Environment, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Poverty, Puttalam

“අප වැනි කුඩා දරුවන්ටත් වැටහෙන දේ ජනාධිපතිතුමනි, ඔබට වැටහෙන්නේ නැද්ද ?”

පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනවිලූන්දාව, මානෙල් වත්තේ මේ වන විට ඉදිවෙමින් පවතින එල් – ටොරෝ පුද්ගලික සමාගමේ (El – Toro Roofing Products Ltd.) සෙවිලි තහඩු කර්මාන්තශාලාව හේතුවෙන් ආනවිලූන්දාව අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා ජන ජීවිතයට බරපතල බලපෑම් එල්ලවී ඇතැයි ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් පවසයි. එම තත්ත්වය තුළ ප්‍රදේශයේ දරුවන් ද සිරිසේන ජනාධිපතිවරයාට ලිපි පවා ලියමින් ඉල්ලා සිටින්නේ මෙම පරිසර පද්ධතිය සහ ජන ජීවිතය බේරා දෙන ලෙසය.

පහත පළවන්නේ ළමුන් විසින් ජනාධිපති සිරිසේනට ලියූ ලිපි කිහිපයකි!

“අප වැනි කුඩා දරුවන්ටත් වැටහෙන දේ ජනාධිපතිතුමනි, ඔබට වැටහෙන්නේ නැද්ද ?” සිසු දරුවෝ අසති

Letter01

##

letter04

##

ආනවිලුන්දාව රැම්සා තෙත්බිමත් ජනජීවිතත් අනතුරේ !!!

සුපුන් ළහිරු ප්‍රකාශ්
[ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය]

පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනවිලූන්දාව, මානෙල් වත්තේ මේ වන විට ඉදිවෙමින් පවතින එල් – ටොරෝ පුද්ගලික සමාගමේ (El – Toro Roofing Products Ltd.) සෙවිලි තහඩු කර්මාන්තශාලාව හේතුවෙන් ආනවිලූන්දාව අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා ජන ජීවිතයට බරපතල බලපෑම් එල්ලවීමේ අවධානමක් පවතී. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආනවිලුන්දාවේ ජනතාවගේ හිස මතට කඩා වැටුණු මෙම හෙන ගෙඩිය ඉවත් කිරීමට මෛත්‍රී පාලනයටද මේ දක්වා නොහැකිවීම කණගාටුවට කරුණකි. විල්පොත පේමානන්ද හිමියන් ප්‍රමුඛව ප්‍රදේශයේ ජනතාව මෙම අවධානම් සහගත කර්මාන්තශාලාව තම ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටියද සියළු බලධාරීන් මේ දක්වාම සිටින්නේ නෑසුණු කන් ඇතිවය. ඒ හැර සිදුවී ඇති එකම විශේෂිත සිදුවීම වන්නේ මෙම අරගලය පසුපස සිටි ප්‍රජා නායකයන් තිදෙනෙකුට එරෙහිව, මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වලට අවහිරතා ඇති නොකරන ලෙස අධිකරණ නියෝගයක් ලැබීම පමණි.

අන්තර්ජාතික වටිනාකමක් සහිත රැම්සා තෙත්බිම් ලේඛණයේ ( Ramsar List of Wetlands of International Importance ) අංක 1078 යටතේ ලේඛණගත කර ඇත ආනවිලුන්දාව තෙත්බිම ශ්‍රී ලංකාවේ දෙවැනි රැම්සා තෙත්බිම ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ වර්ෂ 2001 අගෝස්තු 03 වැනිදා ය. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් 1997 ජුනි මස 11 වැනිදා ආනවිලුන්දාව අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එහි විශාලත්වය හෙක්ටයාර් 1400 පමණ වේ. මෙම සොබා උරුමයට ඉතා ආසන්නව උක්ත කර්මාන්තශාලාව ඉදිකෙරෙන අතර 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත අංක 859/14 දරන ගැසට්‌ නිවේදනය අනුව අභය භූමියක්‌ තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100ක්‌ ඇතුළත යම් සංවර්ධන ක්‍රියාකාරකමක්‌ සිදු කිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීමට ව්‍යාපෘති කරුවන් නීතියෙන් බැඳී සිටී. නමුත් මෙම ව්‍යාපෘති කරුවන් එසේ සිදුකර නොමැත.තවද සෙවිලි තහඩු කර්මාන්ත ශාලාව හේතුවෙන් ජල පද්ධතියට සිදුවන බලපෑම් නිසා ඉදිරියේදී මෙම ප්‍රදේශයේ ජනතාවට විශේෂයෙන් වියලි කාලයේදී දැඩි ජල හිඟයකට මුහුණදීමට සිදුවීමේ අවධානමක් පවතී. යෝජිත කර්මාන්ත ශාලාව සඳහා දිනකට ජලය ඝණ මීටර් 164 ( ජලය ලීටර් 164,000) අවශ්‍යය. නමුත් ජල සම්පත් මණ්ඩලය යෝජන කර ඇත්තේ දිනකට ලීටර් 45000 ක් භූගත ජලයෙන් ලබාගන්නා ලෙසයි. එය කර්මානත් ශාලාවට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් 25% කි. ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ලිං කිහිපයක් ඉදිකිරීමට යෝජනා කර ඇත. ප්‍රදේශයේ ඇති ජල ප්‍රභවයන් සැලකූ විට නිෂ්පාදන ලාභය සඳහා ජල අවශ්‍යතාවය ප්‍රදේශයේ භූගත ජලයෙන්ම ලබාගත යුතුය. මෙසේ අධික ලෙස භූගත ජලය ලබා ගැනීම නිසා පස් වල ඇති පාරගම්‍යතා සංගුණකය සැලකූ විට පිරිසිදූ ජලය හා මිනිස් පරිභෝජනයට නුසුදුසු ජලධර මිශ්‍ර වීම වැලැක්වීය නොහැක. එමෙන්ම මිරිදිය ජලය ලබාගැනීම නිසා ඇතිවන ජල රික්තය පිරවීමට කරදිය ජලය රට අභ්‍යන්තරයට පැමිණීම වැලැක්විය නොහැක. මේ බව ජල සම්පත් මණ්ඩලය මගින් සිදූ කල ජල පොම්පකිරිමේ පරික්‍ෂාවෙන් ද තහවූරු වී ඇත.

අප මින් පෙර අවස්ථා ගණනාවකදී ආනවිලුන්දාවට ගොස් ඇත්තේ පක්ෂීන් නැරඹීම සඳහා ය. නමුත් මෙවැනි තීරණාත්මක මොහොතක පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම ලියුම්කරු යලිත් ආනවිලුන්දාවට යන්නේ ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරිකයෙකු ලෙස මෙම සොබාදහමේ අමිල දායාදය රැකගැනීම හා මේ බිමේ සැබෑ භූමි පුත්‍රයන්ගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂාකිරීම වෙනුවෙන් ලබා දිය හැකි සහයෝගයක් වෙතොත් ලබා දීමේ අරමුණෙනි. පසුදා එනම් ඉකුත් විසිවැනිදා උදෑසන ආනවිලුන්දාව රැම්සා තෙත්බිම තදාසන්නයේ පිහිටි පාසලක ( එම පාසලේ විදුහල්පතිතුමා, ගුරු භවතුන් හා අහිංසක දුවා දරුවන්ගේ ආරක්ෂාව පිණිස පාසලේ නම සඳහන් නොකිරීම වඩාත් යෝග්‍ය බව සිතමි) සිසු දරු දැරියන් දැනුම්වත් කිරීමේ පාසැල් පරිසර වැඩසටහනක් ආනවිලුන්දන්පත්තු පරිසරය සුරැකීමේ සංවිධානයේ සහයෝගය ඇතිව අප විසින් සංවිධානය කළෙමු. එහිදී ආනවිලුන්දාව රැම්සා තෙත්බිමෙහි ඇති වටිනාකම හා අනාගත අභියෝග පිළිබඳව දරු දැරියන්ට අවබෝධයක් ලබා දීමට අපට හැකිවිය.

එම වැඩසටහනේ එක් අංගයක් ලෙස සිදුවීමට යන විපත පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුකරවීම පිණිස සිසු දරු දැරියන් විසින් තමන්ට වැටහෙන ආකාරයෙන් ලිපි කිහිපයක්ද ලියා අප වෙත ලබා දීමට කටයුතු කළේය. මෙහි පහතින් පලවන්නේ එම ලිපි වලින් තෝරා ගත් ඒවා කිහිපයකි. ආනවිලුන්දාවට හා තමන්ගේ ජීවිත වලට එල්ලවී ඇති තර්ජනය පිළිබඳව ඒ පුංචි හිත්වලට වැටහෙන බරපතල කාරණා, මෙරට බලධාරීන්ට නොවැටහෙන කාරණා ඔබට වැටහෙන්නේ දැයි විමසා බලන ලෙස අප දයාබරත්වයෙන් යුතුව ආරාධනාකර සිටිමු.

DSCF6878

box

DSC00646