සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

වීදියේ දී විදේශ ප්‍රතිපත්ති සම්පාදනය

ආචාර්ය පී. සරවනමුත්තු

විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය පිටත දී කළ පෙළපාළි දැක්වීම, වට ලෑම සහ මාරාන්තික උපවාසය හරහා ප්‍රකාශයට පත් වුණු තර්ජනය, අප රටෙහි ප්‍රතිපත්ති සම්පාදනය සිදු වන ආකාරය පිළිබඳව කුහුල දනවනසුලු සහ තැති ගන්වනසුලු ප්‍රශ්න මතු කරයි.

ශ්‍රී ලංකාව තුළ සිදු විණැයි කියනු ලබන යුද අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ උපදේශක මණ්ඩලය විසුරුවා හැරීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පියවර ගන්නා තෙක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය වටලා සිටින ලෙස තම ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින බව විමල් වීරවංශ නිවේදනය කළේ ය. මේවා තනි පුද්ගලයෙකුගේ මිස ආණ්ඩුවේ අදහස් නොවන බව ශ්‍රී ලංකාණ්ඩුව එක්සත් ජාතීන් වෙත දැනුම් දුන් බව වාර්තා විය. දින ගණනාවකට පසුව, කැබිනට් ඇමතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරයාගේ සහ පාලන තන්ත්‍රයේ ප්‍රධාන ආධාරකරුවෙකු ද වන වීරවංශ, උපදේශක මණ්ඩලය විසුරුවා හරින තෙක් තමන් ඉවත් නොවන බව ප්‍රකාශ කරමින් සිය ගණනක් ජනයාගෙන් සමන්විත පෙළපාළියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා මෙහෙයවා ගොඩනැගිල්ලේ පිවිසුම් සහ පිටවුම් දොරටු අවහිර කළේ ය.

එමෙන් ම, පොලීසිය පෙළපාළිකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කළ නමුත් ඔවුන්ට පල්ලම් බැසීමට සිදු වුණු බව සහ විරෝධතාකරුවන් එක් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට අඩන්තේට්ටම් කළ බව ද වාර්තා විය. එක් වාර්තාවකින් කියැවුණු පරිදි පොලීසියට පසුබැසීමට සිදු වූයේ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ය. පසුව එහි පැමිණි විදේශ ලේකම්වරයා ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයන් ද සමග කාර්යාලයට ගොස් වටලනු ලැබ සිටි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය පොලීසියේ ආරක්ෂාව සහිතව ඉවත් කරගත හැකි තත්ත්වයක් උදා කර ගැනීමට සමත් විය. දිනක් ඇතුළත මණ්ඩලය විසුරුවා නොහැරිය හොත් සිය ආධාරකරුවන් මාරාන්තික උපවාසයක් අරඹනු ඇතැයි අනතුරුව පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී වීරවංශ කියා සිටියේ ය. පෙළපාළි දැක්වීම සඳහා ජාතික නිදහස් පෙරමුණට ඇති අයිතියට ගරු කරන ගමන්ම එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සැපයීමේ මතයක ශ්‍රී ලංකාණ්ඩුව සිටින බව පෙනුනි. පෙළපාළියෙන් සහ වට ලෑමට දරන ලද උත්සාහයෙන් පසුව, එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට සිය නිවෙස්වල සිට වැඩ කිරීමට උපදෙස් දෙනු ලැබිණ. පසුව අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයට ආපසු ගොඩනැගිල්ල තුළ වැඩට ඒමට ඉඩ දෙන ලද අතර, වීරවංශ සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේ ය.

