iMAGE: Andresr/Shutterstock)

“ආණ්ඩුව බියර් ලාභ කෙරුවා,ලංකාවේ මන් හිතන්නේ වතුර බෝතලයකට වඩා බියර් ලාභයි කියලයි මට හිතන්නේ. ලංකාවේ වතුර බෝතලයකට වඩා බියර් බෝතලයක් ගාන අඩුයි

පසුගිය වසරේ එනම් 2018.09.28 වන දින නිකුත්කළ අංක 2090/ 46 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් බොතල් කළ පානිය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ බව අප රටේ ජනපතිවරයා නොදන්නා නිසා පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින්, ඒ බව දක්වමින් නිකුත් කරන ලද මාධ්‍ය  නිවේදනය ජනපතිවරයාගේ දැනගැනීම පිණිස මෙහි දක්වමි.

ඒ අනුව මිලි.ලීටර් 350-499 රු: 26 න්  ආරම්භ කොට ලීටර් 7 දක්වා එහි ගණන් දක්වා තිබේ. ඒ අනුව ලීටර් 7 ක ඇසුරුම් කළ පානිය ජල බෝතලයක් පවා  විකිණිය හැකි උපරිම සිල්ලර මිල රු: 170 කි.

ඊටත් අඩු මුදලට ගත හැකි බියර් ඇත්තේ කොහේදැයි දන්නේ එතුමාය.

ඒ නිසා මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා මේ ප්‍රකාශය කරන විට ඔහු උදාහරණයට ගෙන ඇත්තේ වෙන රටක අත්දැකීමක් විය යුතුය. ඔහුට  වැඩ අධික නිසා වචන පැටළුනා විය හැකිය. නැත්නම් කැබිනට්ටුවේ ප්‍රධානියාව සිටිමින්, අමාත්‍ය මණ්ඩලයේද ප්‍රධානියාව සිටිමින්, රජයේ ප්‍රධානියා ද වන ඔහු තමන්ගේ ආණ්ඩුවේ  තීරණ ගැන ජනතාව වන අපට දොස් මුර තබන්නේ නැත.

අනෙක් අතට අප ජනපතිවරයා කට මැත දොඩනවා මා කිසිවිට දැක නැත. ඔහු මයික්‍රෆෝනයක් ඉදිරිපිට ප්‍රසිද්ධියේ කියන කරුණු බොහෝ සිතා බලා දෙවරක් නොව සියවරක් සිතා බලා කරන ඒවා මිස හිතට ආ පලියට ඔහේ කියන දිව දෙකේ මිනිහෙක් නොවේ.

ඒ කෙසේවෙතත් නැත්නම් බාර් ලයිසන් හිමි දියණියකගේ පියෙකු ලෙස ඔහු කෙසේ වත් මෙහෙම කතා  නොකියනු ඇත. එහෙත් දැන්වත් ඔහු වතුර මිල ගණන් නිසැකව  දැන ගන්නවා ඇත. එක්කෝ ඔහුගේ කතා වල පිටපත් හදා දෙන කතා කරු  මේවා මිට වඩා සොයා බලා ජනපතිවරයාට දැනුම් තේරුම් කිරීම කළ යුතුය.

එතුමා කතාව දිගින් දිගටම කරගෙන යන අතරේ ඉතා ත්‍රාසය ජනක අනාවරණයන් කිහිපයක්ම කරයි.

“කාන්තාවන් මත්ද්‍රව්‍ය පාවිච්චියේ දී ලංකාවේ වැඩිපුරම පාවිච්චි කරන්නේ බියර්, ඒ වගේම අනිකුත් මත්ද්‍රව්‍ය  වලටත් පෙළඹිලා තියෙනවා. ගංජත් පාවිච්චි කරනවා, බියර් ගාවට වයින් වැඩිපුර කාන්තාවෝ පාවිච්චි කරනවා ලංකාවේ”

මේ රටේ ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා තරම් කාන්තාවන් සම්බන්ධයෙන් උනන්දු වන එකඳු මහතෙක් වත් මා මෙතෙක්  දැක නැත. එය මා අප ජනපතිවරයාට මෑත යුගයේ වඩාත් ප්‍රිය කරන්නට හේතු වන කාරණා අතර මුලින්ම එන්නකි. ඔහු කාන්තාවන් වෙත එතරම් සැලකිල්ලක් දක්වමින් සිටීම කාන්තාවන් ලෙස අපට මහත් ආඩම්බරයකි. ගැහැනුන් අඳින බ්‍රේසියර්  එකේ සිට බොන බියර් වීදුරුව දක්වා ඇහැ ගහ ගෙන සිටින ජනපතිවරයා  සැබෑ පුරුෂ මුලික සමාජය දිස්නය දක්වමින් පෙන්වන කැටපතකි. එය නොබියව ප්‍රකාශ කිරීම ගැන අප එතුමන්ට තුති පළ යුතුය. එය මේ රටේ ගැහැනුන්ට ඉන්න හිතෙන රටකට පන්නරයක් බව නොකියාම බැරිය.

ඒත් කනස්සල්ලට  හේතුව නම් පිරිමියෙක් වූ ජනාධිපතිවරයාම බියර් බොන පිරිම්න්, වයින් බොන පිරිමින්, සිගරට් බොන පිරිමින් ගැන වචනයක් වත් කතා නොකිරීමය.එය ඔවුන්ට කළ බලවත් අසාධාරණයකි.පිරිමින් කොන් කොට දක්වා ගැහැනුන් මාතෘකා කොට ගැනුමෙන් පිරිමින්ට සම තැන නොලැබී යනු ඇත.එක්කෝ සිරිසේන මහතා කලින් දවසේ දෙකක් දමාගෙන සිටියා දැයි මට සැක සිතෙන්නේ ඔය නිසාය.ඒත් තිතට මත තියන, මතින් නිදහස් රටක් වෙනුවෙන් පෝරකයට පවා යාමට සුදානම්, දහයේ කණිසමට නිදන අපේ  ජනපතිවරයා හැන්දෑවට දෙකක් දා ගන්නවා යයි මම කියන්නේ කොහොමද ? එය හිතළුවකි.

ග්‍රාම සේවක කම් කරන අවදියේ නම් හිතුමනාපෙට ඕවා සුටුස් ගා කළ හැකි වුණත්, සුදු නැෂනල් එකට යටින් දෙකක් දා ගෙන වෙරි වුනොත් වෙන්නේ මල ඇබැද්දියකි. ඊටත්, බාර් ලයිසන් තියෙන ලොකු ළමයාගේ දොස් මුර ඉවරයක් නොවෙනු ඇත. ඒ නිසා ඕවා වෙරි වී කියන කතා යයි ගමේ නොසන්ඩාල එකාලා කියන කතා, මා නම් තුට්ටුවකට වත් මායිම් කරන්නේ නැත.

රටකට ඕනෑ කරන අපමණ අගය අත්විදිමින් සිටින ගැහැනුන් ලෙස ජනපතිවරයා කියන්නාක් සේ අප බීර විදුරුව අත්හැර දැමිය යුතුය. ඉන් නොනැවතී  ජන්න ජයසුමනලා, රතනලා එකතු වී මිරිකමින්  සිටින අපේ පැලෝපිය නාලය  පරිස්සම් කොට ගත යුතුය. ජාතිය අනතුරේ හෙළි ඇති මොහොතේ, කොන්ඩම් බාල්දි විසි කොට දමා හැකි සෑම විටම ජාතිය උප්පැද්ද  වීමේ කාර්යයට උර දිය යුතුය.කෙටියෙන්ම කිවහොත්, නිරතුරුව අප හු* මින් සිටිය යුතුය. එවිට රටට වන සියලු අනතුරු වලින් රට මුදා ගැනීමට ගැහැනියට හැකි වනු ඇත.

කොටින්ම මේ රටේ පිරිමි විසේ සත්වයෝ විසින් අඳුනා ගෙන ඇති පරිදි රටේ ප්‍රධානම ප්‍රශ්න බවට පත්ව ඇති ගැහැණුන් බොන බියර්, ගැහැණුන්ගේ ගර්භාෂ, ගැහැණුන්ගේ පැලෝපිය නාල, ගැහැනු අඳින බ්‍රේසියර් සම්බන්ධ ඔවුන්ට ඕනෑ ලෙස සිදුවුණ විට මේ රට සුකීත මුකිත වනු ඇත.එය කළ හැකි ක්‍රමවේදය, තවදුරටත් බියර් බොන ගැහැනුන්ට දෙස් තියමින් අරක්කු විදුරුවක් තොල ගාමින් ඒ පිරිම්න් විසින්ම තිරණය කරනු ඇත.

ඉතින් අපි 2019 දීත්  බියර් උගුරක්, වයින් වීදුරුවක්  බොන ගැහැනුන් ගැන කතා කරමින් සිටිමු.