iMAGE: R.C. Pradeepa

වතුකරයේ කම්කරු සංගම් 6ක දත්ත දැනගැනීම සඳහා මාත්‍රම් වෙබ් අඩවිය විසින්   තොරතුරු දැනගැනීමේ පනත යටතේ කම්කරු දෙපාර්තුමේන්තුව වෙතම ගොස්  දමිල් බසින් ඉල්ලීමක් කරන ලදී.

එම ඉල්ලීමෙහි අඩංගු වූ කරුණු වූයේ

1.එක් එක් වතු සංගම්වල සිටින සාමාජිකයන් ගණන

2.එක් සමාජිකයෙකු ගෙවිය යුතු සංගම් ගාස්තුව

3.සංගම්  විසින් මාසිකව හා වාර්ෂික රැස් කරගන්නා මුළු සංගම් ගාස්තුව

4.සංගමය විසින් වාර්ෂිකව වියදම් කළ මුදල

5.ඒ  කුමක් සඳහාද?

6.සංගම්වල පසුගිය අවුරුදු 3ක වාර්ෂික වාර්තා පිළිබඳ දත්ත යන ඒවායි.

විමසන ලද සමහර කරුණූවලට ලබා දී තිබූ තොරතුරු පැහැදිලි නැති අතර සමහර කරුණු පිළිබඳව තොරතුරු ලබා දී නැත. එසේ තොරතුරු ලබා නොදීමට හේතු හෝ සඳහන් කර නැත. තවද කම්කරු සංගම්වල වාර්ෂික ගිණුම් දත්ත, 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ 5(1) fවගන්තිය අනුව ලබා දිය නොහැකි බව “අතිරේක කොමසාරිස් ජෙනරාල් – සී. එන්. විතානච්චි” යන අත්සනින් යුතුව ප්‍රතික්ෂේප කර ඇත.

පහත දැක්වෙන්නේ එසේ කම්කරු දෙපාර්තුමේන්තුව විසින් ලබා දුන් දත්ත වගුවයි.

වතුකම්කරු සමිති

  • ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය (CWC)
  • ලංකා ජාතික වතුකම්කරු සංගමය(L JEWU)
  • කම්කරු ජාතික සංගමය (NUW)
  • කඳුරට ජනතා පෙරමුණ (UPF)
  • ඒකාබද්ධ වතු වෘත්තීය සමිතිය(JPTUC)
  • ලංකා රතුකොඩි සංගමය(SRFU)

මේ අතර මෙහි හිස්තැන් දක්වා ඇති තොරතුරු තම ආයතනය සතුව නැති බව ද දන්වා එවා ඇත.

කම්කරු සංඛ්‍යාව පිළිබඳ මාත්‍රම් වෙත මෙසේ ලබා දී ඇති තොරතුරු කම්කරු දෙපාර්තුමේන්තුව සතුව ඇති  2017 වසරෙහි දත්ත පදනම් කරගෙන ලබා දී ඇත. මේ අනුව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයෙහි (CWC) ලක්ෂ 4කට ආසන්න ගණනක්, ලංකා ජාතික වතුකම්කරු සංගමයෙහි ලක්ෂ 1 1/2කට ආසන්න ගණනක්, කම්කරු ජාතික සංගමයෙහි (NUW) 21,280කට ආසන්න කම්කරු සංඛ්‍යාවක් සාමාජිකත්වය දරයි. 

සාමාන්‍යයෙන් වතු කම්කරු සංගම් දක්වන්නේ වතුකරය ආශ්‍රිත කම්කරුවන් ගණන ලක්ෂ 1 1/2කට ආසන්න ගණනක් බව යි. නමුත් කම්කරු දෙපාර්තුමේන්තුව විසින් මාත්‍රම් වෙත ලබා දුන් මෙම දත්ත අනුව වතු කම්කරුවන් ගණන ලක්ෂ 5 ද ඉක්මවා යන බව පෙනී යයි.

මේ අනුව යාවත්කාලීන කිරීමකින් තොරව වතු කම්කරු සංගම් විසින් වාර්ෂිකව කම්කරු දෙපාර්තුමේන්තුව වෙත  දත්ත ලබා දෙන අතර කම්කරු දෙපාර්තුමේන්තුවද නිසි සමීක්ෂණයකින් තොරව එම තොරතුරු නිවැරදි බවට සළකා භාවිත කරන බව පැහැදිලි වේ.

මෙම තොරතුරු අනුව කම්කරු ජාතික සංගමය (NUW) මාසික සංගම් ගාස්තුව ලෙස රු.25/=ක් අය කරන බව දැක්වුව ද මූලික වැටුප රු.700/=  බවට පත් වූ අවස්ථාවේ සිට මාසික සංගම් ගාස්තුව ලෙස රු.150/= අය කරගන්නා බවට තහවුරු වී ඇත. 2019 පෙබරවාරි 26 දින මාත්‍රම් වෙබ් අඩවියෙහි පල වූ “වතුසංගමය මොන පාටද කියලවත් දන්නෙ නැහැ” යන ලිපියෙහි වතුකම්කරුවෝ වතුකම්කරු සංගම් පිළිබඳව අදහස් දක්වන්නේ මෙසේ ය.

“අපිට ප්‍රශ්න ආවොත් කතා කරයි, අවශ්‍ය වෙලාවල්වලදී උදව් කරයි කියලා අපි රු.150/=ක් සංගමයට දෙනවා. නමුත් මෙතෙක් කිසිම උදව්වක් ලැබුනෙ නෑ. අපි දෙන මුදල්වලින් තමයි ඒ අය ජීවත් වෙන්නෙ.  ඒ අය සැපවත් ජීවිත ගෙනියනවා.”

මාත්‍රම් වෙත ලැබුණු දත්ත අනුව වසරකට (01.04.2016- 31.03.2017) ලංකා කම්කරු කොංග්‍රසයට (CWC) රු.77,751,933ක  මුදලක් ද, ලංකා ජාතික වතුකම්කරු සංගමයට (LJEWU)රු.22,438,558.53ක මුදලක් ද, කම්කරු ජාතික සංගමයට (NUW) 34,524,328.41ක මුදලක් ද සංගම් ගාස්තුව ලෙස ලැබී තිබේ.

මාත්‍රම්  අප සහෝදර වෙබ් අඩවියේ සංස්කාරක සෙල්වරාජා රාජසේකර් විසින් දෙමළ භාෂාවෙන් පළ කළ සම්පුර්ණ ලිපිය සඳහා පිවිසෙන්න

 මාත්‍රම් වෙබ් අඩවියේ සංස්කාරක සෙල්වරාජා රාජසේකර් විසින් කළ විමසීමට අනුව ලබා දුන් තොරතුරු සහ මාත්‍රම් විසින් ඉදිරිපත් කළ අභියාචනය වෙත පිවිසෙන්න.

පරිවර්තනය සහ විශේෂ ස්තූතිය

සංජුලා පීටර්ස්  | R.C.ප්‍රදීප්