iMAGE: Maithreepala Sirisena fb Page 

එක ජනපතිවරයෙක් ආතල් කෝටියක් දී ජනබලයයෙන් පිම් ඹී උඩ නැග කාර් එකෙන්ම ගෙදර ගියේය.අනික්  නායකයා හිටු කියා ආතල් දෙන්නේ ඉඳ හිට අපුරු ප්‍රකාශ කරමින්ය. එවිට  මේ රටේ ජනපතිවරයෙක් ඉන්නා බව ඉඳ හිට හෝ ජනතාවට මතක් වෙන බව ඔහු දනී. උදේ 5 ට නැගිට රෑ 10 ට නිදන පත්තරේ කියවා රටේ තීරණ තීන්දු දැනගන්නා මේ ජනපතිවරයා මෑත කාලයේ අමුතු අමුතු ප්‍රකාශ හිතු හිතු තැන්වල කරමින් යයි. තමන් සුද්ද වන්ත තාප්සයෙකු යයි සිතාගෙන ජනතාවට බයිලා කියයි.

කාලයක් එක් වරම අමු කැවුණා මෙන් එල්ලුම් ගහ ගැන කියාගෙන ගියේය. මත් කුඩු ජාවාරම් කරුවන් එල්ලා මරා දැමිය යුතු යැයි හදිසියේම තීරණය කළේය. සතියක් ඇතුළත එය ක්‍රියාවට නැංවිය යුතු යැයි අමුතු කතා කිවේය. දැන් හා හොවක් නැත.

තවත් විටෙක කියන්නේ මේ රටේ වෙන දේවල් වලට තමන් වගකිව යුතු නැති බවය. තමන් කිසිවක් නොදන්නා බබෙක් බවය. අගමැති හා යු. ඇන්. පිය රටට හතුරු වන දේවල් කරන බවය. තමන් 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවද හීනෙන් මෙන් ඇතැම් විට ඔය අතර කියවනවා ඇසි ඇත.

සියලු ගැහැණුන් අම්මාවරු බවද බාර් වලට බොන්නට යන්නට  බැරි බවද ,බාර් වල අරක්කු  විකුණන්නට බැරි බවද එක වරක් කියා ජෝගියක් නැටුවේ ද  මේ රටේ හන්දියක් හන්දියක් ගානේ ඇති බාර් ගැහැණුන්ගේ නම් වලින් රෙජිටර් වී ඇති බවවත් නොදන්නා නිසා විය හැකිය. බොන එකට සෙක්ස් එක අදාළ වන්නේ කොහොමදැයි කියාවත් මේ ජනපතිවරයා දන්නවා යයිද සිතිය නොහැකිය.කෙසේවෙතත්  චතුරිකා නමැති ජනපති දෙටු දියණිය ගේ නමද ඔය බාර් කතා වලට ඇඳි ඇතැයි රට්ටු කියන බව ඔහු නොදැන ගෙන ඉන්නටද විදියක් නැත. කොහොම උනත් මහින්දගේ මතට තිත අන්තිමට මෛත්‍රී මතින් නිදහස් රටක්  කළේය.

ඔය කොයි එකටත් වඩා මෛත්‍රී 2015 දී තමන් ජනපති වූ හැටි සෝභිත හිමියන්ගේ ගුණ සමරුවේදී කියූ හැටි නම් අගේය. ජනවාරි 8 වෙනස වෙනුවෙන් දහඩිය හෙලු ප්‍රගතිශිලින්ට පොළොවේ පස් කන්නට හැකි කතාවක් කළ මේ ජනපතිවරයා කිව්වේ දින 100 ක් ගැන තමන් නොදන්නා බවය.

ඒත් කම් නැත. සියල්ල අමතක කළ හැකිය. අවුරුදු 3ක් මේ පතෝල කතා වලට අපි හුරු වී සිටින නිසා අපි දැන් ඒවා වැඩි මනක් ගණන් ගැනෙන්නේ නැත.ඒත් බොරුකාරයෙකුටත් හෘදය සාක්ෂියක් තිබිය යුතුය. හෘදය සාක්ෂියක් වත් නැත්තෙකු රටේ ජනපතිවරයකු බවට පත්වීම යුක්තිය අගයන සමාජයකට කළ හැකි ලොකුම හානිය කරනු ඇති බවට දැන් නම් සාක්ෂි ඇස් පනා පිටම තිබේ. මෙය බරපතල තත්වයකි. එය අහක දමා සිටිය නොහැකි එකකි. මේ ලියමනේ නිමිත්ත එයය.

පසුගිය සති අන්තයේ අනිද්දා පුවත්පත තම ප්‍රධාන පුවතින් වාර්තා කොට තිබුණේ  ජනපතිවරයා විසින් දැනට විවිධ අධිකරණ ඉදිරියේ විභාග වෙමින් පවතින ඝාතන හා අතුරුදහන් කිරීම් සම්බන්ධ නඩුවලට අදාළව ,එම අධිකරණ ක්‍රියාවලින් සඳහා අවශ්‍ය වී තිබෙන ත්‍රිවිධ හමුදාවල අභ්‍යන්තර තොරතුරු  ලබා නොදෙන  ලෙස අණ කොට තිබෙන බවය.

පුවත්පත වාර්තා කරන ආකාරයට පසුගිය අගෝස්තු 28 වන දින ජනපති ප්‍රධානත්වයෙන් ඔහුගේ නිවසේ පැවති එම සාකච්ජාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්,රාජ්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානී,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී,යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානී,පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී  හා පොලිස් විශේෂ  කාර්ය බලකායේ ප්‍රධානී ඇතුලු නිලධාරින් රැසක්  සහභාගී වී තිබේ.

මේ නම් ලැයිස්තුව මට නම් ඇතිකළේ තැති ගැන්මකි. මේ පිරිස මුණ ගැසීම පතෝල ජනපතිගේ නිකම්ම නිකම් වැඩක් විය නොහැකිය. විධායක බලතල එපා කි ජනපති එනම් මොහු විය නොහැකිය.

පසුගිය රාජපක්ෂ රෙජීමය  විසින් මිලිටරි බලය අනීතික ලෙස යොදාගනිමින් කළ අපරාධ මෙරට ජනයා නොදන්නා අහඹුවක් නොවේ. එය පෙනී  පෙනී යට යන  දිය මත එඹු රබර් බෝලයක් වැනි සත්‍යකි. එවකට සිදුවුණු බරපතල  අපරාධ, ඝාතන , බලහත්කාරයෙන් කළ අතුරුදහන් කිරීම්, පැහැරගැනීම්, පහරදීම්  සම්බන්ධව යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන බවට 2015 සපථ කොට පැමිණි මේ ජනපතිවරයා දැන් අවුරුදු 3ක් ගෙවෙන තැන  අර අදිමින් සිටින්නේ කුමකටද  යන්න අප පැහැදිලිව අපෙන්ම  අසා ගත යුතු ප්‍රශ්නයකි.

මාධ්‍යවේදී  ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේවන විටත් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින් කීපදෙනෙකු සැක කරුවන් වශයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධවද නඩු විභාග කෙරෙමින් පවතියි. ඒ අතර කිත් නොයාර්ගේ  පැහැරගැනීම ගැන අමතක ව ගිය හිටපු ජනපති  මහින්දගෙන් ප්‍රකාශ ගත්තේ ද  මිට සති කීපයකට උඩදීය.

කෙසේවෙතත් සැක කරුවන් ලෙස හමුදා නිලධාරින් බන්ධනාගාර වල රදවා තබා ගැනීම ගැනද තම අප්‍රසාදය පොලිසිය වෙත මේ හමුවේදී ජනපතිවරයා විසින් පළ කොට තිබෙන බව වාර්තා වේ. එහෙත් හමුදා නිලධාරීන් සම්බන්ධ ජනපතිවරයාගේ මේ විශේෂ කාරුණිකත්වය සැලකිල්ලට ගත යුතුව ඇත්තේ පොලිසිය විසින් අධිකරණයේ විභාග වෙමින් පවතින ඉහත සඳහන් කළ නඩු කටයුතු ඇතුළු නඩු සඳහා අත්‍යවශ්‍ය වී ඇති විවිධ තොරතුරු 34ක් යුධ හමුදාවෙන් ඉල්ලා තිබෙන මොහොතකය. මෙතෙක් කලක්ම විවිධ හේතූ දක්වමින් තොරතුරු ලබා දීම ප්‍රමාද කරමින් සිටින්නේ ද  ජාතික ආරක්ෂාව නමැති තුරුම්පුවෙනි.

අනෙක් අතට ජනපතිවරයා විසින්ම පත් කළ අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP) පසුගිය සැප්තැම්බර්  5 වනදා  අතුරු නිර්දේශ සහිත අතුරු වාර්තාවක් පළ කරමින් එහි 5.2  යුක්තිය සඳහා වන නිර්දේශයන් හි පැහැදිලිවම අතුරුදහන් වුවන්ට යුක්තිය ඉටු කිරීමේදී අවශ්‍ය වන පරීක්ෂණ පැවැත්වීම හා නඩු පැවරීමේ අවශ්‍යතාව දක්වා තිබේ.  මේ ක්‍රියාවලිය පිලිබඳව අත්‍යවශ්‍ය වන විනිවිද වූ, සාධාරණ, යුක්ති සහගත ක්‍රියාවලියක අවශ්‍යතාවය එහි දිගින් දිගටම මතු කොට තිබේ.

එහෙත්ව දැන් වඩා හාස්‍ය ජනකම කාරණය නම්  අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ (OMP) නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්  තමන් අනුකමිටුවක් පත් කරන බව ජාත්‍යන්තර නියෝජිතයන් පිරිසක් හමුවේ ප්‍රකාශ කරන්නේ , දැනට විවිධ අධිකරණ ඉදිරියේ විභාග වෙමින් පවතින ඝාතන හා අතුරුදහන් කිරීම් සම්බන්ධ නඩුවලට අදාළව,එම අධිකරණ ක්‍රියාවලින් සඳහා අවශ්‍ය වී තිබෙන ත්‍රිවිධ හමුදාවල අභ්‍යන්තර තොරතුරු  ලබා නොදෙන ලෙස මිට පෙර අණ දුන් ජනපතිවරයාම වීමය.

මේත් ඒ  පාරම්බෑම කළ ජනපතිවරයාම  2018 පෙබරවාරි මස 5 වන දින යාපනය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක කළ කතාවකි.

ඔබ දන්නවා වසර ගණනක් තිස්සේ අතුරුදන්වූවන් ගැන නගන හඬ. ඒ අතුරුදන්වූවන්ගේ සංගම්, දෙමාපියන්, ඥාතීන් සමග සාකච්ඡා කළා කිහිප අවස්ථාවකම. එයාලා කිව්වා ඒ අතුරුදන්වූවන් මේ රටේ හංගගෙන ඉන්නවා කියලා. එයාලා කිව්වා හමුදා කඳවුරුවල, පොලිසියේ, කැළෑවල ආණ්ඩුව හංගගෙන ඉන්නවා කියලා…

මේ අතුරුදන්වීම් සිදුවුණේ උතුරේ පමණක් නෙමේ. දකුණේත් මෙවැනි අතුරුදන්වීම් සිදුවුණා. ඒ නිසා රජය විදියට මම කරන්න පුළුවන් සෑම දෙයක්ම සිදුකරන්න කටයුතු කරනවා

එහෙත් 500 කට එහා ගිය උතුරේ හා නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ පවුල්වල උපවාසන් හි නිරත මව්පියවරුන්ට තවමත් යුක්ති සහගත පිළිතුරක් දීමට සමත් වී නැත්තේද මේ කියන ජනපතිවරයාමය.

“රජය විදියට මම කරන්න පුළුවන් සෑම දෙයක්ම සිදුකරන්න කටයුතු කරනවා” යයි ජනයා වෙත පවසා අනීතික අතුරුදහන් වීම් හා ඝාතනයන්ට  වග කිව යුතු හමුදා සේවයේ නියුතුව සිටි හා සිටින ඇතැම් නිලධාරින් ආරක්ෂා කිරීමටත්  “රාජ්‍ය ආරක්ෂාව” යන බොරු කකුල මත හිදිමින් දත කන්නේ ඇයිද යන්න වඩා තාර්කිකව විමසිය යුත්තකී.

ජනපති බල ලොභිත්වයෙන් පෙළෙමින් සිටින රාජපක්ෂ කැඳවුරේ ගෝථාභය ඇතුළු සේනාව ට ද සුදුවෑන් ඇතුලු කොට රාජපක්ෂ සමයේ කළ විවිවධ ඝාතන, අතුරුදහන් කිරීම් සම්බන්ධ චෝදනා රැසක් තිබේ. ඒවාට මිලිටරිය යොදාගත් බව මුළු රටම දන්නා කරුණකි. එසේම ඉහත සාකච්ජාවට සභභාගී වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාටද, යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානීයාට ද  ඝාතන හා අතුරුදහන් කිරීම් සම්බන්ධ විවිධ චෝදනා ඉදිරිපත්ව තිබේ. එහෙත් ඒ සියල්ලම මේ අණ දීමෙන් යටපත් කරන්නට ජනපතිවරයා තැත් කරන්නේ ජාතික ආරක්ෂාවේ කුමන කරුණු පදනම් කොටගෙනද යන්න ගැටලුවකි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ  නම්  කුමන තරාතිරමක වුවත්, කුමන නිල ඇඳුමක් ඇඳ සිටියත් නීතිය එක ලෙස ක්‍රියාත්මක විය යුතුය. එය නිල ඇඳුම මත තිරණය නොවිය යුත්තේ රජාකාරී බලය මත අනීතික වීම කිසිම ඇඳුමකට මෙරට දී  ලැබිය නොයුතු වරප්‍රසාදයක් නිසාය.

ඒ අනුව දැන් ජනපතිවරයා  මේ උඩ කියන නඩයම එකතු  පහදු කරගනිමින් අල්ලන්ට යන අඩව්ව නම් ඉතා පැහැදිලිය. “බොරු රණවිරු” ආලයක් ජනතාව හමුවේ මවා පාමින් ජනතාව ගොනාට අන්දමින් කරන්නට යන මේ සළු පාලිය කරන ජනපතිවරයා විශ්වාසය බිඳ ගත්තෙක් වී හමාරය. ඒ මදිවට යළි යළිත් ඔප්පු වී ඇති දිව දෙකේ මිනිහෙකි.ඉතින් මේ ජනපතිවරයා රෙදි නොගලවාගෙන ඉතිරි අවුරුදු දෙකේ නටන සළු පාලියක් ගැන නම් දැන් සිතා ගන්නටත් බැරිය. එහෙත් ගැලවී යන්නට දැනටමත් රෙද්දක් නැති බවත් ලිවිය යුතුමය. ඒ නිසා දැන් එල්ලී ඇත්තේ ජාතික ආරක්ෂාව හා රණවිරු සළුපාලියෙන් ගොඩ යාමේ න්‍යායේය.