මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ වෙනකෙක් නොව, මේ මිනිස් සමාජයේම ඉපිද, මිනිස් වේශයෙන් හැසිරෙන සතුන්ටත් වඩා අන්ත, ඇතැම් විට සතුන්වත් නොකරන කෘර වැඩ කරමින් තවමත් හම්බන්තොට මහ පුටුවේ යහමින් වැජබෙන ‘සෙල්ලං පිස්තෝල නගරාධිපති‘ ලෙස මාධ්‍ය හදුන්වාදුන් මිනිස් වෙසින් සිටින ‘මැර ශරීරය‘යි.

කෙසේ නමුත් හොරුන්, මංකොල්ලකරුවන්, මිනී මරුවන්, දූෂකයන් ආදී මිනිස් සමාජය අගාධයට ඇද දමන මිනිසුන් ඉන්නේ ද මේ මිනිස් සමාජයේ ය. ඇතැම් විට කිසියම් පුනරුත්තාපන ක්‍රියාවලියකින් පසු ඉහත කී හොරුන්, මංකොල්ලකරුවන්, මිනී මරුවන්, දූෂකයන් වැනි අයව යහපත් අතට වෙනස් කර ගැනීමට හැකියාවක් තිබිය හැකිය. මක් නිසා ද යත්, යම් සමාජයක එවැනි ගණයේ පිරිස් බිහි වන්නේ එම සමාජයේම කොහේ හෝ සිදු වී ඇති අසාධාරණයක්, අයුක්තියක් හෝ එවැනි තත්ත්වයක් නිසා විය හැකිය. එම නිසා එම අසාධාරණ, අයුක්ති සහගත සමාජ තත්ත්වයන් වෙනස් කර ගතහොත් එම සමාජයෙන් බිහි වන එවැනි හොරුන්, මංකොල්ලකරුවන්, මිනී මරුවන්, දූෂකයන් වැනි අය ව යම් මට්ටමකට හෝ පාලනය කර ගත හැකිය. එවන් වෙනස් කර ගන්නා සමාජයක, එවැනි මිනිසුන් යළි සමාජ ගත කර ගැනීම සදහා පුනරුත්තාපනය කර ගත හැකිය.

නමුත්, ‘මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ හෙවත් ‘සෙල්ලං පිස්තෝල නගරාධිපති‘ එවැනි ගණයේ ලා සැලකිය නොහැකි තත්ත්වයකි. නැතහොත් විකෘතියකි. එය එසේ වන්නේ ඔහු විසින් හිතා මතාම සිදු කරනු ලැබූ ආසන්නම තිරිසන් ක්‍රියා දෙකක් නිසාවෙනි. (මේවාට වඩා තිරිසන් ක්‍රියා ඔහු විසින් පසුගිය වසර ගණනාවේම සිදුකර ඇත. එය වෙනම ලිපියකින් සාකච්ඡා කරමු.) එකක් නම් පසුගිය 2014 දෙසැම්බර් 22 වනදා ‘වීදියේ විරෝදය‘ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් පිරිසට සහ හම්බන්තොට මහනගර සභාවේ විපක්ෂනායකවරයාට පිස්තෝල, දැලි පිහි වැනි මරණිය ආයුද සමග පැමිණ නොසෑහෙන්න පහර දීමය. ඒ පමණක් නොව පිස්තෝලය එල්ල කරමින් ‘තොපි මරණවා‘ යැයි කියමින් පහර දුන්නේය. මේ පහර දීමට එම මිනිස් වෙසින් සිටින මැර ‘ශරීරය‘ පැමිණෙන විට ඒ අසල හම්බන්තොට මාර්ග වල කිසිදු වාහනයක් ගමන් ගත්තේ නැත. ඔවුන් කුණුහරුප කියා යටි ගිරියෙන් කෑ ගසමින් සිය වනචාරී ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගත් විගසම අසල තිබබෙන වෙළදසැල් ද එකිනෙක වේගයෙන් වසා දැමුණේ සටන් ජවනිකා සහිත චිත්‍රපටයක මෙනි. ඉන් පසු ඔවුන්ගේ ගෝත්‍රික වනචාරීබාවය පැයකට ආසන්න කලායක් හම්බන්තොට දී දියත් වුනේ මීට සියවස් ගණනකට පෙර මිනීමස් බුදින වනචාරී සතුන්ගේ හැසීරීම් නූතනයේ පෙන්වමිනි.

ඒ ආසන්නම සිදු වීමය. අනෙක නම් ඊට මාස කිහිපයකට පෙර හම්බන්තොට ගුවන් තොටුපල නැරඹීමට ක්ෂේත්‍ර චාරිකාවක් ගිය එජාප පාර්ලිමේන්තු මංත්‍රීවරුන් පිරිසකට ද එම මිනිස් වෙසින් සිටින මැර ‘ශරීරය‘ ඇතුලු පිරිස විසින් පිස්තෝල රැගෙන විත්, කුනු බිත්තර විලින් පහර දුන්නේය. අඩංතේට්ටම් කළේය. පසුව පොලීසියට ඉදිරිපත් වූ එම මැර පිරිස කියා සිටියේ තමන් අතේ තිබුනෙ ‘සෙල්ලම් පිස්තෝලයක්‘ කියාය. පසුව රාජපක්ෂ පාලනය විසින් එම මිනිස් වෙසින් සිටින මැර ‘ශරීරය‘ ඇතුලු පිරිසට නැවතත් සලුපිලි අන්දවා මහපුටුවේම ඉන්දුවේ පැවති පාලනයේ අශිෂ්ඨත්වය ලොවටම පෙන්වමිනි.

මිනිස් වෙසින් සිටින මැර ‘ශරීරය‘ යේ ඉතිහාසයද එවැනිය. මීට පෙර පැවති ආණ්ඩුවල අනුග්‍රහයෙන් යැයි පැවසෙන දකුණේ බිහි කර තිබූ අවිගත් කණ්ඩායම් වල ප්‍රධාන අලුගෝසු වැඩේ සිදු කළේද මෙම මිනිස් වෙසින් සිටින මැර ‘ශරීරය‘ ඇතුලු කල්ලිය බව ද පැවසේ.(එය මේ මැරපිරිස විසින් වීදියේ විරෝදයේ කණ්ඩායමට පහර දෙමින් ප්‍රකාශ කළේ, ‘දැන ගනිව් මම ‘ප්‍රා‘ කල්ලියේ‘ යනුවෙනි.) ඒ පිළිබද මේ සටහනෙහි මතු කිරීමට උත්සහ නොගන්නා අතර මතුවට ඒ පිළිබදව සාකච්ඡා කරමි. කෙසේ නමුත් ඒ සියලු වනචාරී ක්‍රියාවෙන් ඒ මැර පිරිස් නිදහස් වී නැවතත් සුපුරුදු වනචාරී වැඩවල යෙදුනේය. ඒ අන් කිසිවක් නිසා නොව හිටපු ජනාධිපති රාජපක්ෂගේ බත්බැලයෙක් වීමේ අනුහසිනි.

නමුත්, මේ මිනිස් වෙසින් සිටින මැර ‘ශරීරය‘ යේ සියලු වනචාරී භාවයන් ආරක්ෂා කළ රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් සිටින්නේ අරලිය මැදුරේ නොව මැදමුලනේය. එබැවින් ‘මැර ශරීරය‘ බිය වී ඇත. නමුත් ඔවුන් දැන් අලුත් වේශයකින්, අලුත් උප්පර වැට්ටියක් දමමින් සිටියි. එය නම් පසුගිය ජනවාරි 15 වනදා හම්බන්තොට නගරය මැද රැපියල් ලක්ෂයකට වඩා වටිනා රතිඥ්ඤා තොගයක් පුලුස්සමින් නගරයටම ශබ්ද පූජාවක් පවත්වා අනියමින් කියා සිටින ලද්දේ දැන් ඔහු ‘මෛත්‍රී පාලනයට‘ සහය දෙන බවයි.(මෙයට විරෝධය පාමින් හම්බන්තොට නගරසභාවේ විපක්ෂ නායක අයුබ්කාන් මහතා විසින් 16වන දින හම්බන්තොටදී විරෝධතාවයක් සංවිධානය කර තිබූ නමුත්, එයට සජිත් ප්‍රේමදාස සහ තවත් ප්‍රභලයින් මැදිහත්වී, ‘මේ වෙලාවේ ඕවා කරන්න එපා‘ යැයි පවසා එම විරෝධතාවය මැඩ පවත්වා ඇතැයි දැනගන්නට ඇත.) නමුත් වාර්තාවන අන්දමට මෙම සෙල්ලං පිස්තොල කරු හෙවත් මිනිස් වෙසින් සිටින මැර ‘ශරීරය‘ නිල වශයෙනුත් මෛත්‍රී පාලනයට ළගා වී ඇතැයි ඇතැම් ආරංචිමාර්ග පවසයි. එය එසේ විය හැකි බවට ඇතැමුන් පවසන්නේ මෛත්‍රී පාලනය තුළ සිටින ප්‍රභල ඇමතිවරයෙක් ට මේ ‘මැර ශරීරය‘ විසින් සිදුකරන බොහෝ දේවල් අනුමත කිරීමට සිදුව ඇතැයි ද, එය එසේ වී ඇත්තේ පෙර කල කරුමයන් නිසා බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

කෙසේ නමුත් මිනිසුන් අතර සිටින හොරුන් වැනි අයව කිසියම් වැඩ පිළිවෙලක් හෝ එවැනි වෙනස්කිරීමේ ක්‍රියාකාරීත්වයක් ඔස්සේ යහමගට ගැනීමට කුඩා හෝ හැකියාවක් පැවතියිත්, මිනිසුන් අතර සිටින මෙවැනි ‘මිනිස් වෙසින් සිටින මැර ‘ශරීරය‘ න්, එසේ යහමගට ගැනීමට තිබෙන හැකියාව ඉතාමත් අවමය. මෙවැනි ‘ශරීරයන්‘ සත්‍ය ලෙසම මිනිස් ‘ලේ‘ වලට කිසිදු බියක් නැති මරා දැමීමට හෝ පහර දීමට කිසිදු බියක් නැති ම්ලේච්ඡ, මිනිස් ශරීරයක් පමණක් ඇති, මිනිස් වේශයකින් පෙනී සිටින, සතුන්ගේත් සතෙකු නිසාය.

එබැවින් මෛත්‍රී පාලනය හෝ යහපාලනය හෝ කිනම් ශිෂ්ඨ තත්ත්වයක් තුළ ‘මිනිසුන් නොවන‘ එහෙත් මිනිස් ශරීරයක් පමණක් ඇති පිරිස් සිටිය නොහැකිය. එවැනි පිරිස් සිටියහොත් ඒ සමස්ත ශිෂ්ඨ පාලනයම, පාලනය කළ නොහැකි ලෙස අශිෂ්ඨ තත්ත්වයකට පත්වනු ඇත. එහෙයින් මිනිසුන් සහ සතුන් හැදින ගැනීමද මෛත්‍රී පාලනයේ එක් ප්‍රධාන අංගයක් බවට අද පත් වී ඇත. එය එසේ වන්නේ තව දුරටත් මෙවැනි ම්ලේච්ඡ ශරීරයන් වත්මන් පාලනයට රිංගුවොත් යහපාලනය නොව, ශිෂ්ඨ පාලනයක කිසිදු සළකුනක් වත් ඉතිරි නොවනු ඇති නිසාවෙනි.

කෙසේ නමුත් මෛත්‍රී පාලනයේද ඇතැම් උදවිය මේ පිළිගැනීම පිළිබදව විරෝධයක් නොදක්වමින් සිටින අතර මෙම මිනිස් වෙසින් සිටින මැර ‘ශරීරය‘ වත්මන් පාලනයට වද්දා ගැනීමට ද සැරසෙන බව වාර්තා වන්නේ ද අරුම පුදුම ලෙසකට නොවේ. ලංකාවේ ඇතැම් මිනිසුන්ට ද තමන්ව පාලනය කරන පාලකයන් මෙවැනි මිනිස් වෙසින් සිටින මැර ‘ශරීරය‘ න් වීම අභිමානයක් සේ සලකන අතර ඇතැම් පාලකයන් ද මෙවැනි ‘මැර ශරීරයන්‘ තමන්ගේ තුරුලට ගැනීම චන්ඩිකමක් සේ සලකයි. මේ තත්ත්වයන් සැබෑ ලෙස තේරුම් කර ගනිමින් මෙවැනි ‘මැර ශරීරයන්‘ සහ එවැනි අශිෂ්ඨ තත්ත්වයන් වත්මන් පාලනයේ තුරුළට ගතහොත්, නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ පොදු විපක්ෂය යෝජනා කර ඇති ශිෂ්ඨ දේශපාලන තත්ත්වයන් වත්මන් ලාංකීය භූමිය තුළ යම්පමණකට හෝ සාරවත්ව වගා කරගත හැකි වන්නේ නැත. එබැවින් එවැනි තත්ත්වයකට පත් නොවී, එවැනි වනචාරී ශරීරයන් ‘යහපාලනය‘ තුලට ඇතුලු කර නොගැනීමට, නව පාලනයට ‘සිහිය‘ සහ ධෛර්ය පහළ වේවායි ‘ජීවිත වෙනුවෙන්‘ ප්‍රාර්ථනා කරමු. එසේම රාජපක්ෂ විසින් සෝදාපාලුවට ලක් කර ඇති අධිකරණ පද්ධතිය නැවත සක්‍රීය කරමින්, නීතියේ ආධිපත්‍ය පිහිටුවා මෙවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ‘යහපාලනය‘ ලංකා සමාජය තුළ ස්ථාපිත කරන්නේ යැයි පොරොන්දු දී පැමිණි ‘මෛත්‍රී පාලනය‘ ට වගකීමක් ඇතැයි නැවත වරක් මතක් කර සිටිමු.