සිංහල, Colombo, Democracy, end of the War, Governance, Human Rights, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

ලංඩන් සහ බර්ලින් කතා – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

පසුගිය දෙසතිය තුළ ලංඩනයේදී සහ බර්ලිනයේ දී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් පවත්වන ලද ප්‍රසිද්ධ රුස්වීම් දෙකක දී කථිකයකු වශයෙන් අදහස් පළ කිරීමේ අවස්ථා මට ලැබුණි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අප වැනි පිරිස් විසින් අන්තර් ජාතික වශයෙන් කැරෙන කටයුතු දේශද්‍රෝහී ලේබලය යටතේ හදුන්වා දෙන පිරිස් ශ්‍රී ලංකාවෙහි තවමත් සිටිති. ඉන් සමහරෙක් සහමුලින්ම අතේ පැලකරන ලද කතාන්තර සමඟ ඇත්ත කරුණු ද මිශ්‍රකර ජනමාධ්‍යයේ ද වාර්තා කරති.

ලංඩනයේ පැවැති රුස්වීම සංවිධානය කරන ලද්දේ විදේශගත ලාංකිකයින්ගේ අන්තර් ජාතික ජාලය (INSD විසිනි. එහි මාතෘකාව වූයේ “විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවෙහි කාර්‍යභාරය” යනුය. එහි මුලසුන හෙබවූයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සංසදය (SLDF) නම් එකමුතුවෙහි ප්‍රධානියකු වන රාඝවන් විසිනි. මුල්කාලීන එල්ටීටීඊ නායකයකුව සිට පසුව ඉන් ඉවත්වූ රාඝවන්ගේ දේශපාලන අදහස් හෝ ක්‍රියාකාරිත්වය එල්ටීටීඊ ගැති යැයි කවරකු හෝ චෝදනා කරන්නේ නැත. ඇත්ත වශයෙන්ම නම් ඔහු මතවාදී වශයෙන් උග්‍ර එල්ටීටීඊ විරෝධියෙකි. ශ්‍රී ලංකා රජය සම්බන්දයෙන් ද ඔහුට විවේචන තිබේ.

බර්ලිනයේ පැවැති රුස්වීම සංවිධානය කරන ලද්දේ බර්ලිනියේ තාක්ෂනික විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන කමිටුව විසිනි. “යුද්ධාවසානයෙන් වසරකට පසු” යන්න එහි තේමාව විය. එහි මුලසුන හෙබවූයේ ජර්මන් ජාතික සරසවි ශිෂ්‍යයෙකි. එහි අනෙක් කථිකයින් අතර ලෝක දෙමළ සංසංදයේ සභාපති එමැනුවෙල් පියතුමා ද විය. එමෑනුවෙල් පියතුමා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්දයෙන් දෙමළ ජාතිකවාදී අදහස් දරන බව රහසක් නොවේ. එවැනි අදහස් දරන පුද්ගලයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීමත් ඔව්න් තේරුම් ගැනීමට උත්සාහ කිරීමත් ශ්‍රී ලංකාවේ සාමය සහ සහජීවනය ගොඩනැගීමට අත්‍යවශය යැයි මම එදත් විශ්වාස කළෙමි. අදත් විශ්වාශ කරමි.

ලංඩනයේ පැවැති රුස්වීම එල්ටීටීඊ විරෝධි රුස්වීමක් යැයි සමහරෙක් හංවඩු ගැසූහ. බර්ලිනයේ පැවැති රුස්වීම එල්ටීටීඊවාදී එකකැයි තවත් අයෙක් හංවඩු ගැසූහ. එනමුත් මෙම රුස්වීම් දෙකෙහිදීම මා පළ කළ අදහස් යම් දුරකට සමානය. සහමුලින්ම සමාන නැත්තේ මාතෘකා දෙක වෙනස් වූ නිසා ය. මා දැකු වූ අදහස් මෙසේ ය:

“ජනමාධ්‍ය නිදහස ඇතුලු මහා ජනයාගේ මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ලබා ගැනීම සම්බන්දයෙන් අප ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගත යුතු ය. ශ්‍රී ලංකාවේ අද මර්ධනකාරී දේශපාලනයක් තිබේ. දෙමළ ජනයාගේ වාර්ගික අයිතීන් ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානයක් නැති තරම් ය. මෙම කරුණූ සම්බන්ධයෙන් අතරමැද සම්මුති තිබිය නොහැකි ය. දෙමළ අන්ත ජාතිකවාදය මෙන්ම අන්ත සිංහල ජාතිකවාදය සම්බන්ධයෙන් අපේ විවේචන නොවළහා සහ ඍජුව ප්‍රකාශ කළ යුතු ය. එමෙන්ම පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවෙහි මහා ජනයාගේ අයිතීන් සුරැකීමේ වගකීම ආණ්ඩුව සතු බව ද කියා සිටිය යුතු ය.”

“මෙම ප්‍රතිපත්තිමය ස්ථාවරයන් මත පදනම් ව එම අරමුනු දිනා ගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ ආයතන මෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන සමඟ බලපෑමේ ක්‍රියාදාමයක් ගෙන යා යුතු ය” (පසුගිය රාවය පුවත්පතෙහි නිමල්කා ප්‍රනාන්දු විසින් දක්වා ඇති පරිදි ජිනීවා මානව හිමිකම් කොමිසම හමූයේ එවකට පැවැති ආණ්ඩුවට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සහායවීම වෙනුවෙන් තමාරා කුනනායගම්ට කියුබාවේ තානාපතිධුරය පවා දැන් ලබා දී තිබේ. ඉන් පෙනෙන්නේ ජීනීවා මානව හිමිකම් කොමිසම හමූයේ කරුණු ඉදිරිපත් කිරීමේ වැදගත්කම බව නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දෙයි.)

“අපේ දේශපාලනය සිවිල් සමාජීය එකකි. විවේචකයින් වන නමුත් ආණ්ඩු පෙරළීම අපේ අරමුණ නොවේ. අපට ඊට හැකියාවක් ද නැත. බලයේ සිටින ආණ්ඩුව සමඟ සාධනීය සාකච්ජාවක් ගොඩ නඟා ගැනීමට අප උත්සාහ ගත යුතු ය. එය සාර්ථක වීමටත් නොවීමටත් ඉඩ තිබේ. නමුත් අපේ ප්‍රවේශය තුළ බලයේ සිටින ආණ්ඩුව සමඟ හුදෙක් සටන් කිරීම වෙනුවට කාර්‍ය සාදක පියවරයන් කරා යෑමේ අවස්ථාව ද තිබිය යුතු ය. එමෙන්ම රටෙහි ක්‍රියාත්මක සියූළු දේශපාලනය පක්ෂ සමඟ ද එවැනි සංවාදයක් ගොඩ නගා ගැනීමට අප උනන්දු විය යුතු ය.”

“විදේශගත ප්‍රජාවන් විසින් කරනු ලබන උද්ඝෝෂන යනාදිය රට තුළ ඇති කරන්නේ මද බලපෑමකි. එහෙයින් වඩාත් වැදගත් වන්නේ රටතුළ කැරෙන මාධ්‍ය නිදහස ඇතුළු මානව හිමිකම් ව්‍යාපාරයන් ශක්තිමත් කිරීම යි. ඝාතන සංස්කෘතිය අවසන් ව සාමන්‍ය නීතියට පිටින් පනවා ඇති මර්දන නීති අහෝසි කිරීමෙන් පසු පසු යළි සිය රට ගොස් එම ව්‍යාපාරයන්හි කොටස්කරුවකුවීම මගේ අපේක්ෂාව ය. ”

රුස්වීම් දෙකෙහිදීම ප්‍රශ්ණ ඇසූ අය අතර අන්තවාදී ස්ථාවරයන් දැරූ පිරිස් වූහ. ලංඩනයේ දී මගේ අදහස් විවේචනය කළ අයකු කියා සිටියේ මා දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් බරක් නොදෙන බව යි. මා එල්ටීටීඊ ය සම්බන්ධයෙන් කළ විවේචන සමහරකුට සැර වැඩි විය. බර්ලිනයේ දී ඇසුනේ වෙනත් කතාවකි. මා එල්ටීටීඊවාදියකුය යන්න ය. ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වගකිය යුතු බවට මා කළ සදහන එහි සිටි අයෙකුට දිරවා ගැනීමට අමාරු විය.

මෙම රුස්වීම් දෙකෙහි දී පෙනී ගිය කාරණය නම් එල්ටීටීඊය විසින් නියෝජනය කළ උග්‍ර දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාණ්ඩුවේ තනිකරම යුදවාදී සිංහල ජාතිකවාදී ප්‍රවිශ්ඨය මානව සහ ප්‍රජානත්ත්‍රවාදී කෝණයෙන් විවේචනය කරන අප වැනි සුලුතර පිරිස් කොතරම් දුෂ්කර අභියෝගයන්ට මුහුණ දෙන්නේ ද යන්න යි. එමගින් යළි පෙනී ගියේ අපේ සමාජය ශ්‍රී ලංකාවෙහි දී පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ද මහත් ධ්‍රුවීකරණයකට ලක්ව තිබෙන බව ය.

යුද්ධාවසානයෙන් වසරක් ගෙවීයන මේ දිනවල මෙම ධ්‍රුවීකරනය රට තුළ වඩ වඩා කැපී පෙනේනට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකාණ්ඩුව වීර සතියක් ප්‍රකාශයට පත් කළේ ය. ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ 17වන දින දෙමළ ජනතාවට ශෝඛ දිනයක් ප්‍රකාශ කළේ ය. වව්නියාවේ අතුරුදහන්වූවන් ගේ සංවිධානය 18වන දින උද්ඝෝෂණයක් සංවිධානය කරන්නේ අතුරුදහන් කළ සිය දරුවන් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටිමිනි. සිංහල ජනයා මැයි 19දා එල්ටීටීඊ ය පරාජය කිරිමේ ජයග්‍රහණය සමරමින් උද්දාම වන අතර දෙමළ ජනයා එදින මියගිය සහ අතුරුදහන් වූ සිය දරුවන්ද මාපියන් ද සමරා ශෝඛ වනු ඇත. අප පිළිගත්තද නොගත්ත ද ඇත්ත යතාර්තය එය යි.

එල්ටීටීඊ යට බැදුනු දෙමළ ජනයාගේ දරුවන් නිදන සොහොන් බිම් අතුගා දමා ඒ මත යුදහමුදා වීර ස්මාරක ඉදි කිරීමෙන් මෙම සමාජමය බෙදීම සමහන් කළ හැකි ද? උතුරු නැගෙනහිර දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශයන්හි බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම මෙම සමාජමය බෙදීමට පිළියමක් ද? එමෙන්ම ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමෙන් තොරව දෙමළ ජනයාට නිදහසේ ජීවත් වීමට ඉඩ නොලැබෙනු ඇතැයි උද්ඝෝෂන කිරීම මගින් සිදුවන්නේ ද එවැනිම දුර්විපාකයක් නොවේ ද? යුද්ධය වීරත්වයට නැංවීමෙන් සමාජ සමාදානයක් ඇති කළ නොහැකි ය. සාපේක්ෂ වශයෙන් අඩු වැඩිකම් තිබිය හැකි නමුත් කිසිදු යුද්ධයක් යුක්ති සහගතව සහ සාධාරණව කළ නොහැකි නිසා ය.

විශේෂයෙන්ම අභ්‍යන්තර සිවිල් යුද්ධයකට පසු පශ්චාත් යුද සමයක අරමුණ විය යුත්තේ යුද්ධයේ බල පරාක්‍රමය වර්ණනා කිරීම නොවේ. යුද්ධයේ විපත් මානුෂීයව විමසා බැලෙන සහ ඒවාට පිළියම් සොයන පිළිවෙතක් සකසා ගැනීමය. ජනප්‍රිය දේශපාලනය සහ පශ්චාත් යුද්ධ සමාදාන දේශපාලනය එකිනෙකට වෙනස් ය. ඒ සඳහා දකුණු අප්‍රිකානු විමුක්ති නායක නෙල්සන් මන්ඩෙලාගේ වචනයෙන් කියන්නේ නම් ජනතාව විසින් නායකත්වයට පත් කර ගත් පුද්ගලයින් ජනතාව පසුපස යන්නේ නැතිව ජනතාවට නිවැරදි නායකත්වය දීමට සමත් විය යුතු ය. යුද්ධාවසානයෙන් වසරකට පසු දේශීයව මෙන්ම විදේශීය ද ශ්‍රී ලාංකික සමාජයේ ගතිකත්වයන් පෙන්නුම් කරන්නේ අප තවමත් සාමදාන සහජීවන අවදියකට වඩා බොහෝ පසුපසින් සිටින බව යි.