මොකද්ද මේ ලියුම් හුටපටය? එය මෑත ඉතිහාසය තුළ ඉතාම විරල අත්දැකීමකි. විශේෂයෙන් සිංහල දේශපාලනඥයින් අතර කෑ කෝ ගැසීමෙන් ඔබ්බට ගිය දේශපාලනයක් ගෙවී ගිය දශක කිහිපය තුළ දැක ගත නොහැකි වූ මුලික කාරණයකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රමය වූයේ දුරකථනය ඔස්සේ කුණුහරපෙන් බැනවැදීම හෝ තමන්ට හිතවත් පුද්ගලයෙකු මාර්ගයෙන් තමන්ට යටපත් කිරීමට අවශ්‍ය පුද්ගලයා අපහාසාත්මක ක්‍රමවේදයන් ඔස්සේ මෙල්ල කිරීමය.

නමුත් පැවති අප්‍රසන්න රටාව වෙනස් කරමින් යම් හැදියාවකින් සහ ඉවසීමක් සහිත පිළිවෙතක් යළි ආරම්භ වීම සැබැවින්ම පක්ෂ දේශපාලනය තුළ මතුවන අතිශය වැදගත් ප්‍රවණතාවයකි. දේශපාලන පක්‍ෂයක සුන්දරත්වය රඳා පවතින්නේ මෙවැනි දෑ මතය.

මාගේ මතකයේ හැටියට මේ ආකාරයෙන් ලිපිලියූ වැදගත් කෘතහස්ත දේශපාලඥයෙක් වන්නේ වීරසිංගම් ආනන්දසංගරීය. හෙතම දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් හට ලිපි ගණනාවක් ලිව්වේය. ඒවා මාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධ විය. උතුරේ කොල්ලන්ගේ යුධ මානසිකත්වය වෙනුවට දේශපාලන අවබෝධය ඇති කිරීම ඔහුගේ අපේක්ෂාව විය.

වරක් ආනන්දසංගරී මහතාගේ කොළඹ පිහිටි නිවසේදී, ඔහු ප්‍රභාකරන්ට ලිපි ලියා බලාපොරොත්තු වන්නේ කුමක්දැයි, මා අසු ප්‍රශ්නයට ඔහුගේ පළමු ප්‍රතිචාරය වූයේ චෙල්වනායගම්ගේ රාමු කරනු ලැබූ පින්තුරය දෙස බලා සිනහ වීම පමණි. ඉන් පසු කෙටි නිහඬතාවයකට සවන්දුන් හෙතම, භූමියේ ඇත්ත නොසලකා දේශපාලනය කළ හැකිනම් තමන් එසේ නොකරනු ඇතැයි සඳහන් කළේය.

ආනන්දසංගරී විසින් ප්‍රභාකරන්ට මල්ලි යැයි අමතා ලියනු ලැබූ දීර්ඝ ලිපිවල ගැඹුරු දේශපාලනයක් තිබුණි. නමුත් ප්‍රභාකරන් කිසිඳු විටක ඔහුට පිළිතුරු දුන්බවක් මා අසා නැති නමුත්, ප්‍රභාකරන් එම ලිපි කියවූ බව මා අසා ඇත. වාසනාවට හෝ අවාසනාවට මෙන් ඔහුට එම ලිපි කියවා ඉවත දැමීමට සිදු වූයේ, තම පූර්ව පිළිගැනීම් රාමුව තුළ අදාළ පැහැදිලි කිරීම් වලින් අපේක්ෂා කරන නම්‍යශීලීබාවයට කිසිඳු ඉඩක් නොලැබුන හෙයිනි. ඔහු අදාල ලිපි කියවා වෙනස් වූයේනම් ඔහුගේ දේශපාලනය වෙනස් ස්වරූපයක් ගැනීමට ඉඩ තිබුණි. නමුත් එය එසේ සිදු වූයේ නැත.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලියනු ලැබූ පිටු පහක ලිපිය මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ලිපියට කරනු ලැබූ කෙටි සහ අඥාන ප්‍රතිචාරය විමසීම වැදගත් වන්නේ පෙර කී අත්දැකීමට අනුව යැයි සිතේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ලිපිය මේ වන විටත් ඇතැම් දේශපාලන විචාරකයින්ගේ අවධානය දිනා ගෙන ඇත. ඉන් ඔබ්බට ගොස් එය සෑම දෙනාගේම පාහේ ආවදානය දිනාගත යුතු සමාජයේ කතාබහට ලක් කළ යුතු ලිපියක් බව අවිවාදිතය. මන්ද එහි ඇති දේශපාලනය ලංකාවේ ඉදිරි දේශපාලන ක්‍රමය හැඩගැසීම සඳහා අතිශය තීරණාත්මක වේ. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවීමද මෙහිදී ඉතා වැදගත් කාරණයකි. අදාළ පක්ෂයේ වත්මන් සභාපතිත්වය යටතේ ලියවෙන කදිම සහ ආකර්ශනීය දේශපාලනයක් ඇති බව ඒ අනුව පෙනී යන්නේය.

අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් පක්ෂයක වාසිය වෙනුවෙන් ලියනු ලැබූ දෙයක් ලෙස තේරුම් ගැනීම එතරම් ප්‍රඥාගෝචර නොවේ.

එය පක්ෂයට ඇති ආදරය හමුවේ ලියනු ලැබූ වේදනාවේ ප්‍රකාශනයකි. අනාගතයේ එල්ල විය හැකි චෝදනා වලට මුහුණ දීම සඳහා වූ පෙර සූදානමකි. අවංක පෙම්වතියක් විසින් තම සල්ලාල පෙම්වතාට ලියනු ලැබූ සංවේදී කරුණු දැක්වීමකි. එහි ඇති වැදගත් කම වූ කලී, තමන්ට ඇති අසීමිත බලතල නිකරුණේ භාවිතා නොකොට, දේශපාලනික වශයෙන් උද්ගත වී ඇති තත්වය පැහැදිලි කිරීමට උත්සහ දැරීමය. ජනවාරි 08 වැනිදා මෙරට ජනතාවගෙන් බහුතරය අපේක්ෂා කළ සහ එම අපේක්ෂාවන් වටා තව තවත් ජනතාව ඒකරාශී වෙමින් සිටින්නේ එහි ඇති මෙම ඉවසිලිවන්ත සහ ප්‍රසන්න දේශපාලනය හේතුවෙනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ ලිපිය ලිවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ලිපි ශීර්ෂය භාවිතා කරනු ලබයි. එසේම ඔහු අදාල ලිපියේ අත්සන තබා ඇත්තේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසය. එපමණක් නොව, අදාළ ලිපිය මාධ්‍යය වෙත ඍජුව එවීමට හෙතම තීරණය නොකළේය. දේශපාලනඥයෙකුගේ කෘතහස්තබාවය වූ කලී මෙයයි. එසේම මෛත්‍රී ඉතා වැදගත් කාරණා කිහිපයක් තම ලිපියේදී මතුකරනු ලබන අතර ඒ සියලුම කාරණා පක්ෂයේ කොඳු නාරටියට පණදීම ඉලක්ක කොට ලියනු ලැබූ ඒවාය.

ඊට පිළිතුරු ලබාදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ලිපිය ලියනු ලබන්නේ ජනාධිපති ධජය ඇතුළත් ලිපි ශීර්ෂයකට යටත්ව වන අතර එය ලියා අත්සන තබා ඇත්තේද හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසාක වශයෙනි. තමන්ගේ බිරිඳද , ජනාධිපති ආර්යාව ලෙස ලිපි ශීර්ෂ සකස්කොට විවිධ රාජ්‍යය සහ පෞද්ගලික ආයතන වලට බලාපෑම් කිරීමේ ගෝත්‍රකවාදී දේශපාලනයේ ඇති මානසිකත්වය යලිත් තේරුම් ගැනීමට අවස්ථාව මෙමඟින් ලබාදී ඇත. වඩාත් බරපතළ කාරණය වන්නේ, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ලිපියේ ඇතැම් කරුණු, මහින්ද රාජපක්ෂ මහතා විසින් සියුම් ලෙස අපහරණය කොට තිබීමය.

එහිදී, වඩාත් කැපීපෙනෙන කාරණය වූ කලී ඉදිරි මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාන්ත වශයෙන් බහුතරයක් ලබා ගන්නා බව මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කොට ඇතිබව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කිරීමයි.

එසේම, ජනාධිපති මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ලෙස විසඳීමට උත්සහ කරන ගැටලුව මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසක ලෙස විසඳීමට උත්සහ කිරීම තුළ නොකියවෙන බලහත්කාරී දේශපාලනයක් තිබේ.

එය සැබැවින්ම අප්‍රසන්නය. එමඟින්, තම නොඉවසීම සහ ගැඹුරු තණ්හාව මෙන්ම වෛරය වචනවලට පෙරළා ඇත. මෙය අවලංගු වූ දේශපාලනයක් ලෙස තේරුම් ගැනීමේ සම්මා සතිය ඔහුට නැත. ඔහුට මෛත්‍රීගේ ලිපිය තේරුම් ගැනීමට හෝ හැකියාවක් නොමැති බව ලෝකයට පෙන්වමින් සිටින්නේද? නොඑසේනම් අනෙකාගේ උසී ගැන්වීම් හමුවේ දශක ගණනාවක් එකට දේශපාලනය කළ අයවලුන්ට බුරමින් සිටින්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සහ දරනු ලබන්නේ මෙම මුලික කාරණය මහින්ද රාජපක්ෂ මහතාට තේරුම් කරදීමටය. නමුත් ගොඩ ඒමට නොහැකි අඝාදයක සිරවී එය තමන්ගේ ජයග්‍රහණයේ මාර්ගය යැයි තිර වශයෙන්ම නිගමනය කොට ඇති රාජපක්ෂ මහතා පවතින ප්‍රයෝගිත තත්වයෙන් ඈත් වෙමින් සිටින්නේය. මෙහි කෙළවර නියත ඛේදවාචකයකි.

එය ඔහුගේ (මහින්දගේ) දේශපාලනය යැපීමේ මෙවලම ලෙස භාවිතා කරන දේශපාලන කල්ලියට අතිශය වැදගත් වේ. නමුත් එමඟින් කිසිඳු වාසියක් රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පවුලේ දේශපාලනයට සිදුවන්නේ නැත.

කෙසේ වෙතත්, මෙය වඩාත් බරපතළ ගැටුමක් නිර්මාණය කිරීමේ තත්වයක් ඇති කළ හැකිය.

මේ මොහොතේ ඉතාමත් වැදගත් කාරණය වූ කලී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනාගතය සහ එහි දේශපාලන බලය ආරක්ෂා කර ගැනීම සඳහා ඥානවන්ත සහ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් නිර්මාණය කළ හැකි පිරිසක් පටු දේශපාලන වාසි නොසලකා ඒකරාශී වීමය.

මේ වටපිටාව හමුවේ, මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය වන්නේ විවේකය සහ තනිව සිතීමයි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa