Image Credit: passionparade

ඔවුන් හරියටම ද්‍රවිඩයන් වූ නිසා ගෙවල් ගිනිතැබීම, දේපලවලට හානි කොට පලවා හැරිම සහ ඉවක් බවක් නැතිව මරා දැමීම මහා පරිමාණයෙන් කොළඹ මුල් කොට පළමුවත්, දෙවැනිව අනික් නගරවල සහ මධ්‍යම කඳුකරයේත් සත්දිනක් තිස්සේ සිංහල මහා ජාතිවාදයේ බල පරාක්‍රමය සහ මේලේච්ඡත්වය පෙන්වූ සතියේ 34 වැනි සංවත්සරය ආරම්භ වූයේ පසුගිය 23 වනදා එනම් ඊයේ සිටය.

ප්‍රජාතන්ත්‍රවාදය මත ජනවාර්ගික සමානාත්මතාවය අගයන සෑම යුක්තිගරුක සිංහලයෙකුගේ හෘදසාක්ෂිය කළු ලපයකින් අඳුරු කල මේ ඛේදවාචකය වසර 30 ක් කුරිරු සහ මේලෙච්ඡ යුධයකින් නිමා වුවද එහි දේශපාලන ප්‍රභවය තවමත් නොවිසදී පවතියි.

කළු ජූලියට ආසන්නම හේතුව වුයේ ද්‍රවිඩ කොටින් විසින් යාපනයේ තින්නවේලි සහ කොකුවිල් අතර හමුදා භටයින් 13ක් මරාදැමීම නිසා සිංහල බෞද්ධ ජාතිවාදීන්ගේ කෝපය ඇවිස්සීමෙනි.

මේ සතිය තුළ දින දෙකකදී ද්‍රවිඩ සැකකරුවන් 53 දෙනෙක් සිංහල සිරකරුවන් විසින් මරා දැමීමේ බන්ධනාගාර නිලධාරීන්ගේ අනු දැනුම සහ සහයෝගය ලැබුන නිසාය. සමහර සිරකරුවන්ගේ ඇස් උගුල්ලා දැමීමට තරම් ඔව්හු ම්ලේච්ඡ වූහ.

මේ වනවිට සිංහල සමාජය අද මෙන් අනෙක් ජනවාර්ගික සහ ආගමික කොටස්වල ප්‍රජතන්ත්‍රවාදී අයිතිය සහ අනන්‍යතාවය පිළිගැනීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදී මුහුකුරායාමක් පෙන්නුම් කළේ නැත. අලුත් වම මෙන්ම පරණ වම ද ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් සිංහල ජාතිවාදයේ වුවමනා එපාකම් වලට අනුගත කිරීමට කතිකාවත් නිර්මාණය කළහ. වාමාංශික කතිකාවතේ බුද්ධිමය පරිකල්පනය සිංහල ජාතිවාදයේ අගතීන්ගෙන් අලංකාරකොට තිබුණි.

කළු ජූලියෙන් පසුව එළඹෙන යුගය ලංකාවේ දේශපාලනය ජාතික ප්‍රශ්ණය මගින් අධිනිශ්ච්චය(over-determination) කරනු ලැබිණ. මෙය තවමත් පවතින්නේ එබදු වූ තත්වයක බව පෙනී යන්නේ යුද්ධයට පෙර තිබූ ජාතික පීඩනය විසදීමට පාලක පන්තිය අසමත් වීම නිසා සහ යුද්ධයෙන් පසුව ඇති කරන ලද දේශපාලන සහ ආර්ථික ප්‍රශ්නයන් තවදුරටත් තීවෘ වෙමින් පවතින බැවිනි. දකුණේ සටන් ව්‍යාපාරය පන ගැන්වීම සඳහා ඉදිරිපත් කරන සංවාදයන් තවම උතුරට සහ නැගෙණහිරට ගොචරවන්නේ නැත. එයට හේතුව තම ජනවාර්ගික අනන්‍යතාවය පදනම් කොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදී විසදුමකට අවතීරණය වීමට පොරොන්දු දුන් යහපාලනය ද එම පොරොන්දු අමතක කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බැවිනි.

දයාපාල තිරාණගම | Dayapala Thiranagama