ඇයි මේ සැප්තැම්බර්? හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වත්මන් ආණ්ඩුවට ආයු කාලය ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් පමණක් බව සඳහන් කොට ඇත. එනම් තවත් මාස හතරකි. ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවට අවසන් අවස්ථා ලබා දී තිබේ. නමුත් යළිත් තම “දේශපාලන තර්ජනය” සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කොට තිබේ. රාජපක්‍ෂට සැප්තැම්බරයේදී ආණ්ඩුව පෙරළිය හැකිද? නිශ්චිත පිළිතුරක් නොමැති මෙවැනි ගැටලු වල පසුබිම මෙන්ම මුහුණ දීමට සිදුවිය හැකි සමාජ ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් විමසීම වැදගත් වේ.

තමන්ට බලයේ සිටීමට තවත් වසර දෙකක් තිබියදී හදිසියේ කැඳවූ මැතිවරණය හේතුවෙන් රාජපක්ෂට බලය අහිමි විය. එය මෙරට දේශපාලන ඉතිහාසයේ අඥානම තීරණය බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත්, පරාජයෙන් පසු මේ දක්වා මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ඔහු වටා සිටින කණ්ඩායම වත්මන් නායකත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව, එය සමාජය හමුවේ නිර්දය ලෙස අපහාසයට මෙන්ම උපහාසයට ලක් කළෝය. එසේම ඔවුහු රාජපක්ෂගේ නායකත්වය බහුතර ජනතාවගේ කැමැත්තෙන් පරාජය කළබව පිළිගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරති. එමඟින්, රට තුළ නවාකරයක “විපක්ෂ” දේශපාලනයක් මතු වී ආවේය.

2009 දක්වා කොටි සංවිධානය විසින් වසර විසි පහකට මදක් වැඩි කාලයක් ඇතුළත සක්‍රීය විපක්‍ෂය ලෙස කටයුතු කළේය. එම භූමිකාව 2009 න් පසු ව්‍යාකූල තත්වයට පත් විය. මේ නිසා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වූ නාමික විපක්‍ෂයේ ඇති දුර්වලතා දිනෙන් දින සමාජය මතුපිටට පැමිණියේය.

2015 සිදු වූ දේශපාලන වෙනස මෙම ඒකපාර්ශවීය දේශපාලන බලමුළුවේ පුපුරා යෑම වූ අතර එමඟින් අභිවන්දනයක් (කල්ට්) බවට පත් වී තිබූ රාජපක්ෂ දේශපාලනය බරපතළ ලෙස නාය යෑමට ලක්විය. රාජපක්ෂ වූ කලී පුද්ගලයෙකුට වඩා සමාජ සංසිද්ධියකි. මෙය ගැඹුරට විහිදී ගිය ප්‍රවණතාවයකි.

විශේෂයෙන් යුද්ධයෙන් පසු එහි සැබෑ ස්වරූපය ක්‍ෂණිකව මතුපිටට පැමිණි අතර එය වටා ඒකරාශී වී සිටි අයවලුන් විසින් සිදුකළ අපහරණයන් රට හමුවේ දිනෙන් දින අනාවරණය විය. එම කාරණය මනා ලෙස ග්‍රහණය කර ගැනීමට මෙන්ම පැවති පරිපාලනය පෙරළා දැමීම සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කළාය.

2015 මැතිවරණයක් නොපැවැත්වූයේ නම් මේ වන විටත් රටේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. වෙනත් වචනවලින් කියන්නේ නම්, බහුතර ජනතාවගේ කැමැත්ත 2017 දක්වා ලබා දී තිබුණේ රාජපක්ෂ වෙතය. එළඹෙන සැප්තැම්බර් මාසය යනු තම බලය නෛතිකව අවසන් වීම සඳහා මාස දෙකකට පෙර අවධිය වන අතර ප්‍රකට රුසියානු විප්ලවයේ සියවස් සැමරුමට මසකට පෙර අවධිය වේ. එවැනි පසුබිමක් ඇති කාලයක් තුළ රාජපක්‍ෂට ආණ්ඩුව පෙරළීම කෙසේ වෙතත් ආණ්ඩුව කෙරෙහි ජනතාව අතර තවදුරටත් ප්‍රතිෂේප කිරීම සඳහා ගත හැකි පියවර මොනවාද;

පළමුවැන්න දිගින් දිගටම තමන්ට හිතවත් වෘත්තිය සමිති ඔස්සේ සිදුකරන අනවරථ බලපෑම් ඔස්සේ ආණ්ඩුව රටේ මැද පන්තිය අතර ක්‍රමිකව ප්‍රතික්ෂේප වීමට ඇති වටපිටාව සකස් කිරීම. මෙය වෘත්තිය සමිති වලට හිංසා කිරීමෙන් හෝ විවිධ අයවලුන් මාර්ගයෙන් අවලාද නැගීමෙන් විසඳීමට නොහැකි කාරණයකි.

විශේෂයෙන් සෞඛ්‍ය ඇමතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයා ඇතුළු කිහිපදෙනෙකු විසින් රටේ පවතින බරපතළ ගැටලුවක් ගැන සිදු කරනු ලබන අර්ථ දැක්වීම සහ තර්ජනය ආණ්ඩුව ගැටුම් නිරාකරණයේදී අනුගමනය කරන අඥාන ස්වභාවය හෙළිදරව් කරනු ලබයි. එසේම මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදු වූ බරපතළ විපත හමුවේ ආණ්ඩුව මෙන්ම එහි වගකීමට බැඳී සිටින රාජ්‍යය පරිපාලනය හැසිරුණු ආකාරය අතිශය අප්‍රසන්නය. මෙවැනි වටපිටාවක් තුළ දිවයන ආණ්ඩුවක් ජනතාව අතර ප්‍රතික්ෂේප කිරීමට ඉතාම පහසුය.

“අපේ රාජ්‍යය පරිපාලන ආයතන දුර්වල නොව නින්දාසහගත ලෙස ඛේදජනකය. බරපතළම කාරණය වන්නේ ඒ ගැන දන්නා යමක් ඔස්සේ එළඹෙන උපකල්පනය මත විශ්වාසය තැබීමය,” යැයි වරක් වී. අයි ලෙනින් ප්‍රවුදා පුවත්පතට ලියු ලිපියක සඳහන් කළේය. මෙරට රාජ්‍යය පරිපාලනය ගැන විමසා බැලීමේදීද පෙනී යන්නේ මෙම මූලික කාරණයට නියත වශයෙන්ම සමපාත වන තත්වයකි.

එවැනි ආයතනික ව්‍යුහයක් ශෝධනය කිරීමේ යහපත් චේතනාවක් තිබේනම් ආණ්ඩුවේ න්‍යායපත්‍රය ක්‍රියාවට නැංවීමේදී එය රටේ සාමාන්‍යය ජනතාවට භුක්ති විඳීමට හැකි වනු ඇත. එය හුදු අශුද්ධ බැන වැදීම් වලින් හෝ තර්ජනය කිරීම් වලින් කළ නොහැකි බව ඉතිහාසය විසින් ඔප්පු කොට ඇත. මේ නිසා “ ඕනෑම ගොනෙකුට ඇමතිකම් කළ හැකියි,” යනුවෙන් එක්තරා වෘත්තීය සමිති නායකයෙකු මෑතකදී මාධ්‍යය ඉදිරියේ සඳහන් කළේ පවතින රෝගී තත්වයේ සැබෑ තත්වය හෙළිදරව් කරමිනි.

මන්ද එවැනි තත්වයක් සකස් වීම වූ කලී විපක්ෂයට හෝ වත්මන් නායකත්වය අසමත් නායකත්වයක් බවට පත් කිරීමට වෙරදරණ කණ්ඩායමට මීළඟ පියවර ගත හැකි පරිසරයක් නිර්මාණය වීමකි. එහි මූලික සංඥාවක් මැයි දිනයේදී ගාලුමුවදොර පැවති දේශපාලන රැළියෙන් ලබාදීමට හැකි වූයේද යන්න බොහෝ අයට කල්පනා කළ හැකි මාතෘකාවකි. රාජපක්ෂ වත්මන් ආණ්ඩුවට සැප්තැම්බර් මාසය දකවා කල් ලබා දීම තුළ හඳුනා ගත හැකි ක්‍රමෝපායේ ප්‍රයෝගික භාවිතය එයයි.ඊට අමතරව ඔහු බෞද්ධ පන්සල මනාව භාවිතා කරනු ඇත. ඉන් රාජපක්‍ෂ යළි බලයට පැමිණීමට උත්සහ කිරීමක් මතුපිටින් පෙන්නුම් කළද ඇත්ත එය නොවිය හැකිය. නමුත්, වත්මන් ආණ්ඩුව අසමත් සහ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවක් බව ඔප්පු කිරීම රාජපක්ෂගේ මූලික අභියෝගය වේ.

එබැවින් 2017 නොවැම්බර් මාසය දක්වා නෛතිකව ලැබුණු බලය තමන් විසින්ම අහෝසී කර ගැනීමේ වේදනාව වෙනත් ක්‍රමවේදයකින් මුදාහැරිය හැකිය. යළි ජනාධිපතිවීමට නොහැකි බව ඔහු දන්නා නමුත්, වත්මන් නායකත්වය ජනතාව හමුවේ අසමත් කිරීම ඔහුගේ මූලික අවශ්‍යතාවයන් වලින් එකක් බව සිදුකරන කටයුතු මෙන්ම ප්‍රකාශ කරන අදහස් වලින් පැහැදිලි වේ.

මේ අනුව, සැප්තැම්බර් වන විට අපේක්ෂා කළ හැකි එක් මූලික කටයුත්තක් තිබේ. එනම් රටේ ප්‍රධාන ස්ථාන තමන්ට හිතවත් දේශපාලන කණඩායම් යොදා අවහිර කොට සාමන්‍යය ජනජීවිතය අඩපණ කිරීමට උත්සහ කිරීමය. එය ඊජිප්තුව, ටියුනිසීයාව ආදී රටවල සිදු වූ ආකාරයක ස්වරූපයක් බලාපොරොත්තු වුවද, රාජපක්ෂ මෙහිදී ආණ්ඩුවට සහ එහි නායකත්වයට උපරිම හානියක් කිරීම මූලික අවශ්‍යතාවය කර ගැනීම සහ රටේ බහුතර ජනතාව හමුවේ තම ව්‍යාපාරය සාදාරනීකරනය කර ගැනීම සඳහා උපරිම උත්සහය දැරීම අපේක්ෂා කළ හැකිය. ඉන් රටේ බලය ඇල්ලීමක් සඳහා යොමුවේ යැයි සිතිය හැක්කේ ඉතාම සුළුවෙනි. මන්ද, තම දේශපාලන ව්‍යාපාරයට පිළිගත හැකි ශක්තිමත් විදෙස් දේශපාලන බලයක අනුමැතිය ලබා ගැනීම ඉතාම අපහසු කටයුත්තකි.

මීට පිළිතුරු ලබා දීමට ආණ්ඩුවට අවශ්‍යය වන්නේ නම් කළ හැකි උපයාන් මොනවාද?

දැනටමත් ප්‍රමාද වී ඇති කැබ්නට් සංශෝධනය මූලික අවශ්‍යතාවක් වුවද ඊට දිගින් දිගටම හරස් කැපීම ඔස්සේ එක්සත් ජාතික පක්ෂය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා දමා තිබේ. හවුල් ආණ්ඩුව තුළ මූලික ධාවක බලය තමන් තුළ තබා ගැනීම මෙන්ම ඉන්පසු එන මැතිවරණය තුළ තම ප්‍රතිවාදියා අතර පළල් බෙදීම් ඇතිකිරීම ඔස්සේ තම බලය සහතික කර ගැනීම එ.ජා.පයේ මූලික උපාය විය හැකිය.

ඊට ක්‍රමෝපායිකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වන්නේ නම්, ජනාධිපතිවරයා අනුගමනය කළ යුතු උපායන් හුදු දත් නැති කොමිෂන්සභා පත්කිරීමෙන් ඔබ්බට ගමන් කළ යුත්තේය. එසේම රටේ සාමන්‍යය ජනතවාගේ සිත දිනා ගැනීම සඳහා ආකර්ෂණීය වැඩපිළිවෙලක් වහාම ක්‍රියාවට නැංවිය යුතු වේ. එය ජනතාවට භුක්ති විඳිය හැකි ක්‍රමවේදයක් විය යුත්තේය. එය නොවුණ හොත් මේවන විට මෝදු වෙමින් පවතින බෙදීම කෙලවර විය හැක්කේ රාජපක්ෂ සමඟ ඉතාම අසීරූ සහ ප්‍රභල අහිතකර බලපෑම් ඇතිකළ හැකි දේශපාලන සහවාසයකට යොමුවීමෙන් විය හැකිය.

වත්මන් නායකත්වය මෙම මූලික වටපිටාව නිශ්චිත වශයෙන්ම අවබෝධ කරගෙන ඇතැයි අනුමාන කළ හැකිය. නමුත් එම අවබෝධය ශක්තිමත් කිරීම සඳහා නායකත්වය වටා විශ්වාස කළ හැකි සහ නායකත්වයේ ගරුත්වය වෙනුවෙන් අවංකව පෙනී සිටින පිරිසක් සිටින්නේද යන්න විශ්වාස නැත.

සැප්තැම්බරයට පෙර ආණ්ඩුව පෙරළීමට වඩා බලාපොරොත්තු විය හැක්කේ වත්මන් නායකත්වය ජනතාව අතර ප්‍රතික්‍ෂේප කිරීමට සහ අනෞචිත්‍ය සාධකයක් බවට පත්කිරීමට හැකි උපරිම උත්සාහය ගැනීමට වෙරදරණ රාජපක්‍ෂ කඳවුරේ කටයුතු තියුණු වීමය. එම කඳවුරේ සැබෑ අභියෝගය ගාලුමුවදොර පිටිය මිනිසුන්ගෙන් පිරවීම නොව මහින්ද නොමැතිව මෛත්‍රීට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීමට නොහැකි බව ඔප්පු කිරීමය. මෛත්‍රී සෑම විටම දෙවැනි කොට තැකීමය. එය ආණ්ඩුව පෙරළීමකට වඩා බරපතළ සමාජ සහ ආර්ථික බලපෑම් සිදුකළ හැකි තත්වයකි.

ඉතිහාසය විසින් අපට යළි යළිත් උගන්වා ඇති පාඩම නම් නිවැරදි දේ යනු ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය දේ නොවේ.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa