“ කෙසේ නමුත් මාගේ මිතුරාට එය පැහැදිළි කර දීමට යාමෙන් සිදුවුයේ  හැමදාමත් සිදු වුවා සේ මට “ද්‍රෝහියා”  ලකුණ ලැබීමත්, තවත් මිතුරකු අහිමි වීමත්ය. ඔහුගේ “දේශප්‍රේමිත්වය” ඔද වැඩි තිබුණේ අනෙකා මර්ධනය කර සතුටු වීම යන මිලේච්ජ ගති ලක්ෂණ නිසාය. මට “ ද්‍රෝහියා” ලකුණ ලැබී තිබුණේ අනෙකා වෙනුවෙන් පෙනී සිටීමත්, සාධාරණත්වය සහ යුක්තිය පිලිබඳ කථා කිරීමත් නිසාය. එබැවින් ඔහුගේ දේශප්‍රේමීත්වයට වඩා ඔහු මට තෑගී කළ “ද්‍රෝහිත්වය” මට  ආඩම්බරයක් බව සටහන් කරන්නේ ද ආඩම්බරයෙනි. ඒ මක් නිසාද යත් මිනිසුන්ගේ ආත්මය පවා තලා දමන, අධිපතිවාදී මුග්ධ රැළකගේ අශිෂ්ට ක්‍රියාදාමයන් වලට එරෙහි වෙමින් එවැනි නාමයන් ලැබීමට බිය නොවන මිනිසුන් තවමත් අප අතර සිටිමින්, පවතින ව්‍යසනකාරී තත්වයන්ට එරෙහිව නොබියව තවමත් කොන්ද කෙලින් තබා ගෙන සිටිනා බැවිනි”.

1975 මැයි 31 වන දින සමරකෝන් මුදියන්සේලාගේ ලීලාවතී මැණිකේ සමරකෝන් සහ ඥානසිරි ද සිල්වා යන මව්පිය දෙපළට දාව මාතලේදී උපත ලබන අප කතා නායකයා, 2013 නොවැම්බර් මස  28 වන දින තමන් විසින් ලියන ලද සටහනක එසේ සටහන් කොට තිබුණේය. ඒ  පීඩිතයා වෙනුවෙන් වන කොන්දේසි විරහිත අරගල ඉතිහාසයකට තම දහඩිය යෙදවූ තරුණයෙකු ලෙස මෙන්ම  ජීව ගුණයෙන් පිරි ශිෂ්ට ලෝකයක බලාපොරොත්තු වෙනුවෙන් අප්‍රතිහත කැපවීම් කළ තරුණයෙකු ලෙසය.

1995 වසරේදී මාතලේ ක්‍රිස්ති දේව විද්‍යාලයෙන් උසස් පෙළ හදාරමින් සිටියදීම ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ ක්‍රියාකාරී සාමාජිකයකු වන මේ යොවුන් තරුණයා, කෙටිකලකින්ම එහි උපදේශකයෙකු වන්නේ ඔහුගේ නිසග හැකියාව නිසාම ය. මානුෂ දයාව වෙනුවෙන් වන පළමු පියවර ඔහු තබන්නේ මේ හෙද අභ්‍යාසය පුහුණු කිරීම තුළිනි. එතනින් නොනැවතුණු ඔහු දිවයින පුරා ඒ වෙනුවෙන් වන සේවා ලබා දීමට යන්නේ පුහුණුකරුවකු ද ලෙසිනි. එකළ යුද්ධයෙන් තුවාල ලැබූ මිනිසුන් සොයා තන්තිරිමලය ආශ්‍රිත ප්‍රදේශ වල පවා ඔහු සැරිසරුවේ තරුණ වියේදීම  ජිවිතයේ මල් ඇතිරූ මාවත හැර ගල්, මුල් ගහන මාවතයකට අවතීරණ වීමේ අභියෝගයද අතැතිවය.

එකළ සිටම නව චින්තනයක් හා දැක්මක් සහිතව කටයුතු කිරීමේ හැකියාවෙන් හෙඹි මේ තරුණයා තම ජවය යොදවන්නේ බොහෝ දෙනා නොසිතනා එහෙත් මෙරටට අත්‍යවශ්‍යම දිශානතියකටය. විශ්වාසය, ආදරය හා මනුෂ්‍යත්වය පෙරදැරිකර ගනිමින්  ඔහුගේම සංකල්පයක් මත  “මාතලේ තරුණ සම්පත් සංසදය” බිහිවන්නේ එහි ප්‍රථිපලයක් ලෙසය. ඉතා දරුණු ලෙස වර්ගවාදී හැඟීම්, ජාතිවාදී හැඟීම් සහ මිනිසත්කම බිලිගනිමින් සිටි සමාජයකට ඔහු ආදරය, විශ්වාසය හා මානව දයාව කාන්දු කිරීමේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කිරීම වෙනුවෙන්  තම භද්‍ර යෞවනය කැප කළේය.

සද් ආකල්ප හරහා සාමය ගොඩනැංවීමේ දිශානතිය වෙනුවෙන් නායකත්වය ගත් හෙතෙම තාක්ෂණය පවා එතරම් ප්‍රචලිත නොවූ යුගයක,තාක්ෂණය සමඟ නිර්මාණශීලි චින්තනය මුසු කරමින් ඒහා සමගාමිව කරට කර සිට ගනිමින් “යුද්ධයට එරෙහි මිනිස් ප්‍රේමයට පක්ෂ” ලෝකයක් වෙනුවෙන් කැපී පෙනෙන නායකත්වයක් ලබා දුන්නේය. මානව ප්‍රේමය වෙනුවෙන්, යුද්ධය ප්‍රතික්ෂේප කරමින් දියත් කළ Say No to War, Peace Means Life”  Youth Café” හෙවත් විශ්වාසය,ආදරය, මනුෂ්‍යත්වය සඳහා වූ තරුණ කඳවුර, “Peace Life” හෙවත් සාමය හා ජීවිතය නම් සෞන්දර්යාත්මක පිවිසුම, “Peace Forest” හෙවත් ස්වාභාවදහමේ ආශිර්වාදයද සමඟ නවමු ජිවිත එළඹුමක් හා ජිවන දෘෂ්ඨි කෝණයක් වෙනුවෙන් වන සංකාල්පිය අදහස ආදීය ඒ අතරින් කිහිපයකි.

2000 කාර්තුවේ මැද භාගයේදී මේ නිසාම ඔහුගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය ඔහුට මුණ ගැසෙන්නේ මාලඹේ ප්‍රජා අධ්‍යන මධ්‍යස්ථානයේදී පෝල් ප්‍රනාන්දු මහතාත්, ඇනිටා ප්‍රනාන්දු මහත්මියගේත්   ඇසුර හමුවීමත් සමඟය.

නොමැරී ජිවත් වන මිනිසුන් වෙනුවෙන් ඔහු ජිවත් කළ අකුරු සඳහා ඒ වනවිටත් “යුක්තිය” , “රාවය”  වැනි පුවත් පත්වල මේ තරුණයාට ඉඩ වෙන්ව තිබුණේය. කෙසේවෙතත් එවකට සමාජ බලපෑම් කළ හැකි තරුණ ක්‍රියාකාරිකයෙකුව  සිටි ඔහු උට්ඨානය ලබන නිමේෂය වන්නේ ඉහත සඳහන් කළ  මේ හමුවීමය. ඒ අතර සරත් ප්‍රනාන්දු හා සුනිලා අබේසේකර වැනි පතාක චරිත  ඇසුරේ මාතලෙන් පැමිණි “මංජු” නමැති මේ තරුණයා කොළඹ දී “සමරේ” යන ආදරණිය ඇමතුමට පාත්‍රවන්නේ යුක්තිය වෙනුවෙන් පෙනීසිටින ජන අරගලයට පන පෙවිය හැකි අවංක සෘජු ගුණ ඇත්තෙකු ලෙසය.

2007 වසරේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකයේ එවකට ප්‍රධානියාව සිටි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සමඟ වරින් වර මාධ්‍ය නිරීක්ෂණ කටයුතු සහ පරියේෂණ කටයුතු සඳහා දයාක වූ මේ තරුණයාගේ මාධ්‍ය උණ නිසාම ඔහු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකයට අනුයුක්තව සේවයට බඳවා ගන්නා අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය ව්‍යාපාරය වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බවට ද  ඒ සමඟම  පත් වේ .

ඒ අනුව  2007 වසරේදී “විකල්ප” වෙබ් අඩවිය නමින් දිගහැරෙන තිඹිරි ගෙයි ආරම්භක පුරුක් දාමයෙහි සවිමත්ව පුරුක බවට පත්වන්නේ මොහුය. එවකට ඔහුගේ සමකාලින තාක්ෂණික ප්‍රාමාණියෙකු වන සංජන හත්තොටුව විවිධ අත්හදා බැලීම් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වා ගෙන ගිය “Groundviews” වෙබ් අඩවිය කෙරේ වන පාඨක  කතිකාවත හඳුනා ගන්නා ඔහු, හඬක් නොමැති ජනතාවගේ හඬ ජනගත කිරීමේ අවශ්‍යතාව දැඩිව හඳුනා ගනියි.මානව හිමිකම්, ප්‍රජාතාන්ත්‍රවාදය, සංහිදියාව, මුලික මිනිස් අයිතිවාසිකම් රැකීම  සඳහා වන සංවාදය පෝෂණය කළ හැකි  අවකාශයක් කෙරෙහි සිංහල මෙන්ම දෙමළ පාඨයන්ට ඇති රික්තකය හොඳින් හෙතෙම හඳුනා ගනියි.  ඒ අනුව සිංහල හා දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම විවිධ අත්හදා බැලීම් කරමින්, මුලිකව බ්ලොග් අඩවියක් ලෙසත්, මුද්‍රිත ප්‍රකාශනයක් ලෙසත් ක්‍රියාත්මක “විකල්ප” පසු කාලිනව ස්ථාවර වෙබ් අඩවියක් බවටත්, සමාජ මාධ්‍ය ගණනාවක පාඨක මිතුරා බවට පත්වන්නේය.

සිංහල භාෂිත වෙබ් මාධ්‍ය පදනම් කරගත් පුරවැසි මාධ්‍ය අවකාශයක් සම්බන්ධව කිසිදු අදහසක්වත් නොමැති  යුගයක  ආරම්භ කළ “විකල්ප” වෙබ් අඩවිය එහි මුලික ජීව ගුණය රදවා ගනිමින් නිරන්තරයෙන් පිඩිත මිනිසුන් වෙනුවෙන් 2007 වසරේ සිට අද  වසර 11 කට මේ  මොහොතේ පා  තබමින් සිටින්නේ ඔහු ඒ වෙනුවෙන් කළ අප්‍රතිහත කැපවීම නිසාය. ඒ  වසර 11 තුළ තම රුධිරයෙන් උපන් දරුවකු ලෙස “විකල්ප” පෝෂණය කර හැදු වැඩු  මවත් පියාත් ඔහුය. මෙරට සමාජ ප්‍රගමණය වෙනුවෙන් ඔහු  කළ කී දෑ වල සාක්ෂි වලට ඒ නිසාම “විකල්ප” සාක්ෂි දරයි.

විශේෂයෙන්ම සිංහල ජන සමාජය තුළට ආන්තික දෙමළ ජනයා විදින පිඩාවේ සැබෑ ස්වරූපය අවබෝධ කොට ගැනීමේ  කැටපත බවට ඔහුගේ ලියවිලි නිරන්තරයෙන් පත්විය. වසර ගණනාවක් පුරා යුද්ධය නිසා පිඩාවට ලක්වූ  ජීවිතයන් යථා තත්වයට පත් කරගැනීම උදෙසා වන සමාජ දැක්ම පෝෂණය කිරීම, සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ අවශ්‍යතාවය, අතුරුදහන් වුවන්, උතුරේ ඉඩම් අහිමි වුවන්,  අභ්‍යන්තරව ඇවතැන්  සිටින ජනතාව වෙත සිදු ව ඇති ආසාධාරණයන් සම්බන්ධව හෙතෙම නිරන්තරයෙන් තම  හඬ අවදි කළේය. සෑම විටම මේ රටේ මුලික ආස්ථානයන් තුලින් විතැන් වන විකල්ප හඬ මතු කිරීමට තම මාධ්‍ය ජීවිතය තුළ හෙතෙම යත්න දරා තිබේ.

අනෙක් අතට දකුණේ වේවා උතුරේ වේවා අශිෂ්ටත්වය, අයුක්තිය, අසාධාරණය,  මර්ධනය, පීඩනය, නිර්ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රභුතන්ත්‍රවාදය  හා යුද්ධයේ සාහසිකත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව ඔහු පෙනී සිටිමින් තම අදහස ජනගත කිරීමට උත්සුක වුයේ හුදෙක් ජනතාවගේ අරගලයෙන්  විතැන් වීමෙන් නොව, ඒ අරගල භුමිය නියෝජනය කරමින්, එහි සිටිමින්, අරගල භුමියේ අසීරුකම් වෙත මුහුණ දෙමින්, හා ඒවා බොහෝ විට සංවිධානය කරමින්ම  ලියන ලද මාධ්‍යවේදියෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙසිනි.

2014 දී එවකට  තීරණාත්මක වාතාවරණයක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය සංවිධානය වන නිදහස්   මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම්වරයා බවට පත්වන ඔහු, එවකට පාලනය විසින් දරුණු ලෙස මාධ්‍යවේදීන් වෙතත් මාධ්‍ය නිදහස වෙතත් එල්ල වෙමින් පැවති පීඩනය හමුවේ ප්‍රබල සමාජ, දේශපාලන මැදිහත්විමක නිරතව සිටියේය.

ප්‍රහාර වලට ලක්වූ, බලහත්කාරයෙන්  අතුරුදහන්කරවන ලද  මෙන්ම  මරණයට පත් කළ මාධ්‍යවේදීන් වෙත දණ්ඩ මුක්තිය නිමා නොකිරීම සම්බන්ධව සෑම විටම තම හඬ අවදි කළ ඔහු නිරන්තරයෙන් ඒ සඳහා තම බලපෑම පවතින රජයන්  වෙත කර ඇත්තා සේම තවමත් කරමින් සිටියි. විශේෂයෙන්ම  ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග,ධර්මරත්නම් සිවරාම්, නිමලරාජන්, පොද්දල ජයන්ත, රහමතුල්ලා, කුගනාදන්, සුගීදරන් ඇතුළු මාධ්‍යවේදීන්  මෙන්ම එවකට සිරස සහ යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට කළ ගිනිතැබීම්  වෙනුවෙන් යුක්තිය ඉල්ලා දැවැන්ත  හඬ නැඟීමක් ඔහු විසින් කරන ලදී.  ඒ වෙනුවෙන් සෑම වසරකම දැන් ජනවාරි මාසයේ  සැමරෙන “Black January” හෙවත් “ කළු ජනවාරිය” ඔහු විසින් යෝජනා කළ නමකි.

“වියරුවට එරෙහි” “විදියේ විරෝධය” ඔහුගේ තවත් නමකි.  ඒ “ වීදියේ විරෝධයේදී”  2014 දෙසැම්බර් මස 21 වන දින හම්බන්තොට දී හෙතෙම ජයතිලක බණ්ඩාර කලාකරුවා සමඟ නින්දිත ප්‍රහාරයකට ද ගොදුරු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කොන්දේසි විරහිතව පෙනී සිටිනා නිසාය. අදටත් එල්ල වන මරණ තර්ජන, ගර්ජන හමුවේ කිසි විටෙක නොසැලී සිටින ඔහු ප්‍රජාතන්ත්‍රවාදය  වෙනුවෙන් වන අරගලය අත්නොහැර සිටින්නේ යුක්තිය වෙනුවෙන් වන පක්ෂපාතිවය ද එලෙසම ආරක්ෂා කරමිනි.

එසේම පසු ගිය කාලය පුරාම මෙරට පොදු මහජනතාවගේ ඉඩම් රාජ්‍ය හා මිලිටරිය විසින් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ඔහු ක්‍රියාකාරී මැදිහත් වීමක් කළේය.  ඒ අනුව  යුද්ධ සමය තුලදී මායිම් ගම්මානයක් ව පැවති “පානම” සිංහල ජනතාවගේ ඉඩම් අරගලය වෙනුවෙන්  කළ “Justice For Paanama” නැමැති මාධ්‍ය  කාර්ය භාරය අගයමින් PAARL සංවිධානය විසින් 2017 වසරේදී ඔහුට විශේෂ ඇගයුම් සම්මානයක් ද ලබා දෙන ලදී.

ආකර්ෂණිය ලෙස අරගලයන්ගේ මුලික හරයට උචිත ,  මානව ප්‍රේමය හා බැඳී සටන් පාඨ, තේමා නිර්මාණය  හා  විරෝධතා උපක්‍රම  නිර්මාණයට විශේෂ  සමත් කමක් දක්වන ඔහු ජන අරගල භූමියට නැතිවම බැරි තැනැත්තෙකු  බවට පසු ගිය කාලය පුරා පත්ව ඇත. OUR LAND -OUR LIFE, අපේ ඉඩම් -අපේ ජීවිතය”   “වෛරය වෙනුවට LOVE”   ආදී බොහෝ උදාහරණ ඒවායින් අල්පයක් වත් නොවනු ඇත.

එසේම පුරවැසි මාධ්‍යවේදියෙකු ලෙස වසර 10 ක් පුරා තම මාධ්‍ය ජීවිතයේ අරගල භූමියේදී මුණගැසුණු මිනිසුන්ගේ ජිවිත වෙනුවෙන් යුක්තිය ඉල්ලන ජායාරූප ඇතුළත් පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ  යුක්තිය සහ ජීවිතය නම් ඔහුගේම අදහසටකට අනුව නිමවුණු  විකල්ප “unframed” ජායාරූප ප්‍රදර්ශනය එහි තවත් කූට ප්‍රාප්තියකි.

එය මෙරටේ ප්‍රථම වතාවට ප්‍රභූතන්ත්රවාදය  විසින් සැමදා අමතක කරවන හා කරන ලද සැබෑ පීඩිතයන් වෙනුවෙන් සිට ගනිමින්, ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් ලෙස සියලු පුරවැසියන්ද සිට ගත යුතු බව  නැවත නැවත බලකරමින් කියා සිටිමින් සමස්ත සමාජයට කරන ආමාන්ත්‍රණයකි.

වර්තමානයේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මාධ්‍ය පර්යේෂකයෙකු  සහ ශ්‍රී ලංකාවේ සිංහල භාෂිත ජන සමාජයේ විකල්ප හඬ නියෝජනය කරන එකම වෙබ් මාධ්‍ය අවකාශයේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙසත් තම වෘත්තීය යුතුකම ඉටු කරන්නේ අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ කැඳවුම්කරු ලෙසත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසත්,ස්වේච්ජා සිවිල් සමාජ සංවිධාන රැසකත් මානව හිමිකම් වෙනුවෙන් වන මහපොළොවේ අරගලය  හා සමපාතිව සමාජ මාධ්‍ය තුළ   ක්‍රියාකරී මෙහෙවරක් ඉටු කරන අතරතුරේය.

ඒ මෙන්ම සමාජ මාධ්‍ය, පුරවැසි ජනමාධ්‍ය, සන්නිවේදනය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය, තොරතුරු දැනගැනීමේ අයිතිය, සංක්‍රාන්ති යුක්තිය ඇතුළු බොහෝ කේෂ්ත්‍ර සම්බන්ධ දැනුම ඉතා විශිෂ්ට ලෙස සම්ප්‍රේෂණය කළ හැකි දක්ෂ පුහුණු කරුවෙකු හා සම්පත් දායකයෙකු ලෙසද ඔහු ශ්‍රී ලංකාව පුරා ගෞරවයට පාත්‍ර වී ඇත්තෙකි. කාලයක් පුරා කොළඹ කේන්ද්‍රීය ප්‍රභූ පැලැන්තිය සතුව තිබෙන  සමාජ දැනුම සිංහල භාෂිත අති දුෂ්කර ප්‍රදේශ වල මහා පොළොවේ සිවිල් ක්‍රියාකාරින් වෙත ලබා දීමේ අරගලයට ද ඔහු පන පොවමින් සිටින්නේය.

“ මහපොළොවට ද ප්‍රජාතන්ත්‍රවාදයක්” ඇතැයි විශ්වාස කරන,ආසාධාරණය කිසිවිටෙක නොඉවසන ඔහු  මානව ගෞරවය හා  ස්වභාවදහම විශ්වාස කරමින්,අනෙකාට ආදරය කරමින් දුෂ්කර මාවතක  උඩුගම්බලා යමින්  මානව හිමිකම් සුරැකීම  හා මානව ප්‍රේමය අස්වද්දනු වස්  නියැලෙන අනවර්ථ  අරගලය හා ඒ වෙනුවෙන් කරනු ලබන අප්‍රතිහත කැපවීම හා ධෛර්ය අති ප්‍රශංසනීයය.

ඔහුගේම වචන වලින් වරෙක ලියා ඇත්තා සේ  “අදද හෙටද අපට අවශ්‍ය කරන්නේ  යුධ බිම් හමුදා බිමි කඳුවුරු ගොවි බිමි බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක් සහ මාධ්‍යවේදීන් මෙන්ම “තුවක්කු” වෙනුවට “ජීවිතය” සහ “මිනිසුන්” වෙනුවෙන් ලියන මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ය” යන්න යළි යළිත් සක්සුදක් සේ තම  43 හැවිරිදි ජීවිතය පුරා  ඔප්පු කොට පෙන්වා දී ඇති, යුක්තිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනිසිටිමින්, ඒ  වෙනුවෙන් අප්‍රතිහත කැපවීමෙන් හා  ධෛර්යයෙන්    තාරුණ්‍යයේ  මල් මාවත්  දියකර හරිමින් , වඩා වඩාත් අසීරු යුගයක  අනෙකාට ආදරය කරමින්, උඩුගම්බලා යන දුෂ්කර මාවත තෝරා ගනිමින් , මිනිසත් කමින් ගිලිහෙමින් තිබෙන  මානව ප්‍රේමය වෙනුවෙන් තම ආත්මීය ප්‍රකාශනය අකුරු කරමින් හා තම කැමරා කාචයේ සටහන් කරමින්, මහා පොළොවේ මිනිසුන්ගේ දහදිය සමඟ උරෙන් උර ගැටෙමින් කරනු ලබන අනවර්ථ  අරගලය හා මාධ්‍ය මෙහෙවර  වෙනුවෙන් 2018 වසරේ මහනුවර මානව හිමිකම් කාර්යාලයේ උත්තමාචාරය අද දින අප  සහෘද සම්පත් සමරකෝන් වෙත පිරිනැමෙයි.

ඔබට විකල්ප , ග්‍රවුන්ඩ්විවුස් හා මාට්ට්‍රම් ඇතුළු සමස්ත අප පුරවැසි මාධ්‍ය එකමුතුවේ  උණුසුම් සුභ පැතුම් සහ ආචාරය  !!!!!

 

ඉෂාරා ධනසේකර 

විකල්ප  -සම සංස්කාරක –