(මෙහි මුල් කොටස මීට දින කිහිපයකට පෙර ඔබ අතට පත්ව ඇත)

කෙසේ වෙතත් එය නිවාරකයක් හෙවත් අපරාධ කිරීමෙන් කෙනෙකුව අධෛර්යමත් කරවන සාධකයක් වේද? පසුගිය වසර කිහිපය තුළ මිනීමැරුම් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යාමට පොදු හේතුවක් වශයෙන් දක්වන්නේ මරණ දඬුවම නැති වීමයි. එහෙත් ඒ දෙක අතරේ එවැනි සහසම්බන්ධයක් ඇති බව, හුදු හිතලූවකින් එහා ගිය සැබෑවක් වශයෙන් කිසි විටෙකත් ඔප්පු කළ හැකිව තිබේද? මිනිස් ජීවිතයක ඇති පූජණීයත්වය බොහෝ කොට බාල්දු කෙළේ, මත්ද්‍රව්‍ය භාවිතයේ ඉහළ යාමත්, 30 අවුරුදු ත‍්‍රස්තවාදී යුද්ධයක් විසින් ලාංකීය සමාජය නිර්-මානවීකරණය කොට තිබීමත් විය නොහැකිද? පහත සඳහන් අවස්ථා ගැන මොහොතක් සිතා බලන්න:

අංක එක:

හදිසි කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව හෝ වෙරිමතින් පෙළෙන අවස්ථාවක කෙනෙකු ඝාතනයක් කරයි. එම අවස්ථාවේ, කෝපය හෝ මත්වීම විසින් ඔහුගේ සිතිවිලි හසුරුවනු ලැබ, සාමාන්‍ය තාර්කික ධාතුව අක‍්‍රීය කෙරේ. එවැනි තත්වයක් යටතේ කෙරෙන මිනිමැරුමක් එල්ලූම් ගසක් මගින් අධෛර්යමත් කළ හැක්කේද?

අංක දෙක:

එංගලන්තයේ ජැක් ද රිපර් හෝ නිව්යෝර්ක් නුවර සන් ඔෆ් සෑම් හෝ ලංකාවේ පසුගිය වසර අටක කාලය තුළ කහවත්තේ වැඩිහිටි කාන්තාවන් ඝාතනය කරමින් යන මිනිමරුවා මෙන්, එක වැලකට ඝාතන සිදුකරමින් යන පුද්ගලයෙකු ගැන සිතන්න. මෙවැන්නන් ගැනෙන්නේ රෝගී මිනිමරුවන්ගේ ගනයටයි. භින්නෝන්මාදය නැමැති මානසික ව්‍යාධියෙන් ඔවුන් පෙළෙනවා විය හැකිය. නැත්නම්, ඩොක්ටර් ජැකිල් හෝ මිස්ට හයිඞ් වැන්නන්ට සේ මොවුන්ටත් තිබෙනවා විය හැක්කේ, දෙදරා ගිය ස්වීයත්වයන් ය. ඩොක්ටර් ජැකිල් සේ මොවුන් සමාජයේ වැදගත් පුද්ගලයන් වන අතරේම, මිස්ට හයිඞ්ගේ මනෝමය ආවේශයට යන වන විට ඔවුහූ මිනීමරු උන්මත්තකයන් බවට පත්වෙති. එවැන්නන් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයක අවදානම මොන විදිහකින්වත් නිවාරකයක් වශයෙන් බලපවත්වන්නේ නැත.

අංක තුන:

මෑත කාලයේ මත්ද්‍රව්‍ය හරහා බොහෝ මිනීමැරුම් සිදුව තිබේ. මත්ද්‍රව්‍යවලට ඇලීගැලී සිටින්නෙකු ඔහුගේ දෛනික කුඩු පැකට්ටුව මිල දී ගැනීමට ගෙවල් බිඳිති. මෙහිදී ඔහු හැසිරෙන්නේ එළැඹි සිහියෙන් නොව, ශරීරය ඉල්ලා සිටින මත විසින් ඇති කරවන පෙළැඹවීමෙනි. මෙවැනි අවස්ථාවල, අවශ්‍ය කරන මුදල් නොදෙන දෙමාපියන්ට එවැනි දරුවන් පහර දෙන අවස්ථාවල්ද වාර්තා වෙයි. මරණ දඬුවම පිළිබඳ අවදානම ඔවුන් කෙරෙහි නිවාරකයක් වශයෙන් ක‍්‍රියාත්මත වන්නේ නැත. මෙවැන්නෙකු එක මොහොතක තමන්ට අවශ්‍ය කරන කුඩු පැකට්ටුවක් දෙන්නේ නම්, තමන් නොකළ ඝාතනයකට හෝ වරද පිළිගැනීමට කැමැත්තක් දක්වනු ඇත. ඔවුන් කෙරෙහි බලපවත්වන එකම සාධකය, ඒ මොහොතේ ඔවුන්ව පෙලන ශාරීරික අවශ්‍යතාවයි. තම ක‍්‍රියාවේ ප‍්‍රතිවිපාකයන් ඔවුන් තකන්නේ නැත.

අංක හතර:

සේයා දැරියගේ ඝාතනය සළකා බලන්න. මෙවැනි අපරාධයක් සිදු කරන්නේ අසාධ්‍ය මානසිකත්වයක් ඇත්තෙකු විසිනි. මොවුන් වනාහී, විකෘති පරපීඩක ළමා කාමාතුරයන් ය. කුඩා ළමුන් දූෂණය කොට ඝාතනය කිරීම ඔවුන්ට විකෘති සතුටක් ලබා දෙයි. ඔවුන්ව එල්ලා මැරීම හෝ ඊටත් වඩා දරුණු දඬුවමකට වුව යට කළ යුතු බවට සැකයක් නැත. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, එසේ ඔහුව මරණයට පත්කිරීම, එවැනිම ව්‍යාධියකින් පෙළෙන වෙනත් අයට නිවාරකයක් වශයෙන් බලපැවැත්විය හැකිද යන්නයි. සත්‍යය වන්නේ, මෙවැන්නන්ට තමන්ගේ දූෂිත ලෝලයේ ඒ විකෘති සන්තර්පණීය මොහොත තුළ, මරණය යනු ඉතා ලාබ වියදමක් වශයෙන් පෙනී යාමයි.

අංක පහ:

කල් තියා සැලසුම් කළ මිනිමැරුමක් ගැන සළකා බලන්න. බොහෝ හේතු එවැනි මිනිමැරුමකට හේතු විය හැකිය. එහෙත් නිතරම පාහේ, මිනීමරුවා මිනීමැරුම සැලසුම් කරන්නා සේම එය හසු නොවී සිදු කිරීමේ සෑම පියවරක්ද සැලසුම් කරන්නේය. ඔහු මිනිමැරුම සිදුකරන්නේ, කෙලෙසකින්වත් තමන් එම ඝාතනයට හසු නොවේය යන විශ්වාසයෙනි. එවැන්නෙකුට මරණ දඬුවම පිළිබඳ අවදානම ප‍්‍රශ්නයක් නොවේ. කොන්ත‍්‍රාත් මිනීමරුවන් සම්බන්ධයෙන් ගත් විට, එකෙකු එල්ලූම් ගස් යන අවස්ථාවේ ඒ වෙනුවට, එම විශ්වාසයම දරණ තවත් පුද්ගලයෙකු සේවයට ගැනීමට ‘ගෝඞ් ෆාදර්’ වගබලාගන්නේය. මෙවැනි තත්වයකදී, මිනීමරුවා සම්බන්ධයෙන් යම් ආකාරයකින් හෝ මරණ දඬුවම බලාත්මක සාධකයක් වශයෙන් ක‍්‍රියා කළ හැක්කේ, ඊට සමානුපාතිකව තම ගාස්තුව වැඩි කර ගැනීමට මිනීමරුවාට හැකියාව ලැබීම පමණි.

අංක හය:

ත‍්‍රස්තවාදය තුළ කෙරෙන මිනිස් ඝාතන ගැන සළකා බලන්න. ත‍්‍රස්තවාදීන් සටන් කරන්නේ යම් අරමුණක් වෙනුවෙනි. එම අරමුණ, ජීවිතය කැප කිරීමට වුව වටිනා අරමුණකියි ඔවුහූ විශ්වාස කරති. උදාහරණයක් වශයෙන්, දෙමළ කොටි ගන්න. ඔවුන්, අලූගෝසුවා තමන්ව එල්ලන තෙක් බලා සිටියේ නැත. ඔවුන් කෙළේ, ඇතැම් අවස්ථාවක තම අරමුණ ඉෂ්ට සිද්ධ කර ගැනීමටත් කලින් පවා, සයනයිඞ් කරලක් ගිල ජීවිත නැති කර ගැනීමයි. එල්ලා මැරීමක් තිබීමෙන් කෙරෙන්නේ, මෙවැනි බියගුල්ලන්ව මරණයේ වීරයන් බවට පත්කිරීමයි. කොටි විරුදාවලී ශාලාව දෙස බැලීමෙන් එය පෙනේ.

මරණ දඬුවමක ඇතැයි කියන නිවාරක වටිනාකම එම දඬුවමේ ප‍්‍රතිවිපාකීය විහිදීම සම්බන්ධයෙන් දක්වන්නේ එවැනි නොවැදගත් ස්වභාවයක් නම්, සමාජයක රුධිර ආශාව සන්තර්පණය කර ගැනීම සඳහා ඇසකට ඇසක් ඉල්ලා සිටීමේ එම ප‍්‍රතිපත්තිය (එය මහත්මා ගාන්ධි කියන පරිදි, මුළු සමාජයම අන්ධ භාවයට පත්කරවන්නකි) ක‍්‍රියාවට නැංවීම සාර්ථක ප‍්‍රතිකර්මයක් විය හැක්කේ කෙසේද? සතුරන්ට පවා කරුණාව දැක්විය යුතු යැයි ගැනෙන මෛත‍්‍රී යුගයක උදාවක් කෙරෙහි කැප වූ ආණ්ඩුවක සදාචාර පද්ධතියට එවැනි පළිගැනීමක් කෙසේ නම් පෑහෙයිද?

පසුගිය නොවැම්බර් 20 වැනි දා සිය ජනාධිපති අපේක්ෂකත්වය ප‍්‍රකාශයට පත්කරමින් මෛත‍්‍රීපාල සිරිසේන කළ කතාවේ පළමු වැකියෙන් ප‍්‍රකාශ කොට සිටි පරිදි බුදුරජාණන් වහන්සේගේ උත්තම ප‍්‍රකාශය වූ ‘නහී වේරේන වේරාණී’ ධර්මතාව යටතේ තමාගේ අරමුණ වන්නේ යුක්තිය ඉටු කිරීම මිස පළිගැනීම නොවේ යැයි කීම සමග මේ ප‍්‍රතිපත්තිය ගැටෙන්නේ නැත්ද? සමාජයක් ස්වභාවයෙන් යට වන පළිගැනීමේ ආශයකට, එවැනි සදාචාරමය ඇදහීමක් යට කළ යුතුද?

මරණ දඬුවම යනු ‘නීත්‍යානුකූල මනුෂ්‍ය ඝාතනයකැ’ යි කතෝලික පල්ලිය බොහෝ කලක් විශ්වාස කෙළේය. එහෙත් මධ්‍යතන යුගයේ පාප් වහන්සේලාගේ සිට මේ වන විට කතෝලික පල්ලිය බොහෝ පරිවර්තනයන්ට භාජනය වී ඇත. 1999 දී දෙවැනි පාවුලූ පාප් වහන්සේ ‘‘කුරිරු වන්නා සේම, අත්‍යාවශ්‍යද නොවන්නේය’’ යන පදනම මත, මරණ දඬුවම අවසානයක් කරන ලෙස ඉල්ලා සිටියහ. මීට සති තුනකට කලින් ඇමරිකානු කොන්ග‍්‍රස් සභාව අමතමින් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ මරණ දඬුවම ලෝකයෙන්ම තුරන් කරන්නැයි උදක්ම ඉල්ලා සිටියහ.

එසේ මුළු ලෝකයා බුදුන් වහන්සේගේ මෙත් වැඞීමේ පිළිවෙත මාවතේ යද්දී, පිරිසුදුම ථෙරවාදි බුද්ධාගම ඇතැයි කියාගන්නා ශ‍්‍රී ලංකාව ඊට වෙනස් ස්ථාවරයක් ගන්නේ කෙසේද? ‘‘පාණාතිපාතා වේරමණී ශික්ඛා පදං සමාදියාමී’’ යැයි දිනපතා මතුරන අපි, අප වෙනුවෙන් කරතැයි කියන ඝාතනයක් සාධාරණීය කරන්නේ කෙසේද? 30 අවුරුදු ත‍්‍රස්තවාදී යුද්ධයක් තුළ සාමූහික ඝාතනය මගින් දැනටමත් නිර්-මානවීකරණය කොට ඇති සමාජයක්, මෙවැනි දඬුවමක් පනවා ගැනීම මගින් තවදුරටත් අමානුෂික නොකෙරේද?

ගිය සතියේ මරණ දඬුවමට නියම වූ ‘වෙලේ සුදා’ ද ඇතුළුව අද ලංකාවේ මරණ දඬුවමට නියම වූ අපරාධකරුවෝ 1116 ක් සිටිති. ඊළඟ ජනවාරි 1 වැනි දා සිට මොවුන් ඝාතනය කිරීම ඇරැුඹුවොත්, දවසට එක් කෙනා බැගින් එල්ලා මැරුවත්, මේ පිරිස ඉවරයක් කිරීමට තව අවුරුදු තුනක් ගත වෙනු ඇත.

එනම්, ‘සුළු පරිපාලනමය රාජකාරියක්’ සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් මෑතකදී බඳවා ගත් අලූගෝසුවන් දෙන්නාට දිනපතා එක මිනිස් ජීවියෙකු බැගින් ඝාතනය කිරීමට සිදුවනු ඇත. පෝය දවසේ පූජණීයත්වය හේතුවෙන් රජය විසින් ඝාතනය කිරීම තහනම් කොට ඇති සත්ව ලැයිස්තුවට මිනිසාවද ඇතුළත් කෙරෙන බව නිසැක ය. එබැවින් එදාට පමණක් මේ ඝාතනය සිදු නොකෙරේවි. මහජනයා වශයෙන් ඔබ, ඉදිරි අවුරුදු තුන තිස්සේ ඉතිරි හැම දවසකම රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් සහ පුවත්පත්වලින් මේ ගැන දකිනු ඇත, අසනු ඇත, කියවනු ඇත. ඒ මගින් කෙරෙන්නේ ඔබව අමනුස්සයෙකු නොකිරීම නම්, නීත්‍යානුකූල වෙතත්, සැලසුම් සහගතව දෛනිකව කෙරෙන ඝාතනයක් කෙරෙහි ඔබව අසංවේදී කැරැවීම නොවේ නම්, ඒ වෙන කවරක්දැයි මට කියනු මැන.

හැම දවසකම ඉර බැස යන්ට කලින් තමාගේ අත්සනින් මිනිස් ජීවිතයක් අවසන් කැරැුවෙන බව ඉදිරි වසර තුන තිස්සේ හැම දවසකම උදේට නැගිටින විට ජනාධිපතිවරයාට මතක් කර ගැනීමට සිදුවීම මොන වගේ තත්වයක්දැයි සිතා බලන්න. ආණ්ඩුව මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු බවට හාන්සි පුටුවල සිට කෑමොර දෙන අයගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයක් තිබේ. ඒ මිනිසා ඝාතනය කිරීම ඔබට කළ හැක්කේද? මිනිසෙකු එල්ලා ඇද වැටෙන ඒ ලෑල්ල ඔබ අතින් මෑත් කොට, ඒ මිනිසා එල්ලී සිටින සැටි ඔබට බලා සිටිය හැකිද? එසේ නොමැතිව, එයින් මගහැර එකී නීච ක‍්‍රියාව වෙනත් කෙනෙකු ලවා කැරැුවීම මගින් ඔබේ අත් පිරිසුදුව තබා ගත හැකි යැයි ඔබ සිතන්නේද?

දැන්, මේ ලිපියේ මාතෘකාව දෙස බලන්න:

‘‘ඔහුව එල්ලන්න එපා හිරේ දාන්න ජීවිතේටම: ඔබ කොමාව එල්ලන්නේ කොතැනින්ද?’’

මේ කොමාව ඔබට දෙතැනකින් එල්ලිය හැකිය: ‘‘ඔහුව එල්ලන්න, එපා හිරේ දාන්න ජීවිතේටම’’ යනුවෙන්ද? එසේ නැතහොත්, ‘‘ඔහුව එල්ලන්න එපා, හිරේ දාන්න ජීවිතේටම’’ යනුවෙන්ද?

ඒ අති වැදගත් විරාම ලකුණ යෙදීමේදී පරිස්සම් වන්න. හොඳින් සිතා බලන්න. මන්ද යත්, වෙනකෙකු ලවා සිදුකරවන නීත්‍යානුකුල ඝාතනයේ සදාචාර වගකීම භාර ගැනීම පිළිබඳ කාරණයේදී එය අනෙකෙකු මත පටවා අත සෝදා ගැනීමට කර්ම නියාමය ඔබට ඉඩ නොදෙන බැවිනි.

*2015 ඔක්තෝබර් 18 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Hang Him Not Jail Him for Life Where would you put the Coma?
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි