සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Media

GSP+ ඉල්ලා අමාත්‍යංශ ලේකම්වරු නැවත බ්‍රසල්ස් යයි..

අත්හිටවූ ජීඑස්පී සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ නිළධාරින් පිරිසක් නැවත වරක් ලබන 20වන දින බ්‍රසල්ස් නුවර බලා පිටත්වීමට නියමිත බව වාර්තාවේ. කෙසේ නමුත් අත්හිටවූ ජීඑස්පී බදු සහනය ලබා ගැනීම සඳහා පසුගිය මාර්තු මාසයේ ද රජයේ නිළධාරී කණ්ඩායමක් බ්‍රසල් නුවරට ගිය බව මාධ්‍ය වාර්තා කළේය.

නමුත් මෙවර බදු සහනය ඉල්ලා බ්‍රසල්ස් යන කණ්ඩායමට මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ කටයුතු ලේකම් රොමේස් ජයසිංහ, අධිකරණ අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත් සහ නීතිපති මොහාන් පීරීස් යවන නිලධාරීන් ඇතුලත් වේ.

මෙවර විශේෂත්වය වන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ කිහිපයකම ලේකම්වරුත් නීතිපතිත් සමඟ මෙම සාකච්ඡාවන් සඳහා සහභාගී වීමය.

පසුගිය දා මාස 6කට ජීඑස්පී බදු සහනය අත්හිටුවීමේ දී යුරෝපීය වෙළද කොමසාරිස් කැරල් ඩී ගුෂ් මහතා පෙන්වා දුන්නේ ‛එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥපති පිළිබද ලංකාව දක්වන සැලකිල්ල එතරම් සතුටුදායක නොමැති බවත්, විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වැනි කරුණු පිළිබඳව මෙම අත්හිටවු මාස 6 තුල හොඳ අතට පත් වුවහොත් ජීඑස්පී සහනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව යළි සලකා බැලිය හැකි බවය.’

‛‛ශ්‍රී ලංකාවට ජීඑස්පී සහනය ලබා දීමට නම් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ යුතු බවට යුරෝපා සංගමය දැනුම් දී ඇතැයි’’ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(06) පවසා සිටි බව අද(07) දිවයින පුවත්පත වාර්තා කරයි.