වීරවංශ සහ ඔහුගේ ආධාරකරුවෝ තමන් අදහස් කළ පරිදි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලූහ. පෙළපාළි දැක්වීමට ඔවුන්ට තිබෙන අයිතියට කිසිවෙක් විරුද්ධ නොවන මුත්, එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැට ලීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව, අපගේ ජාත්‍යන්තර බැඳීම් සහ ප්‍රතිපත්ති -සම්පාදනය පිළිබඳව නිසැකවම ප්‍රශ්න මතු වනවා නොවේ ද? කැබිනට් ඇමතිවරයෙකුට සහ සැබවින්ම ජනරජයේ ජනාධිපතිවරයාට ඉතා සමීප බව ප්‍රකට අයෙකුට පාලන තන්ත්‍රය ඒ සා අතිමහත් වැදගත්කමක් දී ඇති ගැටලුවක් පිළිබඳව මේ ආකාරයෙන් කටමැත දොඩවන්නට, පුරාජේරු කතා කියන්නට සහ තර්ජනය කරන්නට පිළිවන් ද, ඔහුගේ ක්‍රියාවන් ඉවසා සිටිමින් ඔහු ක්‍රියා කරන්නේ ඔහුගේ පෞද්ගලික මතය උඩ යැයි කියන්නට ආණ්ඩුවකට පිළිවන් ද? ප්‍රතිපත්තිමය වශයෙන් බරපතළ ප්‍රතිවිපාක අත්විය හැකි එවන් බැරෑරුම් ක්‍රියාවක ඒකපාර්ශ්වීයව යෙදී ගන්නට කැබිනට් ඇමතිවරයෙකුට පිළිවන් ද? කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම යන දෙය ඒ තරමටම මේ සියල්ලෙන් බැහැර වී තිබෙන්නේ ද? සැබවින්ම ඔහු ක්‍රියා කරමින් සිටියේ ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් සහ/හෝ සහායෙන් තොරව නම්, නිසැකවම විදේශ කටයුතු ඇමතිවරයාට අයත් විය යුතු විෂය ක්ෂේත්‍රයක් අයුතු ලෙස අල්ලා ගැනීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ කාර්යාලය වටලා රට අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව යම් පියවරක් ගනු ලබන්නේ ද? තමන්ගේ ක්‍රියාව තමන්ගේ බලතල ඉක්ම යන්නක් නම් තමන් තම කැබිනට් ඇමති තනතුර නැති කර ගන්නට සූදානම් යැයි ඔහු පැවසූ බව ද වාර්තා වේ.

වීරවංශ මහතාගේ “දේශප්‍රේමී” උදහසට විෂය වූයේ පාලන තන්ත්‍රයේ ද හෙළා දැකීමට ලක් වුණු මූන් මහතාගේ මණ්ඩලය යි. පාලනයෙන් බෙහෙවින්ම තොර මේ ජනතාවාදී දේශපාලනය වූ කලි සතුරෙකු පිළිබඳ අවශ්‍යතාවෙන් අවුලට පත්ව සිටින, යුද අපරාධ පිළිබඳ චෝදනාවලට අතිසංවේදීව සිටින පාලන තන්ත්‍රයක අවශ්‍යතා සපුරන්නක් ද?, එසේ නැත් නම්, මෙය අපගේ ස්වෛරී භාවය ආරක්ෂා කර ගැනීම උදෙසා පවතින යහපත් උද්‍යෝගය පමණ ඉක්මවා යාමක් ද?
පාලන තන්ත්‍රය බොහෝ දුර ගොස් ඇත: (අ) මෙම මණ්ඩලය පත් කිරීමෙන් මහ ලේකම් මූන් ප්‍රඥප්තිය යටතේ තමන්ට හිමි බලතල ඉක්ම ගොස් ඇතැයි ද, (ආ) චෝදනා කරනු ලබන ආකාරයේ අපරාධ ආරක්ෂක හමුදා අතින් සිදු වී නැති නිසාත් කෙසේ වෙතත් මූන් සහ ජනාධිපතිවරයා ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයට අනුව පාලන තන්ත්‍රය ම “පාඩම් ඉගෙනීම සහ සමගි සන්ධානය පිළිබඳ කොමිසම” (එල්.එල්.ආර්.සී.) නමින් යන්ත්‍රණයක් පිහිටුවා ඇති නිසාත් එවැනි මණ්ඩලයක අවශ්‍යතාවක් නැතැයි ද එය අවධාරණය කළේ ය.

(අ) ගැන: විවිධ මත පවතින බව පෙනී යයි. එන්.ඒ.එම්.හි සාමාජික රටවල් ගණනාවක් ද රුසියාව සහ චීනය ද පාලන තන්ත්‍රය සමග එකඟව සිටින අතර අනෙක් සාමාජික රටවල් – ප්‍රධාන වශයෙන් ම බටහිර රටවල් – එකඟ නොවී මණ්ඩලයේ විශේෂ උපදෙස් ඉල්ලා සිටින ලෙස පාලන තන්ත්‍රයට බල කිරීමෙන් පෙනී යන්නේ එම මණ්ඩලය එල්.එල්.ආර්.සී.ය තුළ පවතින අඩුලුහුඬුකම් සපුරා ලීමට පත් කරන ලද්දක් බවකි. මණ්ඩලය වූ කලි මහලේකම්වරයාට උපදෙස් දීම සඳහා පිහිටුවුණු උපදේශක මණ්ඩලයකි. ඒ විතරක් යැ? එහි ප්‍රධානත්වය දරන්නේ ඉන්දුනීසියාවේ කලින් හිටපු ඇටෝනි -ජනරාල් කෙනෙකු වන දරුස්මාන් ය. ඉන්දුනීසියානු පාලන තන්ත්‍රය තම “විමර්ශන කොමිසම” (සී.ඕ.අයි.) හා සම්බන්ධ “විශිෂ්ට පුද්ගලයන්ගේ ස්වාධීන ජාත්‍යන්තර කණ්ඩායමට” (අයි.අයි.ජී.ඊ.පී.) පත් කිරීමට තෝරා ගෙන තිබුනේ ද ඔහු ය. එහෙත් එතැන් පටන් ඔහු ආ ගිය අතක් නැතිව ගියේ ය. දැන් ඔහු ප්‍රධානත්වය දරන උපදේශක මණ්ඩලයෙන් මහලේකම්වරයාට අවශ්‍ය නිර්දේශ ලබා දෙන්නට යන්නේ ය. එහෙත් එක්සත් ජාතීන්ට යම් වැඩි දුර පියවරක් ගත හැක්කේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් මත පමණකි. සැබවින්ම, වට ලෑම නිසා පමණ ඉක්ම ගිය අපහසුතාවකට සහ/හෝ තැති ගැන්මකට පත් වී නැත් නම්, චීනය සහ රුසියාව එවැනි පියවරකට එරෙහිව සිය නිෂේධ බලය පාවිච්චි කරනු ඇත.

(ආ) ගැන: ආරක්ෂක හමුදාවල සාමාජිකයන් කිසිදු යුද අපරාධයක් කර නැතැයි මණ්ඩලය තීන්දු කළ හොත් ජාත්‍යන්තර මණ්ඩලයක සහතිකය මත ප්‍රශ්නය ඉඳුරාම යටපත් වීමට ඉඩ තිබිණ. එමෙන් ම, එවැනි අපරාධ සිදු කළේ එල්ටීටීඊය යැයි මණ්ඩලය තීන්දු කළ හොත් බෙදුම්වාදී අභිප්‍රාය සඳහා සහාය උසි ගන්වා ගැනීමේ මගක් ලෙස 2009 මැයි මාසයේ “ක්‍රූරකම්” ජීවමානව තබා ගන්නට දරන ප්‍රයත්නයන් වැනසී යන්නට ඉඩ තිබිණ.

මෙම තත්ත්වය තුළ සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් නම්, එල්.එල්.ආර්.සී.ය අවධානය යොමු කරන්නේ යුද අපරාධ පිළිබඳ චෝදනාවලට වග වීම පිළිබඳව නොව ත්‍රස්තවාදය පැන නැගීමට හේතු වුණු කරුණු පිළිබඳව වීම යි. ඊට පරීක්ෂණ පැවැත්වීමේ බලතල නැත. චුදිතයා සහ සාක්කිකරුවා ආරක්ෂා කිරීමේ යන්ත්‍රණයකින් එය බල ගැන්වී ද නැත. එමෙන් ම එය එවැනි කොමිසම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති සුසාන් රයිස් ප්‍රකාශයට පත් කළ, එසේම විදේශ කටයුතු ඇමතිවරයා අනුමත කළ නිර්ණායක සපුරන්නේ ද නැත. දරුස්මාන්ගේ සහ මණ්ඩල සාමාජිකයන්ගේ සද්භාවය පිළිබඳව පාලන තන්ත්‍රය පටවන චෝදනා සමග ගැළපී ගන්නේ එල්.එල්.ආර්.සී.යේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ඇටෝනි ජනරාල්වරයා සමග අයි.අයි.ජී.ඊ.පී.යට බොහෝ ගැටලු පැවතියේ ය යන කරුණ ය. මීට අමතරව, ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ චෝදනා ගැන එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල විසර්ජන කමිටුව වෙත රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවට පිළිතුරු දීමක් වශයෙන් පත් කළ කමිටුවක් ද පවතී. එල්.එල්.ආර්.සී.යේ ඇතැම් සාමාජිකයෝ මෙම කමිටුවේ ද සාමාජිකයෝ වෙති. මෙම කමිටුව පසු ගිය දෙසැම්බරයේ දී සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත විය. අනතුරුව එහි නියමිත කාලය 2010 අප්‍රේල් දක්වා ද දැන් 2010 ජුලි මාසය දක්වා ද දීර්ඝ කර ඇත. එල්.එල්.ආර්.සී.යට තිබෙන්නේ මාස හතරක වරමක් ය යන්න ද සැලකිය යුත්තකි.

වඩාත් ම කනස්සල්ල ඇති කරන කාරණය නම් අපගේ විදේශ ප්‍රතිපත්තියේ තත්ත්වය යි. ජී.එස්.පී.+ ගැටලුව සහ මූන්ගේ මණ්ඩලය යන දෙක ම සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ නරක අන්දමට ය. ජී.එස්.පී.+ වූ කලි ප්‍රකාශයට පත් කරන ලද බැඳීම්වලින් සමන්විත ගිවිසුමක් විය. එමෙන් ම, සහන දීර්ඝ කෙරෙන සහ මානව අයිතීන් ආරක්ෂා කිරීම ශක්තිමත් කෙරෙන ජයෙන්-ජය ම ලැබෙන ප්‍රතිඵලයක් අත් කර දෙන්නට බොහෝ ඉඩ තිබුණු ගිවිසුමක් විය. එසේ තිබිය දී ගිවිසුම ලෙස හැඳින්විය යුතු දෙය සාකච්ඡාවක් ලෙස මවා පෑ පාලන තන්ත්‍රය ආරම්භයේ සිට ම මහජනයා නොමග යැවී ය. එපමණක් නොව, ජී.එස්.පී.+ යනු දේශපාලනික පෙලඹවීම් මත ඇති වුණු ගැටලුවක් යැයි ද එල්ටීටීඊය ලද මිලිටරි පරාජයේ පලිය ගැනීමට අදිටන් කර ගත් දේශීය ද්‍රෝහීන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ කුමන්ත්‍රණයක මාතෘකා පාඨයක් යැයි ද කියා පවා පාලන තන්ත්‍රය අවධාරණය කළේ ය. එහෙත්, යුරෝපා කොමිසමේ අවසන් ලිපිය වඩා හොඳින් කෙටුම්පත් කෙරෙන්නට ඉඩ තිබිණැයි සමහර සාමාජික රටවල් සැබවින් ම කියා සිටියත්, ඒ තුළ නියම කර තිබෙන කොන්දේසි 15 වනාහි සහන තව දුරටත් සුරක්ෂිත කර ගැනීම සඳහා කළ යුතු යැයි කියන ලද දේවල් සම්බන්ධයෙන් පාලන තන්ත්‍රය අන්තිමේ දී කළ ආයාචනවලට ප්‍රතිචාරයක් ද, එසේ නැත් නම් පාලන තන්ත්‍රය අවධාරණයෙන් කියා සිටින පරිදි එය ස්වෛරී රාජ්‍යයක් වෙත කොමිසම නිකුත් කරන නොපිළිගත හැකි සහ ඒකපාර්ශ්වීය අවසාන නිවේදනයක් ද යන්න විමසීම උචිත ය.

ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනය කිරීමකට සම්බන්ධිතව පත් කළ මූන් මහතාගේ මණ්ඩලය නොවැදගත් නමුත් බැරෑරුම් ප්‍රතිවිපාක අත් විය හැකි තරමට අතිශයෝක්තියට නංවා ඇත. ප්‍රතිවිපාකය වී තිබෙන්නේ කුමක් ද? “එයට පමණට වැඩියෙන් විරෝධය පෑ යුතු ය” යන වර්ගයේ, සහ මණ්ඩලයට එරෙහිව රුදුරු ලෙස සටන් වදිනවා විනා වෙනත් වැඩි යමක් කරන්නට නැත යන වර්ගයේ අනුමානයන් කිරීමට පාලන තන්ත්‍රය තල්ලු වීම යි. මෙය ද මග හරින්නට තිබුණු තවත් ප්‍රතිඵල විරහිත තත්ත්වයකි. පාලන තන්ත්‍රයට වුවමනා කරන්නේ දේශපාලන ස්ථාවරත්වයේ, සාමයේ සහ සමගි සන්ධානයේ චිත්‍රයක් ගෙන හැර පෑමට වුව ද අභියෝගාත්මක වී, පුරසාරම් දොඩා සහ දාමරිකකම් කර ප්‍රතිරෝධය පාන්නට ඊට නොහැකි ය. ඔවුන්ගේ ජනතාවාදී දේශපාලන සහ ව්‍යාජ දේශප්‍රේමී හංවඩුව ඔවුන් මෙහෙයවන්නේ තමන්ගේ ගැළවීම උදෙසා ප්‍රතිපත්තිමය සිදුරු ගැනීමට සහ මෙම රට වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ප්‍රජාවේ ගෞරවනීය සාමාජිකයෙකු ලෙස උත්සාහයෙන් සරි කරගත් කීර්ති නාමය විනාශ කර දැමීමට ය.

විදේශ ප්‍රතිපත්තිය වීදියේ දී සම්පාදනය කළ නොහැකි ය; එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල පිටත පුංචි වේදිකාවක් මතට වී වෛවාරන්න ගැත්තර නඩය පිටත සිටිය දී විමල් වීරවංශ තනියෙන් කරන ලද මාරාන්තික උපවාසය ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව ‛සංඛේතවත්’ කරන ‛ලකුණ’ බවට පත් නොවේවා.

2010 ජුලි 11 දින www.groundviews.org වෙබ් අඩවියේ පලවූ Making Foreign Policy on the Street ලිපියේ සිංහල පරිවර්තනයයි.