විශේෂයෙන් නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු අතීතයෙන් කැඞී වෙන් වන වෙනස්කම් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම ස්වභාවිකයි. පැවති ආණ්ඩුවක් බලයෙන් වීසී වී යාම විසින්ම පෙන්වා දෙන්නේ, අතීතයට වෙනස් භාවිතාවක් අලූත් ආණ්ඩුවෙන් රටක් බලාපොරොත්තු වන බවයි. එහිදී, වර්තමානය සහ අනාගතය, ගත වූ අතීතයෙන් වෙනස් දිසාවක් කරා යොමු කැරැවීමේදී, සමස්තයක් වශයෙන් රටටත්, සාමාන්‍ය බුද්ධියටත් ගෝචර වන වෙනස්කම් ඇති කිරීම, බරසාර අනාගත දැක්මක් ඇති ආණ්ඩුවක වගකීමයි.

සමහර ආණ්ඩු, රට්ටු මොනවා කීවත්, තමන්ගේ හිතුමතය ක‍්‍රියාත්මක කරයි. හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම, ශිරානී බණ්ඩාරනායක සහ සරත් ෆොන්සේකා කෙරෙහි වෛරී සහගත වීම වැනි අවස්ථා ඊට දෙස් දෙයි. එම ආණ්ඩුව ජනතාව විසින් වෙනස් කෙළේ එම තත්වය ඔවුන් නොඉවසූ බැවිනි.

එහෙත්, රටක බහුතර ජනතාවක් අකමැති වෙතත්, රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ඇතැම් දුෂ්කර තීරණද තිබේ. රටක නායකත්වය තුළ එඩිතර භාවය සහ අධිෂ්ඨානය තිබිය යුත්තේ එවැනි අවස්ථාවන්හිදී කෙලින් සිටීමටයි. එහිදී, ඊළඟ ඡුන්දයෙන් තමන්ට වාසියක් වේද අවාසියක් වේද යන්නට මුල් තැන දීම, අනාගත හිතකාමී සැබෑ නායකත්වයක ලක්ෂණය නොවේ.

මීටත් පිටින්, තවත් ආණ්ඩු වර්ගයක්ද තිබේ. එනම්, සිහි කළඳක් ඇති කිසි පුද්ගලයෙකුට මොනම තත්වයක් යටතේවත් එකඟ විය නොහැකි මෝඩ සහ බාල වැඩවල පැටලීමයි. වාහන දුම් පරීක්ෂා ගාස්තුව ඉහළ දැමීම එවැනි එක් අවස්ථාවකි. කෝටි ගණන් වටිනා සුඛෝපභෝගී රථයෙන් අය කර ගන්නා දුම් පරීක්ෂා ගාස්තුවම ඉන්දියාවේ මරුටියෙනුත් අය කිරීමට තීරණය කිරීම මෝඩ ය. පරිසර හිතකාමී සංවර්ධනයක් ගැන කතා කරන අතරේ, විදුලි මෝටර් රථයේ බද්ද ලක්ෂ ගණනකින් ඉහළ දැමීම අදූරදර්ශී ය.

ආණ්ඩුවේ කෙරුවාව එසේ තිබියදී, වෘත්තීය සමිති හැසිරීම මගිනුත් පෙන්නුම් කරන්නේ, රටේ අනාගත අභිවෘද්ධිය පරදුවට තබමින් වුව තම කුලකයේ වාසිය සලසා ගැනීමේ භාවිතාවකි. ආණ්ඩුවට එරෙහිව වෘත්තීය බලය පාරට බැස්සවීමට තැත් කළ සමිති නායකයන් කිහිප දෙනෙකු හැරුණු විට අනිත් බොහෝ නායකයන් රාජපක්ෂ පාලන කාලයේ කෙළේ, උපරිමයෙන් හීලෑ වී සිටීමයි. එදා මෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන් පාරට නොබැස්සා පමණක් නොව, වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කරද්දී සහ වෘත්තීය අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කරද්දී වෙඩි තබා ඝාතනය කිරීමේ අන්තවාදී ප‍්‍රතිපත්තියක් රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කරද්දී පවා මේ බොහෝ වෘත්තීය සමිති නායකයෝ එදා අන්ධව උන්හ.

එසේ වන්නේ ඇයි? රටේ ප‍්‍රශ්නවලට උඩින් එවැනි වෘත්තීය සමිති නායකයන්ට තමන්ගේම වන ප‍්‍රශ්න රාශියක් විසඳා ගැනීමට ඇති බැවිනි. එහිදී, තමන්ගේ ක්ෂේත‍්‍රයේ අනිත් වෘත්තීය සමිති සමග තරග කරන්නේ කෙසේද, එම සහෝදර වෘත්තීය සමිති පරයා තමාගේ වෘත්තීය සමිතිය උඩට ගන්නේ කෙසේද යන්න ඔවුන්ගේ න්‍යාය පත‍්‍රවල ප‍්‍රමුඛස්ථානයක් ගනී. ඊළඟට, රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශයත්, රටේ ප‍්‍රජාතන්තවාදී දේශපාලනයත් අතර සහසම්බන්ධය පිළිබඳ තැකීමක් හෝ අවබෝධයක් මේ කියන බොහෝ නායකයන්ට ඇති බවක් පෙනෙන්නේත් නැත. ඔවුන්ගේ පරිකල්පනය තුළ රාජ්‍ය සේවය ගැනෙන්නේ, දේව උරුමයකින් ලද ජන්ම බූදලයක් මෙනි. ලංකාවේ ප‍්‍රවාහණය ගත්තොත්, සෑම ලංගම බස් රථයකටම රාජ්‍ය සේවකයන් 21 දෙනෙකු සිටීම, රටක ආර්ථිකයට හෝ රටේ සමාජ අභිවෘද්ධියට යහපතක් වන්නේ කෙසේදැයි ඔවුන් සිතන්නේ නැත. එකම ගමන් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථය ලාභ ලබන විට එම මාර්ගයේම ධාවනය වන ලංගම බස් රිය පාඩු ලබන්නේ ඇයිද යන්න ඔවුන්ට ප‍්‍රශ්නයක් නොව්. වසරකට කෝටි ගණනින් පාඩු ලබන රාජ්‍ය මාධ්‍ය ආයතනයකට මහින්ද රාජපක්ෂගේ අවසාන කාලය තුළ සිය ගණනින් සේවකයන් බඳවා ගැනීම සහ ඊළඟට ඔවුන්ව ස්ථිර කිරීම, එදා ලයිට් බිල වැඩි කිරීම නිවැරදි යැයි කීමටත්, ජිනීවා යෝජනාවන්ට විරෝධය පෑමටත් අදාළ උද්ඝෝෂණවලට ඔවුන් සහභාගී වීමේ සුදුසුකම මත කරනු ලැබුවේ කෙසේද යන්න, මේ වෘත්තීය සමිති කිසිවක් සාකච්ඡුාවට නොගනියි. මෙය, මාධ්‍ය සංස්කෘතියේ අභිවෘද්ධිය සඳහා වූවක්ද, නැතහොත් පාලකයාගේ හෝ ආණ්ඩුවක දේශපාලනික න්‍යාය පත‍්‍රයේ කොටසක් වීද යන්න මොවුන්ට ප‍්‍රශ්නයක් නොවේ. කොටින්ම, මරදානේ ‘බුහාරි’ හෝටලයත් රාජ්‍ය අංශයට ගැනීම, ඔවුන්ගේ චින්තනය තුළ ආඩම්බරයට කාරණයකි.

වර්තමාන ලංකාවේ රාජ්‍ය සේවය 15,00000 කට ආසන්නයි. මහින්ද රාජපක්ෂ බලයට පත්වන අවස්ථාවේ එම ප‍්‍රමාණය 800000 කි. මෙය සාර්ථකත්වයක කතාන්තරයක්ද? ඔව්, එක කොන්දේසියක් යටතේ එය සාර්ථකත්වයක කතාන්තරයක් විය හැකිව තිබුණි. එනම්, ඒ අංශයේ සේවා සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව වර්ධනය වී, මහ භාණ්ඩාගාරයට එයින් දායක වූ ජාතික ධනයේ වර්ධනයක් ඇති වී තිබේ නම් ය. එහෙත් අපට ඇත්තේ, ඊට ඉඳුරා වෙනස් කැරැට්ටුවකි.

රාජ්‍ය අංශයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා, වෘත්තීය සමිති අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතිය ඔවුන්ට ලබා දෙන්නේ ආණ්ඩුවක් විසින් නොව, එකී අංශවලින් සේවාවන් ලබන සමස්ත ජනතාවක් විසිනි. පෞද්ගලික අංශය ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන්නේ ඔවුන්ගේම ධනයෙන් නිසා මේ සම්බන්ධයෙන් සෘජු බැඳීමක් ඔවුන්ට නැතත්, රාජ්‍ය අංශයේ ශ‍්‍රමිකයා ඒ ගැන වැඩියෙන් සිතිය යුතුව තිබේ. කොටින්ම, රාජ්‍ය අංශයේ ශ‍්‍රමිකයන් නඩත්තු විය යුත්තේ, ඔවුන්ගේ ශ‍්‍රමය විසින් ජනතාවට ලබා දෙන සේවාවට සමානුපාතික මට්ටමකිනි. උදාහරණයක් වශයෙන්, තැපැල් කාර්යාලයක් තුළ ආසන 10 ක සේවකයන් වාඩි වී සිටිනු දකිමින්, මුද්දරයක් ගැනීමට විනාඩි 15 ක් පෝලිමක බලා සිටීමට සිදුවන පුරවැසියෙකුට එම රාජ්‍ය සේවය ගැන ඇති වන හැඟීම කුමක්ද? මෙය, වර්තමාන ‘සුපර් මාර්කට්’ එකක සේවාව සමග සසඳා බලන්න. එක කවුන්ටරක පෝලිම වැඩි නම් වෙනත් කවුන්ටරක් ඔවුන් විවෘත කරනු අප දැක තිබේ. එම ආයතනයේ කළමනාකරුවා පවා අවශ්‍ය තන්හිදී, සමහර විට, පාරිභෝගිකයන්ගේ බඩුමුට්ටු බෑග්වලට අසුරා දීමට පවා ඉදිරිපත් වෙයි. මේ තත්වයම, පෞද්ගලික බැංකු, පෞද්ගලික රෝහල් ආදී කාර්ය මණ්ඩල සම්බන්ධයෙනුත් නිරීක්ෂණය කළ හැක. ඒ යහපත් ආකල්පය, රාජ්‍ය සේවය තුළ දක්නට නැත්තේ ඇයි? මුද්දරයක් ගැනීම සඳහා කෙනෙකු විනාඩි 15 ක් රස්තියාදු වන සැටි බලා සිටීමට තැපැල් ස්ථානාධිපතිවරයෙකුට වුව අයිතිය දුන්නේ කවුද?

රාජ්‍ය ආරක්ෂාව, නීතිය හා සාමය, විදේශ සම්බන්ධතා, මුදල්, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි අංශ කිහිපයක් හැරුණු කොට අනිත් සියලූ ක්ෂේත‍්‍ර කෙරෙහි රාජ්‍ය මැදිහත් වීම අවම කළ යුතු කාලය පැමිණ තිබේ. රාජ්‍ය සේවයේ ශ‍්‍රම බලකාය දෙගුණ කරමින් මහින්ද රාජපක්ෂ නැවතුණේ නැත. ඊට සාපේක්ෂව ඔහු සුවිශේෂී දේශපාලනික බලයකුත් අත්පත් කරගත්තේය. ඕනෑම රාජ්‍යයක් රටේ ආර්ථිකයට සෘජුව සම්බන්ධ වන ප‍්‍රමාණයට සරිලන බලයක් අත්කර ගන්නා දේශපාලනික නායකත්වයක්ද බිහි කර ගනී. මුසෝලිනීගේ සහ හිට්ලර්ගේ ෆැසිස්ට් රාජ්‍යයන්හි විශේෂත්වය වුණේ, ඔවුන් ඉසිලූ අසීමිත දේශපාලනික අධිකාරිය පමණක් නොව, රටේ සමස්ත ජනතාවගේ විවාහය සහ පෞද්ගලික විශ්වාසයන් පවා කවරාකාර විය යුතුදැයි තීන්දු කරනු ලබන සමාජ බලයක්ද ඔවුන් විසින් තම සන්තකයට ගැනීමයි. මේ නිසා හුදෙක් පැරණි ‘වාම’ පුරුදු අනුව යමින්, ’ශක්තිමත්’ රාජ්‍ය අංශයක අවශ්‍යතාව දේව භාෂිතයක් සේ තවමත් ගන්නා වෘත්තීය සමිති ව්‍යාපාර විසින් කරන්නේ, රටේ ආර්ථිකය පමණක් නොව, දැනුවත්ව හෝ නොදැනුවත්ව, රටේ අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් පරදුවට තැබීමයි.

මා දන්නා එක් වෛද්‍යවරයෙක් තමන්ගේ තීරබදු රහිත වාහන බලපත‍්‍රය රුපියල් 12,50,000 කට වික්කේය. එය මිළට ගත් ධනපතියා තඩි බී.එම්.ඩබ්. වාහනයක් ගෙන්වමින් රුපියල් 50,00000 ක ලාභයක් ලැබුවේය. සමස්ත ගනුදෙනුව මොන තරම් අක‍්‍රමික වුවත්, වෛද්‍යවරයා වෙනුවෙන් දොළොස් ලක්ෂ පනස් දහසක වියදමක් දැරීමට පුරවැසියෙකු වශයෙන් මට හිත හදා ගත හැක. එහෙත් මේ මජර ක‍්‍රමය හරහා මට අයත් තවත් රුපියල් පනස් ලක්ෂයක් තවත් පුද්ගලයෙකු විසින් ගසා කෑම මා ඉවසා සිටින්නේ කෙසේද? එබැවින්, දේශපාලඥයාගේ සිට වෛද්‍යවරයා දක්වා වන ඕනෑම කෙනෙකුට මෙවැනි අල්ලස් දීමට විරුද්ධව නැගී සිටිනවා වෙනුවට, වෛද්‍යවරුන් තමන්ගේ ‘පර්මිට්’ එක ඉල්ලා වර්ජනය කිරීම, එම වෘත්තීය ගෞරවනීයත්වය හෑල්ලූ කර ගැනීමක් මිස අන් කවරක්ද?

අප මුහුණදී සිටින්නේ, දේශපාලඥයාගේ දූෂිත පරමාර්ථ සඳහා යොදාගත් ක‍්‍රමවේද තමන් සම්බන්ධයෙන්ද වාසියක් සලසන්නේ නම්, එම වාසිය ස්වකීය ‘‘අයිතියක්’’ වශයෙන් සළකා වෘත්තීය සටන් කරන නැඹුරුවකටයි. බටහිර දියුණු රටවල ඉතා සීමිත පිරිසකට තීරු බදු රහිත වාහන බලපත් ලැබේ. එහෙත් එවැනි බලපත‍්‍රයකින් වාහනයක් මිළදී ගන්නා ඕනෑම කෙනෙකු එම වාහනය තවත් පුද්ගලයෙකුට විකුණන්නේ නම්, එකී ගැණුම්කරුවා මුල් පුද්ගලයාට ආණ්ඩුවෙන් දුන් තීරු බද්ද ආපසු ආණ්ඩුවට ගෙවිය යුතුය. තීරුබදු රහිත වාහන බලපත් සම්බන්ධයෙන් වන දූෂණය පිටුදැකීමේ මොන තරම් සරළ ක‍්‍රමවේදයක්ද, එය/ අප එවැනි ක‍්‍රමයකට නොයන්නේ ඇයි?

අවසාන වශයෙන්, ලංකාවේ හෙට දවස සඳහා ඉතා වැඩදායී ‘දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය’ වෘත්තීය සමිති ගර්ජන මැද්දේ හකුලා නොගැනීමට ආණ්ඩුවට හයිය තිබීම සතුටට කාරණයකි. ඒ ගැන සාකච්ඡුාව පසුවට..

Gamini-Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda