Image : nethfmbelumgala.blogspot.com

පසුගිය දා නෙත් FM නාලිකාව විසින් සිංහල කොටි පසුපස දේශපාලනය යන උදෘතය යටතේ ප්‍රචාරය කරන ලද වැඩ සටහන මගින් අප සංවිධානය විසින් මෙහෙයවනු ලබන වැලිකඩ සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන් අත්අඩංගුවට ගෙන මීනීමැරීමේ සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනා යටතේ නඩු පවරා වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයකට භාජනය කර සාධාරණ නඩු විභාගයක් පවත්වන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේනතුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබියදී එකී පැමිණිල්ලේ ඇසින් දුටු සාක්ෂිකරුගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි අකාරයේ ගුවන් විදුලි වැඩසටහනක් මෙකී නාලිකාව විසින් ප්‍රචාරය කිරීමට එරෙහිව බම්බලපිටිය පොලිස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

එකී පැමිණිල්ල ප්‍රකාරව අප විසින් අසත්‍ය ප්‍රචාරයන් ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කිරීම සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම යන කරුණු සහ දැනටමත් මහාධිකරණය විසින් විභාග කොට තීරණ ලබා දී තිබෙන නඩුවක කරුණු සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයන් කිරීම මගින් අධිකරණයට අපහාස කිරීම ඇතුලුව ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 110,113(අ),120,200,465,483,සහ 484 යන වගත්ති යටතේ අපරාධමය වරදක් නෙත් FM නාලිකාව විසින් සිදු කොට ඇති බවට එකී පැමිණිල්ල මගින් කරුණු දක්වා සිටිනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා එනම් 2015 පෙබරවාරි මස 12 වන දින බම්බලපිටිය පොලීසියට දෙපාර්ශවයටම පැමි‍ණෙන ලෙස දන්වා එවනු ලැබීය.

ඒ අනුව හවස 2.00ට අප සංවිධානයේ නීතීඥවරයන් පොලිස්ථානයට ගිය අතර නෙත් නාලිකාවේ ප්‍රවෘත්ති කළමණාකරු සහ නීතීඥවරියක් පැමිණ ඔවුන්ගේ කටඋත්තරය ලබා දෙන්නට කල් ඉල්ලා සිටිනු ලැබීය. එකී ඉල්ලීමට කන්දුන් අප සංවිධානය ඒ සදහා අද දිනය (16) පොලීසියේ එකගතාවය මත ලබා දෙන්නට විරුද්ධත්වයක් පලනොකලහ. අද දිනයේ පැමිණිල්ල විභාගය කිරීමට සහ විත්තිපාර්ශවයේ කටඋත්තර ලබා ගැනීමට බම්බලපිටිය පොලීසිය විසින් කටයුතු සූදානම් කර තිබිනි. ඒ අනුව ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල මහතාගේ සහය ද ලබා ගෙන තිබිනි.

නෙත් නාලිකාව තමන් වෙනුවෙන් කරුණු දක්වන්නට නීතීඥ යූ.ආර් ද සිල්වා මහතාගේ සහය ලබා ගෙන තිබු අතර ඒ අනුව විත්තිපාර්ශවය වෙනුවෙන් නීතීඥ යූ.ආර් ද සිල්වා මහතාගේ කණිෂ්ඨ නීතීඥවරයෙකු පොලසීසියට පැමිණ සිටියේය. ගෝ රයිට් සංවිධානය වෙනුවෙන් පැමිණිලි පාර්ශවය නියෝජනය කරමින් නීතීඥ සේනක පෙරේරා, නීතීඥ තුෂාර එන් දස්කොන්, නීතීඥ නිමේෂ් මාන්නප්පෙරුම සහ මෙම සමූහ මිනිස් ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වූ සුදේශ් නන්දිමාල් සහභාගී විය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරුන් පවසා සිටියේ මෙම බැලුම්ගල වැඩසටහන මගින් පැහැදිලිවම අපරාධ වරදක් සිදුකර ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර සාධාරණ නඩු විභාගයක් පවත්වන ලෙසත්ය. විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරයා සහ එම නාලිකාවේ ප්‍රවෘත්ති කළමණාකාරවරයා පවසා සිටියේ තමන්ට ලබා දෙන්නට ඇති කටඋත්තරය පමණක් අද දිනයේ පොලීසියට ලබාදෙන බවත් යම් අපරාධ වරදක් තම නාලිකාව විසින් සිදුකර ඇත්නම් එය අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව ඔස්සේ විමර්ශණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්ය.

මෙහිදී පැමිණිලි පාර්ශවයේ නීතීඥවරුන් කරුණු දක්වමින් පවසා සිටියේ දැනටමත් මෙකී වැලිකඩ සමූහ මිනිස් ඝාතනයේ සාක්ෂිකරුවන් ගෙන් සුදේශ් නන්දිමාල් පමණක් සාක්ෂිකරුවකු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේතුවට තම සංවිධානය විසින් ඉදිරිපත් කලේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය ගැන තම සංවිධානය වගකීමෙන් කටයුතු කරනු ලබන බැවින් බවයි.නමුත් නෙත් FM නාලිකාවේ උක්ත වැඩ සටහන මගින් මෙකී සමූහ මිනිස් ඝාතනයේ තවත් ඇසින් දුටු සාක්ෂිකරුවකු වන සහන් ශ්‍රී කීර්ති නැමැත්තා කිසිදු වග විභාගයකින් තොරව රටටම නිරාවරණය කරන්නට කටයුතු කරනු ලැබ ඇති නිසා මේ වන විටත් මෙකී සාක්ෂිකරුට ජීවිත අවධානමක් ඇතිව ඇති බවත් පෙන්වා දෙනු ලැබීය.

මෙකී නාලිකාව විසින් මේ සිංහල කොටියැයි කියන අයට එරෙහිව ඉදිරිපත් කරන චෝදනාවන් සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවයේ නීතීඥයන් කරුණු අනාවරණය කරනු ලැබීය.සිංහල කොටි කියලා කියන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සෘජුව සම්බන්ධතා තිබිච්ච,ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් තිබුනු කාලයේ ඒ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට උඩගෙඩි දුන්න,කළු කොටි හංගගෙන හිටපු,පුපුරණ ද්‍රව්‍ය හංගනෙ හිටපු,ඒවා ප්‍රවාහනය කරපු,ලංකාවේ මේ කොළඹ අවට නාගරික ප්‍රෙද්ශ වල සෑහෙන ඝාතනයක් ප්‍රමාණයකට වගකිවයුතු, කණ්ඩායමක් ලෙසත්, මෙකී නාලිකාව විසින් හුවාදක්වන බව ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබීය.තව දුරටත් කරුණු දක්වන මෙකී මාධ්‍යෙව්දීන් දෙදෙනා පවසන්නේ මේ අය පසුගිය කාලයේ හිටියේ ඇතුලේ,මේ අයට දඩුවම් ලැබුනා.මේ ලගදී තමයි මේ අය නිදහස් වුනේ යන්න බවත් වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබීය.

මේ චෝදනා අප සංවිධානය නීතීඥ වරුන්ගෙන් සමන්විත මානව හිමිකම් සුරැකීමේ සංවිධානයක් ලෙස ඉතා බරපතල චෝදනා වශයෙන් සළකනු ලබන බව මෙකී නීතීඥවරයන් පෙන්වා දෙනු ලැබීය. ඒ අනුව පැමිණිලි පාර්ශවයේ නීතීඥවරයන් විසින් පවසා සිටියේ මෙකී චෝදනා ඔප්පු කරන්නට සාක්ෂි ඇත්තම් ඒවා පොලිසිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව මෙකී නාලිකාවේ ප්‍රවෘත්ති කළමණාකරු පවසා සිටියේ මෙකී ලින්ක් සම්බන්ධ සියළු තොරතුරු තමන් සතුව ඇති බවත් ඒවා ඉදිරිපත් කළහැකි බවත්, මෙම අවස්ථාවේදී කරුණු දැක්වීම පැමිණිලි පාර්ශවයෙන් පමණක් සිදු කරන බවත් ඔහු පෙන්වා දුන් නිසා විත්තිපාරශවයට අදාල කරුණු සම්බන්ධයෙන් තම කටඋත්තරයේ දී සදහන් කරන ලෙසත් එකී චෝදනා වලට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පැමිණිලිපාර්ශවය විසින් ඉල්ලා සිටිනු ලැබීය.

වැඩි දුරටත් කරුණු දක්වමින් පැමිණිලි පාර්ශවයේ නීතීඥවරයන් පවසා සිටියේ මෙකී සහන් ශ්‍රී කිර්ති නැමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අංගුවට ගෙන වසර හතකට වඩා වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිබවත්, යාපනය මහාධිකරණයේ නඩු අංක HC 1607/12 දරණ නඩුවේ වගඋත්තරකරුවෙකුව සිට දීර්ඝ නඩු විභාගයකින් පසුව සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ බවත්ය.

තවද මේ නඩුවේම කරුණු වලට අදාලව ඔහුට විරුද්ධව ගම්පහ මහාධිකරණයේ HC 108/12 දරණ නඩුවරක් පවරා තිබූ බවත් එකී නඩුව නීතීපති දෙපාර්ථමේන්තුව විසින් ඉල්ලා අස්කර ගත් බැවින් ඔහු නිදොස්කෙට නිදහස ලැබූ බවත්ය. ඒ අනුව ගරු මහාධිකරණයේ උගත් වින්ශ්චයකාරවරයා විසින් ලබා දුන් තීන්දුව නෙත් FM නාලිකාව විසින් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ගරු මහාධිකරණයේ උගත් විනිශ්චයකාරවරයා විසින් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ පුද්ගලයෙකු ත්‍රස්තවාදී කටයුතු වලට අදාලව දඩුවම් ලැබූ බව පැවසීමෙන් ගරු උගත් මහාධිකරණ විනිශ්චයකාරවරයා ලබා දුන් තීන්දුව ප්‍රසිද්ධියේ විවේනයට ලක්කිරීම මගින් ශ්‍රී ලංකා ජනරජයේ ගරු මහාධිකරණයට බරපතල අපහාසයක් කර ඇති බවත්ය.

මෙකී නඩුවේ තීරණය සම්බන්ධයෙන් ගරු ශ්‍රී ලංකා ජනරජ නීතීපතිවරයා සෑහීමකට පත්නොවුයේ නම් එතුමාට පැහැදිලිවම මෙකී නඩුවේ තීරණයට එරෙහිව ගරු අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නට හැකියාව තිබූ බවත් එසේ අභියාචනයක් ඉදිරිපත් නොකිරීමෙන් ගම්‍යමාන වන්නේ ගරු උගත් මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ තීරණය ගරු නීතීපතිවරයා විසින් පිළිගෙන ඇති බවත්ය.

ඒ අනුව මෙකී පැමිණිල්ලේ නීතීඥවරයන් විසින් පවසා සිටියේ මෙකී වැඩසටහන මගින් ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ උක්ත වගන්තීන් උල්ලංඝණය කිරීමට අමතරව පැහැදිලිවම අධිකරණයට අපහාස කර ඇති බැවින් මෙකී නාලිකාවට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ගරු අධිකරණයට කරුණු වාර්ථා කර නඩුවක් ගොනුකරන ලෙසත්ය.

මෙහිදී පොලිස්ථානාධිපතිවරයා විසින් පවසා සිටියේ තම ඉහළ නිළධාරීන් සමගද මේ සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කළ බවත් මෙකී පැමිණිල්ලේ සිද්ධිමය සහ නීතිමය කාරණා ඉතා බරපතල ඒවා වන බැවින් තමන්ට තනිමතයට නඩුවක් ගොනුකළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් වහාම ගරු ශ්‍රී ලංකා ජන රජයේ නීතීපතිවරයාගෙන් උපදෙස් ලබා ගෙන නඩු පැවරීම උචිත යැයි තමන් කල්පනා කරන බවත්ය. මෙහිදී පැමිණිලි පාර්ශවයේ නීතීඥවරයන් පවසා සිටියේ අවශ්‍ය නම් ලංකා නීතියේ ප්‍රතිපාදන ප්‍රකාරව දැනටමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර මෙකි නාලිකාවේ අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට තරම් නෛතික තත්ත්වයක් පැහැදිලිවම උද්ගතව ඇති බවත් ඒ අනුව බී වාර්ථාවක් මගින් නඩුවක් අධිකරණයට ගොනුකර පසුව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළහැකි බවත් මෙකී නඩුවේ නීතිමය සහ සිද්ධිමය කරුණු වඩාත් බරපතල යැයි ගරු උගත් මහේස්ත්‍රාත්වරයා කල්පනා කරන්නේ නම් එතුමාට මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයාගේ උපදෙස් පතන්නට හැකි නිසා මෙකී කාරණය සම්බන්ධයෙන් අධිකරණයට නඩුවක් ගොනු කිරීමේ බාධාවක් පොලිස්ථානාධිපතිවරයාට නොමැති බවත්ය.

නමුත් මෙහිදී දීර්ඝව කරුණු සැළකර සිටි පොලිස්ථානාධිපතිවරයා පවසා සිටියේ තමන්ට පෙනෙන තරමට මෙකී පැමිණිල්ලේ නීතිමය සහ සිද්ධිමය කරුණු ඉතා බරපතල වන බැවින් මෙකී නඩු පැවරීම ගරු නීතීපතිවරයාගේ අභිමතය පරිදි සිදු කිරීම වඩාත් ප්‍රායෝගික වන බවත්ය. පසුව මේ සම්බන්ධයෙන් එකග වූ දෙපාර්ශවය ඒ ආකාරයෙන් ගරු නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් පසු ඉදිරි කටයුතු ඉටු කරනවාට තමන්ගේ විරෝධතාවයක් නැති බවට පොලිස් පොතෙහි සටහන් කරනු ලැබීය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ ගෝ රයිට් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ නීතීඥවරයන් පවසා සිටියේ තමන් විසින් නෙත් නාලිකාවට විරුද්ධව එල්ලකරනු ලබන චෝදනා සමථකළ හැකි චෝදනා නොවන බැවින් මෙකී ගැටලුව අධිකරණයෙන් මිස විසදන්නට වෙනත් කිසිදු ක්‍රමවේදයකට තමන් සූදනාම් නොමැති බවය.

GO RIGHTS COLLECTIVE