iMAGE:  REUTERS/Danish Siddiqui

ස්වේච්ජා අන්තේවාසිකයන්ගෙන් අඩුවක් නැත

ස්වර්ගයට යාම සඳහා මහ පොළොවේ ජීවිතය පූජා කරන මිනිසුන් හැඳින්වෙන්නේ ‘වීර දිවි පුදන්නන්’ වශයෙනි. අපේක්ෂිත පරිදි ඔවුන් ස්වර්ගයට සම්ප‍්‍රාප්ත වූ බවට සාක්ෂි නැතත්, පොළොවේ සිටින මිනිස්සු තවමත් එය විශ්වාස කරති. එබැවින් එක් අයෙකු ජීවිතය දෙන විට ඒ ආදර්ශය ගැනීමට තවත් අය සිටිති. ඒ නිසා, ආගම භක්තිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට සූදානම් අන්තේවාසිකයන්ගෙන් අඩුවක් වන එකක් නැත. එසේ හෙයින් විනාශය දිගටම ඇදෙනු ඇත. එය හසුරුවනු ලබන්නේ විදේශයන්හි සිට බැවින් එය තනියෙන් මැඩලීය හැකි දෙයක් නොවේ.

අවිශ්වාසය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයකි

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සරුවට වැඩෙන්නේ ජනතාවට එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැකි පරිසරයක් ඇති විට ය. පුද්ගලික මට්ටමින් ගත් විට, කෙනෙකුට තමන්ගේ අසල්වැසියාව විශ්වාස කළ හැකි විය යුතුය. තම හාම්පුතාව, තමාගේ අවශ්‍යතා සපුරන ව්‍යාපාරිකයාව, ගුරුවරයාව, ආගමික නායකයාව විශ්වාස කළ හැකි විය යුතුය. යහපත් මිනිස් සබඳතා ගොඩනගා ගැනීම සඳහා මෙන්ම, පුද්ගලයෙකුට අවශ්‍ය කරන අනේකවිධ ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම සඳහාත් ඒ විශ්වාසය අවශ්‍ය කෙරේ. එහෙත් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් නිසා ඇති කෙරෙන භීතිය හේතුවෙන් ගොඩනැගෙන සැකය, අනෙකා කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගැනීමට හේතු වෙයි. එවිට සියල්ලන් විසින් සියල්ලන්ව සැක කරනු ලැබේ. හැම පාරක් කොනේම මරණය තමන්ට අතවනති යි ඔහුට සිතෙන්ට පටන් ගනී. එබැවින් ඔහු ගෙයින් පිටතට නොයයි. ගෙදර සිටියදී පවා, ඉතා සුළු දෙයකින් පවා ඔහු තිගැස්සෙයි. කොටින්ම, කුස්සියේ කොරහේ පවා සිටින ත‍්‍රස්තවාදියෙකු ඔහුට පෙනෙන්ට පටන් ගනී.

භීතිය තව තවත් සවිගැන්වීම

කෙනෙකු මෙසේ භීතියෙන් පෙළෙන්ට පටන්ගත් විට, ඔහු තුළින් මුලින්ම පලා යන්නේ, තාර්කික චින්තනය සහ සිහිබුද්ධියයි. නෑහිතවත්තු, මාධ්‍යකරුවෝ, දේශපාලඥයෝ, ආගමික නායකයෝ, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඔහු තුළ පවතින මේ භීතිය පෝෂණය කිරීමට දායක වෙති.

අපේ රටේ මෑතක ඇති වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු මට විවිධ පණිවිඩ, කෙටි හඬ පට සහ වීඩියෝ පට රාශියක් ලැබුණි. ඒවායින් ඉල්ලා සිටියේ පරිස්සමින් සහ කල්පනාවෙන් සිටින ලෙසයි. මන්ද යත්, මේ සුන්දර දිවයින විනාශ කිරීමට කැසකවන ශ‍්‍රී ලංකාවේ හතුරන් හතර වටින්ම සිටින බැවිනි. මේවා එවන අයගේ පරමාර්ථය බව පෙනෙන්ට තිබුණේ, මා තුළ බිය දැනවීමයි. එම පණිවිඩ පරිස්සමින් කියවා බැලූවොත්, ඒවා තර්ක බුද්ධියට ගෝචර නොවන බව පෙනී යනු ඇත. එහෙත් පහසුවෙන් රැවටෙන කෙනෙක්, එම තොරතුරු වෙනත් කරුණු සමඟ සැසඳීමකින් තොරව, තර්ක ඥානයෙන් නොකියවා, ගෙඩිය පිටින් ගිලිති.

ඔවුහූ එපමණකින් නොනැවතෙති. ඒ බිය දනවන පණිවිඩ, අනුන්ට කරන සේවයක් සේ සලකා, තමන්ගේ මිතුරන්ට ද යවති. මොවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ, ත‍්‍රස්තවාදියාගේ අරමුණු සාක්ෂාත් කර දීමයි. එනම්, ත‍්‍රස්තවාදියාගේ ඉලක්කගත ජනතාව තුළ භීතිය වැපිරීමයි.

ශක්තිමත් නායකයෙකු පිළිබඳ මිථ්‍යාව

මිනිසුන් තුළ ඇති කරන මේ භීතිය සහ එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගොඩනැගෙන අතාර්කික චින්තය ඊළඟට ඉල්ලා සිටිනුයේ ඒකාධිපති මනදොළ ඇති ගැලවුම්කාර වේශයෙන් පෙනී සිටින ශක්තිමත් මිනිසෙකුගේ ප‍්‍රාදුර්භූත වීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විශාලතම අනතුර එයයි. මෙය මීට කලින් ලිපියක ද මා අවධාරණය කොට ඇත.

මෙවැනි ගැලවුම්කාරයන් තුළ ඇති අවදානම වන්නේ, ඔවුන් මේ සඳහා ඉදිරිපත් වන අවස්ථාවේ ඉතා පරහිතකාමී, ජනතාවට අවනත නායකයෙකු සේ පෙනී සිටින අතර, බලයට පත්වීමෙන් පසුව, මහා රකුසෙකු බවට පත්ව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකින් ආපසු ඉවත් කර ගත නොහැකි බලවේගයක් බවට පත්වීමයි. මෙවැනි නායකයන් බලයට පත්ව ඇති රටවල, ජාතික අවශ්‍යතාවයේ නාමයෙන් ජනතාවගේ නිදහස සහ අයිතීන් මර්දනය කොට ඇති සැටි මීට පෙර මා පෙන්වා දී තිබේ.

තමන්ගේ මර්දනකාරී ක‍්‍රියාකලාපය සඳහා ජනතා සහාය ඔවුන් ලබාගන්නේ, ජාතිකත්වය පිළිබඳ හැඟීම් ඇවිස්සීමෙනි. ඒ ආකාරයෙන් ජනතාව ජාතික හැඟීමෙන් ඔද්දල් කර ගත් පසු, ජාතියේ පැවැත්මට තර්ජනයක්ව ඇතැයි කියන හතුරන් රාශියකගේ චිත‍්‍රයක් රටට ඉදිරිපත් කරනු ලැබේ. ඉන් පසු ඔවුන්ගේ සෑම මර්දනකාරී සහ ඒකාධිපති ක‍්‍රියාවක්ම ඒ අනුසාරයෙන් ඔවුහු යුක්ති සහගත කර ගනිති. එබැවින්, රටේ පවතින ත‍්‍රස්තවාදී තත්වයක් මැඩලීම සඳහා, තුලන සහ වාරණ පද්ධතියක් නොමැතිව, ශක්තිමත් නායකයෙකු ඉල්ලා සිටීම ප‍්‍රඥාගෝචර නැත. 2009 න් පසු මෙරටේ පැවති තත්වය ඊට නිදසුනකි.

ශ‍්‍රී ලංකාවේ වර්තමාන ත‍්‍රස්ත ප‍්‍රහාරයේ ගෝලීය ප‍්‍රභවය

වර්තමාන ත‍්‍රස්ත ප‍්‍රහාරයට ගෝලීය මූලයක් තිබේ. තමන් තෝරා ගත් ඉලක්ක, තමන්ට අවශ්‍ය තැන්වල සහ තමන්ට අවශ්‍ය මොහොතක විනාශ කරලීම සඳහා අවශ්‍ය කරන ත‍්‍රස්තවාදී කල්ලි ‘ඉස්ලාමීය රාජ්‍ය’ සංවිධානය මගින් ස්ථාපිත කොට තිබේ. මේ කල්ලිවලට මුදලින් ආධාර කොට ඇති ඔවුන්, අවශ්‍ය කරන පුපුරන ද්‍රව්‍ය සහ ත‍්‍රස්තවාදීන් පුහුණු කිරීම ආදී කටයුතු සිද්ධ කොට තිබේ. මෙකී දේශීය ඒජන්තයන් කොටු කොට ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමට ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ට හැකියාව තිබේ. එහෙත් එයින් පමණක් ත‍්‍රස්තවාදී තර්ජනය අවසානයකට පත්කළ නොහේ. මන්ද යත්, ගෝලීය හාම්පුතුන් මේ කාර්යයේ එක දිගටම නිරත වන බැවිනි.

එහි අදහස වන්නේ, ගෝලීය ත‍්‍රස්තවාදය සමග පොර බැදිය යුත්තේ ගෝලීය වශයෙන් මිස හුදෙක් දේශීයව නොවන බවයි. මන්ද යත්, ගෝලීය අයහපත යනු, ලෝකයේ සියලූ රටවලට බලපාන ගෝලීය උෂ්ණත්වය වැනි දෙයක් වන බැවිනි. අද එය තිබෙන්නේ ලංකාවේ විය හැකිය. හෙට වෙනත් රටක එය සිදුවිය හැකිය. එබැවින් මේ ක‍්‍රියා එක රටකට පමණක් සීමා නොවන, එක රටක දේශ සීමා යටතේ පමණක් ක‍්‍රියාත්මක නොවන සංසිද්ධියක් වශයෙන් තේරුම් ගත යුතුය. සමස්ත ලෝක ප‍්‍රජාව සමගම මේ ත‍්‍රස්තවාදීන් අරගල කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය කරන දෘෂ්ටිවාදී පන්නරය ඔවුන්ට තිබේ. අවශ්‍ය කරන ධනය ඔවුන්ට තිබේ. එසේම, ත‍්‍රස්තවාදී ක‍්‍රියා දියත් කිරීම සඳහා අවශ්‍ය අන්තේවාසිකයන් නිරන්තරයෙන් ඔවුන්ට සිටී. එබැවින් ඒ යුද්ධය සඳහා සමස්ත ලෝකයාම එක් විය යුතුය. ඒ සඳහා පොදු ගෝලීය ක‍්‍රියාකාරී සැලැස්මක් සකසා ගත යුතු අතර ඊට අවශ්‍ය පොදු අරමුදල්, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම් සහ ඒකාබද්ධ සහයෝගීතාවන් ආදිය ඇති කර ගත යුතුව තිබේ. එසේ නොමැතිව, ගෝලීය ප‍්‍රභවයක් ඇති ප‍්‍රපංචයක්, තනි තනි රාජ්‍යයන් වශයෙන් මැඩලීමට ගන්නා වෑයම් සාර්ථක නොවන්නේය. එබැවින්, මේ මොහොත වූ කලී, ගෝලීය ප‍්‍රජාව එක්ව කටයුතු කළ යුතු මොහොතකි.

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

2019 අපේ‍්‍රල් 29 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ  Global Terrorism Threatening Democracy should be tackled at Global Level   නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි. මෙම ලිපියේ පලමු කොටස ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වින කටින ගෝලීය ත‍්‍රස්තවාදය සමඟ පොර බැදිය යුත්තේ ගෝලීය මට්ටමිනි (1)’ නමින් 2019.05.02 දින අප වෙබ් අඩවියේ පළ කොට තිබේ .