙසේ අදහස් දක්වා සිටියේය.

මෙම සම්මන්ත්‍රණය සංවිධානය කලේ මාධ්‍ය සංවිධාන එකමුතුව සහ නිදහස උදෙසා පුරවැසියො යන සංවිධාන එක්වයි.

‛‛පෑන අත දරා ජීවත්වීමේ අයිතිය සුරකිමු’’ යන තේමාව ඔස්සේ එම සම්මන්ත්‍රණය පැවැත්වුනු අතර රටේ දේශපාලන තත්ත්වය පිළිබදව අදහස් දැක්වූ නිතිඥ එස්. ජී. පුංචිහේවා මහතා කළ කතාව මෙසේය.

ඉස්සර එක් කලෙක පල් හොරු දෙදෙනෙක් හිටියා. ඔවුන් හැමදාම රාත්‍රී කාලයේ හොරකමේ ගියා. දවල්ට කැලේ ගහක් යට නිදා ගන්නවා. ගමේ හොරකම් වැඩි වන බව මිනිස්සුන්ට තේරුනාම මිනිස්සු ටිකක් රැකවල් කොට බලාගෙන හිටියා. දවසක් හොරකමේ ගිහිල්ලා එද්දි මිනිස්සු මේ දෙන්නා අල්ලගෙන හොඳටම අතින් පයින් ගැහුවා. ආපහු ගිහිල්ලා ගහයට නිදාගෙන පහුවෙනිදා උදේ මේ ගොල්ලො මෙහෙම කියනවා ‛‛අනේ හරි අමාරුයි ඇඟට, මේක මේ විදිහට කරලා නම් හරියන්නේ නැහැ. හුගාක් ඇඟට අමාරු රස්සාවක් මේක’’ මෙසේ දින කීපයක්ම ගෙවී ගියා. ඒ දින කීපයේම ඔවුන් දෙදෙනා කතා කළේ හොරකම දැන් ඒ මෙහෙම කරන්න බැහැ. දැන් මේක ටිකක් අපි වෙනස් කරන්න ඕන කියලා. ඊට පසු දිනත් මොවුන් දෙදෙනා හොඳටම ගුටි කා පැමිණි දෙදෙනා මෙසේ කතා කතාබහ කළේය.
‛‛හොරකම් කරන එක දැන් මේ විදිහට කරන්න බෑ. දැන් මේක ටිකක් වෙනස් කරන්න ඕන’’ කියලා කතා කරලා මේ දෙන්නා එදත් හොරකමේ ගියා. එදත් මේ දෙදෙනා හොදටම ගුටි කෑවා. එදත් ඔව්න් හෛම කතා කලා.

‛‛ දැන් නම් මේක කරන්නම බෑ. දුක් දීලා ඇඟට මේ වැඩේ කරගෙන යන්නත් බෑ.’’
‛‛දැන් කාලෙත් වෙනස්වෙලා, ගෝලියකරණය වගේ නොයෙක් සමාජක්‍රමත් ඇවිල්ලා ඒ නිසා ඒකට අපිත් හැඩ ගැහිලා අපිත් වෙනස් වෙන්න ඕන’’
‛‛ඔව් ඔව් දැන් වෙස්ට් මිනිස්ටර් පාලන ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ.’’ ‛‛ඒ ක්‍රමයටත් ගැලපෙන විදිහට තමයි අපේ රස්සාව හරිගස්ස ගන්න ඕන’’
එක් කෙනෙක් මෙහෙම කිව්වා. ‛‛ඔව් වෙස්මිනිස්ටර් ක්‍රමයට අනුව නම් අපි තනි තනිවම මේක කරන්න ඕන’’අපි දෙන්නාම මේක කරලා හරියන්නේ නෑ. කියලා දෙන්නා කතා කරගෙන ඒ ගොල්ලො කැමති කැමති දිසාවට යන්න ගියා.
මෙහෙම ටි කලක් ගතවුනා.

මිනිස්සුන්ටත් මේ ගොල්ලො ගැන අමතක උනා. ඊට පස්සේ හොරකන් සිද්ධවෙන්නේ නෑ කියලා මිනිස්සු සතුටු උනා. ටික කලකට පසඅ ගමේ ගහක් යට පලක් බැඳ දෑස පියා සන්සුන්ව සිටින යෝගියකු දැක මිනිස්සු ඔහුට බොහොම ගරුසරු කරමින් ඔහු වෙත පැමිණ සුව දුක් විචාරන්නට වූහ. එවිට එම පැවිද්දා බොහෝම මිහිරි බසින් මිනිසුන් අමතා මෙසේ කීහ. ‛‛ඔබ හැම දෙනාටම ආශිර්වාද වේවා, සුබ අනාගතයක් වේවා’’ ආදී වශයෙන් කියලා ප්‍රාථනා කලහ. මිනිසුන්ටද පහන් සිත් පහළ වූන නිසා මේ පැවිදි තැනට අවශ්‍ය දන් පැන්, , වස්ත්‍ර ද ගිලන් පස ද දී වාසයට තැනක් ද සකසා දී දිනපතා උවටැන් කරන්නට විය. ටික කලක් ගත වෙද්දී එතැන සුවිසල් මන්දිරයක්ද සාදා දෙන්නට විය. අන්තිමෙීදි එතැන බොගහකුත් සහ අනිකුත් දේත සමග විශාල තාප්පයකුත් සාදවා දෙන ලදි. අන්තිමේ දී එතැන විශාල ස්ථානයක් බවට පති විය. දැන් ඒ පැවිදි තැනට යාන වාහන, උපභෝග, පරිභෝග වස්තු ආදි සියල්ලම අප්‍රමාණව විය. දැන් මේ පැවිද්දා රටේ බලවතෙකි. ඒ නිසා රටේ දේශපාලකයෝද එතුමා හමුවෙන්නට එයි. මේ අතර දිනක් බොහොම අසිරිමත් සිද්ධියක් සිදුවිය.

දිනක් මේ පූජා භූමියට ආවා අමුත්තෙක් පිරිසක් පිරිවරාගෙන.

ඉන්පස් ඒ පූජකතුමාට වැඳ එකත් පස්ව සිටියා. මේ බලවතා දැකපු පූජකතුමාට කිසියම් අමුත්තක් දැනිලා මෙහෙම ඇසුවෙිය. ‛‛මුන්නැහේ දැක පුරුදුවා වගේ මතකයක් තිබෙනවා’’ යි පැවසූ විට දේශපාලන බලවතාද මෙහෙම කීවේ ය. ‛‛ඔව් මටත් එහෙමයි’’ අනතුරුව දෙදෙනා එකිනෙකාව හඳුනා ගත්හ. අතීතයේ තම රස්සාව නිසා මිනිසුන්ගෙන් ගුටි කෑ නමුත් අද දෙදෙනාම මිනිසුන්ගේ කැමැත්තෙන්ම එම රස්සාව සොයාගෙන එන අර පරණ හොරු දෙදෙනායි. අද ඉන් එකෙක් පූජකයෙකි. අනෙකා දේශපාලකයෙකි.

පසුව මේ දෛනා ගැන රටේ රජුට ආරංචි විය. පසුව රජු මේ දෙදෙනා ගෙන්වා සම්මාන පුද කොට, ඇමතිකම් පිරිනමා රටේ රජකම රුක ගැන්මට ක්‍රි ක්‍රියාකරන ලෙස දැන්වීය. සිය පරමාර්ථය ඉටුවන බැවින් දෙදෙනාම එකහෙළා රජබස පිළිගත් හ. එහෙත් ඔවුන් රජුට දන්වා සිටියේ රජකම රැක ගැන්මට රාජ උපායක් අවශ්‍ය බවය.

‛‛ඒ කුමක් ද?’’ රජු විමසීය. ප්‍රබන්ධ කිරීම අවශ්‍ය බවය. ‛‛කුමක්ද ප්‍රබන්ධ කළ යුත්තේ?’’

‛‛රජද, වැසියාද අමුතුවෙන් ප්‍රබන්ධ කළ යුතුය. ප්‍රබන්ධ කිරීමට කවුරු සමත් වෙත්ද?’’ ‛‛ලේඛකයන්. කලාකරුවන්, නළු නිළියන්, උගතුන්, පූජකයන්, ක්‍රීඩකයන් විසින් මෙය කළ හැකි වේ. එහෙත් ඒ රටේ සැබෑ කලාකරුවකු, දක්‍ෂයකු සොයා ගැනීම අපහසුය. සිටින අතළොස්සක් දෙනා ඊට කැමති නොවූහ. පසුව කර්මාන්ත කාරයන් පිරිසක් ‛‛අපිට මේ වැඩේ කළ හැකියි’’ කියමින් ඉදිරිපත් වූහ. කවර කර්මාන්තය කරන්නෝද? ඔවුහු මැටි කර්මාන්ත කරුවෝය. ය. මේ මැටි කර්මාන්ත කරුවන් විවිධ නම්වලින් හඳුන්වා දෙන ලදී. මාධ්‍යවේදීන්, කලාකරුවන්, නළු නිළියන් ආදී වශයෙන්. ඔවුන්ට පැවරුණේ ‛‛සිටින ජනතාව මැටි බවට පත්කොට එම මැටියෙන් ඡන්ද දායකයන් ඇඹීම ය.’’ එනම් රජුට වුවමනා ඡන්ද දායකයන් ප්‍රබන්ධ කිරීමය. මෙසේ වැසියන් තමන්ට කැමති ආකාරයට ප්‍රබන්ධ කිරීමත් සමඟ රජු ද අමුතුවෙන් ප්‍රබන්ධ කිරීම ඉබේම සිදුවේ. රජ මේ තරම් ශ්‍රේෂ්ඨ යයි ගායනා වේ. වැසියා මෙසේ විය යුතු යයි කියැවේ. මේ ප්‍රබන්ධය හඳුනාගත් අය මෙසේ කියති.

‛ඔය සැබෑ රජු නොවේ. ව්‍යාජ රජෙකි. හොරුන්ගේ රජෙකි!’ එවිට එසේ කියන අය අතුරුදහන් වෙයි.
කීප දෙනෙක් එසේ අතුරුදහන් වූවන් ගැන හඬ නගති. එවිට මැටි කර්මාන්ත කරුවෝ මෙසේ බෙරිහන් දෙති. ‛‛අපේ රජතුමා උතුම්ය. අපරාජිතය. අතුරුදහන් වූ අය සිය කැමැත්තෙන් එසේ කොට රජතුමාගේ කීර්ති නාමයට හානි කරති. ඔවුහු දේශ ද්‍රෝහියෝය. විදේශ කුමන්ත්‍රණ කරුවන්ගේ හවුල් කරුවෝය.
එවිට මැටියෙන් තැනුණු වැසියෝ මෙසේ කියති. ‛‛එසේය. කිසිවකු අතුරුදහන් වී නැත. එතුමාද පවුලේ අයද පව් නොකරති. එතුමා අපට පාරවල්, පාලම්, ගොඩනැගිලි හදා දෙයි’’ මෙසේ ප්‍රබන්ධ කලාව දියුණු වීම නිසා පහත සඳහන් නිර්මාණ බිහිවේ.

හොරකම අතුරුදහන් විය යුතුවා වෙනුවට එය එළිදරව් කරන්නා අතුරුදහන් වේ.
පහර දෙන්නකු නැතිව තුවාල සිදුවේ.
පැහැර ගන්නකු නැතිව අතුරුදහන්වේ.
ඝාතකයකු නැතිව වෙඩි වදී.
ගිණි තැබීමක් සිදු වූ විට ගිණි පෙට්ටිය අත්අඩංගුවට ගනී.

්අපට ඇත්තේ ඔවුන් කියනා දේ විශ්වාස කිරීම පමණී.
ඔවුන් කියනා බොරුව සත්‍යය යැයි පිළිගැනීමේ නිදහස පමණී. වෙන බසක් අසන්නට දෙසවන් නැත. වෙන දෙයක් දෙසන්නට කටක් නැත. වෙන රුවක් දකින්නට ඇසක් නැත.

සැබෑ මාධ්‍ය නිදහස ඇත්තේ මැටි කර්මාන්ත කරුවන්ට ය. එම රටේ අප අනුභව කල යුත්තේ අපේම ශරීරයයි. ශරීරය පවත්වා ගත යුත්තේ පාලකයන් දෙන ලෙඩ රෝග වලිනි. සිතීමේ නිදහස යනු පාලකයින් ඉඩ දෙන ප්‍රමාණයයි.

දයාව වශයෙන් හදුනා ගත යුත්තේ ජාතිවාදීන්ගේ ද්වේශයයි.
අධ්‍යාපනය වශයෙන් ලැබෙන්නේ බැලමෙහෙවර කිරීමේ පුරුදුය.
යුක්තිය යනු අච්චු අකුරුවලට කියන තවත් නමකි.
ඉහළ අධිකරණ තීන්දුවක් යනු රොබෝවරුන්ගේ වචන සමූහයකි.
දේශපාලනය යනු 1948 සිට පුරවන ලද ජාතික වැසිකිළි වළකි.

අප පාලකයන් වශයෙන් තෝරා ගෙන ඇති පුද්ගලයෝ කවුරුද?

බලයට ඒමටත් පෙර මිනී මැරුවාහුය.
බලය ලැබූ පසු එය පවත්වා ගැන්මටත් මිනී මැරුවාහු වෙති.
මොවුන්ගේ සුදු ඇඳුම්වල ලේ පැල්ලම් සේදීමට අධිකරණයේ සිට නාන කාමරය දක්වා ගැත්තෝ, හැත්තෝ, බුරුත්තෝ අපමණ සිටිති.

මෙවන් රටක එක්නැලිගොඩ වැනි කෙනකු අතුරුදහන් වීම ගැන කිය හැක්කේ අත්අඩංගුවේ සිටි පකිස්ථානු කිවි, ෆයිස් අහමඩ් ෆයිස් ගේ ‛‛අතුරුදහන් වූ ලේ සොයා’’ යන කවියයි.

මේ ඒ කවිය යි.

හැම තැනම සොයා බැලීමි. එහෙත් කිසිම තැනක ලේ සලකුණක් නැත.
ඝාතකයාගේ දෑත් පිරිසිදුය. ඔහුගේ නියපොතු දිලිසෙයි.
හැම ඝාතකයකුගේම ඇඳුම්වල එක පැල්ලමකුදු නැත.
ලේ වැකුණු තැනක් තබා රතු පැහැයක් වත් නැත.
පිහි මුවහතේද, කඩු මූණෙහිද ලේ ගෑවී වත් නැත.
බිම පැහැදිලිය,
සීලිම සුදුය.
ලකුණක් පවා නැතිව අතුරුදහන් වූ රුධිරය ලිඛිත ඉතිහාසයේ කොටසක් නොවීය.
කවුරු මට එය පෙන්වා දෙත්ද?
එම ලේ වැගිරුණේ අධිරාජයාගේ සේවය පිණිස නොවේ.
ඊට ගෞරවයකුදු ලැබී නැත. එය බිලි පූජා උළෙලකදී වැගිරුණේ නොවේ.
පාප මුක්තිය උදෙසා බඳුනක එකතු කොට පූජ්‍ය ස්ථානයක තැබුණේද නොවේ.
යුද බිමෙහිදී ගැලුවේ ද නැත.
ජය පතාකයක අකුරු අඳින්නටවත් නොගැහුණේය.
එහෙත් එම රුධිරය සිය කතාව අසනු ලැබීමට දෙන හඬ තවමත් කිසිවකුට ඇසී නැත.
කවරකුට හෝ අසන්නට වෙලාවක් කොයින්ද?
ඊට වුවමනාවක් ද නැත.
මෙසේ අනාථ වූ රුධිරය තවමත් හඬ නගයි.
එහෙත් ඇසූ දුටුවෙක් නැත.
නඩුවක් ද නැත්තේය.
වැගිරුණු තැන් පටන් දූවිලි මේ ලේ උරා ගනී.
පසුව එය අළු බවට පත්වී සළකුණක් පවා නැතිව දූවිල්ලටම දිරාපත් විණි.

මෙම සම්මන්ත්‍රණයේ අනිකුත් අදහස් ඇතුලු විඩියෝ පටය සදහා..