පසුගිය මැතිවරණවලදී පොරොන්දු වූ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැප වීම ගැන දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද යම් සැකසාංකා මතුවෙමින් තිබේ. ඒවා ඉස්මත්තට ආවේ, අගමැතිවරයා විසින් පත්කරන ලද ‘සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ වාර්තාව කෙරෙහි ආණ්ඩුව මුලින් දැක්වූ ප්‍රතිචාරයත් සමගිනි. ආණ්ඩුවේ සමහර සාමාජිකයෝ එම වාර්තාව ප්‍රසිද්ධියේ විවේචනයට ලක්කළහ. කාර්ය සාධක වාර්තාව වින්දිත-කේන්ද්‍රීය වාර්තාවක් වන අතර, ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂා සහ මානව හිමිකම්වලට අදාළ කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියක් තිබිය යුතු යැයි අපේක්ෂා කරන පිරිසේ අපේක්ෂා සාධනය සඳහා බොහෝ කොට දායක කරගත හැක්කකි.

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාවෙන් සහ සුළුතර වාර්ගික ප්‍රජාවෙන් කාර්ය සාධක වාර්තාවේ නිර්දේශ කෙරෙහි සහාය සහ ප්‍රශංසාව පළවී තිබේ. එසේම මහජන අධ්‍යාපනික වැඩපිළිවෙලක් සඳහා උපයෝගී කර ගත හැකි සංකල්ප සහ සිදුවීම් සම්බන්ධ වටිනා තොරතුරු එම වාර්තාවේ අඩංගුව තිබේ. කෙසේ වෙතත්, ආණ්ඩුවෙන් ඒ කෙරෙහි පළවූ ඇල්මැරුණු ප්‍රතිචාරය පැහැදිළිව පෙනෙන්ට තිබුණි. ආණ්ඩුවේ කණස්සල්ල ඇති කරන ප්‍රශ්නය බව පෙනෙන්නේ, කාර්ය සාධක වාර්තාවේ අඩංගු නිර්දේශවලින් සමහරක් වාර්ගික සිංහල බහුතරයේ පොදු මතය සමග නොපෑහීමයි.

විවිධ අදහස් උදහස් මගින් අවධාරණය කෙරුණු බොහෝ ප්‍රශ්න මේ වාර්තාව තුළ ඉදිරිපත් කොට ඇති අතරේම, අඩු වශයෙන්, දිස්ත්‍රික්ක මට්ටමේ කාර්ය සාධක ප්‍රවිචාරණයට සම්බන්ධ වූ සාමාජිකයන් දෙන්නෙක්, වගවීමේ යාන්ත්‍රණය තුළ සිටිය යුතු බවට මේ නිර්දේශ තුළ යෝජනා වී ඇති විදේශ විනිසුරන්, අභිචෝදකයන් සහ පරීක්ෂකයන් සම්බන්ධ කාරණය කෙරෙහි නොසතුටට පත්ව සිටිති. සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය සඳහා දෙමුහුන් අධිකරණයක් වෙනුවට, ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගත යුතුව ඇති බවට තමන් කළ යෝජනාව මේ වාර්තාව තුළ සටහන්ව නැති බව ඔවුහූ පෙන්වා දෙති. ආණ්ඩුව ඉදිරියේ අද ඇති අභියෝගය වන්නේ, මේ වාර්තාවේ නිර්දේශ බරසාරව සැලකිල්ලට ගෙන ඒවා ක්‍රියාවේ යෙදවීමයි. මන්ද යත්, එය තිරසාර සාමය සඳහා වන මාවතේ තීරණාත්මක පියවරක් වන්නා සේම, දේශීය සහ විදේශීය වගකීම්වලට උරදීමක්ද වන බැවිනි.

මේ තත්වය තුළ, ජාතික අධ්‍යාපනික වැඩපිළිවෙලක් සඳහා ආණ්ඩුව යොමු විය යුතු බවත්, සංහිඳියා ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වන සිවිල් සමාජ සංවිධානවල සහයෝගයෙන් යුතුව එම පණිවිඩය ජනතාව අතරට පුළුල්ව ගෙන යා යුතුව ඇති බවත් ‘ජාතික සාම මණ්ඩලය’ කියා සිටී. ආණ්ඩුව භාරගෙන ඇති වගකීම්වලට, මේ කාර්ය සාධක බලකායේ නිර්දේශ ගැලපෙන බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු අතර, ආණ්ඩුව උර දී ඇති වගකීම් රටේ යහපත සඳහාම වන බවත් ජනතාවට කියා දිය යුතුව ඇත. එසේ නොකළොත්, එය ආණ්ඩුව සහ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර තිබිය යුතු විශ්වාසය කඩා ඉහිරවීමට හේතු විය හැකිය.

එසේම, කාර්ය සාධක බලකායේ නිර්දේශ බරසාරව ගෙන ඒ අනුව කටයුතු කිරීමට ආණ්ඩුව අසමත් වුවහොත් එය, යුද්ධයෙන් පීඩාවට පත් වින්දිතයන්ගේ ප්‍රාර්ථනා සහ අපේක්ෂා පාවා දීමක් වන බවත්, ‘ජාතික සාම මණ්ඩලයේ’ හැඟීමයි. ශ්‍රී ලංකාවේ තිරසාර සාමය සාක්ෂාත් කරගත හැකි වන්නේ, රටේ ජීවත් වන සෑම ප්‍රජාවක්ම, පක්ෂ භේදවලින් සහ වෙනත් නූල් සූත්තරවලින් තොරව ඒකරාශී කිරීමෙන් පමණක් බවත් අප තේරුම්ගත යුතුය.

එනිසා පක්ෂ පාට පස්සේ නොගොස්, මැතිවරණ ගැන නොසිතා, රටේ අනාගතය වෙනුවෙන්, කාර්ය සාධක බලකායේ මෙකී නිර්දේශත් නාස්ති කර නොගන්නා ලෙස ආණ්ඩුවෙනුත්, විපක්ෂ නායකත්වයෙනුත් අපි ඉල්ලා සිටිමු.

*2017 ජනවාරි 19 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Yahapalanaya Government Needs to Campaign Harder for Reconciliation නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි