දූෂණය, විශේෂයෙන් දේශපාලනික දූෂණය, පිළිකාවක් සේ ඔඩුදුවමින් ඇති තත්වයක් තුළ, දෙසැම්බර් 11 වැනි දාට යෙදෙන ‘දූෂණ-විරෝධී ජාත්‍යන්තර දිනය’ අපේ රටේ සෑම පක්ෂයකම සහ සෑම තරාතිරමකම දේශපාලඥයන්ට වැදගත් පාඩම් කියා දෙන අවස්ථාවක් විය යුත්තේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව, සෑම වසරකම අල්ලස් වශයෙන් ලෝකය පුරා වැය කෙරෙන මුදල ඩොලර් ටි‍්‍රලියනයකි. එසේම, වාර්ෂිකව ලෝකය පුරා සිදුවන දූෂණය ඔස්සේ සිදු කෙරෙන සොරකමේ වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 2.6 කි. එය, ලෝක දළ ජාතික නිෂ්පාදිතයේ මුළු වටිනාකමින් සියයට 5 කටත් වැඩි මුදලකි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ පිළිවෙලේ සංඛ්‍යා ලේඛනවලට අනුව, සංවර්ධනය වෙමින් පවතින ලෝකය තුළ, ¥ෂණය නිසා අහිමි කර ගන්නා අරමුදල්වල මුළු අගය, සංවර්ධනය වෙනුවෙන් එම රටවල්වලට සැපයෙන මුළු නිල ආධාරවල වටිනාකම මෙන් දහ ගුණයකි.

දූෂණය යනු, ඕනෑම සමාජයක සමාජ සහ ආර්ථික සංවර්ධනය කඩාකප්පල් කළ හැකි බරපතල අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල පෙන්වා දෙයි. මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමග එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල එක්ව මේ වසරේ දියත් කළ ලෝක ව්‍යාපාරයක් මගින්, අධ්‍යාපනය, සෞඛ්‍ය, අධිකරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමෘද්ධිය සහ සංවර්ධනය කෙරෙහි දූෂණය විසින් ඇති කරනු ලබන බලපෑම සලකා බලනු ලැබේ. දූෂණය යනු, සියලූ රටවල්වලට බලපාන, සංකීර්ණ සමාජ, දේශපාලනික හා ආර්ථික ප‍්‍රපංචයකි. ඒ මගින් ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතනවල වළ කැපෙන අතර, ආර්ථික සංවර්ධනය අඩාල කරමින්, ආණ්ඩුකරණයේ අස්ථාවරත්වයට පාර කපනු ලැබේ.

මැතිවරණ ක‍්‍රියාවලිය විකෘති කරමින්, නීතියේ ආධිපත්‍යය වළකාලමින්, නිලධාරිවාදී මඩගොහොරු කනිමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතියේ පදනම් දෙදරවාලීමට දූෂණයට හැකියාව තිබේ. දූෂණය හේතුවෙන් සෘජු විදේශ ආයෝජනය අධෛර්යමත් කෙරෙන නිසා, රට තුළ සුළු ව්‍යාපාරික ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කෙරෙන ‘ආරම්භක වියපැහැදම්’ අධික වීම ඔස්සේ බොහෝ විට බාධා කෙරෙන නිසා, ආර්ථික සංවර්ධනය ඇනහිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල පෙන්වා දෙයි. තරුණයන් බල ගැන්වෙන අධ්‍යාපනය අහිමි කෙරෙන තරුණයන්, ජීවිතාරක්ෂාව සලසන ශල්‍යකර්මවලින් බැහැර කෙරෙන කාන්තාවන් සහ වැඩ කිරීමෙන් වළකාලනු ලබන කම්කරුවන්, දූෂණය හේතුවෙන් හටගත් තත්වයන්ගෙන් විඳවන අවාසනාවන්ත වින්දිතයන් පිළිබඳ නිදර්ශනයක් වන බව, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ යූරි ෆෙඩටෝව්, ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීමේ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

දූෂණය, සමාජයකට විනාශකාරී ය. සමාජයක පවතින යටිතල පහසුකම් නැති බැරි මිනිසුන්ට අහිමි කරමින්, ඔවුන්ට ගොඩඒමට ඇති අවස්ථා මේ කියන දූෂණය නිසා අහිමි කරන අතරේම, අසමාන සහ අසාධාරණ ජීවන තත්වයන්ට ඒ මගින් ඔවුන්ව පහත හෙලනු ලැබේ. එයින් පීඩාවට පත්වන වින්දිතයන් එක පරම්පරාවකට පමණක් අයත් වන්නන් නොවේ. දූෂණය නැමැති එම අපරාධය, ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පීඩාවට පත්කරමින්, පරම්පරාවෙන් පරම්පරාවට හොල්මන් කරයි. දරිද්‍රතාවෙන් මිනිසුන් ගලවා ගැනීමට නම්, ආර්ථික සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීමට නම්, දූෂණයට එරෙහිව ලෝකයම එක්සත්ව, එකාවන්ව නැගී සිටිය යුතුය. එයින් අදහස් කෙරෙනුයේ, දූෂණය පිටුදැක, ඒ වෙනුවට වගවීම, විනිවිද භාවය සහ යහපාලනය වැළඳ ගැනීම බව, විධායක අධ්‍යක්ෂවරයා කියයි. දූෂණයේ මේ විනාශකාරී ප‍්‍රතිවිපාක ගැන දකින කියවන ශ‍්‍රී ලංකාවේ දේශපාලඥයන් තමන්ගේ හෘද සාක්ෂිය ප‍්‍රශ්න කළ යුතුව තිබේ. කොමිස් සහ වෙනත් අක‍්‍රමික ගෙවීම් ලැබීම කෙරෙහි තමන් තුළ පවතින නැමියාව, සමස්ත ආර්ථිකයට සහ ඊටත් වඩා දරිද්‍රතාවෙන් පෙළෙන දසලක්ෂ සංඛ්‍යාත ජනතාවට අහිතකර ලෙස බලපාන්නේ කෙසේද යන්න ඔවුන් සිහියට ගත යුතුව තිබේ. වැඩියත්ම, නීතියේ ආධිපත්‍යය කඩා වැටීමත්, වගවීම සහ විනිවිද භාවයෙන් තොර වීමත් නිසා, ඒ අස්සේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒකාධිපති පාලන තන්ත‍්‍රයක් ඇති වීමත් නිසා, විශේෂයෙන් පසුගිය දස වසක පමණ කාලය තුළ, දේශපාලඥයන්, ඉහළ නිලධාරීන්, ඔවුන්ගේ හෙංචයියන් සහ ව්‍යපාර හිමියන් අතරේ පෙර නොවූ විරූ ආකාරයෙන් දූෂණය ඔඩුදිව්වේය.

2015 ජනවාරි 8 වැනි දා, බොහෝ දේශපාලන පක්ෂ සහ සිවිල් ක‍්‍රියාකාරී ව්‍යාපාරවල දේදුනු සන්ධානයක් හරහා මෛත‍්‍රිපාල සිරිසේනව ජනාධිපති පදවියට පත්කර ගනු ලැබුවේ, දූෂිතයන්ව නීතිය ඉදිරියට පැමිණවීමේ ප‍්‍රතිඥාව එම මැතිවරණ ප‍්‍රකාශනයේ ඉහළින්ම තිබුණු බැවිනි. එහෙත් මාස 35 ක් ගෙවී ඇති අද ඒ විෂය සම්බන්ධයෙන් අප සිටින්නේ කොතැනක ද? මහ බැංකුවේ සිදු වී යැයි කියන බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අද නිකුත් වීමට නියමිතව තිබුණි. එහෙත්, කොමිෂන් සභාවේ විමර්ශන කාලය, ඊයේ ජනාධිපතිවරයා විසින් දෙසැම්බර් 31 වැනි දා දක්වා දීර්ඝ කරනු ලැබිණ.

මේ කියන බැඳුම්කර සිද්ධියේදී කවුරුන් කුමක් කෙළේ ද යන්න සහ කොතරම් නම් කොල්ලකෑවේ ද යන්න ගැන දැන ගැනීම සඳහා කොමිෂන් සභා වාර්තාව එළිදැක්වෙන තෙක් රටේ ජනතාව බලා සිටින අතරේ, පැවති රජය යටතේ ප‍්‍රකෝටි ගණන් මහජන දේපළ කොල්ලකෑ මහ මෝරුන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ක‍්‍රියා පරිපාටිය තවමත් මන්දගාමී බව කිව යුතුය.

‘ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල්’ සංවිධානය මගින් ගිය වසරේ සම්පාදනය කරන ලද ‘දූෂණ අනුබෝධ සූචියට’ අනුව, ලෝකයේ රටවල් 175 ක් අතුරින් ශ‍්‍රී ලංකාව 95 වැනි ස්ථානයට පත්ව තිබුණි. 2009 දී මේ සූචියටම අනුව ශ‍්‍රී ලංකාව අත්කරගෙන තිබුණේ 97 වැනි ස්ථානයයි. මේ ලකුණු මට්ටම් කෙසේ වෙතත්, දූෂණ සිදුවීම් කඩිනමින් විභාග කෙරෙන විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා මෑතකදී මේ රජය පනවා ගත් නීති නොපමාව ක‍්‍රියාත්මක කරතැයි ද, බැඳුම්කර ගනුදෙනුවේ වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගනිතැයි ද අපි බලාපොරොත්තු වෙමු.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පවසා ඇති පරිදිම, හරියට හෝ වැරදියට ව්‍යාපාර කිරීමට කැමති අයවළුන් දේශපාලනයෙන් ඉවත්ව සිටීම යෙහෙකි. මන්ද යත්, දේශපාලනයේදී ප‍්‍රමුඛත්වය ලැබිය යුත්තේ, ජනතාවට සේවය කිරීමටත්, ජනතාව වෙනුවෙන් කැප වීමටත් වන බැවිනි. අවසානයේදී දේශපාලඥයන් තමන්ගෙන් අසා ගත යුතු ප‍්‍රශ්නය වන්නේ, තමන්ට රටෙන් කඩාවඩා ගත හැක්කේ කුමක් ද යන්න නොව, තමන්ට රටට දිය හැක්කේ කුමක් ද යන්නයි.

*2017 දෙසැම්බර් 8 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Corruption Attacks Foundations of Democracy නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි