‘‘මතක තියා ගන්න ඕනෑ…රතු කුරුස හමුදාවේ හෙදියන්ට අපේ නායකයා හදවතින්ම ආදරය කරන බව….ඒ වගේම ඔබලාත් එතුමාට හදවතින්ම ගරු කළ යුතුයි‘‘ ඉන් අනතුරුව අප සියලු දෙනාම දකුණු අත ඉහළට ඔසවා ‘හිට්ලර් දිනේවා‘ කියා මහ හඩින් කෑ ගැසූවෙමු. ‘ඔය හිට්ලර් කියන මෘගයා විනාශ වේවා..‘ මම සිතින් යැද්දෙමි ( උපුටා ගැනීම-Edith Hahn Beer the Nazi Officer’s Wife කෘතියේ රංජිත් කුරුප්පු පරිවර්තනය කළ ‘යුද්ධයේ අතුරුකතාවක්‘ කෘතියෙනි)

_________________________________________________________________

මහින්ද රාජපක්ෂගේ ‘පංසල් දේශපාලනයේ‘ අභයාරාම කාර්යාලයේ සිදුකළ දේශපාලන සාකච්ඡාවක් අහම්බෙන් ඊයේ(16) දුටුවේ පසුගිය ජනවාරි 8ට පෙර මෙන් ‘රාජපක්ෂගේ දෛනික වැඩකටයුතු සියලු දේවල් ප්‍රවෘත්ති‘ යැයි සිතා එය තමන්ගේ නාලිකාවේ ‘දමන‘ දෙරණ ප්‍රවෘත්තියකයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මංත්‍රීවරුන් සහ ජයඅබිමානී නැමති සංවිධානයක සාමාජිකයන් ඇතුලු පිරිසක් සමග කරන සාකච්ඡාවක් ඔවුන් එසේ ප්‍රසිද්ධ කර තිබුණි. එම රැස්වීමේදී එක් අයෙක් මෙසේ කීවේය.

‘මම ඉල්ලීමක් කරනවා! මම මේ අපේ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා, අපි රිං ටෝන් එකට දාගමු අපි ‘මහරජාණෝ කියන‘ රිං ටෝං එක දාගමු. කියලා මම ඉල්ලීමක් කරනවා‘ යැයි එම රැස්වීමට පැමිණ සිටි එක් අයෙක් කීවේය.
MR 400
ඒ කීවේ තමන් විසින් වසර ගණනක් පෝෂණය කළ වැඩවසම් භාවයේ, වහල් බසක් බව තේරුම් ගන්නට තරම් රජපක්ෂට ඥාණයක් තිබුණේ නැත. ඒ බසට තවත් එකතු කළ රාජපක්ෂ මේසේ කීවේය. ‘එයිට වඩා හොදයි අප්පච්චී කියලා දාගමු‘.

අපි ඉන්නේ කොහේද? කවදා ද? මේ සාකච්ඡාව ඇසූ විනාඩි එකහමාර තුල මතු වූ තවත් ප්‍රශ්ණයකි. එපමණක් නොවේ, මෙය දුටු විට සිහියට එන්නේ පැරණි කතාවල වහලෙක් හා රදල ඉඩම්හිමියෙක් අතර නැතිනම් වහලෙක් සහ වහල් හිමියෙක් අතර සිදුවන කතාබහක එක් පැතිමානයකි. ලංකාව පසුගිය ලාකය පුරාම රාජපක්ෂ විසින් තල්ලු කලේ එවැනි වැඩවසම් සමාජයකටය. එහි අවතාර දැනුදු තිබෙන බවට මෙයින් මනාවට පෙන්නුම් කරයි.

විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභාවල සිටින තරබාරුකම පමණක් හිමිකර ගනිමින් මොළේ කළදක් නැති සුදු සරම් ඇදගත් මංත්‍රීවරුන් ලියුම්කරු ඕනෑතරම් දැක තිබේ.

නමුත් අද ඒ කුණු ගහන බඩේ සහ ඇගේ තිබුණු වහල්භාවයේ පිළුනු ගද දෝර ගැලුවේය. ලෝකය දියුණු ශිෂ්ඨ සංස්කෘතීන් අභ්‍යාස කරමින් ඉන්නා මොහොතක මෙවැනි ජනතා නියෝජිතයන් වැඩවසම් බවේ ගැඹුරුම තැන් ස්පර්ශ කරමින් සිටින්නේ නොවේද? ඔවුන් විසින් පහල ට රැගෙන යනු ලබන්නේ මේ වැඩවසම් මනෝභාවය නොවේද? වහල් බවේ ප්‍රකාශණයන් නොවේද?

යුද්ධයෙන් පසුව රාජපක්ෂ විසින් මිනිසුන්ගේ ඔලුව, බඩ, පුක අතගා ගොඩනැගු ඒ අසංස්කෘතික තත්ත්වය තුළ අද ද මිනිසුන් ගිලී හිරී වැටී තිබේ. තමන් වහලෙක් බවට පත් වී තමන්ගේ ඡන්දයෙන් පත්කර හරින එක් මිනිසෙක්ට රජෙකු ලෙස අමතන්නට තරම් අපේ මේ මිනිසා, නැත රාජපක්ෂ විසින් ගොඩනැගූ වහල්, වංදිබට්ට තත්ත්වයට මේ මිනිසුන් පිරිස වැටී තිබේ. මහින්දට ‘රජා‘ කියනකොට, ඉබේම තමන් ‘වහලෙකු‘, ‘යටත්වැසියෙක්‘ වන බවට පත්වෙන බවක් හිතෙන්නට රාජපක්ෂ පාලනය කාලය තුළ කල වින්නැහිය ඉඩ තබා නැත. (එය රාජපක්ෂ විසින් සිතාමතා, මුදල් වියදම් කර සිදුකල දෙයක් බවට අමතක නොකරන්න. තමන්වෙනුවෙන් ගීත හදන්නට, චිත්‍රපට යැයි කියන කසිකබල් රෑප රාමු ගැන සිහියට ගන්න.)

මිනිසුන් එවැනි මහා අසංස්කෘතික, වැඩවසම් තත්ත්වයකට පත්කර ඒ මතින් තමන්ගේ ආධිපත්‍ය උත්කෘෂ්ඨ කර ගත් පාලකයෙක් සමාන වන්නේ ෆැසිස්ට් පන්නයේ පාලකයෙක්ට ය.

ඒ ෆැසිස්ට් පන්නය යලිත් ඉස්මතු කරමින්, රාජපක්ෂ විසින් පෝෂණය කල ඒ වහලා ‘මහරජාගේ රිං ටෝං‘ ගැන කියද්දී, රාජපක්ෂ කීවේ ‘අප්පච්චී ඊට වඩා හොදයි‘ කියාය. මෙයින් කියැවෙන්නේ තව දුරටත් මිනිසුන්ගේ හිරිවැටුනු චින්තනය තවදුරටත් හිරි වට්ටා ‘මම තමයි උඹලෑයේ එකම එකා‘ යන්න නොවේද? එපමණක් ද නොවේ කිසිදා ප්‍රශ්ණ නොකරන, සංවාද නොකරන, කිසිදු බුද්ධිමය දේශපාලන සාකච්ඡාවකට ඉඩ නොතබමින් සිය පාක්ෂිකයා පත්කරන ‘චින්තනය‘ තවමත් රාජපක්ෂ විසින් පෝෂණය කරනු ලබන්නේ ය. එය ඔහු විසින් වසර ගණනාවක් පුරා අභ්‍යාස කළ නිසා ඔහුට අද ඉන් පාඩුවක් සිදු වී නැති බවක් ඔහුට සිතෙන්නට ඇති. රාජපක්ෂවරුන්, ඇස් පනාපිට ජනතා මුදල් ගසා කෑ බවට චෝදනා කරමින් වංචා හෝ දූෂණ කොමිෂන් සභාවේ ලිපිගොනු පිරී යද්දී, රාජපක්ෂලා දූෂණවලට චෝදනා ලබමින් සිර ගෙදරින් බන්ධනාගාර රෝහලට යද්දී, මහින්ද ගේ භාර්යාව හෙවත් ශිරන්ති සිය බැංකු ගිණුම සදහා භාවිතා කර ඇත්තේ ලංකාවේ කාටවත් නැති අසාමාන්‍ය හැදුනුම්පත් අංකයක් යැයි පැවසෙද්දී, එසේ රාජපක්ෂ වරුන්ගේ දූෂණ ගැන ලෝකයම සාකච්ඡා වෙද්දී රාජපක්ෂ විසින් ‘වහල්භාවයේ පැං‘ පොවා පෝෂණය කළ වහලුන් ‘නෑ…යකෝ.. නෑ… ඔව්වා බොරැ‘ යැයි කියන්නට මිනිසුන්, නැත වහලුන් මහපාරට එන්නේ එබැවිනි. (මක්නිසා ද යත්, රාජපක්ෂගේ වටේ ඉන්නා ඇත්තන්, නිදහස් මිනිසාට මෙන් සිතන්නට ඇති සියලු ඉන්ද්‍රියන්, රාජපක්ෂගේ තක්කඩි වහසි බස් වලින් සහ වරදාන වලින් වසා දමා ඒ වෙනුවට රාජපක්ෂ කුමක් කලත් රාජපක්ෂට අවශ්‍ය ලෙස හැසිරෙන හෙවත් ‘රාජපක්ෂ වහලෙක්‘ කර ඇති බැවිනි.)

එබැවින් ලංකාවේ මේ ඛේදවාචකයට සිය කැමැත්තෙන් මුහුණු දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ අනිකුත් එහෙයියන් මෙවැනි හිරිවැටුනු ඔලුවක් ඇති ශරීර දැන්වත්, අවම වශයෙන් තමන්ගේ පොඩි එකාගේ සමාජ අධ්‍යනය පොත හෝ කියවා නැවත වරක් සිතන්නට යෝජනා කරමු. නැතිනම් අනාගතයේදී මේවැනි වීඩියෝ දසුන් දකින ඔබේ දරුවන් ඔබට ශාප කරාවි.

නමුත්

මහින්ද රාජපක්ෂ, මිනිසුන්ගේ මණස මෙවැනි වහලුන්ගේ තත්ත්වයට ඇද දමා තමන්ගේ සියලු කුණු කන්දල් වසා ගැනීමටත් ඒ මතින් තමන්ගේ ආධිපත්‍ය උත්කර්ශයට නංවාලීමටත් දරණ උත්සහයට කවදා හෝ නුඹට වන්දි ගෙවන්නට සිදුවේවි. වෙජිටේරියන් කෑ හිට්ලර් මේසේ හැසිරුණු අවස්ථා බොහොමයක් ඇත. නමුත් ඔහු මියැදුනු ආකාරය සොයාගෙන කියවන්න. හිට්ලර්ගේ මියයාමෙන් පසුව ජර්මනියේ වගේම ලෝකය පුරා ශිෂ්ඨ සමාජය අද හිට්ලර් ගැන කියන, ලියන කතාත් කියවන්න, අසන්න. අමාරුනම් වාසු වැනි බබාලාගෙන් අසාගන්න. ඔබට ඔබව ‍පෙනේවි.

එබැවින් ඉකුත් ජනවාරි 8 දා ලංකාවේ පුරවැසියන් රාජපක්ෂ පරාජය කරමින් ලබා ගත් ජයග්‍රහණයේ මාවත වඩා ඵලදායක ඉදිරියකට ගෙන යා හැකි වන්නේ රාජපක්ෂ විසින් ගොඩනැගූ මෙන්ම අදද ගොඩනගා ගෙන යනු ලබන මෙම වැඩවසම්, වහල් මනෝභාවයන් වලින් සමන්විත රාජපක්ෂගේ මෙවැනි මුග්ධ තත්ත්වයනුත් පරාජය කිරීමෙනි. එය ඉදිරියේදී ලංකාවේ දේශපාලනය තුළ පුරවැසියන් විසින් ඉටුකළ යුතු ඉතා වැදගත් දේශපාලන ක්‍රියාවලියකි.

(කෙසේ නමුත් ස්තූතියි දෙරණට, රාජපක්ෂගේ සහ ඔහුගේ සුවච කීකරු ගෝලයන්ගේ මෙවැනි වැඩවසම් කතා ඇතුලත් වීඩියෝ පට ප්‍රසිද්ධ කලාට..)