සිංහල, Colombo, Democracy, Governance, Human Security

උපවාසයේ නිරතව සිටි භික්ෂුන්වහන්සේලා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහ සෙනඟක් කොටුවට එයි..

‛‛කෙළෙහිගුණ දන්නේ නැති මේ ද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව මේ රටේ ජනතාව පෙළගැහෙන්නට ඕන. මේ රටේ ජනතාව නෑගී සිටින්නට ඕන. අද නීතිය නැතුව, නීතිය තමන්ට ඕනෑ ආකාරයට පාවිච්චි කිරීම සඳහා වෙච්ච සැළසුම් සමඟ තමයි ආණ්ඩුව ඉන්නේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව විවිධ දේවල් පාවිච්චි කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය අද වලපල්ලට දාලා තියෙන්නේ. යහපාලනය කියන එකක් නෑ. තමන්ට ඕන ආකාරයට කටයුතු කරගෙන යනවා. ඒ නිසා මේ යන ගමන නතර කරන්නට ඕන. මේක මේ රටේ ජනතාවට යහපාලනය ගේන්නේ නෑ. මේක මේ රටේ ජනතාවට සුබසිද්ධිය ගේන්නේ නෑ. මේක මේ රටේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්නේ නෑ.’’ එසේ අදහස් දැක්වූයේ ඊයේ(06) ජාතික භික්ෂු පෙරමුණේ සංවිධායක ස්වාමින්වහන්සේ, කොළඹ කොටුව දුමිරියපොල ඉදිරිපිට පැවති සත්‍යග්‍රහ ව්‍යාපාරයේදීය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මාරාන්තික උපවාසයක නිරතව සිටි භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මෙම සත්‍යග්‍රහය පැවැත්විය. ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම සත්‍යග්‍රහය සඳහා විශාල ජනතාවක් පැමිණි සිටියහ. සත්‍යග්‍රහය ආරම්භ කිරීමට බොහෝ වේලාවකට කලින් පොළිස් නිළධාරීන් විශාල ප්‍රමාණයක් දුම්රියපොළ ඉදිරිපිට රඳවා තිබෙනු දක්නට ලැබිනි.

පසුව පැමිණ සිටි ජනතාව බිය ගැන්වීමට පොලීසිය විසින් ඔවුන්ගේ නම් ගම් සටහන් කර ගැනීමට යාමේදී ඇතිවීමට ගිය ගැටුම්කාරී තත්ත්වය පාලනය කරගත හැකි වූයේ විජිත හේරත් මන්ත්‍රිවරයා ද එයට විරෝධය දැක්වීමත් සමඟ පොලීසිය විසින් ඒවන විට සිදු කරනු ලැබූ නම්ගම් ලබා ගැනීමේ ක්‍රියාව අතහැර දැමීමට සිදුවීමත් සමඟය.

එහිදී අදහස් දැක්වූ අනෝමා ෆොන්සේකා මහත්මිය..
‛මේ වේලාවේ මුලු ජනතාවම අපිත් සමඟ සිටිය යුතුයි. මේ රට පාලනය කරන මිනිස්නුට විතරක් ඕන විදිහට යන්න ඇරලා අපි නිශ්ශබ්දව සිටින්න කාලයක් නෙමේ මේක. දැන් මුලු රටම අවදියෙන් සිටිය යුතු කාලයක්. ඒකට අපිත් සමඟ අත්වැල් බැඳගන්න කියලා මම ඉල්ලනවා.

05 වනදා උපවාසයේ නිරතව සිටි භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයට පිළිතුරු දුන් ෆොන්සේකා මහත්මිය,
‛මේ රට බුද්ධාගම පිරිච්ච රටක්. මම හිතන්නෙ මේක ජාත්‍යන්තරව ගියොත් මේ රජයට උත්තර බඳින්නම වෙනවා. අපේ නැතිවෙලා යන ප්‍රජාතන්ත්‍රවාදය නිසා තමයි මගේ ස්වාමියා අත්අඩංගුවට ගත්තේ කිසිම හේතුවක් නැතුව. තාමත් ඒ අයට චෝදනා ගොනු කරගන්න බැරුව සිටිනවා. මේක මහා අවිචාර සමයක්. අපේ රටේ අවිචාර සමයවල් තිබිලා තියනවා. මම දකින්නේ මහජනතාව යකඩ සපත්තුවට පෑගිලා ඉන්න මිනිසුන් පිරිසක් හැටියට. ඒ නිසා හැමදාම මෙහෙම ඉන්න බෑ. අපි කෙසේ හෝ නැගී සිටිය යුතුයි.

මෙම අවස්ථාවට සුනිල් හඳුන්නෙත්ති, අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගී වි සිටියේ ය.