සිංහල, Colombo, Democracy, end of the War, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

වීරයා ද? දුෂ්ටයාද? නැතිනම් ඒ දෙදෙනාමද?

සොල්දාදුවෙක් දකින හැම වෙලාවෙම මගේ ඔලුවේ මහා අවුලක් ඇතිවෙනවා. මම පුංචි කාලේ දේවල් තිබුණේ කලු සුදු විදියට. මං වෙනුවෙන් බුලට් එක අතට ගත්තු අය මගේ වීරයෝ වුණා. ඒගොල්ලො තමයි අපේ ආදරණීය මවුබිම හතුරාගෙන් ආරක්ෂා කරගන්න හිටිය නිර්භීත තරුණයො. ඒ අය මුණ ගැහුණු හැම විටම මම ඒ අය එක්ක හිනාවුණා. ඒ අය කතාකරන්න පටන් ගත්තොත් මම කැමැත්තෙන්ම නතර වෙලා ටිකක් වෙලා කතා කළා. අපේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කළ ඒ අයට කෘතඥතාව පළකරන්න මට කරන්න පුළුවන් වෙච්ච සුළු දේ ඒක තමයි.

මම වැඩිහිටියෙක් වෙනකොට ඒ අයට දක්වපු කෘතඥතාව අඩු කළා කියලා කියන්න බැහැ. නමුත් මේ ‛‛කැමොෆ්ලාජ් ඇඳුම් ඇඳගෙන ඉන්න නිර්භීත මිනිස්සු’’ ගැන පුංචි කාලෙදි දැනගන්න නොලැබුණු විවිධ පැති මාන ගැන මට අවබෝධ වෙන්න පටන් ගත්තා. මගේ මනසේ වියවුල ඇතිවෙන්නේ මෙතනදී. දුප්පත් ගමේ කොල්ලා, පරාර්ථකාමී දේශප්‍රේමියා, තිරිසන් දුෂ්ටයා…., ඇත්තටම එක පුද්ගලයෙකුට එකිනෙකට වෙනස් පුද්ගලයන් බොහෝමයකගේ හිත් වල එකිනෙකට වෙනස් පින්තූර ගොඩක් විදියට රැඳෙන්න පුළුවන් ද? සොල්දාදුවා මේ සියලුම භූමිකාවන් රඟපානවා මම අත්දැක තිබෙනවා. එ නිසා, එය විය හැකිය කියා මා හිතනවා.

මේ දවස්වල ආරක්ෂක මුර පොළක් පසුකරද්දී හෝ යුද භටයෙක් පාර අයිනේ සිටින විට මා උත්සහ කරන්නේ ලයිට් කණුවක්, පදික වේදිකාව, අහස, වගේ මා අවට ඇති වෙන මොනවා හෝ දෙයක් දෙස දෑස් යොමු කිරීමටයි. මගේ ඔලුව ඇතුළෙ ඇතිවෙන කුණාටුව මග අරින්නයි මම උත්සහ කරන්නෙ. ඔහු කළ පරිත්‍යාගය නොවෙන්නට මට අද මේ විදියට මේ පාර දිගේ ඇවිදගෙන යන්න ලැබෙන්නෙ නෑ, ඒ නිසා මම ඔහු සමග සුහදව සිනා විය යුතු ද? නැතිනම් ඔහුවත්, තිරිසන් ස්ත්‍රී දූෂණ සහ මංකොල්ලකෑම් කරන්නට, විවිධ තොරතුරු ලබා ගැනීමට පුරවැසියන්ට වධ හිංසා පමුණුවන්නට ඔහුට ‛‛බලපත්‍රය’’ලබා දුන්, ඔහු ආඩම්බරයෙන් ඇඳගෙන සිටින නිල ඇඳුමත් පිළිකුල් කළ යුතු ද?

අවරුදු නමයක දැරියක් දූෂණය කිරීමේ තුච්ඡ වරදට සොල්දාදුවන් හය දෙනෙක් නීතිය ඉදිරියට පැමිණවීමේ සිද්ධිය මෑතකදී අපිට අහන්නට ලැබුණා. කිසියම් මනුෂ්‍යයෙකුට, ඒ අධම අමානුෂික ක්‍රියාවක් කළ හැක්කේ කෙසේද කියා මට අදහා ගන්නට බැහැ. පරම බලය විසින් මේ සා පහත් ලෙස මනුෂ්‍යත්වය සිඳ බිඳ දමන්නේ කෙලෙස ද? එදා ශිෂ්‍යභට කණ්ඩායමේ විශිෂ්ටම සාමාජිකයා ලෙස තේරී පත්වෙන්නට ඇති දීප්තිමත් දෑස් සහිත ඒ තරුණයා, කුඩා දැරියන් දූෂණය කරන අමානුෂික රාක්ෂයෙකු බවට පරිවර්තනය වූයේ කෙසේ ද? ඇත්ත…හැම හමුදා සෙබලාම මෙවැනි නිහීන දේ කරන්නේ නෑ. නමුත් එවැනි දේට යොමු වන අයව, කුඩා දැරියක් දූෂණය කිරීම කිසිම බරක්පතලක් නැති දෙයක් ලෙස ගැනීමට තරම් වියරු මිනිසුන් බවට පත් කළේ කවරක් විසින් ද?

සතුරාගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා යොදා ගත හැකි වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස වද හිංසා පැමිණවීම බොහෝ ඈත අතීතයේ සිට පැවත එන පොදු දෙයක්. නියපොතු ගැලවීම, ශරීරයේ රහස්තැන්වලට කටුකම්බි ඇතුල් කිරීම, සිහි නැති වෙනතුරු කෲර ලෙස පහර දීම, එදිනෙදා සිදුවන සාමාන්‍ය දේ බවට පත් වී තිබෙනවා. එවැනි කෲර දේ සැලසුම් කිරීමටත්, ඒවායේ නිරත වීමටත් යමෙකු තමා තුළට මොනතරම් වෛරයක් සහ ද්වේෂයක් කැඳවාගත යුතු ද.. යන්න මට අදහාගන්නට බැහැ. සෙබළෙකුට පුළුවන් ද තමන්ගෙ වැඩේ පහසු කර ගැනීම සඳහා තමන් ඉස්සරහ ඉන්නෙ ‛මනුස්සයෙක්’ය කියන එක හිතෙන් ඇදලා දාන්න? එහෙම නැත්තං ඔහු කිසිම හැඟීමක් දැනීමක් නොදැනෙන තත්ත්වයට තමාවම පත්කරගෙන ද?

හමුදාව ඇතුළෙ ‛‛නිදහස් කැමැත්ත’’ කියලා දෙයක් නැහැයි කියන එක ගැන මම අහලා තියෙනවා. සාමාන්‍ය සෙබෙළෙකුට කොතෙක් දුරට තමන්ට ලැබෙන අණ සහ උපදෙස් ප්‍රශ්න කරන්න පුළුවන් ද කියන එක ගැනවත්, නැත්නම් අණ ප්‍රශ්න කිරීමේ හැකියාව තනතුර ඉහළ වෙන්න වෙන්න වැඩි වෙන එකක් ද කියන එක ගැනවත් මට ඒ තරම් දැනීමක් නැහැ. කොහොම වෙතත් හැම කතාවකම අනිත් පැත්තකුත් තියෙනවානෙ.

2008 ඔක්තෝබර් නිකුත්කළ UTHR වාර්තාවකින් උපුටා ගත්තු පහත දැක්වෙන පරිච්ඡේදය මාව ආයෙමත් මනසින් ‛‛කාටවත් අයිති නැති භූමිය’’ වෙත අරන් යනවා.
ට්‍රක් රථයකින් ගෙන ගොස් විනාඩි කිහිපයකට පෙර උතුරු පෙරමුණේ මුරුක්කන් වෙත ගොඩ බස්සවා තිබූ තවත් සෙබළෙක් තමන් සිටින්නේ කොහේදැයි කියා දෙමළ වැසියෙකුගෙන් අසා සිටියේය. දෙමල වැසියා උත්තර දුන් විට හිසේ අත ගසා ගත් සෙබළා වික්ෂිප්ත වී කීවේ ‛‛ අපිට කිව්වෙ අපිව බදුල්ලට ගෙනියනවා කියලයි’’ තමන්ගේ හදවතේ තියෙන දේ විවෘතව ප්‍රකාශ කළ ඒ සෙබළා මෙසේ කීවේය. ’‛ මෙහේ දරු පවුල් එක්ක මිනිස්සු ජීවත්වෙනවා දැක්කම අපිටත් අපේ අඹු දරුවො මතක් වෙනවා. අපි බලාගෙන හිටියේ මේ ප්‍රශ්නෙ සාමකාමීව විසඳේවි කියලා. ඒත් එහෙම වෙන්නෙ නෑ. අපිව ළඟදිම යුද පෙරමුණට යවාවි. අපි ඉන්නෙ හරි බයෙන්. කම්පනයෙන්. අනේ ඔයාලා අපි වෙනුවෙන් යාඥා කරන්න’’ දෙමළ වැසියන් එක්ක කතා කළ සෙබළුන් වයසින් හුඟාක් ලා බාල අය.

වසර 30 ක ලේ වැගිරුණු යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස අබ්බගාත වූල මානසික කම්පනයට ගොදුරු වූල ජීවිතය පිළිබඳ තිත්ත කටුක අත්දැකීම් විඳි සෙබළුන් තමන් විසින් තමන්ටම කර්කශ ලෙස සලකන තත්ත්වයකට පත්ව ඇත. අව්වේ හෝ වැස්සේ හෝ කුසට ආහාරයක් හෝ හිසට වහලක් නොමැතිව දින ගණන් ගෙවා දමන්නට ඔවුන්ට සිදු වී ඇත. තමන්ගේ හොඳම මිතුරා තම දෑස් අද්දරම කෑලි කෑලි වලට කුඩු වී පුපුරා ගිය පසු, ඒ ඉරණමම තමාට අත්වීමට නියමිත කවදාදැයි අවිනිශ්චිතව ඔහුගෙන් ගිලිහුණු රයිපලය අහුලා ගෙන ආපසු එන්නට ඔවුන්ට සිදු වී ඇත.

කලකට පෙරදී ඉතා කැපවීමෙන් රාජකාරි ඉටු කළ නමුත් තුවාල වීමෙන් හෝ මානසික ක්ෂතිය නිසාවෙන් සේවයෙන් ඉවත් වීමට සිදු වූල හව්හරණක් නැතිව අසරණ වී සිටින සෙබළුන් බොහෝ පිරිසක් ඇත. පසුගිය වසරේ රෝහලකට බඩු බෙදන්නට ගිය අවස්ථාවේ අපට මුණ ගැහුණු තරුණ කැප්ටන් ගේ කතාව එවැන්නක්. ඔහුගේ ඇගේ තියෙන්නෙ ඇටයි හමයි පමණයි. සිහි එලවාගැනීමට බැරි තරමටම ඔහු වැහැරිලා. දුර්වල වෙලා. ඔහුට වචන දෙක කුනකට වඩා කතා කරගන්නත් බෑ. ඔහු අයත්ව සිටි සෙබළ කණ්ඩායමේ කිසි කෙනෙක් ඔහු ගේ දුක සැප බලන්න ආවේ නැති බවත්, කිසිදු උදව්වක් උපකාරයක් කරන්නට ඉදිරිපත් වුණේ නැති බවත්, ඔහුගේ සහෝදරයා අප සමග පැවසුවා. ඔහුව වේදනාකාරී ලෙස සෙමින් සෙමින් මැරෙන්නට අත්හැර දමා තිබුණා. තවමත් සොල්දාදුවන්ට ජීවත් වන්නට සිදු වී ඇත්තේ අපිරිසිදු මඩු වල. නිදාගන්න වෙන්නෙ ලෑලි කෑලි උඩ. වැසිකිළි පහසුකම් ඉතාම සීමිතයි.

ඉතිං මේ පීඩකයා විසින් පීඩිතයා පෙළන දුෂ්ට චක්‍රයේම ප්‍රතිඵලයක් ද? දුර්වලයාට එරෙහිව බලවන්තයා බලය යෙදවීම ද? රාජ්‍ය විසින් හමුදාව පීඩනයට පත් කරනවා. පෙළනවා. හමුදාව විසින් පහසුවෙන් ගොදුර බවට පත් කරගත හැකි අසරණයන්ව තලා පෙළා දමනවා. හැම පාර්ශවයක්ම හුදෙක් තමන්ට එසේ කළ හැකි නිසා තමන්ට ලැබී ඇති බලය අයුතු ලෙස අනෙකා පෙළීම සඳහා යොදවනවා.
ඉතිං ඔහු වීරයෙක් ද? දුෂ්ටයෙක් ද? එය තෝරා ගන්නට තරම් මගේ ඥානය තවමත් මුහුකුරා ගිහින් නැහැ.

Marisa de Silva

www.groundviews.org පළවූ Soldier: Hero, villain or both ලිපියෙ පරිවර්ථනයයි..