අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයන් කරන වෛරී මාධ්‍යකරණයට එරෙහිව පැහැදිලිව ප්‍රකාශයක් කරනු ලැබීය. සමහර මාධ්‍යවේදීන්ගේ නම් ගම් පවා සඳහන් කරමින් ඔවුන් කරන මෙම ජනයා කුපිත කරවීමේ මාධ්‍ය භාවිතාව ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබීය. ඒවාගේම එවැන්නකට ඉඩ දීමකට නොහැකි බවත් තරවටු කිරීමේ ස්වරූපයකින් පවසනු ලැබීය. මා දන්නා තරමින් ලංකා ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයෙක් ජනමාධ්‍ය ආයතනයනට සහ මාධ්‍යවේදීනට ජාතිවාදය සහ ආගම්වාදය වැපිරවීමට එරෙහිව, ජනතාව අතර භේද භින්න කරවීම් සහ කුපිත කරවීම් ඇති කරන පහත් මාධ්‍ය භාවිතාවට එරෙහිව ලංකා පාර්ලිමේන්තුව තුලදී පැහැදිලිව විරෝධය දැක්වූ පලමු අවස්ථාව මෙයයි. ප්රජාතන්ත්රවාදී රටක රජයක් ජනයා කුපිත කර ඔවුන් අතර ගැටුම් ඇති කරන මාධ්‍ය භාවිතාවකට ඉඩ හරිනු නොලබයි. විශේෂයෙන්ම ජන කණ්ඩායම් අතර ගැටුම් ඇති කරන මාධ්‍ය භාවිතාවකදී එයට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයන්ට යටත්ව දඬුවම් ලැබීම පවා සිදුවේ. වර්ගය හෝ ආගම මුල් කර එතුලින් සමාජය තුල ගැටුම් ඇතිවන වෛරී මාධ්‍ය භාවිතාව ප්රජාතන්ත්රවාදී නොවේ. ප්රජාතන්ත්රවාදය යනු අනෙකාගේ මතය ඉවසීමට, අනෙකාගේ මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ගරු කිරීම මෙන්ම අනෙකා විනාශ කිරීමට, අනෙකා පහත් කර නින්දාවට ලක්කර සමාජ විවිධත්වය නොඉවසා එය ගිනි තැබීමට මත ප්‍රචාරය කිරීමට ඉඩ නොදීම බවද සඳහන් කළ යුතුය.
ක්‍රිෂානි ජයසිංහ නම් ගායිකාවගේ දන්නෝ බුදුන් .. ගීත ගායනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ වෛරී ප්‍රකාශය ගැන රනිල් වික්‍රමසිංහ මහතා කළ තර්ජනාත්මක ප්‍රකාශය ගැන විවිධ මත පලවිය. ‘සිංහල බෞද්ධ’ බව රැක ගැනීමට බළලෙකුට ගඩොල් භාගයකින් ගසන ලෙස මෙම ගායිකාවට ගැසිය යුතු බව ඔහුගේ ප්‍රකාශය තුල ගම්‍ය වී ඇත. ( අවිහිංසාව, මෛත්‍රිය සහ කරුණාව මුල් කර ගත් ආගමක් රැක ගැනීමට බළලකුට වුව පහර දීම නිවැරදිද? ගඩොල් භාගයකින් පහර කන ස්ත්‍රියකට හෝ බළලෙකුට ඇතිවන හිංසාව කොතරම්ද? මෙවැනි වෛරී කුපිතකාරී ප්‍රකාශ කිසියම් ආගමකට තබා පොදු මිනිස් ධර්මයකට වත් එකගද? ) මෙය ලංකා මාධ්‍යකරණය තුල පසුගිය වකවානුවේ තිබූ තත්වයයි. එය නතර කර දැමීම අත්‍යවශ්‍ය දෙයක් නොවන්නේද? රට කරවන අය මේසඳහා පෙනී නොසිටිය යුතුද?
ලංකා මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පසුගිය දශකය තුල දිගින් දිගටම කළ මාධ්‍ය භාවිතාව දෙස මොහොතක් හැරී බලමු. පසුගිය රජය සමයේ එම රජයේ අත්තනෝමතික බව විවේචනය කළ මාධ්‍යවේදීන් මරා දැමූ බව, පැහැර ගෙනගොස් අතපය කඩා දැමූ බව, මෙන්ම ඔවුනට තම ජීවිත ආරක්ෂාව පතා රටින් පැන යාමට සිදුවූ බව අප දනිමු. මිනිස් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින්ටද මේ ඉරණමටම මුහුණ දීමට සිදුවිය. මේ වකවානුවේ සිට අද දක්වා ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ලිඛිත සහ විද්‍යුත් මාධ්‍ය ක්‍රියාත්මක වූයේ කෙසේද? තම සහෝදර මාධ්‍යවේදීන් මරා දමද්දී, පැහැරගෙන ගොස් අතපය කඩා දමද්දී, සදහටම අතුරුදහන් කර දමද්දී, මෙම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් තම සහෝදර මාධ්‍යවේදීනට එරෙහිව වෛරී, කුරිරු ජනයා කුපිත කරවීමේ ප්‍රචාරණයන් කරගෙන යනු ලැබීය. එතුලින් ඔවුන් තම සහෝදර ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත නැති කිරීමේ කුරිරු ක්රියාදාමයේ කොටස් කරුවන් නොවුනිද?එපමණකින් නොනැවතුනු ඔවුන් මෙම මාධ්‍යවේදීන්ගේ ඡායාරූප පමණක් නොව ඔවුන්ගේ දූ දරුවන්ගේ ද ඡායාරූප සහ නම් ගම් ලිපින ප්‍රසිද්ධ කරනු ලැබුවේ මේ ‘දේශද්‍රෝහීන්ට’ දිය යුතු දඬුවම ලෙස ගෙවල් ගිනි තබා අඹු දරුවන් විනාශ කළ යුතුය යනාදී ප්‍රචාරයක් කරමිනි. කොටි ඒජන්තලා, අධිරාජ්‍යවාදී තැරැව්කරුවන්, ඩොලර් කාක්කන්, රට පාවාදෙන්නන් ආදීන් ලෙස නම් කරමින් රට තුල මෙම මාධ්‍යවේදීන්ට එරෙහව කුරිරු ප්‍රචාරයන් ගෙන යනු ලැබීය. සුනිලා අබේසේකරගේ, සුනන්ද දේශප්‍රියගේ, පෝද්දල ජයන්තගේ, නිමල්කා ප්‍රනාන්දුගේ, පාක්‍යසෝති සරවණමුත්තු ආදීන්ගේ රූප රාමු කොපමණ වතාවක් නම් දේශ ද්‍රෝහීන් ලෙස නම් කරමින් විද්‍යුත් සහ ලිඛිත මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබීද?. මේ ලංකා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන තමන්ගේම සහෝදර මාධ්‍යවේදීන්ට සැලකූ ආකාරයයි.
ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීමට එතුලින් මිනිස් ජීවිත විනාශ කරවීමට යොදා ගත් මෙම මාධ්‍ය භාවිතාව අපට ලෝකයේ වෙනත් තැනක දකින්නට ලැබෙන්නේ ඒකාධිපති සහ ෆැසිස්ට් රාජ්‍යන්හි මාධ්‍ය භාවිතාව තුලයි.
එමෙන්ම වරදකට සැකකරුවෙකු ලෙස සැකයට භාජනයක වූ පුද්ගලයෙකුට එරෙහිව කරනු ලැබූ මාධ්‍ය භාවිතාව කෙතරම් අප්‍රසන්න ද? සැකකරුවා මාධ්‍ය විසින් අපරාධකරුවෙකු කර ඔහුගේ වැල ගිය මුල ගිය පැටිකිරිය තම හිතලු සමග මොවුන් ප්‍රචාරය කරනු ලැබීය. මෙම මාධ්‍ය භාවිතාව නිසා එතුලින් කුපිත කර ඇවිස්සූ ජනයා සැක කරුවන් කී දෙනෙකුගේ ගෙවල් ගිනි තැබුවාද? මිනිසුන් කී දෙනෙකුට නිකරුණේ අඩම්තේට්ටම් කළාද? මාධ්‍ය විසින් ‘අපරාධකරුවන්’ ලෙස හංවඩු ගැසූ සැකකරුවන් කී දෙනෙකු සැඟවූ ආයුධ පෙන්වීමට ගොස් අතරමගදී පොලිස් වෙඩි පහරින් හෝ මාංචු පිටින් ගංඟාවල පිහිනීමට ගොස් මිය යනු ලැබීද?. මේ මාධ්‍ය භාවිතාව ඒ අපරාධයන්හි ප්‍රධාන කොටස්කරුවන්ය. මෙවැනි මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන තම භාවිතාව වෙනස් කර නොමැති බව සේයා දැරිය ඝාතනයේදී මෙන්ම අලුතින්ම කිෂානි ජයසිංහගේ ගීතය දක්වාම පවත්වා ගැනීමෙන් පෙන්නුම් කරයි. එසේනම් එය නතර කිරීම අග්‍රාමාත්‍යවරයාගේ අත්‍යවශ්‍ය වගකීමක් නොවන්නේද?
පැවති ආණ්ඩුව වෙනස් කර අලුත් ආණ්ඩුවක් පත්කරගෙන ඇත. ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමයක් ගැන පවතින ආණ්ඩුව දිගින් දිගටම කතා කරයි. නමුත් ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ සුපුරුදු අයුරින්ම නොවේද? දිවයින පුවත්පතේ, ලංකාදීප පුවත්පතේ පලවන පුවත්වලින් කීයක් නම් ජාතිවාදය සහ ආගම්වාදය වැපිරවීමට එතුලින් ජනවර්ග අතර ගැටුම් ඇතිකර වීමට උඩ ගෙඩි දෙනු ලබයිද? මෙම මාධ්‍ය කරණය වසර දහයකටත් වඩා කාලයක් මෙම ආයතන සහ මාධ්‍යවේදීන් පුරුදු පුහුණු වී ඇති ක්‍රමයයි. ඔවුනට ඒ පිළිබඳ අවවාද කළ පමණින්, නව මාධ්‍යකරණයක් ගැන කථා කළ පමණන්, ඔවුනගේ ක්‍රියා පිළිවෙත නතර නොකරන බව පැහැදිලිය. කිෂානි ජයසිංහගේ ගීතය ගැන මාධ්‍යවේදියා කළ ප්‍රකාශය ගැන විවිධ පැති වලින් විවේචන මතුව ආවා වුවත් මුලින්ම ඒ පිළිබඳව ඒ මාධ්‍ය ආයතනය හෝ එම මාධ්‍යවේදියා ගණනකට වත් ගත්තේ නැත. නමුත් එම මාධ්‍ය ආයතනයට වික්‍රමසිංහ මහතා විසින් තරවටු කළ පමණින් එම මාධ්‍ය ආයතනයත් වහාම ක්‍රියාත්මක වීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් ප්රජාතන්ත්රවාදයට ගරු නොකරන බවයි. ඔවුන් දන්නා බස වන තර්ජන ස්වරූපයෙන් පැවසූ විට පමණක් එයට ප්‍රතිචාර දක්වන බවයි.
සෑම ජාතිවාදයකම අවසාන දිගුව ෆැසිස්ට් වාදයයි. සියළුම පාහේ දේශප්රේමයන් ක්‍රමයෙන් ජාතිකවාදයකටත් ඉන්පසුව එය පටු ජාතිවාදයකටත් පෙරළෙන බව ලෝකය පුරා මිනිස් සංහතිය ලබන අත්දැකීමයි. මා ජීවත්වන ජර්මනියේ ජාතිවාදීන් සෑම විටම ෆැසිස්ට්වාදය සමග අත්වැල බැඳගනී. ඉතා ශක්තිමත් ලෙස ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන රටක් වන ජර්මනියේ ජන කණ්ඩායම් අතර නොසන්සුන්තා ඇති කරවන, කණ්ඩායම් කුපිත කරවන ප්රකාශනයන්ට එරෙහිව නීතිමය ක්‍රියා ගැනීමට ඉඩ සලසා ඇත. එවැනි ප්‍රකාශයන් කරන පුද්ගලයින්ට මෙන්ම සංවිධානවලට එරෙහිව රාජ්‍ය නායකයින් ප්‍රසිද්ධියේම විරෝධය දක්වන්නේ ඔවුන්ගේ ජාතිවාදී ප්‍රකාශයන් පිළිකුල් කර හෙලා දකිමිනි.
වර්ගවාදය තම ජීවිත දැක්ම කරගත් වර්ගවාදී මිනිසුන් හැර නවීන ලෝකයේ අන් මිනිසුන් වර්ගවාදය පහත් නිගා දෙන දෙයක් ලෙස සලකා පිළිකුලෙන් ඉවත දමයි. වර්ගවාදී මිනිසා තමා අයිති ජන වර්ගය, තමා අදහන ආගම මෙන්ම තමාගේ දෙය පමණක් ලොව උසස්ම දෙය කොට සලකන අතරම අන් ජනවර්ග සහ ආගම් ආදිය පහත් කොට සලකනු ලබයි. ස්ත්‍රියට වඩා පුරුෂයා උසස්ය යන පුරුෂාධිපත්‍ය මතයද මෙහිම තවත් කොටසකි. මෙම මිනිසුන් පාට, වර්ග, ගෝත්‍ර, ආගම් ආදී මෙකී නොකී ප්රභේදයන් උලුප්පවමින් තමා මතුවීමට වෙර දරති. තමන් තුල ඇති විශේෂ දක්ෂ කමක් හෝ විශේෂ හැකියාවක් නොමැතිව නමුත් තමන් අහම්බෙන් ඉපදුණු ජන කණ්ඩායම ගැන රට ගැන හෝ ආගම ගැන හේතු විරහිත වගාඩම්බරයකින් පෙළෙන මොවුන්ගේ මෙම හේතුවක් නොමැති වගාඩම්බරයට හේතුවන්නේ ඔවුන් තුල ඇති හීනමානයක් නිසාවෙනි. ඒවාගේම මොවුන් තුල කොටසක් මෙම ජාති උන්මාදය උලුප්පවා තමන්ගේ පටු දේශපාලන උවමනාවන් සහ ආර්ථික උවමනාවන් සපුරා ගැනීමට තැනීමද තවත් හේතුවක් වේ. එමෙන්ම මොවුන් තුල ඇති ‘රැළ’ නැතිනම් ‘රංචුව’ මානසිකත්වය රංචු වශයෙන් ජීවත් වන අනෙක් සත්වයින්ට වඩා පරිනාමයෙන් මොවුන් දුරස් වූ බවක් ද නොපෙන්වයි.
ප්රජාතන්ත්රවාදී රටක් ඇති කර ගැනීමට නම් ජන කණ්ඩායම් අතර අසමගිය ඇති කරවන, ජාතිවාදී, පුරුෂාධිපති වාදී, හා ආගම්වාදී ප්‍රකාශකන්ට සහ ප්‍රකාශන ආයතනයන්ට එරෙහිව පවතින රජය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතුය. එනිසා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පැහැදිලි කියමන (එම කියමන තුල එක්තරා ග්‍රාම්‍ය බවක් ඇතත්) ප්රජාතන්ත්රවාදී මාධ්‍ය භාවිතාවක් අප රට තුල ඇති කර ගැනීමට උදව් වනු ඇති බව මගේ වැටහීමයි. අවසාන වශයෙනුත් කීමට ඇත්තේ ප්රජාතන්ත්රවාදය යනු ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට ඇති අයිතිය නොවන බවයි.
රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarachchi