ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, ස්ථාපිත කිරීම සඳහා කරනු ලබන අරගලය, තව මසකටත් වඩා අඩු කාලයකදී ප්‍රධාන පරීක්ෂණයකට භාජනය වනවා ඇත. ඡන්ද දායකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන්, රටේ ඉරණම තීරණය කරනු ලබන නීති සම්පාදකයන් ලෙස ඊළඟ වසර පහක කාලය සඳහා පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නවා ඇත. ජාතික රජයක් බිහි කර, තුන් වැනි ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම තුලින්, යුද්ධයෙන් විනාශයට ලක් වු බහු වාර්ගික, බහු ආගමික රට, සංහිඳියාවට පත් කරන ලද සසිරිමත් ජාතියක් කරා ඉදිරියට ගෙනයෑම කෙරෙහි සියළු බලාපොරොත්තු දැල්වී ඇත.

ගැටළුව වනුයේ මෙම බලාපොරොත්තු සහගත ගමන අමිහිරි අතීතයට ඉඩ දෙමින් අනපේක්ෂිත ලෙස අවසන් කරනවාද, නැතහොත් අතීතයෙන් වෙනස්වීමට ඉඩ දෙන සුසමාදර්ශ ‘පැරඩයිම‘ වෙනසක් දරා ගැනීමට තරම් ජනතාව සුදානම් ද යන්නයි.

‘යහ පාලනය‘ කරා යන ගමන සත්‍ය වශයෙන්ම ජනවාරි 9 වන දා ජනාධිපති සිරිසේන දිව්රුම් දුන් අවස්ථාවේ සිට ආරම්භ විය. ඊට කලින් පැවති රෙජීමයේ අත්තනෝමතික පාලනය නිමාවට පත් කරන ලදි. නව අග විනිසුරුවරයෙකු දිවුරුම් දෙන ලද අතර අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කරන ලදි. සිවිල් පරිපාලනය මිලිටරිකරණය කිරීමේ ක්‍රියාදාමය නිමා වී ඇත. ස්වයංව ලංකාවෙන් පිටුවහල් වී වසන පුවත්පත් කලාවේදීන්ට සහ මානව අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිකයන්ට යළි ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කෙරුණි. අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස ප්‍රතිෂ්ඨාපනය කරන ලද අතර සුදු වෑන් මගින් කරනු ලබන පැහැර ගැනීම් නතර වී තිබේ. කාලය ගතවී යද්දී භීතිය පිළිබඳ සිතුවිළි පහව ගොස් ඇත. ජීවන වියදම සෑහෙන තරමින් අඩු වී ඇත. දූෂණ පිළිබඳ පරීක්ෂණ සහ දූෂණවලට එරෙහිව පියවර ගැනීම පටන් ගැණිනි. එපමණක් නොව විදේශීය දූත මණ්ඩලවලට කරන ලද දේශපාලන පත් වීම් සීමා කර ඇත. උතුරු සහ නැගෙණහිර පළාත් සභා සමඟ සම්බන්ධතා වැඩි දියුණු වී ඇති අතර ප්‍රධාන රටවල් සමඟ ඇති ජාත්‍යන්තර සබඳතා යහපත් බවට පත් වෙමින් තිබීම සුවිශේෂිත ය.

එහෙත් හිටපු ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන් විසින් දේශපාලන බලය යළිත් දිනා ගන්නට දරනු ලබන උත්සාහය නිසා ඉදිරියට යෑමට තිබෙන බලාපොරොත්තු සහගත වැදගත් ගමනේ අඩිතාලම් දෙදරුම්කමින් තිබේ. ඔවුන්ට එරෙහිව නඟා ඇති අල්ලස්, දුරාචාර සහ බලය අයුතු ලෙස යෙදවීම පිළිබඳ ප්‍රකට චෝදනා පරීක්ෂණයට ලක් විය යුතුව තිබෙන අතර, ලජ්ජා රහිත ලෙස යළි බලය ඩැහැ ගැනීම සඳහා ඔල්මාද ජාතිකවාදය පතුරුවා හරින්නට ඔවුහු වෙර දරමින් සිටිති. මෙම ප්‍රයත්නය ‘මහින්ද චින්තනයේ‘ සහ එම චින්තනය ක්‍රියාවේ යෙදවූවන් ගේ ප්‍රධාන පාප කර්මයන් වසා ගන්නට ගනු ලබන අවසාන උත්සාහය බව ඉතා පැහැදිලිය. කිසිදු වග කීමකින් තොරව ඔවන් නිදහස් කර හැරීම මෙයට ඇති විකල්පය නොවේ.

සියළුම පාර්ලිමේන්තු නියෝජිතයන් ජනතාව විසින් ජනතාව උදෙසා තෝරා පත් කර ගැනේ. කිසිදු දේශපාලනඥයෙකු, තමන්, නැවත තෝරා පත් කර ගැනීමට උරුමයක් ලබා ඇතැයි හෝ ආණ්ඩුව මෙහෙයවීමට වරප්‍රසාදයක් ලබා ඇතයි හෝ නොසිතිය යුතුය. අනෙක් අතට, ඡන්ද දායකයෝ ඡන්ද අපේක්ෂකයන් වග කිව යුත්තන් බවට පත් කළ යුතුය. ඔවුන් කෙරෙහි ඔබ විසින් ආයෝජනය කර ඇති දේශපාලන ප්‍රාග්ධනය ඔවුන් විසින් වැය කොට ඇත්තේ කෙසේදැයි යන්නත්, ඔවුන් යළි තෝරා පත් කර ගැනීමෙන් ඔබටත් රටටත් ලැබෙන ප්‍රතිලාභ මොනවා දැයි යන්නත් ඔවුන්ගෙන් විමසා සිටිය යුතුය. කිසිම කෙනෙකු තමන් විසින්ම පක්‍ෂයකට හෝ අතීතයකට කොටු වී සිටිය යුතු නැත. ඒ වෙනුවට, අපේක්ෂකයන් කවුදැයි ඇගයීමකට ලක් කොට, ධනාත්මක වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, අනාගතය දෙස බලා, තම හෘදය සාක්ෂියට අනුව ඡන්දය පාවිච්චි කළ යුතුව ඇත.

මේ වන විට වැඩි දියුණු කර ගෙන ඇති දේශපාලන වාතාවරණය, තමන්ගේම පෞද්ගලික සම්පත්, තරාතිරම සහ සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා යොදා ගත් පුද්ගලයන් කවුදැයි යන්න හඳුනා ගැනීම වැදගත්ය. තමන්ගේ මුදලට ඡන්ද දායකයන් මිළයට ගත හැකි යයි ලඝු කොට සිතන්නට ඔවුන්ට ඉඩ නොදිය යුතුය. සියල්ලටම වඩාල දැනුම් තේරුම් ඇති ඡන්ද දායකයන්, ජනතා කැමැත්තට සහ ඔවුන්ගේ අභිලාෂයන්ට සැළකිල්ලක් නොදක්වන අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කරන ලද 19වැනි සංශෝධනයත් සමඟ, වැරදිවලට දඬුවම් නොකර සිටීමේ සංස්කෘතිය සහ අත්තනෝමතික පාලනය වෙත නැවත ආපසු ගමන් කරන්නට දරන ඕනෑම ප්‍රවණතාවයක් අතුගා දමන්නට හැකි තත්වයක අද රට පවතියි. එහෙත් ජාතික ගැටළුව සාධාරණ අයුරින් විසඳා ගන්නට දමිල දේශපාලන නායකයන් වෙත දෑත් දිගු කිරීමෙන් තොරව, නැතහොත් චෝදනා කොට තිබෙන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ලත් පරීක්ෂණ පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම වැනි ආකාරයේ බාධක ජාතික සංහිඳියා ක්‍රියාවලියට පැනවීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය උදෙසා වූ ගමන සම්පූර්ණ කර ගත නොහැකිය.

පරාජිත ජනාධිපති රාජපක්ෂ විසින් බලයේ සිටියදී කරන ලද ආරාධනාවකට අනුව මෙම වසර මුලදී ශ්‍රි ලංකාවට පැමිණි ප්‍රැන්සිස් පාප් වහන්සේ, මෙම ආදරණීය දේශයේ සියළු දරුවන් වෙත සංහිඳියාවෙන්, සාධාරණත්වයෙන් සහ සාමයෙන් පිරුණු අනාගතයක් ගොඩ නඟන්නට මෙහි පැමිණ සිටින සියළු දෙනාට ප්‍රබෝධයත් ශක්තියත් ලැබේවා, යන බලාපොරොත්තුවේ පණිවුඩය රටේ ජනතාවට ලබා දුන්හ. ඔහුගේ ආගමනයට දින කිහිපයකට පෙර දේදුනු විප්ලවය දියත් කළ ශ්‍රි ලාංකීය ජනතාව විසින්ම ආරම්භ කරන ලද යහපාලනය වෙත යන දුෂ්කර ගමනේ අවසානය කරා යන්නට ඔවුහු සමත් වන බවට කිසිදු සැකයක් නැත. වැදගත් සංක්‍රාන්තියක් යළිත් වරක් ඇති කිරීම සඳහා ජනතා බලය ගැන නැවතත් විශ්වාසය තබමින්, ශ්‍රී ලාංකීය ජනතාව අගෝස්තු 17 වන දා තෙක් මහත් අවදියෙන් සිටිය යුතුව තිබේ.

අඛණ්ඩව පවත්වා ගෙන යා හැකි සාමයත්, සෞභාග්‍යයත්. ජාත්‍යන්තර පිළිගැනීමත් නෙළා ගත හැකි වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රියකරණය, නීතියේ පාලනය, මානව අයිතීන්ට ගරු කිරීම සහ අන්තර්ග්‍රාහි පාලනය සඳහා තිබෙන සාමූහික දේශපාලන කැප වීම මත පමණකි.

(ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය ට අත්සන් තබා ඇත්තේ
ලයනල් බෝපගේ(සභාපති), අජිත් රාජපක්‍ෂ (ලේකම්) සහ රංජිත් වීරසිංහ(භාණ්ඩාගාරික) යන මහත්වරුන්ය.)