ශ්‍රී ලංකාවාසීන් වෙත දැන් අලුත් කර්තව්‍යක් පැවැරී තිබේ. එනම් මාස 14කට කලින් ජනාධිපතිවරණයෙන් ද මාස නමයකට කලින් මහා මැතිවරණයෙන් ද පරාජය වූ මහින්ද රාජපක්ෂ හොර නඩය යළි බලයට ගෙන ඒම ය.

ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අනුව වසර හතරක් යන තුරු මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි ය. හදිසි ජනාධිපතිවරණයක් ගැන සිතන්නටවත් නොහැකි ය. මහා මැතිවරණයක් පැවැත්වෙන්නේත් නැතිනම් හදිසි ජනාධිපතිවරණයක් ගැන සිතන්නට හෝ නොහැකි නම් රාජපක්ෂ මාස හයකින් බලය අල්ලා ගන්නේ කෙසේද?

එක ක්‍රමයක් තිබේ. එනම් පාර්ලිමේන්තුවෙහි දේශපාලන බල තුලනය රාජපක්ෂට වාසිදායක වන පරිදි වෙනස් කර ගැනීම ය.

පාර්ලිමේන්තුවෙහි ආසන 225කි. ඉන් 100ක් එක්සත් ජාතික පෙරමුණට අයත්ය. පොදු ජන එක්සත් පෙරමුණට ආසන 95ක් අයත්වන අතර එය හරි හරියට වාගේ ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති රාජපක්ෂ අතර බෙදී ගොස් තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට ආසන 07කි. දෙමළ ජාතික සන්ධානයට ආසන 16කි. ජවිපෙ 06කි. ඊපීඩීපී 01කි.

මේ අනුව මේ අවස්ථාව වන විට රාජපක්ෂ නඩය සතුව ඇත්තේ පාර්ලිමේන්තු ආසන 50කට අඩු සංඛ්‍යාවකි. පාර්ලිමේන්තුවෙහි බහුතර බලය ලබා ගැනීමට නම් රාජපක්ෂ නඩය තවත් ආසන 65- 70ත් අතර ප්‍රමාණයක් තමන්ට එක් කර ගත යුතුය. ජනාධිපති සිරිසේන කිසිසේත්ම රාජපක්ෂට කිසිදු වාසියක් සැළසීමට හෝ තමා සමඟ සිටින මංත්‍රීවරුන් රාජපක්ෂ වෙත යැවීමට හෝ සූදානම් නැත. පසුගිය මහා මැතිවරණයෙහි දී පෙනී ගිය පරිදි ජනාධිපති සිරිසේන රාජපක්ෂට කිසිදු දේශපාලන බුරුලක් දක්වන්නේ නැත.
ජවිපෙ, මුස්ලිම් කොනග්‍රසය සහ දෙමළ සන්ධානය කිසිසේත් රාජපක්ෂ සමඟ එකතු වන්නේ නැත. ඒ අනුව හ්‍රීලනිපයේ ජනාධිපති සිරිසේන පාර්ශවය හැරුණ ද රාජපක්ෂ විරෝධී මංත්‍රීවරු 129ක් පාර්ලිමේන්තුවෙහි සිටී. ඉදින් පාර්ලිමේන්තු බලකුලනය අනුව රාජපක්ෂට බලය ලබා ගැනීමේ කිසිදු ඉඩක් නැත.

රාජපක්ෂ නඩය පාර්ලිමේන්තුවෙහි බහුතර බලය ලබා ගැනීම දවල් සිහිනයකටත් වඩා සිහි විකල්වීමකි. මෙවැනි විකාර සිහින පෙනෙන්නේ සිහි විකල් වූ විට පමණය. ඇත්ත වශයෙන්ම නම් ඉදිරි කාලයෙහි සිදුවනු ඇත්තේ රාජපක්ෂ නඩයේ සංඛ්‍යාත්මක වටිනාකම තවත් පහළ යෑමය. නඩයෙන් කොටසක් කරන ලද හොරමැර වංචා නිසා සිරගෙදර යනු ඇති අතර තවත් පිරිසක් ජනාධිපති සිරිසේන කරා ඇදී යනවා ඇත.

රාජපක්ෂ නඩයේ දේශපාලන වටිනාකම කුමක්ද? එහි දේශපාලනය සහමුලින්ම රඳා පවතින්නේ අමු ජාතිවාදය සහ පටු දේශප්‍රේමය මතය. එහි ජාතිවාදී පෙරමුණ සකස් කරන්නේ ඥණසාර ඇතුලු අනෙක් උම්මන්තක චීවරධාරී අතලොස්ස විසිනි. පටු දේශප්‍රේමය ගම්මන්පිල – දයාන් ජයතිලක යනාදී එහි බුද්ධිමතුන් විසින් පුරවාලයි. සමහර විට විශ්‍රාමික ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මෙම පටු දේශප්‍රේමී නායකත්ව තීරුවට සම්බන්ධ විය හැකි ය.

එහි ආර්ථික බලය රාජපක්ෂ සමයෙහි ගසා කන ලද මුදල් පොට්ටනි බැඳ ඇති හොර ජවාරම්කරුවන් විසින් සකස් කරයි. සමහර විට අමු ජාතිවාදය සහ හොර ජාවාරම්කාර ප්‍රාග්ධනය රාජපක්ෂ නඩයේ තෝමර තුඩ බවට පත්වනු හැකිය.

මේ කෙසේ වෙතත් මැතිවරණයත් පෙනෙන මානයේත් නැති නම් පාර්ලිමේන්තු බහුකරයක් ලබා ගැනීම හුදෙක් සහිවිකල් මායාවක් පමණක් නම් රාජපක්ෂ නඩය මාස හයකින් බලය අල්ලා ගන්නේ කෙසේ ද?

පසුගියදා පැවැති හයිඩ්පාක් රැළියෙහිදී රාජපක්ෂවාදී වහලකු වන හිටපු අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ එම සියලු නීත්‍යනුකූල පියවරයන්ට පිටින් බලය ලබා ගන්නා අන්දම කියා දුන්නේ ය. එනම් රාජපක්ෂවාදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නොළඹට ගෙන්වා ජයවර්ධන පුර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය වටලෑම යි. හයිඩිපාක් රැලියෙන් උද්දාමයට පත්ව ලියන දයාන් ජයතිලක ද එම අදහස ම පුනරුච්චාරනය කරයි. ඔහු කියන්නේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් රට පාලනය කරන අතර රාජපක්ෂ විදීයේ සිට රට පාලනය කරන බව යි. එපමණක් නොව ඔහුට අනුව මේ එළඹෙන්නේ ආරාබි වසන්තය මෙන් ශ්‍රී ලංකා වසන්තයකි.

රාජපක්ෂ නඩයේ ප්‍රධානීන් වන යම් යම් දේශපාලන නායකයින් තමන් සැබැවින්ම මාස හයක් සහ වසරක් ඇතුළත රාජ්‍ය බලයේ හිමිකරුවන් වනු ඇතැයි විශ්වාස කරන බව විවිධ ආරංචි මූලාශ්‍රයන් කියා සිටී.

කෙටියෙන් කියන්නේ නම් රාජපක්ෂ නඩය මස හයකින් බලය අල්ලා ගැනීමට කල්පනා කරන්නේ මහජන කැරැල්ලක් මගිනි. ඊට යුද හමුදාවන්හි යම් යම් පිරිස්ද විශේෂයෙන්ම උතුරෙහි මෙන්ම දකුණෙහිද මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දුෂිත යුද හමුදා පිරිස් ද එවැනි මහජන කැරැල්ලකට සහාය දෙනු ඇතැයි රාජපක්ෂ නඩය කල්පනා කරනවා වෙන්නට පුළුවන.

රාජපක්ෂ නඩය දෙමළ සහ මුස්ලිම් ජනයාගේ සහාය තමන්ගේ මහජන කැරැල්ලට අපේක්ෂා නොකරන බව සක් සුදක් සේ පැහැදිළි ය. ඇත්ත වශයෙන්ම නම් රාජපක්ෂ කඳවුර මෙරට දෙමළ සහ මුස්ලිම් ජනයා සළකනු ඇත්තේ සිය කැරුල්ලට පසමිතුරු ද්‍රෝහී බලවේගයන් ලෙස ය.

එමෙන්ම රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට මූලිකත්වය ගත් දේශපාලන සහ සිවිල් බලවේගයන්ද රාජපක්ෂ නඩය මෙහෙයවීමට බලාපොරොත්තු වන කැරැල්ලේ ඉලක්කයන් බවට පත් වනු නොඅනුමානය.

එනයින් හිතලුවක් පමණක් වුවත් මෙම මාස හයකින් බලය අල්ලා ගැනීමේ රාජපක්ෂ නඩයේ සැළැස්ම ඇත්ත වශයෙන් ම නම් තවත් දෙමළ විරෝධී 1983ක් තවත් මුස්ලිම් විරෝධී 1915ක් සහ දකුණේ ලේ හැලූ 88 -90 භීෂණ සමයක් බවට පත්වීම වැළැක්විය නොහැකි වන්නට ඉඩ තිබේ. රාජපක්ෂ නඩයේ වීරවංශ, ප්‍රසන්න, අලුත්ගමගේ වැනි පාබල සොල්දුදුවන්ගේ වෛරක්කාරී කතා දෙස බලන විට රාජපක්ෂ කැරුල්ල ඇති වුවහොත් කුමන මට්ටමක ලේ සාගරයක් මවනු ඇත්දැයි සිතා ගැනීම දුෂ්කර නැත.

මේ වනාහී රාජපක්ෂ නඩයේ අන්තිම සටන ය. එය මරාගෙන මැරෙන සටනක් විය හැකිය. ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරයණයකින් බලයට ඒමට වසර පහක් බලා සිටීමට රාජපක්ෂ නඩයට නොහැකි ය. එවැනි බලා සිටීමක විපාකය දේශපාලනික මරණය බව රාජපක්ෂවරු දනිති. වසර පහක් නොව එක් වසරක් හෝ බලා සිටිය හොත් රාජපක්ෂ නඩයේ බුරුතු පිටින් නතර වනු ඇත්තේ මහ උලු ගෙදරය. මුදල් විශුද්ධිකරණය යටතේ සිර ගතවීමට නියමිත බව පෙනෙන සිය පුත්‍රයින් වන යෝෂිත හෝ නාමල් ජම්පර ඇදීමට පෙර, සිය අන්තේවාසිකයකු වූ සජින් වාස් ගුණවර්ධන අධිකරණය හමුවෙහි රාජපක්ෂ වංචා දූෂණ ගැන පාපෝච්චාරනය කිරීමට පෙර, පාර්ලිමේන්තු මංත්‍රී නඩරාජා රවිරාජ් සහ ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළීගොඩ ඝාතනය සම්බන්ධයෙන් ගොඨාභය රාජපක්ෂගේ නම ඇදී ඒම පෙර බැසිල් රාජපක්ෂ දූෂණ වංචා සම්බන්ධයෙන් සිරගතවීමට පෙර, වසීම් තාජුඩීන් ඝාතනයේ සාපය රාජපක්ෂ හෙංචයියන් වෙත පතිතවීමට පෙර මහපාරේ ආණ්ඩුවක් පිහිටුවීමට රාජපක්ෂ නඩයට අවශ්‍ය ය.

දැන් සෙහොන් ළකුණු පෙනෙන මුහුණින් යුතුව පපුවට ගසා ගනිමින් බලය බලය යැයි කැ ගසන්නේ එනිසා ය.

වීරවංශගේ පක්ෂ ම වාගේ නඩත්තු කරන ලද්දේ ඔහු යටතේ වූ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශය විසිනි. ත්‍රිවීල් පක්ෂයක් වන නමුදු වාසුදේවගේ පක්ෂයේ ප්‍රධානීන් සියල්ලෝම වාගේ රැකියා කළේ වාසුදේවගේ අමාත්‍යංශ කාර්යාලයේ ය. අලුත්ගමගේ කෝටිපතියකු වූයේ රාජපක්ෂ රාජධානියේ වහල් සේවකයකුව සිටිමිනි. අලහප්පෙරුමගේ මලයා කිසිදු සුදුසු කමක් නැතිව ස්වීඩනයේ තානාපතිව සුරසැප වින්දේ රාජපක්ෂ වහල් රාජධානියේ පිහිටෙනි. අඩව් අල්ලන්නට ‍ගොස් කකුල කඩා ගත් කෙහෙළියට කෝටි ගණනින් වෛද්‍යාධාර ලැබුණේ ද ටෙලි නාට්‍ය සුරතල් ලැබුණේ ද එකී වහල් සේවයම නිසා ය. මේ වනාහී ඉවර නොවන ලැයිස්තුවකි.

ඉදින් කෙසේ ඉවසා ඉන්නද? අඩුම වශයෙන් සිහිවිකල් මායාවන් ලෙසවත් මාස හයකින් බලයට ඒමේ දවල් සිහිනය දැක දැක සිටීම අත්‍යවශ්‍යය. එම මායාව ඇත්තක් සේ මවා පෙන්විය හැකි මහජන රැස්වීම්, වෙළද දැන්වීම්, ගී සිංදු, සමාජ ජාල ප්‍රචාර ඈ කී නොකී සරුවපිත්තල දේශපාලන විජ්ජාවන්ගෙන් දිගටම දේශපාලන වාතලය අපිරිසිදු වන්නට දැන් නියමිතය.

බලයට ඒමේ මායාව බොඳවූ වහාම සිය නඩය රාජපක්ෂවරුන්ට සහ සදාකාලික වහලුන්ට සීමාවී අනෙක් ගමන් සගයින් තමන් හැර යනු ඇති බව රාජපක්ෂ දනී. නමුත් එම අවසානය සමහර විට රාජපක්ෂ කැරැල්ලේ භයානක ලේ හැලීම් හරහා ගමන් කරන්නට ඉඩ තිබේ. එය එසේ නොවනු ඇති බවට වග බලා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ සමාජ, දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි මූලිකත්වය යහපාලනය විසින් අල්ලා ගැනීම ය. බකන් නිලා ගෙන සිටීම නොවේ.

අප්පමාදෝ අමතපදං.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya