ද්‍රවිඩ ජනතාව ජාතියක් ලෙස සිය අනන්‍යතාවය ගොඩ නගා ගැනීමට දශක ගණනාවක්ම හේතුකාරක ලෙස බොහෝ විට දුටුවේ තමන්ට අසාධාරණ සහ අයුක්ති සහගතලෙස සිංහල රාජ්‍යයේ එහි සියලුම ආයතනවලින් පීඩාවට සහ හිංසනයට ලක් කිරීම මෙන්ම සිංහල දේශපාලකයන් ඒ පිළිබඳව දක්වන ලද අසංවේදීතාවයත්ය.

දැනට ආණ්ඩුව සහ එහි නායකයන් කිසිම ගණනකට නොගෙන මුනිවත රකින ද්‍රවිඩ දේශපාලන සිරකරුවන්ගේ මාරාන්තික උපවාසය ද මා ඉහතින් සඳහන් කරන කාරණය තව දුරටත් පැහැදිලි කරනවා පමණක් නොව ද්‍රවිඩ ජනතාවට අරගල කිරීම හැර වෙන යමක් නැති බව ආණ්ඩුව විසින් ම කියා දෙන පාඩමක් වෙයි.

1971 ජවිපෙ දේශපාලන සිරකරුවන්ට එක දිනක් ඇතුලත සියල්ලම නිදහස් කරන ලෙස නියෝග කිරීමට ආණ්ඩුව සමත් විය. 87-89 කාලයේදී පවා මෙය එසේම සිදු විය. නමුත් ද්‍රවිඩ දේශපාලන සිරකරුවන්ට මේ වරප්‍රසාදය සහ අයිතිය අහිමිය. මෙයට මුලික හේතුවක් වන්නේ මේ දේශපාලන අගතිය සහ අසමානතාවය අපේ සිංහල මනසට පසක් නොවන ගැඹුරු වූ අමානුශිකත්වයක පිලිබිඹුවක් වීමය.

මේ අගතිගාමී ක්‍රියාවලිය ද්‍රවිඩ ජනතාවගේ අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් කරන්නේ දේශපාලන වශයෙන් අපත් සමග එකට සිට ගැනීම සදහා නොවේ. බොහෝ විට වෙනම ජාතියක් වශයෙන් සිය දේශපාලන අනන්‍යතාවය තවදුරටත් ගොඩ නගා ගැනීම පිණිසය.

දැනට උපවාසයේ දී සිටින දේශපාලන සිරකරුවන් ට ජීවිත හානියක් ඇති වුවහොත් ඉන් ඇතිවන කම්පනය එක්කෝ ඔවුන් සිය ඛේධනීය ඉතිහාසයට එක් කරනු ඇත. එසේත් නැත්නම් එම කම්පනය ද්‍රවිඩ සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීම සදහා ඔවුන් අවදි කරන තවත් අගතියක් ලෙස සලකමින් නැගී සිටිනු ඇත. මේ කම්පනය සිංහල සමාජයට දැනෙන්නේ නැත.

ද්‍රවිඩ දේශපාලන සිරකරුවන්ගේ යුක්ති සහගත ඉල්ලීමට කන්දීමට මේ හතර බීරි ආණ්ඩුවට ඇති කාලය ඉක්මනින් අවසන් වෙමින් පවතී.

දයාපාල තිරාණගම | Dayapala Thiranagama