අද 2015 නොවැම්බර් 08 දින සිංගප්පූරුවේ දි අභාවප්‍රාප්ත වූ කොට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි මෑත කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය උදෙසා මූලිකත්වය ගත් යතිවරයන් අතර ඉදිරියෙන්ම සිටින සමාජ නායකයෙකි.

එහිමියන් අසාධාරණය එරෙහිව සාධාරණය උදෙසා දශක ගණනාවක් පුරා මහජන සේවයේ නියැලී වචනයේ නියම අර්ථයෙන්ම බුද්ධ පුත්‍රයෙකි.

1990 ගණන් මුල් කාලයෙහි ගමින් ගම යමින් මානව අයිතිය පිළිබඳ ධර්ම කතිකා පවත්වමින් එහිමියෝ 1994 වසරෙහි මෙරට සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනසෙහි ද පුරෝගාමියකු වූහ.

සමාජ සාධාරණත්වය සදහා ජාතික ව්‍යාපාරයේ නායකත්වය හොබවමින් 2015 ජනවාරියේ සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියට මඟ සකසනු වස් එහිමියෝ නගරයෙන් නගරයට ගොස් විධායක ඒකාධිත්වය අහෝසි කිරීමේ අදහස ජනගත කිරිමට මහත් සේ දායක වූහ.

ආගමික හැදියාවෙන් හඩ ගස්වන ලද එහිමියන් සතු වූ ගාම්භීර හඩ මහාජනයා අතර විශ්වාසය සහ බලාපොරොත්තු දැල්වීය හැකි කාහල නාදයක් බඳු විය.

මුල් කාලයෙහි සිංහල ජාතිකවාදී අදහස් කරා බරවී සිටිය ද එහිමියන් කිසි විටෙක අන්ත ජාතිවාදින්ගේ බළල් අතක් බවට පත් වූයේ නැත. අවසාන කාලයෙහි එහිමියන් පිළිබඳ විශ්වාසයක් මෙරට ප්‍රධාන දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ අතර ගොඩ නැගි තිබුණි.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම   ජායාරූපය - සුනන්ද දේශප්-රිය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මෙරට පිහිටවනු පිණිස පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහස පෙරට ගෙනයෑමේ මහත් කාර්යභාරයක් ද එහිමියන් ප්‍රමුඛ සමාජ සාධාරණත්වය සදහා ජාතික ව්‍යාපාරය ඉටු කළේ ය.

ශ්‍රී ලංකවේ යුද්ධයේ අවසන් සමයේ සිදු වූ බවට චෝදනා කැරෙන බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික පරික්ෂණයක් පැවැත්වීමට තමන් විරුද්ධ නැතැයි ප්‍රසිද්ධියේ කීමට තරම් දේශපාලන ධෛර්යක් එහිමියන්ට තිබුණි.

2015 ජනවාරියේ පැවැති ජනාධිපතිවරනයේ දී ද අගොස්තුවේ පැවැති මහා මැතිවරණයේ දී ද මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයේ පොදු නියෝජිතයා සෑම දෙනාම විසින් පිළිගනු ලැබීමට තරම් නායකත්වයක් එහිමියන් වටා ගොඩ නැගී තිබුණි.

මහා මැතිවරණය සඳහා සිවිල් සමාජ සංවිධාන සියයකට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් පසුගිය ජුලි 22 දින යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණෙහි නායකයා වූ රනිල් වික්‍රමසිංහ සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කළේ ද එහිමියන් ය.

අද අවසන් ගමන් ගොස් ඇත්තේ එවැනි යුග පුරුෂයෙකි.

රාජපක්ෂ රිජීමය පරාජය කිරිමට මෙරට මහා ජනයා දුන් ජනවරම අනුව අපේක්ෂිත යහ පාලනය පිහිටුවීමට දේශපාලන නායකයින් නිසි පියවර නොගැනීම සම්බන්දයෙන් අවසාන කාලයෙහි එහිමියෝ මහත් සේ කනස්සල්ලට පත් ව සිටියහ.

අවසානය දක්වාම සාධාරණ සමාජයක් පිළිබඳ අපේක්ෂාව අත නොහැර පවත්වා ගත් මාදුළුවාවේ සෝභිත හිමි අකල්හි නැතිවීම එළඹීමට නියමිත අභියෝගාත්මක කාල පරිච්ජේදයෙහි ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට පුරවාලිය නොහැකි අඩුවක් බවට පත්වනු ඇති බව නිසැක ය‍.

එහිමියන්ට කළ හැකි හොඳම උපහාරය වන්නේ ජනවාරි ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉදිරියට ගෙනු යනු පිණිස ගොඩ නැගිය හැකි පුළුල්තම සිවිල් සමාජ ජාලයක් නිර්මානය කිරීමට පියවර ගැනීම යි.

හිමියනි, මෙරට සමාජ සාධාරණත්වය සඳහා නොනිමෙන අරගලය තුළ ඔබ වහන්සේගේ නාමය ද හඩ ද සදා පවතිනු ඇත.
ඔබ දෙපා නැමද ආචාරය පුද කරමු.

සුනන්ද දේශප්‍රිය