iMAGE: Sister Hood

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු සලීම් මර්ශූ‍ෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව 2018 ජනවාරි මස 22 වැනිදා අධිකරණ අමාත්‍යවරයා වෙත බාරදෙනු ලැබීය.

මුස්ලිම් ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිශීලනය කරන ලද මෙම වාර්තාව, ඔවුන්ගේ ද යෝජනාවන් සහිතව ගරු අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ අවසන් අදියරට පැමිණ සිටි බව මාධ්‍ය මඟින් අපට දැනගන්නට ලැබුණු සත්‍යයකි.

ඒ අතර දින කිහිපයකට පෙර මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතක් හේතුවෙන් නැවතත් මෙම පනත පිළිබඳ ප්‍රශ්නාර්ථයක් සහ සෑහීමකට පත්විය නොහැකියි තත්ත්වයක් උද්ගත විය.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධන කිරීම සඳහා වන නිර්දේශවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දෙන ලද අනුමැතිය සමාලෝචනය කිරීම සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබ ඇති බවත් හලීම්, ෆයිසර් මුස්තාපා, හකීම් සහ අෂ්ෂේක් රිස්වි මුෆ්ති යන අය එකී කමිටුව නියෝජනය කර බවත් දැනගන්නට ලැබුණි.

ගතවූ දශක එකහමාරකට වැඩි කාලයක් කාතී අධිකරණයේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේත්   මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සම්බන්ධයෙන් විවිධ නඩුවලට පෙනී සිටි අයෙකු වශයෙන්ද, ඒ වගේම කාතී අධිකරණය හා සම්බන්ධ පාර්ශවයන්ට උපදෙස් ලබා දෙන නීතිඥවරියක් වශයෙන්ද, රට පුරාම මෙම විෂය සම්බන්ධයෙන් ක්‍රියාකර ක්ෂේත්‍ර අත්දැකීම් බහුල මෙන්ම කාතීවරුන් සඳහා අවුරුදු ගණනාවක් තිස්සේ පුහුණුවීම් කළ සම්පත් දායකයෙක් වශයෙන්ද විනිසුරු සලීම් මර්ශූ‍ෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ අවුරුදු 09 කට වැඩි කාලයක් සේවය කරන සාමාජිකයකු වශයෙන්ද ක‍ටයුතු කරන මම  මෙම ප්‍රවෘත්තියෙන්  සසල වුනෙමි.

මුස්ලිම් අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ලබාදෙන ලද අනුමැතිය සමාලෝචනය කිරීම සඳහා නැවතත් කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව කුමක්ද?

මැතිඇමැතිවරුන් නියෝජනය කරන කමිටුවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ අමාත්‍යවරයෙකු හෝ නොවන පුද්ගලයෙකු කමිටු සාමාජිකයෙකු වශයෙන් පත් කළ හැක්කේ කෙසේද?

ගරු ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවෙහි සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සභාපති අල්හාජ් අෂ්ෂේක් රිස්වි මුෆ්ති මහතා නියෝජනය වන්නේ කෙසේද?

අෂ්ෂේක් රිස්වි මුෆ්ති මහතා විනිසුරු සලීම් මර්ශූ‍ෆ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් සිට ඉදිරිපත්වු මත දෙකකින් සමන්විත වාර්තාවේ එක් මතයකට පක්ෂව අත්සන් තැබූ අයෙකි. එවැනි අයෙකු මෙම කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් පත් කළ හැක්කේ කෙසේද?

අවුරුදු 09 තිස්සේ සාකච්ඡාකොට ඉදිරිපත් කර තිබෙන වාර්තාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ පූර්ණ වගකීම දේශපාලන නායකත්වය සතුව තිබියදී සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සභාපති අෂ්ෂේක් රිසිවි මුෆ්ති මෙම කමිටුවට පත්කළ හැක්කේ  කෙසේද?

ඔහුව එම කමිටුවට ඇතුළත් කළ හැකි නම්, විනිසුරු සලීම් මර්ශූ‍ෆ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවෙහි තවත් මතයකට පක්ෂව අත්සන් තබා ඇති අයද ඇතුළත් කළ යුතුය. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත විශේෂයෙන්ම කාන්තාවන් හා සම්බන්ධ කරුණු අඩංගු වන බැවින් සුදුසුකම් ලත් කාන්තා නියෝජිතවරියන් ද මෙම කමිටුවට පත් කළ යුතුය.

පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කෙරෙන නීතියක් සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සභාපතිවරයා පත් කරනු ලබන්නේ නම්, නීති විශාරදයින්ගේ භූමිකාවට කිනම් වටිනාකමක් ලැබෙන්නේ ද? ඒ වගේම නීතිගරුක සහ සාධාරණ යෝජනාවලියක් ඉදිරිපත් වන බවට කොතරම් දුරට විශ්වාසය තැබිය ‍හැකිද?

රටේ පාර්ලිමේන්තු මගින් සම්පාදනය කරන පනතක් ආගම අනුසාරී පුද්ගලික  පනතක් බවට පත්වෙද්දි එමඟින් ආගමික සිද්ධාන්තවලට අවකාශ ලැබෙන්නා සේම රටේ සාමාන්‍ය නීතියටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන අයුරින් තිබිය යුතුය.

කාන්තාවන්ට නිසි නිදහස, සමානත්වය සහ ගෞරවය අත්කරදෙන මධ්‍යස්ථ සිද්ධාන්ත සහ ප්‍රතිපත්ති වලින් සමන්විත ඉස්ලාම් ධර්මය සමහර අයවලුන්ගේ පුද්ගලික වාසි තකා වැරදි ලෙස අර්ථ නිරූපණය කොට මූලධර්මවාදී සිද්ධාන්ත වශයෙන් සහ අන්තවාදී ප්‍රතිපත්ති බවට පත් නොවිය යුතුය. මෙමඟින් කුමන හෝ පුද්ගලයෙකු එනම් කාන්තාවක් හෝ පිරිමියකු වුවද මිනිසාගේ සමානත්වය, මූලික නිදහස, අයිතිවාසිකම්, ගෞරවය සහ තත්වයන් කෙරෙහි බලපෑමක් සිදු නොවන බවට සම්බන්ධ පාර්ශවයන් විමසිල්ලෙන් සිටිය යුතුය වේ. එසේ නොවේ නම් ඉතිහාසයේ මින් පෙර නොදුටු ප්‍රතිවිපාක අත්විඳීමේ අභාග්‍යසම්පන්න තත්වයක් ඇති වීම වැළැක්වි නොහැකිය.

 සෆානා ගුල් බේගම්  (නීතිඥ) | Safana Gul Begum