නියමයි. මහින්ද මහත්තයා අගමැති ද? දිවුරුම් දෙනවා දැන්”. කොළඹ- මහනුවර බස් රථයේ, මා අසලින් හිඳ සිටි මගියා, උස් හඩින් යෙදුන, දුරකථන සංවාදය එය විය. මම රථයේ ජනේලයෙන් එපිට බැලීමි. හාත්පස අදුර හැර, මලානික වූ නියෝන් එලි පමණක් විය.

මම නැවත සිතුවේමි. මහින්ද රාජපක්ෂ අගමැති වුයේ කෙසේද? ශ්‍රී ලංකාවේ දැනට බලාත්මක 19 වන ව්‍යවස්ථා සංශෝධනය ට අනුව, පාර්ලි‌‌මේන්තුවේ බහුතර විශ්වාසය පවතින පුද්ගලයා, අගමැති ලෙස පත්කිරීමට, විධායක ජනාධිපතිට හැකියාව ඇත (42/ 04). රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ 2015 මහා මැතිවරණයෙන්, පාර්ලිමේන්තුවේ ආසන 106 ක් ලබාගනිමිනි. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය, පාර්ලිමේන්තු ආසන 95ක් පමණක් ලබා ගත් අතර, මහින්ද රාජපක්ෂ, කුරුණෑගල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස තේරී පත්විය (https://www.aljazeera.com/news/2015/08/sri-lanka-elections-150818133605788.html). එම පාර්ලිමේන්තු මැතිවරණයෙන්, අගමැති ලෙස, රනිල් වික්‍රමසිංහ පත් කරන ලද අතර, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, සිරිසේන ජානාධිපතිට හිතැති කණඩායම සමඟ, සභාග ආණ්ඩුවක් පිහිටු වීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද කණ්ඩායම, ඒකාබද්ධ විපක්ෂය ලෙස, පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා ලදී.

පවත්නා ව්‍යවස්ථාවට අනුව, ජනතා ජන්දයෙන් පත් වූ, ජානාධිපතිවරයා ද, පාර්ලිමේන්තුවේ, බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා සහ ඔහුගේ මතය ද විමසීමෙන් අනතුරුව පත් වූ, කැබිනට් මණ්ඩලයේන්, දේශපාලන විධායකය ගොඩනැගේ (19 වන සංශෝධනය; 42 වන්තියේ සිට… ). එසේම,42 (3) වගන්තියට අනුව, ජනාධිපතිවරයා , කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන අතර, හෙතෙම, කැබිනට් මණ්ඩල ප්‍රධානියා ද වේ. මෙම ව්‍යවස්ථා ප්‍රතිපාදනයන්ට අනුව, ජනාධිපතිවරයා ද සෘජුවම, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ගනු ලබන තීරණ වෙනුවෙන් වගකීමට බැදී සිටි. 19 වන ව්‍යවස්ථා සංශෝධන යේ 46 වන වගනිතියට අනුව, සමස්ථ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 30කට නොවැඩි විය යුතුය.

එසේ වන විධායකය ගනු ලැබූ තීරණ පිලිබඳ වගවීම, වෙනුවෙන්, ජාතිය අමතමින් හඬා වැටීමට, ජනාධිපති සිරිසේනට හැකියාවක් නොවේ. (http://www.ft.lk/news/President-Maithripala–Sirisena-s-address-to-the-nation/56-665613). සිරිසේන ජනාධිපතිවරයාගේ, අත්තනෝමතික දේශපාලන තීරණය නැවත කියවා බලමු.

2015 ජනවාරි 08 වැනිදා පැවති, ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ලබන අතර, හෙතෙම පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමට ප්‍රථම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ලේකම් ධූරය හොබවන ලදී. පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් තුමා, මෛත්‍රීපාල සිරිසේන මහතා, මැතිවරණය වෙත ප්‍රවේශවන විට, ඔහුගේ ප්‍රබල, තරඟකරු වුයේ, එවිට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ ද, විධායක බලය එහි අතිශය ආකාරයට භාවිතා කල, සහ ව්‍යවස්ථාදායක සහ අධිකරණය වෙත දැඩි ලෙස බලපෑම්කල සහ, පළාත් සභා බලය ද භාවිතා කළ මෙන්ම, පවුලේ සාමාජිකයන් සහ තම අන්තේවාසිකයන් හැර අන් සියලුම පුවැසියන්, ද්‍රෝහීන් ලෙස සලකු, පර්සි මහේන්ද්‍ර රාජපක්ෂය. අශිලාචාර ලෙස ආණ්ඩුකරණය මෙරට ස්ථාපිත කළ, රාජපක්ෂ පාලනයට එදිරිව, සිරිසේන මහතාගේ ආගනමය ඉතාමත් වැදගත් දේශපාලන තීරණයක් විය.

ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස, සිරිසේන මහතා දේශපාලන රංග භූමියට පැමිණෙන විට ම මාධ්‍ය සාකච්ඡාව පටන් ගනු ලැබුවේ, “අප්පමාදෝ අමත පදං- සහ නහි වේරේන, වේරානි” යන, ධම්ම පද ගාථාවන් ගෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 48ක් කටයුතු කර ඇති, සිරිසේන මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ධුරයේ වසර 13ක් කටයුතු කරණ ලදී. එම සියලු සුදුසුකම් ප්‍රකාශ කරමින්, සිරිසේන මහතා එදා, පොරොන්දු වූයේ, පුරවැසියාගේ නිදහස සහ අයිතීන් සුරක්ෂණය කිරීම උදෙසා, ජනාධිපති වූ පසු, තමන් කැප වන බවය. එසේම, ඔහු තදබල ලෙස හෘදසාක්ෂියේ සටහන වෙනුවෙන් අවධානය යොමුකරන ලදී.(https://www.youtube.com/watch?v=ejagGpF3rTQ).

එවකට වූ රාජපක්ෂ රෙජීමයේ ජනපිඩාවන් දැඩි ලෙස විවේචනය කරමින්, එයට විරුද්ධව, තමන්ගේ නැගී සිටීම සමඟ එක්වන ලෙස, පුරවැසියාට, ආයාචනා කළ සිරිසේන මහතා, 2018 ඔක්තෝබර් මස, අත්තොනෝමතිකව, රහසේ කුමන්ත්‍රණ කිරීමෙන් අනතුරුව,ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ තීරණයක් ගන්නා ලදී. එනම්, පිඩක රාජපක්ෂ රෙජීමය නැවත බලයට ගෙන ඒමට, ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරමින් කටයුතු කිරීමය. එදා පිඩක රාජපක්ෂ රෙජිමය, ප්‍රතික්ෂේප කරමින්, පුරවැසියා, ජනාධිපතිවරණයේදී තම ජන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ ගැඹුරු අවබෝධයක්, සිරිසේන මහතාට වූ බව ගැටළුවකි.

රාජපක්ෂ රෙජීමය යටතේ පුරවැසියා, දේශපාලනිකව, ආර්ථිකව සහ සාමාජිය ලෙස දැඩි පීඩාවකට මුහුණ දුනි. දේශපාලනිකව කිසිදු නිදහසක්, පුරවැසියාට නොවිය. පුරවැසියා යනු වහලෙකු ලෙසත්, රාජපක්ෂ රෙජීමය පවත්වාගෙන යාමට උරදිය යුතු, කිසිදු වරණයක් නොමැති අයෙකු ලෙසත්, පුරවැසියා ව ස්ථානගත කරණ ලදී. මෙහි එක් උදාහාරණයක් නම්, සංවර්ධනය නමින් වන විනාශකාරී ‘දැයට කිරුළ’ වෙනුවෙන්,2014 දී මාතර රුහුණු විශ්ව විද්‍යාලය බලයෙන් රාජපක්ෂ රෙජීමය ලබා ගැනීමට කටයුතු කිරීමය. මෙම අවස්ථාවේදී, රෙජිම වහලුන් විසින්, විශ්ව විද්‍යාල ප්‍රජාවට දැඩි ලෙස තර්ජනය කරණ විට, මාතර පොලිසිය නිහඬ විය. (http://www.dailymirror.lk/47902/tense-situation-near-ruhuna-campus).

එසේම, අත්අඩංගුවට ගත් පසු අතුරුදහන් කරණ ලද ජිවිත වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීම ද සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් වූ ජන්දයක එක් අරමුණක් විය. සන්ධ්‍යා එක්නැලිගොඩ අදටත් තමාගේ බලහත්කාරයෙන් අතුරුදහන් කරණ ලද සැමියා සොයා, සියලුම ආයතන වෙත පිවිසෙයි. අදටත් උතුරේ ගැහැණුන්, බලාත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම ආදරණියයා සොයා , මාවතේ නිරාහාරව උද්ගෝෂණය කරයි. පසුගිය අවුරුදු තුන තුළ, සිරිසේන මහතා, ජනාධිපතිවරයකු ලෙස විදි සියලු සුපොඛභෝගී ජිවිතයේ යටින් පවතින්නේ මේ මිනිසුන්ගේ කඳුළු කතාවය. එපමණක් ද නොවේ. සතියකට අඩු කාලයකින්, විශ්වාස භංගයක් ගෙන, ලංකාවේ ප්‍රථම කාන්තා අග්‍රවිනිශ්යකාරවරිය, සේවයෙන් පහ කිරීමට තරම්, අශිෂ්ට වූ පසුගිය රෙජිමේන්තු පාලකයා නැවත, ජනවරමක් ද නොමැතිව, අගමැති කිරීමට සිරිසේන මහතාට සිහිබුද්ධියක් නොමතිවිද? සිරිසේන මහතා තම, පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස පැවැත්වූ මාධ්‍ය සම්මේලනයේ දී, පොරොන්දු වූ ආකාරයට, නීතියේ ආධිපත්‍ය සුරැකීමට ඔහු අපෝසත්ව ඇත. එසේම, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතනයන්හි බලතල, බලහත්කාරී ලෙස පැහැර ගැනීමට උත්සහා කරමින් සිටි. මෙම ක්‍රියාවලියට විරුද්ධ විය යුතුමද? එකම පැහැදිලි පිළිතුර නම්, අනිවාරයෙන්ම, ඔවු. මෙම ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලිය පැරදීවීම අතවශ්‍ය වේ.

මේ මොහොතේ, පුරවැසියා කුමක් කළ යුතු ද? මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ව්‍යවස්ථාව, පුරවැසියා ට වැදගත් වේ ද? ඔවු. එය හුදෙක්ම ආණ්ඩුකරණයේ මුලික ලියවිල්ල පමණක් නොව, එය රටේ මුලික නිතිය වේ. යම් රාජ්‍යයක්, මූලික නිතිය වත් නොමැතිව ක්‍රියාත්මක වේ නම්, එය සුජාත භාවයෙන් යුත් රාජ්‍යයක් නොවේ. ව්‍යවස්ථාව මගින්, රාජ්‍යයේ නියෝජිතයාවන, ආණ්ඩුවේ ආයතනික කාර්යභාරය, බලතල, වගකීම සහ වගවීම පිලිබඳ ප්‍රකශනය වේ. මෙම ලියවිල්ල මගින්, පුද්ගලයා ගේ ‘කැමැත්ත’ වෙනුවට ‘නීතිය’ ප්‍රමුඛ වන බව පැහැදිලි කර දෙයි. 1978 ව්‍යවස්ථාවේ ගැටළු පවතින හෙයින්, මේ වනවිටත්, නව ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනුවෙන් අවදානය යොමු ව ඇත. එම නව ව්‍යවස්ථාව, පුරවැසි කේන්ද්‍රීයව නිර්මාණය කිරීම වෙනුවෙන් පසුගිය කාල පාරාසය තුලම, සිවිල් සමාජය දැඩි උත්සහයක් ගන්නා ලදී. පවතින ව්‍යවස්ථාව, කොතරම් ගැටළු කාරී වුවත්, එය, උල්ලංඝනය වන ලෙස කටයුතු කිරීමට කිසිදු පාලකයකු ට නොහැකිය. එසේම දෛනික ජිවතය පවත්වා ගැනීමට අරගලයක නිරත පුරවැසියා මේ මොහොතේ, ව්‍යවස්ථාව තමන්ට අදාළ නොමැති බවත්, සිදු කරන ලද, නීතිවිරෝධි පත් වීම් පිලිබඳ පිනායමින් සිටි නම්, පැහැදිලිව කිව යුතු දෙය නම්, ඔව්, පවතින ව්‍යවස්ථාව, සම්පුර්ණයෙන්ම ප්‍රභූ කරණය වුවද, එසේ වූ, නීතියක් හෝ පැවතීම හේතුවෙන්, ඔබ නිදහසේ හුස්ම ගනී; ඔබ නිදහසේ, පදික වේදිකාවේ ඇවිද යයි; ඔබේ දරුවා, මොන තරම් දුක් ගැහැට විදිමින් වුව ද පාසල් ගොස් නැවත ගෙදර පැමිණේ; වැඩකරන ගැහැණු, ශ්‍රමිකව සහ ලිංගිකව සුරාකැමට විරෝධය පල කරයි; ස්ත්‍රීන් වෙනුවෙන් 25% දේශපාලන කෝටාවක් ලබා දෙයි; ඔබ අවට සුදුවන, මෙම සියලු දෙ සිදු වන්නේ, දුර්වලතා සහිතව වුව ද මුලික නීතියක් මෙරට පවතින හෙයිනි. එය උල්ලංඝනය කරමින්, පාලකයා, 2015 ට පෙර ලෙසම ක්‍රියත්මක වේ නම්, එයට විරුද්ධව පෙළ ගැසීම පුරවැසියා සතු වගකීමකි. නොමැති නම්, සිරිසේන මහතා ප්‍රකාශ කළ ලෙසම පමාවී ජිවත් වන්නන් හුස්ම ගන්නා මළ කදන් පමණක් වනු ඇත.

අරුණි සමරකෝන් | Aruni Samarakoon