ලෙනින් රත්නායක කියන්නේ අපරාධකාරයෙකි. ඒත් ඔහු මේ රටේ අධිකරණයකින් අපරාධකාරයකු කර නැත. ඒ වගේ හුගක් අපරාධකාරයෝ සිටිති. දහම් සිරිසේන ද ඒ ලැයිස්තුවට ඇතුළත් වෙන්නට හදන බවක් පෙනේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර ගේ පුත‍්‍රයා සමග පාසිකුඩා වල දී ගුටි ඇණ ගත් දහම් සිරිසේන පසුගිය සතියේ ක්ලික් රාත‍්‍රී සමාජ ශාලාවේදී ද මාලක සිල්වා ගේ චරිතය රගපාන්නට උත්සාහ දරා ඇත. මාලක සිල්වා කියන නම දැන් ටිකක් අමතක වී ඇතත්, ඇමැති මර්වින් සිල්වා ගේ පුත‍්‍රයා ලෙස ඔහු වැඩ දැමූ කාලයක් තිබිණි. ඒත් දැන් ඒ වෙනුවට කරළියට පැමිණ ඇත්තේ දහම් සිරිසේන ය.

ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එහෙම වැඩක් සිද්ධ වෙලා නෑ වගේ කතා කියන්නට උත්සාහ කළ ද, දහම් සිරිසේනට ලබා දී තිබූ ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂාව ඉවත් කරන්නට ආණ්ඩුව ගත් තීරණයෙන් ම පේන්නේ මොනවා හෝ සිද්ධ වී ඇති බව ය. එය සිද්ධ වී ඇති ආකාරය පිළිගත නොහැකිය. ආණ්ඩුවට සමීප වෙබ් අඩවි වලින් ය කියන්නේ, දහම් ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බව ය. රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන ජනාධිපති ආරක්ෂක අංශය සම්බන්ධයෙන් ගන්නා තීරණ ගැන නිල නිවේදන නිකුත් කළ යුතු නොවේද? ඒවා වෙබ් අඩවි හෝ වෙනයම් ආකාර වලින් ජනතාව දැනගත යුතු ද? එසේ වන්නේ නම් එයින් අදහස් වන්නේ මේ ආණ්ඩුවත් අර පරණ පාරේ ම තැග් ගැහෙමින් දුවන්නට හදන බව විතර ය.

ජනාධිපති ආරක්ෂක අංශය ගැන ද යමක් ලිවිය යුතුය. ජනාධිපති ආරක්ෂක අංශයේ හොද නිලධාරීන් අතලොස්සක් සිටියදී, ‘ඔළුව අතට ගත්’ පිරිසක් විසින් පසුගිය කාලයේ දී කළ කී දෑ අපට අමතක නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ පාරේ යන විට එකත්පස්ව ඉඩ දුන්නේ නැතැයි කියමින් නීතීඥ උදුල් පේ‍්‍රමරත්නට පහර දුන්නේ ද මේ ජනාධිපති ආරක්ෂක අංශයෙන් ම ය. ඊට අදාළ ව ප‍්‍රකාශයක් කරමින් අධිකරණයෙන් පැවසුවේ ප‍්‍රභූන් කියා පාරේ දී වෙනසක් නැති බව ය. ඒ වටිනා කතාවකි.

ඒ නිසා ජනාධිපති ආරක්ෂක අංශයේ රස්සාව කරන අයට පසුගිය ආණ්ඩු කාලයේ වගේ ම උපදෙස් මේ ආණ්ඩු කාලයේ ද ලැබෙන බවක් පෙනේ. ඒ නිසා ය, දහම් සිරිසේන මේ විදිහට කටයුතු කරන බව වාර්තා වන්නේ ය.

ජනාධිපතිවරයා මේ වෙලාවේ තමන්ගේ නම්බුව බේරා ගන්නට සෑහෙන වෙහෙසක් දරන බව පෙනේ. එය එසේ විය යුතුය. එසේ නොවුණහොත් සිද්ධ වන්නේ මහින්ද රාජපක්ෂ පිළ මෛත‍්‍රීට උඩ පැන ඔළුවට ම කෙටීම ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින මෛතී‍්‍ර එහෙම වුණොත් වැටෙන්නේ හතර ගාතෙන් ය.

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 08 වැනිදායින් පසු ව කඩිමුඩියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වූවාට ඔහුට පාක්ෂිකයා දිනා ගන්නට මෙතෙක් හැකියාවක් ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ මහින්දලා ගේ පැත්තෙන් පාක්ෂිකයා ගේ ඔළුවට දමන මාරාන්තික විෂබීජ ය. ඒ විෂබීජය නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඡන්ද කොට අවුරුදු විස්සක් තිස්සේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් ආණ්ඩුව පරාජය කළා කියන එක ය. මහින්ද ළග සිටි කාක්කෝ මෛත‍්‍රී ළගට හේත්තු වුණාට ගමේ පාක්ෂිකයා තවමත් ඉන්නේ දෙගිඩියාවෙන් ය. ඒ ඡන්ද වැඬේ අමතක වීගෙන එනකොට නැවතත් මහින්ද ලා විෂබීජය දමති. ඒ නිසා දහම් ගේ වැඩ ගැන දෙතුන් පාරක් හිතා තීන්දු ගත්තොත් මෛත‍්‍රී ගේ අනාගතයට හොද ය.

වැඩේ තියෙන්නේ මේ වෙන කෙරෙන දේවල් පොලීසි, උසාවි ගාණේ නම් නොයන එක ය. ඒකට ගමේ සිරිපාල මාමා කෙහෙල් කැනක් කැපුවොත්… පොලීසියෙන් අම්බානක කන්නට වන්නේය. උසාවියෙන් ඇප දෙන්නට අදිමදි කරන්නේය. පුළුවන් දවස් 14ක් රිමාන්ඩ් කොට, විසි එකක් ම අදින්නේය. සිරිපාල ට එහෙම වුණත් සිරිසේනට එහෙම වන්නේ නැත. ඒත් තවමත් මහින්ද රාජපක්ෂලා ගේ කාලයට වඩා මේ ආණ්ඩුව හොද ය. ඒකත් කියන්නට ඕනෑ ය. එසේ නොවුණහොත් පැරදී ගෙදර ගිය ඇත්තෝ මේ පාරෙන් ඇවිත් යළිත් මේක අස්සට ඔළුව දමා ගන්නට හදති.

කෙසේ වෙතත් මේ වෙලාවේ සමාජ ශාලා ගැන හොයන්නට මෛතී‍්‍ර විශේෂ තීන්දුවක් ගෙන ඇති බව පසුගිය සතියේ වැඩ බලන කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක කරු පරණවිතාන කියා තිබිණි. දහම් ගැන බලන්නේ නැතුව මේ විදිහට වැඩ කරන්නට ගියොත් මෛත‍්‍රීටත් වෙන්නේ සොරි කියන්නට ය.

මේ වගේ ම උසාවි කතාවකින් ය, පසුගිය සතිය ඇදුණේ. ඒ ලෙනින් රත්නායක ගේ කතාව ය. චිත‍්‍රපට අධ්‍යක්ෂ ප‍්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘උසාවිය නිහඩයි’ වාර්තා චිත‍්‍රපටය අධිකරණයෙන් වාරණය කෙරිණි. ඊට හේතු වූයේ ලෙනින් රත්නායක විසින් අදාළ චිත‍්‍රපටය නිසා තමන්ගේ වෙනත් නඩුවකට බලපෑමක් වන බව පැවසීම ය.

ලෙනින් රත්නායකට එවැනි වාරණයක් ඉල්ලන්නට අයිතියක් ඇත. ඊට හේතුව ඔහු කිසිදු අධිකරණයකින් වරදකරුවකු කර නොතිබීම ය. එසේම ලෙනින් රත්නායකට පුරවැසියකු ලෙස මේ ඉල්ලීම කළ හැකිය. අප ඔහු ගේ ඒ අයිතියට ගරු කළ යුතුය. එසේ නොවුණහොත් අප විසින් ම අපේ අයිතියක් කප්පාදු කරන්නට ඉල්ලනවා වගේ වැඩක් මෙතැනදී සිද්ධ වනු ඇත.

ලෙනින් රත්නායක විසින් තමන්ගේ විනිසුරු පට්ටම භාවිත කරමින් කළ ස්ත‍්‍රී දූෂණ සම්බන්ධයෙන් කරුණු සියල්ල හෙළිදරව් වී තිබේ. එහෙත් එවකට සිටි අගවිනිසුරුවරයා විසින් ඔහුට එරෙහිව නඩු දැමීම වළක්වා ඇති බව කියැවේ. පසුගිය සතියේ ‘ඉරුදින’ පුවත්පත හෙළිදරව් කළ ආකාරයට ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය වැන්නන් ද ලෙනින් රත්නායකට පක්ෂ ව කටයුතු කර ඇත. ඉතින් ඔහු වැරදිකරුවකු නොවීම ගැන පුදුම විය යුතු නැත.

ඔහු කියන්නේ මේ ගැන ය. ඔහු වැරදිකරුවකු කර නැති නිසා, ඔහු ගේ නම චිත‍්‍රපටයේ භාවිත කිරීම මගින් ඔහුට අපහාසයක් සිදු වී ලූ!

හරියටම දහම් සිරිසේන වගේ ම ය. ජනප‍්‍රිය ගායකයකු වන චිලී අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරන ලද්දේ පුද්ගලයකුට පහර දීමේ චෝදනාවට ය. ඒ සිරිපාල මාමාට වඩා එහා ගිය රට දන්නා ගායක තැනකි.

ඇත්තටම ලෙනින් රත්නායක මේ වෙලාවේ මේකට නඩු දැම්මේ ඇයි? රාවය පුවත්පතට හෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් අදාළ කාරණය අලලා ලියූ පොතට නඩු නොදැම්මේ ඇයි? හේමන්ත වර්ණකුලසූරිය නැවතත් ලෙනින් රත්නායක වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන ඇත්තේය.

මේ තවත් කතාවකි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පසුගිය සතියේ අපූරු කතාවක් කීවේය. ඒ අල්ලස් කොමිසමෙන් හිටපු නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම පිළිබදව ය. ඒ ගැන ජනාධිපතිවරයා ගේ පිළිකුල සහ අප‍්‍රසාදය පළ කරන බව ද කීවේය. ඒ ගැන තමන් විශේෂ අවධානය යොමු කරන බවත් කීවේය. ඒක මාර කතාවකි. ඒ කියන්නේ දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ කොමිෂන් සභා ස්වාධීන කරනවා කිව්වාට ඒක බොරුවකි. ඒ අයට ස්වාධීනව වැඩ කරන්නට අයිතියක් නැත. ජනාධිපතිවරයා ගේ හිත රිදෙව්වොත් වැඩේ දෙල් වන්නේය.

අනෙක් කාරණය නම් හිටපු නාවික හමුදාපතිවරුන් ගැන ජනාධිපතිවරයාට හදිස්සියේ ඇති වුණු කැක්කුම මොකක්ද යන්න ය.

ඔහු සේනාධිනායකයා බව ඇත්ත ය. ඒ කියන්නේ වර්තමාන හමුදාපතිවරුන්ට එරෙහිව මොනවා හෝ අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඒ ගැන සේනාධිනායකයා දැනුවත් කළ යුතුය. ඒත් හිටපු හමුදාපතිවරුන් හොරා කෑ ඒවාට අදාළ ව පියවර ගැනීමේ දී එය අදාළ වන්නට විදිහක් නැත.

අනෙක් අතට ඔවුන් ද රටේ ජනතා බදු මුදල් වලින් පඩි ගත් රාජ්‍ය සේවකයන් ය. ජනාධිපතිවරයා කියන විදිහට ඔවුන්ට වෙන ම සලකන්නට විදිහක් නැත. ඔවුන්ට සැලකිය යුත්තේ ද අනෙක් අයට සලකන හැන්දෙන් ම ය. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු දමන ක‍්‍රියා පටිපාටිය මෙහි දී ද අනුගමනය කළ යුතුය. එඑසේ නොවන්නේ නම් එය නීතිය සැමට එක හා සමාන ය කියන බොරුව යළිත් තහවුරු කරන්නකි.

එසේ ම මේ වෙලාවේ හදිස්සියේ ජනාධිපතිවරයාට ආරක්ෂක අංශ ගැන අමුතු කැක්කුමක් ඇති වී තිබෙන බවක් පෙනේ. මේ ආණ්ඩුව බලයට පත් වන විට කිව්වේ දූෂිතයන්, කොල්ලකාරයන් අල්ලා හිරේ දමන බව ය. දේශපාලනඥයන්ට අදාළ ව නම් එය සිදු වන්නේ කටවල් වහන්නට විතර ය. කටවල් වහගෙන ඉන්නා හෝ තමන් සමග ගේම ගහන්නට එන අයට එය අදාළ නැත. ජනාධිපතිවරයා මේ කියන විදිහට දැන් හමුදාවට ද එය අදාළ ය. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ ව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් යුද හමුදා බුද්ධි අංශයේ ය. ඒ නිසා ඔවුන්ට වෙනස් ආකාරයකට සැලකිය යුතුය. දෙමළ දේශපාලන සිරකරුවන් ගැන හෝ මුලින් කී සිරිපාල මාමලා ගැන ජනාධිපතිවරයාට මේ ජාතියේ කැක්කුමක් මළාට පහළ වන්නේ නැත.

ඒ කියන්නේ මේ එහෙම පිටින්ම ඡන්ද ගේමකි. මුලින් ලිව්වා වගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු ඡන්ද කුට්ටිය කඩා ගැනීම වෙනුවෙන් කරන සටනකි. ඒ වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන්නට මේ ලොක්කන් සූදානම් බවක් පෙනේ.

මේ කාරණය ගැන කියන විට ආණ්ඩුවේ ඇතැම් පිරිස් කියන්නේ මහින්ද රාජපක්ෂලා ට යළිත් බලයට එන්නට උදව් කරන බව ය. මහින්ද රාජපක්ෂලා නැවත බලය ගන්න එක වළක්වන්න නම් මේ ආණ්ඩුව කළ යුත්තේ පොරොන්දු වූ ආකාරයට නීතිය ක‍්‍රියාත්මක කරන එක ය. එවිට මහින්ද රාජපක්ෂලා ඉබේ ම අහෝසි වී යනු ඇත. එසේ නොකොට අමුතු ඞීල් ගසන්නට ගිය විට මොළේ දන්නට පටන් ගන්නවා කියන එක බලාපොරොත්තු විය යුතුය.

ලෙනින්, දහම් සහ මෛතී‍්‍ර වෙනස් තත්ත්වයන් යටතේ එක පෙළට හිටගන්නා ආකාරය කොයි තරම් අපූරු ද? පරමාධිපත්‍ය බලය හිමි ජනතාව හරක් ද? ඔවුන් එසේ සිතා සිටින්නේ නම් අපි වහාම අනින්නට පටන් ගත යුතුය. හරක් වුණත් කමක් නැත. අවශ්‍ය වන්නේ වැඬේ සිද්ධ වීම ය.

shalika-wimalasenaශාලික විමලසේන | Shalika Wimalasena