iMage: Vikalpa | 14 July 2018 | Jaffna

OMP යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පසුගිය සති අන්තයෙහි යාපනයෙහි සහ කිලිනොච්චිය‍ෙහි මූලික අදහස් විමසීමේ සැසිවාර දෙකක් පැවැත්වීය. මෙම සැසිවාර දෙක ම එම ප්‍රදේශයන්හි තරමක ආන්දෝලනයකට මඟ පෑදුවේ ය.

යාපනයෙහි දී මෙන්ම කිළිනොච්චියෙහි දී ද අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට විරුද්ධව උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි. යාපනයේ හි එම සැසිවාරය පැවැත් වූ වීරසිංහම් ශාලවෙහි විදුලි බලය රැස්වීම ආරම්භ කිරීමට පෙර කපා හැර තිබුණේ විදුලි ජනක යන්ත්‍රයක් ද තිබියදී ය. විදුලිය සපයන වයර් කවරකු හෝ විසින් කපා දමා තිබුණි.

විරෝධතාකරුවන්ගේ සටන් පාඨය වූයේ ඔවුන්ට අවශ්‍ය අන්තර්ජාතික පරීක්ෂණයක් මිස දේශීය පරීක්ෂණයක් නොවන බව යි. තමන් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිළිනොගන්නා බවට දැන්වීම් පුවරු ඔවුහු ඔසවාගෙන සිටියහ. එමෙන්ම රැස්වීමට සහභාගිවීමට පැමිණි මා පියවරුන්ට වීරසිංහම් ශාලාවට ඇතුලු වීමට ඉඩ නොදීම ඔවුන්ගේ උපාය වී තිබුණි.

එසේ වෙතත් 500 ඉක්මවූ මා පිය පිරිසක් යාපනයෙහි රැස්වීමට එක්විය. ඔවුහු සිය දුක්ගැනවිලි මෙන්ම විවේචනයන් ද ඉදිරිපත් කළහ. ඉන් එකක් වූයේ දෙපැයක කාලයක් මෙවැනි අභ්‍යාසයකට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. තවද සභාවෙහි කටයුතු එකවරම ද්විභාෂාවෙන් කිරීමට නොහැකිවීම නොසන්සුන්තාවයට මඟ පාදා තිබුණි. එසේ නමුත් කාර්යාලයෙහි ප්‍රධානී සාලිය පීරිස් සහ සාමාජිකා නිමල්කා ප්‍රනාන්දු විසින් දක්වන ලද හිතෛශී ප්‍රතිචාර යම් දුරකට විශ්වසනීයත්වයක් ඇති කර ගැනීමට දායක විය.

විරෝධතාකරුවන් බහුතරය පැමිණ සිටියේ කිළිනොච්චියෙනි. ඔවුන් මෙහෙයවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය නැතිකර දැමීම සිය අරමුණ බව ප්‍රසිද්ධියේ කියන දෙමළ දේශපාලනඥයෙකි. ටික වේලාවකට පසු විරෝධතා පිරිස් ඔහු සමඟ ඉවත්ව ගියේ ඉරිදාට නියමිත කිළිනොච්චියේ සභාව පැවැත්වීමට ඉඩ නොදෙන බව කියමිනි.

ඇත්ත වශයෙන් ම කිළිනොච්චියෙහි OMP සාකච්ජාව අසාර්ථක කිරීමට ඔවුහු සමත් වූහ. අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලයේ කණ්ඩායම නැවැතී සිටි හෝටලයෙහි විදුලිය ද රාත්‍රියෙහි කපා හැරුණි. උදෑසන ඔවුන් රැස්වීම් ශාලාව කරා යන විට එහි ගේට්ටුව අවහිර කරමින් සිය ගණනාවක් දෙමළ පිරිස් රැස්ව සිටියහ. ඒ වන විට එහි ඇතුල්වී සිටි දහ දෙනෙකු පමණ වු මාපියන් හැරුණ විට අන් කිසිවකුට ඇතුල්වීමට මෙම විරෝධතාකරුවෝ ඉඩ නොදුන්හ.

යාපනයෙහිදීත් රැස්වීම් ශාලාව තුළට කඩා වැදී ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් පැමිණ සිටි පිරිස් බිය වැද්දවීමට මෙකී විරෝධතාකරුවන් උත්සාහ දරා තිබුණි. එහිදී අසැබි වචන පවා දමා ගැසූ බව කියනු ලැබේ. කිළිනොච්චි පොලීසිය බලා සිටියේ ද රැස්වීම කඩාකප්පල්වන තුරු ය. අතුරුදහන්වූවන් පිළිබඳව මා පියන් විසින් කරුණු ඉදිරිපත් කිරීම කවරකු හෝ විසින් වළක්වනු ලබන්නේ නම් පොලීසිය ඊට කැමැත්තෙන් සිටියා වැනි විය.

යාපනයේ දී මෙන්ම කිළිනොච්චියෙහි දී සිවිල් සමාජ කණ්ඩායම් සමඟ වඩා සාර්ථක අදහස් හුවමාරු සාකච්ජා දෙකක් පැවැත්වීමට OMPය සමත් විය. මාපියන් සමඟ පැවැත්වූ රැස්වීම් මෙන්ම සිවිල් සමාජ කණ්ඩායම් සමඟ පවත්වන ලද රැස්වීම්වලදීත් මතු වූ එක් තීරණාත්මක කාරණයක් විය. එනම් 2009 මැයි 18 සහ 19 යන දිනයන්හි යුද හමුදාවට බාරදෙන ලද එල්ටීටීඊ ප්‍රධානීන් සහ සටන්කාමීන්ට කුමක් වූයේද යන ප්‍රශ්නයයි. මෙම පිරිස් බාර දෙන ලද්දේ ඔවුන්ගේ ඥාතීන් විසින් කිළිනොච්චියේ දී ය.

මෙසේ බාර දෙන ලද එල්ටීටීඊ ප්‍රධානීන් යුද හමුදාව බාරයේ සිටින බවට දිවයින පුවත්පත හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් එකී එල්ටීටීඊ නායකයින්ගේ නම් ගම් පවා ඇතිව වාර්තාවක් 2009 මැයි මාසයේදී ම පළ කරන ලදී. නමුත් ඒ කිසිවකුට වූ දෙයක් කීමට රජය හෝ යුද හමුදාව තවම සමත් වී නැත. හමුදා අත් අඩංගුවට පත් ලාබාල බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ට අත් වූ ඉරණම ම ඔවුන්ට ද අත් වූ බවට සැකයක් නැත.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය මුහුණ දෙන එක් කඩඉම් ප්‍රශ්නයක් වනු ඇත්තේ මෙම බාර වූ පිරිස්හි ඉරණම පිළිබඳ කවර හෝ හෝඩුවාවක් සොයා ගැනීම යි.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය තමන් පිළිගන්නේද නැත්ද යන්න නොසළකා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එය සමඟ සාකච්ජාවක නිරතවූයේ නම් එය වැදගත්ය. අනෙක් අතට තමන් කොපමණ දුරට අව්‍යාජව සිය මෙහෙවර ඉටු කරන්නේද යන්න පෙන්වා ලීම OMPය සතු කාර්යය වේ.

තවත් පුදුමාකාර කරුණක් සඳහන් කළ යුතුම ය. OMPය යාපනයෙහි සහ කිළිනොච්චියෙහි පවත්වන ලද සාකච්ජා සභා වාර්තා කිරීමට රජයේ කිසිදු ජනමාධ්‍ය ආයතනයක් ප්‍රමාණවත් පියවරයන් ගෙන තිබුණේ නැත. මෙම දින දෙකෙහි දී ම රජයේ රූපවාහිනී ආයතන සිය පුවත් ප්‍රකාශනයන් හි OMP සාකච්ජා සභා වර්තා කළේ නැත. රජයේ මුද්‍රිත මාධ්‍යයන්හි හෝ කිසිදු අදාළ වාර්තාවක් නොදුටුවෙමි. ඉන් පෙන්වන්නේ අතුරුදහන්වූවන් සොයා ගැනීමට දැරෙන ප්‍රයත්න පිළිබඳ ආණ්ඩුවේ නොසැළකිල්ල ය.

ඉහත කී විරෝධතාකරුවන් සහ කාරියන්ගේ නියෝජිත පිරිස් පසුගිය මාර්තු සහ ජූනි මාසයන්හි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාර හමුවෙහි කරුණු ඉදිරිපත් කිරීම පිනිස ජීනීවා බලා පැමිණියහ. මෙම අවස්ථා දෙකෙහිදී ම ඔවුන්ගේ ස්ථාවරය වූයේ ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි තමන්ට විශ්වාසයක් නැති බැවින් අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බව යි.

මෙම පිරිස් අතුරින් සමහරෙක් සිටින්නේ යතාර්ථවාදී නොවන අන්තවාදී මතවල ය. මෙම වසර මුලදී අප කිළිනොච්චියෙහිදී මුණ ගැසුණූ අවස්ථාවකදී සිංහලයින් සමඟ තමන්ට කිසිවක් කිරීමට අවශ්‍ය නැතැයි ඔවුහු අපට කීවෝ ය. අප බියවැද්දවීමට මෙන් අපගේ ජායාරූප ගැනීමට පිරිස් කැඳෙව්වෝ ය. ඔවුන් පෙන්වූයේ සහමුලින්ම පසමිතුරු ආකල්පයකි.

ජිනීවාහි ඔවුන්ගේ නායකයා වන්නේ ගුප්ත පුද්ගලයකු වන බොස්කෝ නොහොත් අැන්තනි මරියදාස් නැමැති අයෙකි. ඔහු පෙනී සිටින්නේ ‘ජිනීවාහි සහ පැරිසියේ තමිල් ඊලාම් නියෝජිතයා’ ලෙසය. ඔහු සතුව අන්තර් ජාතික සංවිධාන ගණනාවක් තිබේ. මුදල් ප්‍රතිපාදන ද ඇති තරම් තිබෙන බවක් පෙනේ. නමුත් මෙම පුද්ගලයා කිසිදු දෙමළ ඩයස්පෝරා සංවිධානයක් සමඟ එළිපිට සම්බන්ධයක් නොපෙන්වයි. ලොව අනෙක් කලාපයන්හි වෙනම රාජ්‍යයන් සඳහා සටන් කරන විවිධ සංවිධාන සමඟ එක්ව ශ්‍රී ලාංකික සහ දකුණු ඉන්දියානු දෙමළ ක්‍රියාධරයන්ගේද සහභාගිත්වයෙන් මානව හිමිකම් කවුන්සිලයෙහි සමාන්තර රැස්වීම් සංවිධානය කිරීම ඔහුගේ විශේෂ කාර්යය යි. දැන් දැන් සමහර දේශපාලනඥයින් පවා ජිනීවා බලා එන්නේ මේ බොස්කෝගේ පිහිටෙනි.

බොස්කෝ සමඟ එක්ව මෙම විරෝධතාකරුවන්ගේ ජිනීවා ගමන සංවිධානය කරන්නේ කොළඹ පවත්නා නීති ආධාර සංවිධානයක් විසිනි. යාපනයේ සහ කිළිනොච්චියෙහි පැවැති OMP රැස්වීම් වර්ජනය කරන ලෙස ප්‍රචාරයක් ගෙන යෑමට ද කොළඹ පිහිටි මෙම සංවිධානය කටයුතු කළේ ය.

මෙම කිසිදු ක්‍රියාවක් නීති විරෝධී එ්වා නොවේ. ඔවුන් ක්‍රියාවට නගන්නේ මෙරට පුරවැසියන් සතු මානව අයිතීන්ය. විරෝධය පෑමටත් එක්සත් ජාතීන් වෙත කරුණු දැක්වීමටත් සරත් වීරසේකරට මෙන්ම මෙම කිළිනොච්චි විරෝධතා කාරියන්ටත් අයිතියක් තිබේ.

යුද්ධයේ විපාක වශයෙන් මෙරට දෙමළ ජනයාට අත්වූ විපත් වෙනුවෙන් යුක්තිය ඉටුකරගත හැක්කේ අන්තර් ජාතික මැදිහත්වීමක් මගින් පමණක් යැයි යාපනයේ සහ කිළිනොච්චියේ දී OMPයට විරෝධතා පෑ මා පියන් විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ. දේශපාලනඥයින් නම් එම සටන් පාඨය පාවිච්චි කරන්නේ තමන්ට ඡන්ද වැඩි කර ගැනීමට ය. අන්තර් ජාතික මැදිහත්වීමක් මගින් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලබා ගත හැකියැයි යන මිත්‍යාව වැපිරවීම මත පවත්වාගෙන යන දෙමළ සංවිධාන මෙරට මෙන්ම එතෙර ද තිබේ. ඔවුහු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිට නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන යා යුතු බව ද කියති. ඉහත කී විරෝධයන්ට එක්වන පිරිස් ඉල්ලා සිටින්නේ ද එවැනිම ඉල්ලීම් ය.

නමුත් ඇත්ත යතාර්ථය නම් එවැනි අන්තර් ජාතික මැදිහත්වීමක් වර්තමාන ලෝක තත්වය තුළ සිදුවිය නොහැක්කක් බව යි. ජිනීවාහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැරෙන ප්‍රකාශ තවදුරටත් වචන ඉක්මවා යන්නේ නැති තරම් ය. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය වර්ජනය කරන දෙමළ පිරිස් එමගින් කරන්නේ අන්තර් ජාතික තලයෙහි ශ්‍රී ලංකාණ්ඩුව තවත් ශක්තිමත් කිරීම ය. මෙවැනි ක්‍රියා මගින් අන්තර් ජාතික හොඳ හිත තමන්ට දිනා ගැනීමට හැකියැයි විරෝධතාකරුවන් සිතා සිටින්නේ නම් එය මහ ම මුලාවක් වනු නිසැක ය.

කවර හෝ රටක මානව හිමිකම් සම්බන්ධයෙන් ඵලදායක අන්තර් ජාතික මැදිහත්වීමක් ඇතිවිය හැක්කේ දේශීය වශයෙන් මානව හිමිකම් ඔසවා තැබෙන ආණ්ඩුවක් ඇතිවිට පමණක් බව අත්දැකීම් පෙන්වා දෙයි. රාජපක්ෂ සමයෙහි එක්සත් ජාතීන් යෝජනා සම්මත කර වාර්තා ඉදිරිපත් කළ නමුත් ඉන් මෙරට දෙමළ ජනයාට ප්‍රායෝගික සෙතක් අත්වූයේ නැත. ඔවුන්ට කවර හෝ නිදහසක් ලැබී යුක්තියක් ඉටු වූයේ රාජපක්ෂ පාලනය අවසන් ව ඇතිවූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ පමණි.

දේශීය සාධකය අමතක කර අන්තර් ජාතික මැදිහත්වීමක් ගැන පමණක් විශ්වාස කිරීමට මෙරට දෙමළ ජනයා පෙළඹවීම දේශපාලන අපරාධයකි. අන්තිමේදී එල්ටීටීඊය විනාශයෙන් වන්දි ගෙවූයේ එවැනි අන්ධ විශ්වාසයන් නිසාත් ය. අද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එවැනි කලු කුහරයක් කරා මෙහෙයවන කවරකු වුවත් යළි ඒ ගැන සිතා බැලීම වටී.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya