ඇමරිකාවේ වඩාත් ලාභදායි අපනයනය වන්නේ තෙල් හෝ ඖෂධ හෝ හොලිවුඞ් චිත‍්‍රපට හෝ බෝයිං ගුවන් යානා හෝ නොවේ. හොඳම අපනයනය වන්නේ, කොළ පාට කුඩා කඩදාසි කෑල්ලකි. එහි ඉදිරිපස බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින්ගේ ඡුායාරූපයක් මුද්‍රණය කොට තිබේ. ගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් බිලියන 65.3 ක් වටිනා මුදල් නෝට්ටු අපනයනය කෙළේය. ඉන් බොහොමයක්, ඩොලර් 100 නෝට්ටු ය.

ලෝකයට ජාත්‍යන්තර මුදලක් අවශ්‍ය කෙරේ. එහිදී පැහැදිලි තේරීම වී ඇත්තේ ඩොලර් ය. මන්ද යත්, මොන තරම් ආර්ථික අර්බුද තිබියේ වී නමුත් ජාත්‍යන්තර ආර්ථිකයේ කේන්ද්‍රය වන්නේ ඇමරිකාව වන බැවිනි. ලෝකයේ වඩාත් ජනප‍්‍රිය ආයෝජනය වන්නේ ඇමරිකානු ආණ්ඩුවේ ණය ය. ඒ ණය ආණ්ඩුව සපයා ගන්නා බැඳුම්කර මිලදී ගත හැක්කේ ඩොලර්වලින් පමණි. වඩාත් බලවත් වෙළඳ භාණ්ඩය තෙල් වන අතර ඒ තෙල් මිල කෙරෙන්නේ සහ විකුණනු ලබන්නේ ඩොලර්වලිනි. බොහෝ සෙයින් වර්තමාන මුහුණුපොත මෙන්, හැමෝම ඩොලර් පාවිච්චි කරති.

කෙසේ වෙතත්, මේ කඩදාසි ඩොලර්වල ජනප‍්‍රියත්වය ගැන තරමක විස්තරයක් අවශ්‍ය කෙරේ. වර්තමානයේ බොහෝ මුදල් වනාහී, සංකල්පීය දෙයකි. අද ධනය ගබඩා කොට තැබෙන්නේ පරිඝණක තුළ ය. ගෙවීම් කරනු ලබන්නේ, විද්‍යුත් මාධ්‍යයන් හරහා ය. ඩොලර් 100 නෝට්ටුවක් මා ළඟ අවසාන වරට තිබුණු කාලයක් මට මතක නැත.

එසේ වෙතත්, මේ ආකාරයට ‘බෙන්ජමින් කඩදාසිවල’ ගෘහ පරිහරණය හීන වී ඇතත්, ඒ සඳහා වන විදේශ ඉල්ලුම ඉහළ ගොස් තිබේ. සංසරණයේ පවතින ඩොලර් 100 නෝට්ටුවල මුළු අගය, 2008 සහ 2017 අතර කාලය තුළ දෙගුණ වී තිබේ. මේ ගැන විශේෂඥයන් කියන විදිහට, ඉන් අති බහුතරයක් තිබෙන්නේ විදේශ සන්තකයේ ය.

ඇමරිකාවේ මහ බැංකුව මෑතකදී ප‍්‍රකාශ කළ පරිදි, එතෙක් සංසරණයේ පැවති ඩොලර් 100 නෝට්ටු සංඛ්‍යාව, 2017 වසර අවසන් වන විට, පළමු වරට, ඒ වන විට සංසරණයේ පැවති ඩොලර් 1 නෝට්ටු සංඛ්‍යාව ඉක්මවා ගියේය. දැනට පවතින සාක්ෂි අනුව, ඩොලර් 100 නෝට්ටු විශාල ප‍්‍රමාණයක් ගබඩා කර තැබෙන්නේ මෙට්ට ඇතුළේ හෝ වෙනත් රහසිගත තැන්වල ය. ඒ තත්වය වැඩියත්ම දකින්ට ලැබෙන්නේ, දේශීය මුදල්වල අගය පිළිබඳ දැඩි විශ්වාසයක් නැති රටවල්වල ය. එසේත් නැතහොත්, රටක පවතින මූල්‍ය පද්ධතියේ ශක්තිමත් භාවය හෝ පුද්ගලික දේපළ ක‍්‍රමයේ ආරක්ෂාව පිළිබඳ වැඩි විශ්වාසයක් නැති රටවල ය. එවැනි තැන්වල ඩොලර් ගොඩගසා ගනු ලබන්නේ දියමන්ති ආරක්ෂා කරගන්නා පරිද්දෙනි. එහෙත් දියමන්තිවලට වඩා ලේසියෙන් ඩොලර් වියදම් කළ හැකිය.

ඇමරිකාවේ සතුරෝ පවා ඇමරිකානු මුදල් ගොඩගසා ගනිති. 2003 දී සදාම් හුසේන්ගේ එක නිවසක් පරීක්ෂා කරන ඇමරිකානු සොල්දාදුවන්ට එම නිවසේ තිබී ඩොලර් 100 නෝට්ටුවලින්ම ඩොලර් මිලියන 650 ක් හමුවුණි. සූදුව, මත්ද්‍රව්‍ය ජාවාරම, ආයුධ වෙළඳාම සහ නීත්‍යානුකූල නොවන වෙනත් ගනුදෙනු සඳහා වැඩිපුර යොදා ගැනෙන්නේ ඩොලර් 100 නෝට්ටු ය. ඩොලර් නෝට්ටුව පිළිබඳ චරිතාපදානයක් සම්පාදනය කිරීම වන් සමීක්ෂණයක නිරත වන බෙරී අයිකන්ග‍්‍රීන් පෙන්වා දෙන පරිදි, චිත‍්‍රපටවල සිටින දුෂ්ටයන් ස්වකීය ගෙවීම් ඉල්ලා සිටින්නේම ඩොලර්වලිනි.

යම් කිසි ගෙවීමක් කිරීම සඳහා සූට්කේස් පුරවාගෙන නෝට්ටු ගෙන යා යුතු අවස්ථාවක, වැඩි වටිනාකමකින් යුත් නෝට්ටුවලින් ගෙවීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට පහසුවකි. එහෙත් ඩොලර් 100 නෝට්ටුවට වඩා බෙහෙවින් වැඩි වටිනාකමකින් යුත් යුරෝ 200 මුදල් නෝට්ටුව, යුරෝව භාවිත වන කලාපයේ අඩුවෙන්ම පාවිච්චියට ගැනන නෝට්ටුව බව සොයාගෙන තිබේ. ඇත්තෙන්ම අපරාධකරුවන්ට අවශ්‍ය කරන්නේ ඩොලර් ය.

කෙසේ වෙතත්, මේ සඳහා වන ඉල්ලුම දෙගුණ වී ඇත්තේ මන්ද යන්න පැහැදිළි නැත. 1990 දශකයේ සෝවියට් දේශයේ බිඳ වැටීම නිසා පෙර නොවූ විරූ ඉල්ලුමක තෙරපුමක් ඩොලර් සම්බන්ධයෙන් ඇති කෙරුණි. ඒ හා සමාන වෙනසක් මෑතකදී ඇති වි නැත. එපමණක් නොව, ඩොලර් සමග ප‍්‍රබල තරගයක යෙදෙන යුරෝවක් ද දැන් තිබේ. යුරෝ භාවිත කෙරෙන කලාපයේ සමස්ත ආර්ථික නිමැවුම, ඇමරිකාවේ ආර්ථිකයට වඩා විශාල ය. එසේම, ඉක්මණින්ම ඇමරිකාව පරයා යාමට ඉඩ ඇති යුවාන් මුදල් ඒකකය භාවිත කරන චීනයත් තවත් පසෙක තිබේ.

ඇතැම් විශ්ලේෂකයන්ගේ පුරෝකථනයන්ට අනුව, ඩොලරයේ ලෝක අධිකාරිය ඉතා කෙටිකාලීන බව කියැවේ. එහෙත් මෙය, දැන් සියවස් බාගයක පමණ කාලයක් තිස්සේ කියමින් තිබෙන කතාවකි. එසේ තිබියදී, වොෂින්ටන් සහ ෆෝර්ත්වර්ත් යන ස්ථානයන්හි පිහිටා ඇති මුද්‍රණාලවල ඩොලර් අච්චු ගැසීම වේගවත්ව සිදුවෙමින් පවතින අතර, ලන්ඩන්, ෆ‍්‍රැන්ක්ෆර්ට් සහ සිංගප්පූරුව වැනි තැන්වල පිහිටි මූල්‍ය මධ්‍යස්ථානවල නිලලත් ගුදම් හරහා ලෝකය පුරා ඩොලර් නෝට්ටු බෙදාහැරේ.

ඩොලර් අච්චු ගැසීමත් ඉතා ලාභදායි කර්මාන්තයකි. වටිනාකමින් ගත් විට, ඇමරිකාවේ අපනයන ලැයිස්තුවේ පෙට්‍රෝලියම් නිෂ්පාදනවලට පසුව දෙවැනි තැන ගන්නේ මේ කඩදාසි නිෂ්පාදනයයි. එය අපනයනය කිරීම ඊටත් වඩා ලාභදායි ය. ඩොලර් 100 නෝට්ටුවක් අච්චු ගැසීම සඳහා ඇමරිකානු මහ බැංකුවට වැය වන්නේ ශත 14 කි. එය පිටරටවලට යැවීම සඳහා වැය වන්නේ තවත් සත කිහිපයකි.

මේ සෑම ඩොලර් 100 නෝට්ටුවක්ම, ඇමරිකාව පැත්තෙන් ගත් විට, පොළියක් නැති ණයකි. 2018 අවසන් වන විට, විදේශ සන්තකයේ පැවති මුළු ඩොලර් ප‍්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 773.9 ක් බව ගණන් බලා තිබේ. ඇමරිකානු මුදල සඳහා වන මෙම ඉල්ලුම, දෙපැත්ත කැපෙන ආයුධයක් සේ ගත හැකිය. ඩොලරයේ විනිමය වටිනාකම ඉහළ යන විට විදේශ භාණ්ඩ සහ සේවාවන් වඩාත් ලාබෙට ලබා ගැනීමට ඇමරිකානුවන්ට හැකි වන්නේය. අනිත් අතට, විදේශික ගැනුම්කරුවන්ට ඇමරිකානු භාණ්ඩ වඩාත් මිල අධික වන්නේය. කෙසේ වෙතත්, මේ දක්වා එම තත්වය ගැන ඇමරිකාව පසුවන්නේ ඉමහත් සතුටිනි.

බින්යමින් අපෙල්බෝම්

*2019 මාර්තු 9 වැනි දා ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ America’s Most Profitable Export: Money නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි