Image by: Rivira.lk

ජාතික උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගිය සතියේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ පවත්වද්දී පොලීසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අග‍්‍ර පුරෝහිතයෙකු වන එක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවට දෙහි කපා තිබේ. මේ පොලිස් ප‍්‍රහාරය තිරිසන් සහ අමානුෂික ක‍්‍රියාවක් වශයෙන් හඳුන්වන ඒ හිටපු ඇමතිවරයා, මේ රටේ ශිෂ්‍ය අරගල ඉතිහාසයේ අඳුරුතම සිද්ධිය වශයෙන් එය හුවාදක්වා තිබේ. පොලීසිය විනයගත කොට හීලෑ කිරීම සඳහා කොමිෂන් සභාවක් පත්කළ ආණ්ඩුවක් මේ ප‍්‍රහාරයේ පළමු වගඋත්තරකරුවා වීම උත්ප‍්‍රාසයක් වන බවද ඔහු පෙන්වා දී තිබේ. එසේම, අළුතින් පිහිටුවන ලද පොලිස් කොමිසම විසින්, අවම බලය සහ උපරිම බලය අතර වෙනස නිර්වචනය කොට ඒ පිළිබඳ අධ්‍යාපනයක් පොලිසියේ සාමාජිකයන්ට ලබා දිය යුතුව ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.

ශිෂ්‍ය විරෝධතාව පිළිබඳ කාරණයේදී පොලීසිය පමණ ඉක්මවා කටයුතු කළ බවට කිසි සැකයක් නැත. විරෝධතාකරුවන් ගල් මුල් සහ වෙනත් දේවල්වලින් දමා ගසද්දී (එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇත) අවසාන ප‍්‍රතිචාරයක් වශයෙන් මෙසේ කටයුතු කිරීමට තමන්ට සිදු වීය යන අවසරය පොලීසියට ඉදිරිපත් කළ හැක. එවැනි තත්වයක් රූපවාහිනී මාධ්‍ය ආවරණ තුළින්ද පෙන්නුම් කෙරුණි. එහෙත් මේ සුවිශේෂී සිද්ධිය, ශිෂ්‍ය ඉල්ලීම් සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ අසංවේදී සහ තිරිසන් භාවයකට සාක්ෂියක් වශයෙන් හුවාදැක්වීම ඇත්තෙන්ම විකාරයකි. විශේෂයෙන් එම චෝදනාව නැගෙන්නේ ඩලස් අලහප්පෙරුම වැනි කෙනෙකුගෙන් වීම ඊටත් වඩා විකාරයකි.

ශිෂ්‍ය විරෝධතාවන්ට රාජපක්ෂ ආණ්ඩුව සැලකුවේ කෙසේද යන්න මුළු රටම දනී. ඩලස් අලහප්පෙරුම එම ආණ්ඩුවේ බලගතු ඇමතිවරයෙකු විය. ශිෂ්‍ය විරෝධතාවන්ට මෘග ආකාරයෙන් සළකන ආකාරය රූපවාහිනී තිර මත දිනපතාම පාහේ ප‍්‍රදර්ශනය වු කාලයක් තිබුණි. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පවා කඳුළු ගෑස් ප‍්‍රහාරයන්ට ලක්වීමටත්, බැටන් ප‍්‍රහාරයන්ට ලක්වීමටත් ඒ කාලයේ සිදුවිය. හිටපු ඇමතිවරයා කතා කරන්නේ, මෙය ශිෂ්‍ය විරෝධතාකරුවන්ට එරෙහිව වතුර තුවක්කු පාවිච්චි කළ ප‍්‍රථම අවස්ථාව සේ සළකාගෙන මෙනි. මෙවැනි සිදුවීම් නැවත ඇති වීම වැළැක්වීම සඳහා ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් ඉටු කරන්නැයිද ඔහු ආණ්ඩුවට උපදෙස් දෙයි.

වෝඞ් පෙදෙසේ කලබෑගෑනිය තුළ කිසි සන්නද්ධ සේවා හේවායෙකු සිටිනු අප දුටුවේ නැත. එහෙත් අතීතය එසේ නොවුණි. ශිෂ්‍ය විරෝධතාවන් ඇතුළු සියලූ විරෝධතා එදා මර්දනය කෙළේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සකල ප‍්‍රමිතීන් උල්ලංඝනය කරමින් හමුදාව යොදවාගෙනයි. හමුදාව ගෙන්වනු ලබන්නේ අවසාන පිළිසරණක් වශයෙන් පමණි. බොන වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාව මැඩලීමට යැව්වේ එම හමුදාවයි. එදා එම සිදුවීම් බලා සිටි අහිංසක ශිෂ්‍යයන් දෙන්නෙකු වෙඩි තබා ඝාතනය කිරීම ගැන, අද එච්.එන්.ඞී.ඒ. ශිෂ්‍යයන් ගැන කඳුළු කප්පරක් වක්කරන අලහප්පෙරුම එදා වචනයක්වත් කී බවක් අප අසා නැත. පෑගෙන කෙනා වෙනුවෙන් පෙනී සිටිතැයි කියන අලහප්පෙරුම, ඉහත සිද්ධියේදී වෙඩි තැබීමට අණ දුන් හමුදා නිලධාරියාව විදේශ සේවාවේ තනතුරකට පත්කර යවන විට ඊට විරුද්ධ වූ බවක් අප අසා නැත.

1988 රත්නපුර අතුරු මැතිවරණයේදී නන්ද එල්ලාවල ඉදිරියේ පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙන්නෙකුගේ ඔලූවට පොල් පරාල ගසා ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන්ද අලහප්පෙරුම කතා කිරීම අපූරු ය. වධ දී මරා කැළයක දමා ගොස් තිබුණු මේ සිසුන් දෙන්නා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමට එදා මේ අලහප්පෙරුම පෙරමුණේ සිටියේය. ඉන් පසු, නන්ද එල්ලාවල ඝාතනය කිරීමේ චෝදනාව පිට සැඟවී සිටි ඉහත කී එක්සත් ජාතික පක්ෂ දේශපාලඥයාට (එවකට මේ දෙන්නාම පාර්ලිමේන්තුවේ සිටියහ) එරෙහිව මේ පොල් පරාල ඇණ කතාව ගෙනහැර පාමින් එකී දේශපාලඥයාට අලහප්පෙරුම කෙලින්ම චෝදනා කෙළේය. එසේ තිබියදී, ඒ එක්සත් ජාතික පක්ෂ දේශපාලඥයා කරණමක් ගසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පැමිණි අවස්ථාවේ, තමාගේ මිතුරාව ඝාතනය කළ බවට අලහප්පෙරුම චෝදනා කළ ඔහු සමග එකම ආණ්ඩුවේ එකට අසුන් ගැනීම මේ අලහප්පෙරුමට ප‍්‍රශ්නයක් නොවුණි.

මිනිසුන්, විශේෂයෙන් දේශපාලඥයන්, අනුන්ට ඇඟිල්ල දිගු කිරීමේදී පරිස්සම් විය යුතුය. මන්ද යත්, එය පාරාවළල්ලක් සේ තමන් වෙතටම කැරකී පැමිණිය හැකි බැවිනි. රාජපක්ෂ ආණ්ඩුවෙන් තිරිසන් ලෙස ශිෂ්‍යයන් මර්දනය කළ අවස්ථා අලහප්පෙරුම මතක් කර ගත්තොත් හොඳ ය. කටුනායක සහ මීගමුවේදීත් එදා විරෝධතාකරුවන්ව ඝාතනය කෙරුණි. ඉස්සර තරම් දැන් ඇමතිකම් නැති නිසා ලැබී තිබෙන විවේකය පාවිච්චි කරමින්, සිවිල් ජනතා විරෝධයන් මැඩලීමට එදා හමුදාව ගෙනාවේ කෙසේ දැයි අලහප්පෙරුම සිහිපත් කර ගැනීම වටී.

කෙසේ වෙතත්, මේ කිසිවක් නිසා පොලීසිය කළ දේ අනුමත කෙරෙන්නේ නැත. මේ සිද්ධියේ අගමුල සොයා බැලීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ දැනටමත් කමිටුවක් පත්කොට ඇත. ජාතික පොලිස් කොමිසමත් ඒ ගැන සොයා බැලීමට වෙනම කමිටුවක් පත්කොට ඇත. අධිකතර බලයක් පාවිච්චි කළ නිලධාරීන් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම දැඩි ක‍්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. කොමිසමේ එක් කාර්යයක් වන්නේද පොලිස් දෙපාර්තමේන්තුවේ විනයගත භාවය ආරක්ෂා කර ගැනීමයි. මෙය, කිසි දේශපාලනික බලපෑමකින් තොරව තමන්ට කළ හැකි බව රටට පෙන්වීමට පොලිස් කොමිසමට ලැබෙන මහඟු අවස්ථාවකි.

එසේම, බලයට පත්වීමෙන් පසු මුහුණදෙන මේ ප‍්‍රථම අභියෝගය ඉදිරියේ අළුත් ආණ්ඩුවත් ක‍්‍රියාකරන අයුරු පරීක්ෂාවට ලක්වෙනු ඇත. දැනටමත් මේ සිද්ධියේ වගකීම විපක්ෂය විසින් ආණ්ඩුවේ එලිපත්තට ගෙනැවිත් තිබේ. මේ පොලිස් ප‍්‍රහාරය පසු පස දේශපාලනික හස්තයක් විණැයි කතාවක් තිබේ. එම කාරණයත් නිරවුල් කර ගත යුතුය. ශිෂ්‍යයන්ද දුර දිග බලා කි‍්‍රයා කළ යුතුය. මෙතරම් කලබැගෑනියක් ඇති කිරීමට තරම් එච්.එන්.ඞී.ඒ. ප‍්‍රශ්නය බරපතල එකක් නොවේ. මේ පෙළපාලිය යමෙකු විසින් අවුස්සන ලද්දකැයි යන අඩමානයට යම් විශ්වසනීයත්වයක් එක් වන්නේ එබැවිනි. මොන ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් වුවත් මුලින් අනුගමනය කළ යුත්තේ සාකච්ඡා මාර්ගයයි.

*2015 නොවැම්බර් 04 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ Comments that Boomerang නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි