iMAGE: Ranga Sirilal

සැප්තැම්බර් 5 වන දා නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් කොළඹ දක්වා ජන බලය නමින් විරෝධතා පෙළපාළියක් සංවිධානය කළේ ය.  පෙළපාළියට පෙරාතු දිනවල සහ පෙළපාළිය පැවති දා විරෝධතාව පිළිබඳ අන්තර්ගතය ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ට්විටර් සහ  ෆේස්බුක් අඩවි තුළ   #ජනබලයකොළඹට #janabalaya  #september5th යන හැෂ්ටැග යොදා ගන්නා ලදි.

2017 මැයි දින රැලියේ දී මෙන් මෙහි දී ද රැලියට සහභාගි වූ ජනකාය සම්බන්ධයෙන් විවාද හා සාකච්ජා  ඇති විය. දිනය තුළ දී පුද්ගලයෝ දෙදෙනෙක් ඒ සම්බන්ධයෙන් රවුම් සංඛ්‍යා ඉදිරිපත් කළහ. එක් රවුම් සංඛ්‍යාවක් ඉදිරිපත් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂගේ නිල ප‍්‍රකාශකයා (ඥාතියෙක් නොවේ) වන මිලින්ද රාජපක්ෂ විසිනි. ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.45ට ප‍්‍රසිද්ධ කරන ලද ට්වීට් පණිවුඩයක් මගින් මිලින්ද සඳහන් කරන්නේ ‘බස් රථ දහස් ගණනක් තව මත් ’කොළඹට ‘පැමිණෙමින් තිබෙන’ බව යි.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයරත්න හේරත් උපුටා දක්වමින් ilankanews.com වෙබ් අඩවියේ පළ වූ පුවතක සඳහන් වූයේ ජන බලය රැලිය සඳහා කුරුණෑගලින් පමණක් බස් රථ 700ක් පිටත්ව ඇති බව යි. මිලින්දගේ තක්සේරුව අනුව කොළඹට පැමිණෙමින් තිබූ බස් රථ සංඛ්‍යාව 2,000ක් විණැයි සැලකුව හොත් සහ (ඒකාබද්ධ විපක්ෂයට සංඛ්‍යාව වඩාත් ලොකු කර ගැනීමට හැකියාව ලබා දෙමින්) කුරුණෑගලින් පැමිණෙමින් තිබූ බස් රථ සංඛ්‍යාව ඊට පරිබාහිර යැයි සැලකුව හොත් ඉන් කියැවෙන්නේ රැලියට බස් රථ 2,700ක් පැමිණෙමින් තිබූ බව යි. අප රටේ මාර්ගවල ධාවනය වන වයිකිං බස් රථ අලෙවි කරන ලංකා අශෝක් ලේලන්ඞ් සමාගමේ බස් රථයක තිබෙන්නේ ආසන 58කි. තද කොට බස් රථයක 80 දෙනෙකු පැටවූයේ යැයි සිතමු.

ඒකාබද්ධ විපක්ෂයේ තක්සේරු පදනම් කර ගත හොත් විරෝධතාවට පුද්ගලයන් 216,000 ක් පමණ සහභාගි වී ඇත. 2017 මැයි දින රැලිය දා ගාලූ මුවදොරට 118,000කට ආසන්න ජනකායක් ඇදී ආ බව මතක තබා ගන්න. මේ අනුව ජන බලය රැලියේ උච්චාවස්ථාවේ දී කොළඹට එමෙන් දෙගුණයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණියේ යැයි සලකන බව පැහැදිලි ය.

මෙය ලියන මොහොත වන විට ජන බලය රැලිය සම්බන්ධයෙන් ට්විටර් අඩවියෙන් පිටත ප‍්‍රසිද්ධ කර ඇති ජායාරූපවලින් ජනකායේ පරිමාණය පිළිබඳව සැබෑ අවබෝධයක් ඇති කර ගත නොහැකි ය. සාපේක්ෂ වශයෙන් නොදන්නා, නිර්නාමික හෝ ව්‍යාජ නම් සහිත ගිණුම්වල පළ වී ඇති ජායාරූප මම යොදා නොගනිමි. සාධාරණ අදහසක් ලබා දෙන්නේ යැයි සැලකිය හැකි ට්වීට් පණිවුඩ හතරක් පවතී. දෙකක් රැලියේ සංවිධායකයන්ගෙනි. අනෙක් දෙක රොයිටර්ස් සහ බී.බී.සී. පුවත් සේවාවන්ට වාර්තා කළ ප‍්‍රමුඛ මාධ්‍යවේදීන් දෙදෙනෙකුගෙනි.

එදින සන්ධ්‍යාවේ නාමල් රාජපක්ෂ ට්වීට් කළ ජායාරූපයෙහි දිස් වන්නේ කුඩා ජනකායකි. අසාම් සහ මිලින්ද තම තමන්ගේ ට්වීට් පණිවුඩ ඔස්සේ බෙදාහදා ගෙන ඇත්තේ එක ම ජායාරූපයකි. එය පහත දැක්වේ.

ජන බලය, 2018 සැප්තැම්බර් 5

පහත දැක්වෙන රංගගේ ජායාරූපය ගෙන ඇත්තේ වෙනත් උස මට්ටමක සහ ස්ථානයක සිට ය.


ජන බලයට පැමිණෙන ජනතාව, 2018 සැප්තැම්බර් 5

අපි අපගේ ගණනය කිරීම සඳහා මෙම ජනකායන් දෙක එකිනෙකින් වෙන් කර ගනිමු. නැවතත් ඒකාබද්ධ විපක්ෂය කෙරෙහි අනුකම්පා සහගත වෙමින් මෙම ජායාරූප දෙකෙහි දිස් වන්නේ එක ම ජනකායක් නොව වෙන් වෙන් ජනකායන් දෙකක් යැයි උපකල්පනය කරමු. 2017 මැයි දින ජායාරූප සම්බන්ධයෙන් කළාක් මෙන් මෙහි දී ද මෙම ජායාරූප ගන්නා මොහොතේ සිටි ජනකායේ විශාලත්වය තීරණය කිරීම සඳහා මෙම සාධක සිත තබා ගෙන සිතියම් පරීක්ෂා කරමින් දළ ගණනය කිරීමක් සිදු කිරීමට ප‍්‍රයත්න දරන ලදි.

රංගගේ ට්වීට් පණිවුඩයේ ඇතුළත් ඉහත දැක්වෙන ජායාරූපය (ඩ්‍රෝන් ජායාරූපයක් ද?) කොටුව දුම්රිය ස්ථානයට නුදුරුව ඕල්කට් මාවතේ සිට ගන්නා ලද්දක් බව පෙනී යයි. 2015 දී වීදි මට්ටමේ දසුනක් දැක ගත හැකි අයුරින් ගන්නා ලද ගූගල් සිතියමේ (street Level View) දක්නට ලැබෙන්නේ දැන් පවත්නා ගොඩනැගිලි හා වටාපිටාව ම ය. වර්ග මීටරයක සිටිය හැකි ජනකායේ ඝනත්වය 3.5ක් යැයි සැලකුව හොත් මෙම ජායාරූපයේ සිටින ජනකාය 13,541 දෙනෙකුගෙන් සමන්විත විය යුතු ය. මෙය සිටිය හැකි උපරිම සංඛ්‍යාව බව මතක තබා ගන්න.

ඔබට මෙම සිතියම යොදා ගෙන තමන් රිසි පරිදි ජනකායේ ඝනත්වය සොයා බැලීමට ද පිළිවන.

ලෝටස් පාරේ උස් ස්ථානයක සිට ගන්නා ලද දෙවන ජායාරූපය හිල්ටන් හෝටලයේ සිට ගන්නා ලද්දක් බව පෙනී යයි. වීදි මට්ටමේ දසුනක් මෙතැනින් දැක බලා ගත හැකි ය. ජනකායේ ඝනත්වය මැනීම සඳහා අප යොදා ගන්නා වේදිකාවට සංකීර්ණ ජ්‍යාමිතික ගණනය කිරීම් කළ නොහැකි ය. එම නිසා සිතියම් දෙක සම්බන්ධ කරමින් ජනකාය ගණනය කිරීමට මට සිදු විය.

ලෝටස් පාරේ ජනකාය – පළමු වන අක්ෂය


ලෝටස් පාරේ ජනකාය – දෙවන අක්ෂය

ජායාරූපය ගත් මොහොතේ පාර මැද වුව ද සිටින්නේ දෙපැත්තේ සිටිනවාට වඩා බෙහෙවින් අඩු ජනකායක් බව ජායාරූපයෙන් ඉතා පැහැදිලිව පෙනෙන නමුත් මාර්ගය පුරා ම සමාන පුද්ගලයන් සංඛ්‍යාවක් සිටියේ යැයි උපකල්පනය කරමින් මම මාර්ගය පුරා ම වර්ග මීටරයක ජනකායේ ඝනත්වය 3.5ක් ලෙස සලකා ඇත්තෙමි. කෙසේ වුව ද මෙය උච්චාවස්ථාවේ දී එහි සිටි ජනකායේ විශාලත්වය ප‍්‍රදර්ශනය කිරීමෙහි ලා අවශ්‍යතාවක් ඇති සංවිධායකයන් විසින් ම බෙදාහදා ගන්නා ලද ජායාරූපයකි. ඔබට මෙතැනින් හා මෙතැනින් ද තමන් රිසි පරිදි ජනකායේ ඝනත්වය සොයා බැලිය හැකි ය.

මෙම ජායාරූපයට අනුව ලෝටස් පාරේ සිටි මුළු ජනකාය 36,508ක් පමණ වේ (මෙය එහි සිටිය හැකි උපරිම ජනකාය යි)

නාමල්ගේ ට්වීට් පණිවුඩයෙහි තිබෙන සන්ධ්‍යා කාලයේ ගන්නා ලද ජායාරූපයේ දැක්වෙන්නේ වඩාත් කුඩා ජනකායකි (ජායාරූපය ගන්නා ලද උස මට්ටමේ සිට බැලූ විට එහි පතුල ගස් පෙළකින් වැසී ඇති අතර එම ගස් පෙළ ගූගල් සිතියම්වල ද දැක ගත හැකි ය) නාමල් පවසන්නේ ඒ මොහොත වන විටත් ජනකායන් ”ගලා එමින්” තිබෙන බව යි. මෙම ප‍්‍රකාශයට එරෙහි හොඳ ම සාක්ෂිය ඔහුගේ ජායාරූපය ම ය. එහෙත් අනුකම්පා සහගත වෙමින් නාමල්ගේ ජායාරූපයේ දැක්වෙන්නේ මිලින්දගේ ජායාරූපයේ දැක්වෙන ජනකාය නොව වෙන ම ම ජනකායක් යැයි සිතා අපි මුළු ගණනට තවත් 36,508ක් එකතු කරමු.

මෙලෙස මා උපරිම ලෙස අනුකම්පා සහගත වූ විට ඉහත දක්වන ලද ඡුායාරූපවල සිටින මුළු ජනකාය යන්තම් 86,557ක් දක්වා ඉහළ යයි. එහෙත් තව මත් එය ගාලූ මුවදොර පැවති 2017 මැයි දිනයට සහභාගි වූ සංඛ්‍යාවට වඩා 31,000කින් පමණ අඩු ය. සන්ධ්‍යාවේ ගන්නා ලද නාමල්ගේ ජායාරූපයේ දැක්වෙන්නේ (ජනකාය පාර මැදට වඩාත් කැටි වී සිටින)  මිලින්දගේ ජායාරූපයේ දැක්වෙන ජනකාය ම නම් සහභාගි වූ මුළු ජනකාය 50,000ක් පමණ වේ.

නැවත කිව හොත් කොළඹට බස් රථ දහස් ගණනක් පැමිණෙමින් තිබෙන බව ප‍්‍රකාශ කරන මිලින්දගේ ට්වීට් පණිවුඩයත් ජනකායන් තව මත් ගලා එමින් තිබෙන බවට නාමල් සන්ධ්‍යාවේ කරන ප‍්‍රකාශයත් කුරුණෑගලින් පමණක් බස් රථ සිය ගණනක් පිටත්ව ඇති බව කියැවෙන ප‍්‍රවෘත්ති වාර්තාත් සැලකිල්ලට ගත් විට අපේක්ෂිත මුළු ගණන 200,000 ඉක්මවූ සංඛ්‍යාවක් විය යුතු ය. එහෙත් සැබවින් එහි සිටියේ ඉන් 1/4ක් තරම් ප‍්‍රමාණයකි.

ඇත්ත වශයෙන් ම 2017 ජනවාරි අග මහින්ද රාජපක්ෂ විසින් නුගේගොඩ පවත්වන ලද රැලිය සහ ඒ අවුරුද්දේ ගාලූ මුවදොර පැවති මැයි දින රැලිය පැහැදිලි ලෙස ම මීට වඩා දහදහස් ගණනක් ජනයා වීදිවලට රැගෙන ආවේ ය. අතිශයින් ම සැබෑ, වර්ධනය වෙමින් පවතින හා හදිසි ගැටලූ ප‍්‍රකාශයට පත් කරමින් පාලනය පිරිහී ඇති බවට සහ ජනතාව ආණ්ඩුව පිළිබඳ මුළාවන්ගෙන් අත්මිදී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන තර්ක පදනම් කර ගත හොත් කෙනෙකු ජන බලයට මීට වැඩි ජනකායක් එක් වනු සහ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරනු ඇත. එහෙත් අප දකින්නේ නගරයක් ඇන හිටුවීම පසෙක තබා විවිධ ප‍්‍රදේශවලින් විශාල ජනකායක් රැස් කර ගැනීමටත් බැරිව දැඟලූ සහ සමාජ මාධ්‍යයෙහි ප‍්‍රසිද්ධ කරන ලද සමස්ත අන්තර්ගතය ම පාහේ දැවැන්ත හිටිවන වීදි සාද මාලාවක ස්වරූපයෙන් නිමාව දුටු රැලියකි.

නාමල් රාජපක්ෂ වර්තමානයේ සමාජ මාධ්‍යය තුළ කරන සැබවින් ම ඊර්ෂ්‍යාව උපදවන, කිසි සේත් ම පාහේ දෝෂාරෝපණය කළ නොහැකි, රොක්-ස්ටාර් පන්නයේ ආයාචනය ( ඒ පිළිබඳව විස්තර සහිතව මා වීසින්  ටිවිට පණිවිඩයක් නිකුත් කළෙමි )  තිබිය දීත් ඒකාබද්ධ විපක්ෂය ගිය අවුරුද්දේ කිසි ම පරිශ‍්‍රමයක් නොදරා ම පාහේ කැඳවා ගැනීමට සමත් වූ තරමේ ජනකායක් වත් කැඳවා ගැනීමට ජන බලය අසමත් වූයේ මන්දැයි වඩාත් විචාරාත්මකව විමසා බැලීම සඳහා මෙම විශ්ලේෂණය මනා ආරම්භක ලක්ෂ්‍යයක් වේ යැයි මම විශ්වාස කරමි. මෙම විමර්ශනය පෙබරවාරි මාසයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ  මැතිවරණ සාර්ථකත්වය සහ ඒ අතර සිය ඥාති පුත‍්‍රයා විසින් වේදිකාගත කරන ලද දුර්වල සංදර්ශනයක් ලෙස දැක ගන්නට ඇතත් ඒ බව වසන් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අමු අමුවේ බොරු ගෙතුවේ මන්දැයි ද සැලකිල්ලට ගනිමින් සිදු කළ හොත් වඩාත් සිත් ගන්නාසුලූ වනු ඇත.

ඉවසිල්ලෙන් බලා සිටිමි.

සංජන හත්තොටුව | Sanjana Hattotuwa

සංස්කාරක සටහන

2018 සැප්තැම්බර් 6 වන දින Groundviews  වෙබ් අඩවියට අයත් ෆේස්බුක් ගිණුමේ සටහන් කරන ලද  Doing the math: The Jana Balaya rally යන්නෙහි විකල්ප විසින් කළ සිංහල භාෂා පරිවර්තනය මෙලෙස පළවේ. Groundviews  වෙබ් අඩවියේ ආරම්භක සංස්කාරක වන ලිපියේ කතුවර සංජන හත්තොටුව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ පර්යේෂකයෙකු, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය විද්වතෙකු හා විශ්ලේෂකයෙකු වන අතර දැනට නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ තම ආචාර්ය උපාධිය හදාරමින් සිටියි.