Image @vikalpa

නවකවදය සම්බන්ධයෙන් රටේ මේ වන විට උද්ගත වී ඇති විවාදාත්මක තත්වය අතිශය අප්‍රසන්න වටපිටාවක් නිර්මාණය කොට තිබේ. මේ නිසා තවදුරටත් ලංකාවේ ඉහළ පෙලේ තනතුරු පාසල් මූලික කරගෙන නිර්මාණය වන අතර විශ්වවිද්‍යාල සහ ඒවායෙහි ඉගෙනුම ලබන අයවලුන් රටේ ප්‍රතිපත්ති තීරණ ලබා ගන්නා ස්ථාන වලට ආගන්තුකයින් වනු ඇත. රටේ ප්‍රධාන ස්ථාන වලට බඳවා ගැනීමේදී අදාළ පුස්ගලයා ඉගෙනුම ලබා ඇත්තේ රාජකීය, නාලන්ද, ආනන්ද, විශාකා යන කාරණා මිස කුමන විශ්ව විද්‍යාලයේද යන්න ගැටලුවක් නොවේ. මේ නිසාම අදාළ පාසල් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රභල ලෙස ගැඹුරට විහිදීගිය තරගයක් තිබේ. එසේම මීට, දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රභල ස්ථානයක් හිමි වී තිබේ.

යම් කිසි පුද්ගලයෙකු වයස අවුරුදු පහේ සිට පහළොව දක්වා වූ කාලය තුළ හදාරන දෑ සහ හැදැරූ ස්ථානය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කිරීමටත් තවත් අයෙකු වයස අවුරුදු 15 සිට 18 – 20 දක්වා ඉගෙනගත් ස්ථානයට අඩුවටිනාකමක් ලැබීමටත් හේතුව කුමක්ද? බැලූ බැල්මට අපැහැදිලි සහ පිළිගැනීමට තරමක් අපහසු කාරණයක් ලෙස මෙය පෙනේ. නමුත්, මෙය ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය මුහුණ දී සිටින ප්‍රභල සමාජීය බිඳ වැටීම විද්‍යාමාන කරන එක් කාරණයක් පමණි. මෙය කණගාටුවට කාරණයකි. යම් කිසි අයෙකු කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගත් බව පැවසීම, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙකු යැයි හඳුන්වා දීමට වඩා වැදගත් පිළිගැනීමක් ලැබීම උදෙසා වන සමාජ නැමියාවේ ඇති නොගැලපීම කුමක්ද?

මෙය සැබවින්ම, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වඩාත් සිහි නුවණින් කල්පනා කොට බැලිය යුතු කාරණයක් වේ. කණගාටුවට කරුණ නම්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර බොහොමයක් කුහකකමින් පිරුණ, තම කලාපය තුළ ( ටෙරිටරි එක) ට්‍රෝජන් වීරත්වයක් මවාගත්, කිසිඳු විද්‍යානූකූලව හෝ ප්‍රායෝගිකව සිතීමට කෞශලයක් නොමැති පිරිසකගේ එකතුවක් වී තිබීමයි. ඔවුහු විශ්ව විද්‍යාලෙන් එලියට එන විට ප්‍රභල සමාජ පීඩාවකින් සහ අසහනයකින් පීඩා විඳීමට තරම් අවාසනාවන්ත වී සිටිති. එසේම, අතීතයේ සිට මේ දක්වා ශිෂ්‍ය ව්‍යාපාරවල සිටි කැඳවුම්කරුවන්, මෙන්ම ඉහල පෙලේ සිසු කටයුතු ක්‍රියාදාරීන් තම උසස් අධ්‍යාපනයෙන් පසු දේශපාලනික වශයෙන් ගමන්ගත් ස්ථානය කුමක්ද? ඔවුන්ගේ දේශපාලන ස්ථාවර වලින් මෙරට උසස් අධ්‍යාපනය අපරිහාන සංස්කෘතියකට නතු කිරීමට හැකි වූයේද? එසේම අධ්‍යාපනයට වැදගත්කමක් ඇති තීන්දු ගැනීමෙහිලා ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉවහල් වූයේද? නොඑසේනම්, හුදු කෑ කෝ ගැසීම් පමණක් වූයේද?

සමාජීය ගැටලූ විසඳීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාර වලට ප්‍රභල වගකීමක් තිබේ. එම වගකීම දැරීම සඳහා පළමුව වැදගත් වන්නේ තමන් “රස” විඳිමින් සිටින කුණු ගොඩින් එළියට පැමිණ ප්‍රතිපත්තිමය කාරණා වෙනුවෙන් එක්සත්ව නැගී සිටීමය. එය නොකරන තාක් දුරට මෙම තත්වය තව තවත් ව්‍යාකූල වීම හැරෙන්නට, කිසිඳු යහපත් විසඳුමක් නොලැබෙනු ඇත. දුප්පතුන්ට ඉගෙන ගැනීමට ඇති මාවත් වැසෙනු ඇත. ඒසේ නොවීම සඳහා සියලුම සිසුන් හමුවේ පැවරෙන මූලික වගකීමක් මෙන්ම එම වගකීමට අදාළ වැඩපිළිවෙලක් තිබේ.

මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය කුමක්ද? ඒ සඳහා මෙරට සිංහලෙන් සිතන සිසු දරුවන්ට පරිශීලනය කළ හැකි සාහිත්‍යයක් තිබේද? මා දන්නා පමණින් ත්‍රීමාවිතාන පදනම විසින් ත්‍රීමාවිතාන සහ ඔහුගේ සගයින් අලලා මෑතකදී මුද්‍රණය කළ කුඩා පොත හැරෙන්නට, ශිෂ්‍ය ව්‍යාපාර ගැන ලිය වූ ප්‍රභල සාහිත්‍යක් අපට නැත. අදාල කෘතීය මුද්‍රණය කළේද ණයට ලබාගත් මුදල් වලින් බව එහි කතුවරයෙකු මා හට පෞද්ගලිකව ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම කාරණයේදී මතුවන මූලික ගැටලුව පැහැදිලිය. හිවලුන් මේ හූ කියමින්, ඌරන් මෙන් අනුන්ගේ කුණු කමින්, පටු දේශපාලනික සහ තම මෝහය පිනවීම සඳහා ඇති කරන කෝලාහලයෙන් ඔබ්බට ගමන් කළ හැකි ශිෂ්‍ය ව්‍යාපාරය මෙරට මරා දමා ඇත. එවැන්නක් තනා ගැනීම සඳහා වන මූලික පදනමද විනාශ කොට ඇත. ඒ වෙනුවට තම විශ්ව විද්‍යාල භූමියේ සිට කොළඹ පිහිටි අමාත්‍යංශයට පා ගමන් ගොස් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කොට පොලිසියේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හමුවේ විසිරී යන ශිෂ්‍ය විරෝධය නමැති උපායශීලී නොවන ස්‌වයං භක්ෂක වැඩපිළිවෙලක් තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ නවකවදයට අදාළ සිදුවීම අරඹයා මතු වී ඇති සමාජ විවාදය හමුවේ මෙම මූලික කාරණය එනම් ශිෂ්‍ය ගැටලු හමුවේ සිසුවාගේ විරෝධය සහ ශිෂ්‍ය දේශපාලනය ගැන විමසීම අතිශය වැදගත් වේ යැයි සිතේ. අදාළ කාරණය සමබන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට එක් ශිෂ්‍යාවකට හෝ ශක්තියක් තිබීම අගය කළ යුතු කාරණයකි. එසේම, අදාළ සිදුවීමට වගකිව යුතු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙරට නීතිය යටතේ කටයුතු කිරීම තීරණාත්මක වේ. මෙම සිදුවීම සැබැවින්ම සෑම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවකටම වැදගත් වේ. එය වැදගත් වීම සඳහා පීඩාවට පත් වූ අයවලුන්ට සාදාරනය ඉටු කිරීමත්, පීඩාවට පත් කළ අයවලුන්ට නීතියේ ප්‍රකාරව කටයුතු කිරීමත් වැදගත් වේ. එසේම, අදාළ වදකයින්, පුනරුත්ථාපනය කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් තිබිය යුතු අතර, මෙවැනි සිදු වීමක් යළි ඇති නොවීම සඳහා රටේ සෑම පුරවැසියෙකුටම වගකීමක් පැවරේ.

මෙම තත්වය හමුවේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය යහමගට ගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කැපවීම වැදගත් වේ. ඒ සඳහා අවශ්‍ය දේශපාලනික වටපිටාවද මේ වන විට නිර්මාණය වී තිබේ. ශිෂ්‍ය දේශපාලනය කිසිම සමාජ සංස්ථාවක ප්‍රතික්ෂේප කළ හැකි දෙයක් නොවේ. සෑම සමාජ සංස්ථාවකම එය කුමන පාලන විධික්‍රමයට යටත් වුවද ඊට අදාළ ශිෂ්‍ය දේශපාලනයක් තිබුණි. එසේම සමාජය, වැරදි ( සාමන්‍යය ජනතාව පීඩාවට පත් කරන) දේශපාලන ප්‍රවාහයක ගමන් කරන විට, ඒ සඳහා මුල්ම කතිකාව ඇතිවන්නේ ශිෂ්‍ය දේශපාලනය තුළය. 2015 ජනවාරී මාසයේ ඇති වූ සමාජ් දේශපාලන වෙනසින් පසු ශිෂ්‍ය දේශපාලනයේ ගමන් මග තීරණය කළ යුතුව තිබුණි. ඒ සඳහා සියලුම විශ්ව විද්‍යාල එකතු කරගත් සාමූහික වැඩපිළිවෙලක් උදෙසා ඒකරාශී වීමේ වැදගත් කමක් තිබුණි.

නමුත් අවාසනාවට මෙන් නවකවදය වැනි මානසික රෝගීන්ගේ නොපණත්කම් හැරෙන්නට, රටේ අධ්‍යාපනික ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා වූ සාමූහික වැඩපිළිවෙල සඳහා දායක වීමට ඇති අමිල අවස්ථාව දියාරූ වෙමින් තිබෙන සැටියෙකි. ශිෂ්‍ය දේශපාලනය වගකිව යුත්තේ මෙම මූලික කාරණයටය.

රටේ ඉතිහාසය සර්ව ශුබවාදී එකක් නොවේ. රාජ්‍යය ප්‍රතිපත්ති වෙනස් කිරීම වෙනුවෙන් සටන් කළ බොහොමයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අකාලේ මරා දැමීමට හැකි වටපිටාවක් තිබුණි. ශිෂ්‍ය දේශපාලනයට එරෙහි පිරිසගේ සැලසුම් සාර්ථක වීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාර වල සිටි අයවලුන්ගේම සහය ලැබුණි. තම සගයාගේ පාවාදීම්, සගයා තුනටනවා ටයරයක් තුළ රිංගවා පණපිටින් පිළිස්සෙමින් තිබෙන මළකඳක් බවට පත් කිරීමට හැකි වූ ඉතිහාසයක් තිබේ. එසේම දෙමළ සටන්කාමී කල්ලිවාදය විසින්ද ඝාතන සංස්කෘතියක් ඇතිකොට සමාජ භීතිකාවක් දෙමළ කතාකරන සමාජය තුළ පැළපදියම් කරනු ලැබීය. ඒ සියලුම දෑ වල මූලික අපේක්ෂාව වූයේ සමාජ බුද්ධිය අතු ගා දැමීමය.

එවැනි ශාපකාරී සමාජ තත්වයක් ඔස්සේ ගමන් ගත් අපේ මාතෘ භූමිය මේ වන විට සොයමින් සිටින්නේ ඉතිහාසයෙන් ලද පාඩම් වලින් ඉගෙන ගෙන, යලිත් එම විනාශයට රට ඇද නොවැටෙන ලෙස රටේ කොඳු නාරටිය සකස් කළ හැකි පිරිසකි. එම පිරිස සිටින්නේ ශිෂ්‍ය දේශපාලනය තුළය. සැබෑ සමාජ ශෝධකයින් වූ කලී මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. මොවුන් අදාළ භූමියට ඇතුළුවන නව සිසුවාට පහර දී ඔවුහුගේ හෝ ඇය තමාගේ යටතට ගැනීමට උතසහ කරන්නේ නම්, ඔවුහු ඓතිහාසික වශයෙන් සිදුකරමින් සිටින්නේ පෙර සිදු වූ අශීලාචාර සංස්කෘතියට යලිත් රට තල්ලු කිරීමය.

පෙර සිදු වූ වැරදි වල ප්‍රතිඵල වර්තමානයේ මේ රටේ ජනතාව අත්විඳින්නෙමු. දිරාගිය රාජ්‍යය සංස්ථාවක්, කුඩම්මාගේ සැලකිලි ලබන රාජ්‍යය අධ්‍යාපන ව්‍යුහයක්, අල්ලස් සහ දූෂණ සංස්කෘතියක් ඇති කළ පාසල් අධ්‍යාපනයක්, රාජ්‍යය සම්පත් අකාලයේ මියයද්දී එක් එක් අගුපිලි අස්සට වී නියම අධ්‍යාපනය මෙයම වේයැයි වර්ධනය වූ “ටියුෂන්” සංස්කෘතියක්, රට තුළ ඇති වී තිබේ. පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට විරෝධය පෑමට වඩා වැදගත් වන්නේ එවැන්නක් පිහිටුවීම සඳහා ඇති වන සමාජ පසුබිම වෙනස් කිරීමය. සිසුන් ඉගෙන ගැනීම සඳහා රාජ්‍යය සසංස්ථාවට ඇතුළු වන විට, එහි සිටින පිරිස් අදාළ සිසුන්ට වදහිංසා පමුණුවන්නේ නම්, ඔවුන්ගේ ඊළඟ විකල්පය විය හැක්කේ කුමක්ද? ශිෂ්‍ය දේශපාලනය මෙම මූලික වටපිටාව අවබෝධ කරගෙන තිබේද?

ලන්ඩන් හී පලවන ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත මීට වසර කිහිපයකට පෙර ශිෂ්‍ය දේශපාලනය සැලකිය යුතු මූලික කාරණා තුනක් මූලික කරගත් වැදගත් ලිපියක් පළ කළේය. ඒ වත්මන් ලෝකයට ගැලපෙනසේ ශිෂ්‍ය දේශපාලනය සකස් විය යුතු ආකාරය ගැන විමසා බැලීමේදීය. එහිදී සටහන් කළ කාරණා වලින් පළමුවැන්න වූයේ, දේශපාලනඥයින් සමග අර්ථකාරී සහයෝගීතා වැඩපිළිවෙලකට යොමු කිරීමය. දෙවැන්න, පාඨමාලාවන් වත්මන් අවශ්‍යතාවයනට සරිලන සේ වෙනස් කිරීමය, තෙවැන්න, සිසුන් ඔවුහු නියෝජනය කරන ප්‍රජාවන්ට ගැඹුරින් බැඳී තබා ගැනීමය.

මෙවැනි දෑ වලදී චෝදනාවලට වඩා වැදගත් වන්නේ, ගැඹුරු ප්‍රතිපත්තිමය කාරණා සමුදායක් මගින් තම ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් කිරීමය. මේ නිසා වැදගත් වන්නේ රෝග ලක්ෂණ වලට වඩා රෝගය කුමක්දැයි හඳුනා ගෙන ඊට ප්‍රතිකර්ම කිරීමය. සුපුරුදු පරිදි ගැටලු දැක හෙමීන් සීරුවේ ඉන් පෞද්ගලික වාසී ලබා ගන්නා දේශපාලනඥයා, රූමත් සිසුවියක් දැක ඇය වසඟයට ගැනීම සඳහා ප්‍රමුඛ අවදානයක් ලබා දී ඇය විභාගය ඉහලින් සමත් කරවන විශ්වවිද්‍යාල ගුරුවරයා, තම ගුරුවරයාගේ ලිංගික ආශාවන් පිනවීමෙන් තමන්ට රිසිසේ ඔහු හෝ ඇය මෙහෙවිය හැකි යැයි සිතන සිසුවෙකු හෝ ශිෂ්‍යාවක්, වූ කලී රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවේ. රෝග නිධානය වූ කලී පද්ධතිය/ ව්‍යුහය තුළ සිදු වී ඇති බරපතළ කඩා වැටීමයි. එම කඩා වැටීම හඳුනාගෙන එය ශක්තිමත්ව නැවත තැනීම සඳහා අවැසි බුද්ධිය මෙහෙවීම මෙහිදී තීරණාත්මක වේ.

යම් ආයතනයක් කඩාවැටෙන විට ඉන් තම පෞද්ගලික වාසී ලබා ගැනීමට කිසිඳු වැදගත් කටයුත්තක් නොකර අනෙකාගේ අහු මුළුවල කුණු සොයමින් ඕපාදූප කියා තම කාලය නාස්ත්ති කරන මකුණන් බිහිවීම ප්‍රයෝගික කාරණයකි. දුර්වල ප්‍රධානියෙකු යටතේ ආයතන බිඳවැටෙන විට වගවීම් අවම වේ. එවැනි නායකත්වයක් සෑම විටම බිඳ වැටීම සැඟවීමට උත්සහ දරන අතර ප්‍රායෝගික විසඳුම් වෙනුවට මානසික සුවය ලබාදෙන විසඳුම් කරා යොමු වේ.

විශේෂයෙන්ම අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති වෙනස් කිරීම වෙනුවෙන් මැදිහත් විය හැක්කේ, ශීලාචාර අහිංසාවාදී නැඹුරුවක් ගන්නා සංවාදයක් ඔස්සේ මිස පොලිසියේ ජල සහ කඳුළු ගෑස් කමින් පසුදින රටේ පුවත් පත්වල සේයාරූ පළ කර ගැනීමෙන් නොවේ. එසේම විරෝධය පෑම සඳහා විවිධ ක්‍රමවේදයන් තිබේ. නිදසුනක් ලෙස මෙසේ යෝජනා කළ හැකිය. ශිෂ්‍යය අයිතිවාසිකම උල්ලංඝනය වීමට විසඳුම් ලෙස විරෝධ ව්‍යාපාරක් තිබිය යුතු යැයි යෝජානාවක් ආවේ යැයි සිතමු. සැනකින්ම බොහෝ දෙනෙකු තම අතීත පුරුද්ද ඉදිරියට දමමින්, ඉගෙන ගැනීමේ අවස්ථාව වර්ජනය කොට විශ්ව විද්‍යාල භූමියේ සිට කොළඹට පාගමනක් ගොස්, මග අවහිර කොට සංදේශයක් භාර දීමට තීරණය කරනු ඇත. මෙය සාර්ථක උපායක් නොවන්නේ මීට පෙරද එය ඒ ආකාරයෙන්ම සිදු කොට ඇති හෙයිනි.

ඒ වෙනුවට රටේ ප්‍රධාන මාර්ගයක දෙපස කිසි දෙයකට හානියක් නොකොට නිහඬ විරෝධයක් තම ඉගෙනගැනීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු පැවැත්විය නොහැකිද? කොළඹ නුවර යාවෙන මාර්ගය දෙපස ඉටි පන්දම් දල්වාගෙන සිටිමින් නිහඬ විරෝධයක් පා නොහැකිද? විශ්ව විද්‍යාල සිසුන් සාමූහිකව එකතු වුවහොත්, අදාළ මාර්ගය සම්පූර්ණයෙන්ම ආවරණය කළ නොහැකිද? මේ ආකාරයෙන්, ශිෂ්‍ය විරෝධයේ රටාව, ඒ සඳහා නව සංස්කෘතියක් හඳුන්වාදීම ආදිය ශිෂ්‍ය දේශපාලනය හමුවේ ඇති අභියෝග වේ. එවැනි විරෝධයන් රටේ ජනතාවගේ ආශීර්වාදයට භාජනය වනු ඇත. එවිට ඔවුහුට නිසි ජනතා සහය ලැබෙනු ඇත. එසේම ජාතික සහ ජාත්‍යන්තර අවදානය දිනා ගනු ඇත. එවිට, කෙසේ හෝ මගහැරීමට මාන බාලාගෙන සිටින්නාට ප්‍රතික්ෂේප කළ නොහැකි වටපිටාවක් නිර්මාණය වනු ඇත. ශිෂ්‍ය දේශපාලනය වූ කලී ශිෂ්ට කාරණයකි. එය මූලික අයිතියකි. එය සිදු කළ යුත්තේ, බිඳ වැටුණු සමාජයක ඉතුරු වී ඇති තමන්ගේ සහ අනුන්ගේ අධ්‍යාපනයට ඇති ඉතා කුඩා ඉඩ හෝ කඩාබිඳ දැමීමෙන් නොවේ.

ශිෂ්‍ය දේශපාලනය අවධානය යොමු කළ යුතුව ඇත්තේ ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත් වීම සඳහා තම ව්‍යාපාර ශක්තිමත් කරගන්නේ කෙසේද යන කාරණයටය. අඩු තරමින් මීළඟ වසර තුන ඇතුලත මෙම මූලික ව්‍යුහය තනාගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමත් වුවහොත් මේ රටේ යලිත් දේශපාලන පක්ෂ වල අගුපිලි අතු නොගාන අධ්‍යාපනයේ නිර්මල නිදහස සහ අයිතිය වෙනුවෙන් අභිමානයෙන් යුතුව පෙනී සිටීමට හැකි ශිෂ්‍ය දේශපාලනයක් ඇතිවනු ඇත. එවැන්නක් රාජ්‍යය ප්‍රතිපත්ති වෙනස් කිරීමට මහෝපකාරී වේ. එවැනි ව්‍යාපාරයකින් රටට දායාද කළ හැකි යහපත් දෑ බොහෝය.

පෙඩාගාජි ඔෆ් ද ඔප්රෙස්ඩ් නමැති කෘතිය රචනා කළ ප්‍රකට බ්‍රසීල අධ්‍යාපනඥයෙකු වූ පවුලෝ ෆෙයෙරේ සඳහන් කළ මූලික කාරණයකින් මෙම සටහන අවසන් කිරීම සිදුසු යැයි සිතේ. එනම්, “සංවාද සඳහා ව්‍යුහය ඉඩ නොදෙන්නේ වෙනස් කළ යුත්තේ ව්‍යුහයය.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa