අඩුවකට තිබුණේ එච්චර ය. දැන් ඒ අඩුවත් පිරිමැසෙන නිසා සියල්ල යහතින් සිද්ධ වනු ඇත.

පාර්ලිමේන්තුවේ සිටින සියලූම මන්ත‍්‍රීවරුන් ජනතාවට සහසුද්දෙන්ම වගකියනු ඇත. ජනතාව සම්බන්ධයෙන් දවසේ පැය විසි හතරේ ම සොයා බලනු ඇත. තවත් කීයක් දේ කියන්නට තිබේ ද?

දැන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා වන චර්යාධර්ම සංග‍්‍රහයක් හදුන්වා දී තිබේ. ඒත් එක අවුලක් තිබේ. මෙය ක‍්‍රියාත්මක විය යුතු බව කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ තීරණයකින් පසුව ය.

සර්වබලධාරීන් මෙන් සියලූ සැප විදගෙන ඉන්නට තිබෙන මේ චාන්ස් එක අහුරා ගන්නට මන්ත‍්‍රීවරුන් තීරණය කරයි ද?

තවත් ප‍්‍රශ්නයක් ඉතිරි ව තිබේ. එනම් මන්ත‍්‍රීවරුන් මේ චර්යාධර්ම සංග‍්‍රහය කැඩුවොත් ඔවුන්ට එරෙහිව ගන්නා පියවර මොනවාද යන්න සම්බන්ධයෙන් මෙහි කිසිවක් ඇතුළත් කර නැත. ඒ කියන්නේ නමට එකක් තිබේ. කවුරුන් හෝ ඇසුවහොත් ආඩම්බරයෙන් පෙන්වන්නට එකක් තිබේ. ඒත් කැඩුවොත් කරන්නට හරි හමන් දෙයක් නැත. මේ චර්යාධර්ම කැඩුවොත් ඊට අදාළ පරීක්ෂණ කරන්නට ඉන්නේ ද මන්ත‍්‍රීවරුන් ම ය. ඒක මොන ජාතියේ චර්යාධර්ම සංග‍්‍රහයක් ද?

කතානායක කරු ජයසූරියගේ උපදෙස් මත මේ කියන චර්යාධර්ම සංග‍්‍රහය සකස් කර තිබේ. මුලින්ම එය අගය කළ යුතුය. එහි ගතයුත්තක් ඇත. චමල් රාජපක්ෂ කතානායක පුටුවේ ඉන්න කාලයේ ද ඔය ජාතියේ චර්යාධර්ම සංග‍්‍රහයක් හදන බවක් කීවේය. ඒ ගැන මන්ත‍්‍රීවරුන්ගෙන් අදහස් ගන්නා බවක් ද කීවේය. තමන්ට නිදහසේ අසභ්‍ය වචන ටිකක් කියාගෙන, රස්තියාදුකාරයන් සේ ඉන්නට තිබෙන තැන, එනම් පාර්ලිමේන්තුවේ තමන්ගේ හැසිරීම මෙසේ පාලනය කරන්නැයි කියා මන්ත‍්‍රීවරුන් අදහස් දෙයි ද? ඒ වැඬේ එහෙම පිටින්ම යට ගියේය.

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කියපු ගමන් පිටරට වල අයට නම් තියෙන්නේ මාර උත්තරීතර හැගීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන ලංකාව කියන රටේ සමස්ත ජනතාව නියෝජනය කරන්නේ මේ පාර්ලිමේන්තුව කියන බිල්ඩින් එක ඇතුළේ ඉන්නා පිරිස බව ඔවුන් දන්නා කාරණයයි. ඒකට අපේ රටේ ජනතාව මේ නියෝජිතයන් ගැන කියන දේ…?

ජනතාවගෙන් බහුතරයකට අනුව මෙතැන ඉන්නේ මානසික රෝගීන් ය. ජනතාව පැත්තකින් තැබිය හැකිය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර, නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම කියන්නේ තමන්ගේ මොළය පරීක්ෂා කර ගත් බවත්, එහි කිසි අවුලක් නැති බවත් ය. එසේ ම තමන්ගේ මොළය වගේ නොව හොදටම පිස්සු හැදුණු මොළ ගෙඩි සෑහෙන්න මේ පාර්ලිමේන්තුවේ තිබෙන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

මේ පාර්ලිමේන්තුවේදී ය, මර්වින් සිල්වා නම් අයෙක් භික්ෂූන් වහන්සේලාගේ ලිංගේන්ද්‍රිය විනාශ කරන්නට උත්සාහ කළේ. මේ පාර්ලිමේන්තුවේදී ය, මන්ත‍්‍රීවරුන් ගුටි ඇනගත්තේ. මේ පාර්ලිමේන්තුවේදී ය, පරුෂ වචන ඇති තරම් හුවමාරු වන්නේ. වරක් හිටපු කතානායක චමල් රාජපක්ෂ කිව්වේ පාසල් ළමයින් පාර්ලිමේන්තුව බලන්නට එනවාට තමන් කොහෙත්ම කැමැති නැති බව ය. ඊට හේතුව මන්ත‍්‍රීවරුන් මෙහි හැසිරෙන ආකාරයෙන් දරුවන් යම් යම් වචන ඉගෙනගන්නා බවත්, ඒ නිසා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඇති ගෞරවනීය හැගීම බොද ව යන බවත් ය. තවත් කාරණයක්, මේ පාර්ලිමේන්තුවේදී ය, තරුණ මන්ත‍්‍රීවරියන්ට මහලූ මන්ත‍්‍රීවරුන්ගෙන් ලිංගික හිංසන සිදු වන බවට චෝදනා නැගුණේ.

මේ ආකාරයෙන් ලංකා පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසාගත් ආකාරය පත්තර ගාණක් ලියන්නට හැකිය.
ඒත් දැන් ඒ මන්ත‍්‍රීවරුන්ට චර්යාධර්ම සංග‍්‍රහයක් හදුන්වා දී තිබේ. ඉතින් සියල්ල හරියයි ද?

සියල්ල නැතත් යම් තරමකට හෝ පාර්ලිමේන්තුවේ ගෞරවය යළිත් ඉහළට ඔසවන්නට මේ කොළ අටට හැකියාව ලැබුණහොත් එය ඇත්තටම වැඩකි.

‘සෑම මන්ත‍්‍රීවරයෙක් ම තීරණ ගන්නා විට, සෑම අවස්ථාවකදී ම මහජන බැදියාවන් සැලකිල්ලට ගත යුතු අතර, ඔවුන්ට, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට හෝ මිතුරන්ට යම් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප‍්‍රතිලාභ හෝ පුද්ගලික ලාභයක් අපේක්ෂා නොකළ යුතුය.’

චර්යාධර්ම සංග‍්‍රහයේ එන වගන්තියක් ලෙස මෙය අගය කළ යුතුය. එහෙත් භාවිතාවේ දී මේ කියන තත්ත්වයට මන්ත‍්‍රීවරුන් ඇද දමන්නට කොතරම් කාලයක් අවශ්‍ය වේවි ද? වක‍්‍ර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරහා සමස්තය නියෝජනය කරන්නට පාර්ලිමේන්තු එන මේ මන්ත‍්‍රීවරුන් ආ දවසේ පටන් කරන්නේ ගේම් ගහන එක ය. ඔවුන්ගේ ඔළුවේ මහජන බැදියාව කියලා එකක් වැඩ කරන්නේ නැත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වන්නට ඡන්දයට වියදම් කළ රුපියල් කෝටි ගණනක දැවැන්ත මුදල හොයාගැනීම ඔවුන්ගේ මුල් ම අරමුණ ය. ඒ සදහා මුදලට පක්ෂ මාරු කරන්නේය. අපේ රටේ අධිකරණ පද්ධතිය තිබෙන තැන ගැන කතා කරන්නට දෙයක් නැත. එය තවදුරටත් තහවුරු වන්නේ පක්ෂ මාරු කළාට මන්ත‍්‍රී ධුරය අහෝසි නොවන බවට හිටපු කුප‍්‍රකට අගවිනිසුරුවරයකු ලබා දුන් තීන්දුවෙන් ය. ජනතාව ඡන්දය දෙන්නේ අපේක්ෂකයා ඉල්ලන පක්ෂයටත් එක්ක ය. මේ රටේ වැඩිය හිතුවේ නැතත් පක්ෂ ප‍්‍රතිපත්ති කියන එක ද ඊට අදාළ ය. අධිකරණයෙන් ලබා දී ඇති අදාළ තීන්දුව මගින් ජනතාවගේ සර්වජන ඡන්ද බලය නම් උත්තරීතර අයිතිය වෛශ්‍ය වෘත්තියේ යොදවා ඇත. මන්ත‍්‍රීවරුන්ට මහජන බැදියාවන් ගැන කියා දෙන්නට සිද්ධ වී ඇත්තේ එවැනි තත්ත්වයක් තුළ ය.

‘කිසිම මන්ත‍්‍රීවරයකු සිය නිල කටයුතු කිරීමේදී තමන්ට බලපෑමක් ඇති විය හැකි යම් ආකාරයකට යම් පිටස්තර පුද්ගලයකු හෝ සංවිධානයකට යම් මූල්‍යමය හෝ වෙනත් බැදීමක් ඇති වන තත්ත්වයකට පත් නොවිය යුතුය.’

එක උදාහරණයක් පමණක් කීම සෑහේ. අලූතින් වැඩක් ආරම්භ කරන්නට කොයිතරම් කොමිස් මුදලක් ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයාට ලබා දිය යුතුද? පාරක් හදන්නට ගිය විට කොන්ත‍්‍රාත්කරු මුල් ම පිදේනිය දෙන්නේ මන්ත‍්‍රීවරයාට ය.

කොන්ත‍්‍රාත්, තනතුරු, ප‍්‍රදාන සහ වරප‍්‍රසාද ලබා දීමේදී සුදුසු ම පුද්ගලයන් තේරීම, තමන් කරන කටයුතු සම්බන්ධයෙන් මහජනතාවට විවෘත ව අදහස් දැක්වීම වැනි කාරණා ද මේ චර්යාධර්ම සංග‍්‍රහයට ඇතුළත් කර ඇත. ඡන්දයෙන් පසු ඊළග ඡන්ද දිනය වන තෙක් දකින්නට වත් නොලැබෙන මන්ත‍්‍රීවරුන් සිටින රටක, එවැනි විවෘතභාවයක් බලාපොරොත්තු විය හැකිද?

මන්ත‍්‍රීවරුන් යම් අකටයුත්තක් කරන්නේ නම් මහජන පරීක්ෂාවකට යටත් කළ යුතු බවක් ද මෙහි සදහන් ය. ඒ ගැන ලියන්නේ එපමණකි. ඊට හේතුව ලිව්වාට වැඩක් නැති එක ය. ආරක්ෂාව පිරිවරාගෙන පාරේ යන, බොඩිගාඞ්ලාගෙන් තොර ලෝකයක් නැති ඔවුන් ගැන මහජන පරීක්ෂාවක්…?

වචනය හොද ය. වැඬේ තියෙන්නේ එය කුමන ආකාරයේ මහජන පරීක්ෂාවක් ද යන්න සම්බන්ධයෙන් කිසිදු අර්ථකතනයක් නොතිබීම ය. ඒ නිසා ය, මුලින්ම ලිව්වේ මෙය ළග තියාගෙන පෙන්න පෙන්නා යන්නට හොද චර්යාධර්ම සංග‍්‍රහයක් බව.

තොරතුරු දැනගැනීමේ පනතේ සීමාවන්ට යටත් ව මන්ත‍්‍රීවරුන් තමන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ යුතු බව ද මෙහි සදහන් ය. පොදු අරමුදල් භාවිත කළ යුත්තේ ජනතා යහපත සදහා පමණක් යනුවෙන් ද මෙහි සදහන් ය. ඒවා කිසිසේත්ම පක්ෂ දේශපාලන කටයුතු වලට යොදා නොගත යුතු බව ද මෙහි සදහන් ය. මහජන බැදියාව යන වචනය මෙහි සෑම තැනකම වගේ සදහන් ය.

මන්ත‍්‍රීවරුන් පාරවල් හැදූ බව සදහන් බෝඞ්, පාලම් හැදූ බව සදහන් බෝඞ් ඇතුළු සියලූ ඉදිකිරීම් තමන්ගේ ගෙදරනි ගෙනා සල්ලි වලින් කළ බව පෙන්වන බෝඞ් ලංකාව පුරා දැකිය හැකිය. සරලව කියන්නේ නම් ඒ දැවැන්ත බෝඞ් වලට කොපමණ මුදලක් නාස්ති කර ඇද්ද? ඒ නාස්ති කළ මුදල් වලින් ජනතාවට සිදු වූ යහපත කුමක්ද?

පක්ෂ දේශපාලන කටයුතු වලට මන්ත‍්‍රී වරප‍්‍රසාද යොදා නොගන්නේ කවුද? ඒ නිසා ය, චර්යාධර්ම සංග‍්‍රහයේ නම් සදහන් ය යනුවෙන් ලිව්වේ. ප‍්‍රායෝගික භාවිතාව තුළ මේ වැඩ නවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ චර්යාධර්ම සංග‍්‍රහය හදුන්වා දෙන කතානායකවරයාට අදහසක් තිබේ ද?

ආචාරධර්ම සහ වරප‍්‍රසාද පිළිබද කාරක සභාව මන්ත‍්‍රීවරුන් මේ ආචාරධර්ම කඩන්නේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරනු ඇත. මේ වනවිටත් යම් මට්ටමකින් එවැන්නක් ක‍්‍රියාත්මක වේ. ඊට වැඩි බලතල දීමක් ගැන මෙහි සදහන් නොවේ. එම නිසා මෙය ගැන අප තබාගත යුත්තේ කුමන ආකාරයේ විශ්වාසයක් ද?

පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ වැටුප් හෝ වරප‍්‍රසාද හෝ වැඩි කිරීමේ යෝජනාවක් ආ විට ප්කෂ භේදයකින් තොරව එකට අත් උස්සන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ කැන්ටිමට අලූතින් කෝන් ෆ්ලෙක්ස් ගත යුතු යැයි කී විට එකට අත් උස්සන මේ මන්ත‍්‍රීවරුන් ආචාරධර්මයක් කැඩුවා කියා තමන්ගේ රැහේ එවුන්ට විරුද්ධ ව නීති මගට යයි ද?

ඒ නිසා යළිත් කිව යුත්තේ වැඬේ හොද වුව ද, එය ක‍්‍රියාත්මක වන බවක් නම් පේන්නට නැති බව ය. ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය කරන වටපිටාවක් චර්යාධර්ම සංග‍්‍රහය මගින් ම නිර්මාණය කර නැති බව ය. එය හරියට ම අප පසුගිය සතියේ ලියූ ජනමාධ්‍ය ස්වයං අධීක්ෂණ යන්ත‍්‍රණය වගේ ය. එහි ද තිබෙන යෝජනා සියල්ල හොද ය. ඒත් ප‍්‍රායෝගික ව ක‍්‍රියාත්මක කරන්නට වුවමනාවක් ආණ්ඩුවට තිබෙන පාටක් නැත.

සුන්දර වචන වලින් පමණක් රටක් වෙනස් කරන්නට නොහැකි බව මේ ඔලමොට්ටලයන් තේරුම් ගත් දාට මොනවා හෝ යමක් සිද්ධ වනු ඇත. එතෙක් වචනෙට නම් වෙනස සැප ය.

ශාලික විමලසේන | Shalika Wimalasena