end of the War, Featured Articles, Features, Jaffna

පශ්චාත් යුද ශ්‍රී ලංකාව: සරසවි සිසුන්ගේ සිතුවිලි


පසු ගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමඟ දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ගිය සිය යුද්ධය අවසන් කළේ ය. මෙම ලිපිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි සිසුන්ගෙන් තෝරාගත් නියැදියක් තමන් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව දකින ආකාරය ගැන පළ කළ අදහස් පිළිබිඹු කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහය යටතේ 2006 දී යුද්ධයේ අවසන් අදියර ඇරඹුණු තැන් පටන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ එහි සහායකයන් ලෙස කටයුතු කළහ. 2009 මැයි 18 වන දා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුහු උද්‍යෝගයෙන් යුතුව යුද්ධයේ අවසානය සමරමින් රතිඤ්ඤා පත්තු කළහ. ජාතික ධජය එසවූහ. “කිරිබත්” දන්සල් සංවිධානය කළ හ. ඒ ගමන් ම ඔවුහු උතුරෙහි අවතැන් වී සිටින සාමාන්‍ය ජනයා සඳහා වියළි සලාක සහ ආධාර ද එකතු කළහ.
(මෙම රචකයා වැනි කිහිප දෙනෙකු හැරුණු විට) බොහෝ ශ්‍රී ලාංකිකයන් ආණ්ඩුවේ ජයග්‍රහණය සමරා වසරක් ගත වී ඇත. එහෙත් එවක් පටන් කිසිදු වෙනසක් සිදු වී ඇත් ද? කළ යුත්තේ කුමක් ද? මම විමසුවෙමි.

“යුද්දෙ ඉවර උණු එක ගැන මට ඇත්තට ම සතුටු යි. ඒකෙන් අපිට තිබුණු බය නැති උණා, වැඩියත් ම, බෝම්බවලට අහු වේ ය කියල තිබුණු බය නැති වුණා. දැන් අපට ඕනෑම තැනක යන්න එන්න පුළුවන්. උතුරු නැගෙනහිරත් ඒ වගේම දකුණෙත් සංවර්ධන කටයුතු ගොඩක් සිද්ධ වෙන බව පේනවා. ඉතිං ඒක හොඳ යි. දැන් ආණ්ඩුව කරන්න ඕනත් ඒක යි. යුද්දෙ සංවර්ධනයට බාධාවක් උණා. ඉතිං දැන් අපි රට සංවර්ධනය කරන එක ගැන හිතන්න ඕන.” අමිලා පැවසුවා ය.

දෙමළ ජනයාට විසඳුමක් ලබා දිය යුතු නැද්දැයි ඇසූ විට ඈ මෙසේ කීවා ය, “ඔව් ඒ ගොල්ලන්ට විසඳුමක් ලබා දෙන්න ඕන. හැබැයි දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගත්ත විසඳුමක් නං නෙවෙයි. දේශපාලන විද්‍යා සිසුවියක හැටියට, මං දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වෙන්නෙ නැහැ. පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල පිරිනමන එක ගැන ඒකෙ තියෙන වගන්ති බෙදුම්වාදයට අනුබල දෙනවා, ඒක රටේ ස්වෛරී භාවයට තර්ජනයක් මතු කරනවා. මං හිතන්නෙ හොඳම දේ තමයි සමාන අයිතීන් සහතික කිරීම පදනම් කර ගත්ත විසඳුමක් ඒ ගොල්ලන්ට ලබා දෙන එක.”

මා කතා කළ බොහෝ ශිෂ්‍යයෝ අමිලා පළ කළ හැඟීම්ම පිළිබිඹු කළහ. එහෙත් වෙනස් අදහස් ද තිබිණ;

යුද්ධය අවසන් වීම සාදරයෙන් පිළිගත් නමුත් සමහර සිසුහු යුද්ධයෙන් පසු තත්ත්වය විෂය මූලිකව සලකා බැලූහ. පශ්චාත් යුද සංවර්ධනය, පුනරුත්ථාපනය සහ සමගි සන්ධානය ගැනත් දෙමළ ජනයාගේ සමෘද්ධිය ගැනත් දේශපාලන විසඳුම ගැනත් ඔවුන් තුළ උනන්දුකම් පැවතිණ.

“දොළොස් මාසයක් තරමෙ සුලු කාලයකින් අපට ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. ළඟදි මට අවස්ථාවක් ලැබුණ වව්නියාවට යන්න. මම දැක්කා එහේ අලුත් මහ පාරක් ඉදි වෙනවා. මේ පාරවල් හැමදාමත් තිබුණෙ දුර්වල තත්ත්වයකය කියලත් මට අහන්න ලැබුණා. හැබැයි මාර්ග සංවර්ධනය පැත්තෙන් ප්‍රදේශය සංවර්ධනය කරන එක විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ, මොක ද පශ්චාත් යුද තත්වයක, සංවර්ධනය කියල කියන්නෙ මාර්ග සංවර්ධනය කරන එක නෙවෙයි. වව්නියාවෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ගැටලු විසඳන්න මීට වැඩි යමක් කරන්න ඕන,”
වසන්තා ප්‍රකාශ කළේ ය.

“පහු ගිය අවුරුද්ද ගත්තොත්, මං දැකපු එකම වෙනස තමයි කොළඹ යි ඒ අවට ප්‍රදේශවල යි බෝම්බ පුපුරන්නෙ නැති එක. අපේ ප්‍රශ්න තාමත් එහෙම ම යි. උදාහරණයක් විදියට විරැකියා ප්‍රශ්නය, යුද්දෙ අවසන් උණු එකෙන් උපාධිධාරීන්ට තියෙන රැකියා අවස්ථා වැඩි දියුණු වෙලා නැහැ. ඒ වගේම ඒකෙන් මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් වෙලත් නැහැ. ඇරත්, අපේ අධ්‍යාපනයේ තත්ත්වය බොහොම දුර්වල යි, ඒකෙන් රැකියා වෙළඳ පොළේ අවශ්‍යතා සැපිරෙන්නෙ නැහැ. ඒ හින්ද අපට අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඕන කරනව,” සසන්ති කියා සිටියා ය.

එල්ටීටීඊ විරුවන්ගේ සොහොන් බිම් සහ පිළිම ඉවත් කිරීම සහ කඩා බිඳ දැමීම ගැන රාවය පුවත්පතේ (2010 මැයි 2 දා) පළ වුණු ලිපියක් උපුටා දක්වමින් ප්‍රසන්න මෙසේ පැවසී ය.

“දුටුගැමුණු රජ්ජුරුවො එළාර රජ්ජුරුවො පරාජය කෙරුවාම එළාර රජ්ජුරුවො සිහි වෙන්න ස්මාරක සොහොන් ගෙයක් ඉදි කෙරුවා, සොහොන් ගෙය පහු කරගෙන යන අවස්ථාවල දී ඒකට ගෞරව කරන්නය කියල මහජනයාගෙන් ඉල්ලා හිටියා. මේක තමයි අපේ ශ්‍රේෂ්ඨ දුටුගැමුණු රජ්ජුරුවො දීපු ආදර්ශය. ඒ ආදර්ශය අනුගමනය කරනවා වෙනුවට, අපේ ආණ්ඩුව එල්ටීටීඊ විරුවන්ගෙ පිළිම ඉවත් කරනවා, සොහොන් බිම් කඩල බිඳල දානවා. එල්ටීටීඊ විරුවන්ගෙ සොහොන් බිම් බුල්ඩෝසර් කරන එකෙන් අපි කරන්නෙ දෙමළ ජනයා ගැන නොරිස්සීමයි, වෛරය යි, ප්‍රදර්ශනය කරන එක නෙවෙයි ද? ඉතිං අපි කොහොම ද සමගි සන්ධානයක් ගැන කතා කරන්නෙ? මේ විදියෙ ක්‍රියා නිසා සිංහලයන් ගැන දෙමළ ජනයා තුළ තියෙන නොමනාපය යි කෝපය යි වැඩි වෙනව, අපිට කවදා වත් මේ ගැටලුව විසඳන්න පුළුවන් වෙන්නෙ නැහැ.”

මෙම කතාබහට එක් වුණු ශිෂ්‍ය භික්ෂුනමක් මෙසේ සිය අදහස් පළ කළේ ය, “යුද්දෙ ඉවර වෙච්ච එක ගැන මම සතුටු උණත් උතුරෙ සිද්ධ වෙමින් තියෙන සමහර දේවල්වලට මං එකඟ වෙන්නෙ නැහැ. යාපනයට යි කිලිනොච්චියට යි ගිහිං ආපු මිනිස්සු මට කිව්ව කිලිනොච්චියෙ කඩසාප්පු පවත්ත ගෙන යන්නෙ හමුදාවෙන් ය කියල, ඒ වගේ ම, කිලිනොච්චියෙ දෙමළ මිනිස්සුන්ට අයිති ඉඩම් රත්නපුරෙන් ගියපු මිනිස්සු අයිති කර ගෙන ය කියලත් ඒ ගොල්ලො කිව්ව. මට මේ කතාවෙ ඇත්ත නැත්ත පැහැදිලි කර ගන්න විදියක් නැහැ. ඒත් ඒක සිද්ධ වෙනව නං ඒක වැරදි යි, දෙමළ මිනිස්සුන්ට කරන අසාධාරණයක්! මේ විදියෙ කතා ඇහෙන කොට, දෙමළ මිනිස්සු ආණ්ඩුවට එරෙහිව ආයුධ අතට ගන්න එක ගැන මං පුදුම වෙන්නෙ නැහැ.”

ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් පවතිනු ඇද්ද නැද්ද යන්න මෙම සිසුන් උනන්දු වුණු තවත් කරුණකි.

“ආණ්ඩුව ඉහළින් ම ජාතිකවාදී ප්‍රවේශයක් වැළඳ ගනිමින් ඉන්නෙ; ඒ කියන්නෙ ජනවාර්ගික ගැටලුව කෙරෙහි සිංහල-බෞද්ධ දෘෂ්ටිය පදනම් කර ගත් ප්‍රවේශයක් ගනිමින් ඉන්නෙ, එල්ටීටීඊ එකට එරෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක කරපු මිලිටරි ව්‍යාපාරයෙන් ප්‍රදර්ශනය වුණේ ඒක යි. ඒ කියන්නෙ ආණ්ඩුව ජනවාර්ගික ගැටලුවේ සැබෑ ස්වභාවය අවබෝධ කර ගන්න අසමත් වෙලා තියෙනව. ජාතික ප්‍රශ්නය ජනවාර්ගික ගැටලුවක් නොවේ ය ත්‍රස්තවාදී ගැටලුවක් ය කියල කරන අර්ථ දැක්වීමෙන් ජාතික ප්‍රශ්නය ගැන ආණ්ඩුවට අවබෝධයක් නැති බව පැහැදිලිව පේනව. එල්ටීටීඊය පරාජය කෙරුවයින් පස්සෙ, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉවත් කර ගන්නත් ජාතික ප්‍රශ්නය ගැන නිහඬව ඉන්නත් දෙමළ දේශපාලන පක්ෂවලට බල කෙරිල. ඒ හින්ද, ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයන එක ගැන දෙමළ දේශපාලන, බුද්ධිමය කණ්ඩායම් තුළ සංවාදයක් ඇති වෙන බවක් අපට දකින්න නැහැ. මේ නිසා, දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාවගේ ගැටලුවලට අවධානය යොමු කරන දේශපාලන විසඳුමක් ජාතික ප්‍රශ්නයට තියේවි ය කියල මම හිතන්නෙ නැහැ,” පශ්චාත් මාක්ස්වාදී ශිෂ්‍යයෙකු වූ සම්පත් පැවසී ය.

මම ඊළඟට ගැටුමෙන් ඇළලී ගිය උතුරෙන් සහ නැගෙනහිරෙන් පැමිණි ශිෂ්‍යයන් කිහිප දෙනෙකුට කතා කිරීමට ගියෙමි. මඩකලපුවෙන් පැමිණි රාජේශ්වරන් නමැති සිසුවා තම හැඟීම් පළ කරමින් මෙසේ කී ය;

“යුද්දෙ ඉවර වෙච්ච එක හොඳ යි. ඒකෙන් අපේ පළාත්වල ව්‍යාපාරික, සංචාරක, සංවර්ධන අවස්ථා හුඟක් වැඩි වෙලා තියෙනව. එයාල දැන් මඩකලපුවෙ තිබුණු මුර පොළවල් ගණන අඩු කරල, දැන් ගමන් බිමන්වලට පහසු යි.”

අතීතය සිහිපත් කරමින් ඔහු මෙසේ පැවසුවේ ය, “යුද්ද කාලෙදි, වැඩියත්ම ගමන් බිමන්වලදි, අපිට දුෂ්කරතා ගොඩකට මුහුණ දෙන්න සිද්ධ උණා. අත්අඩංගුවට පත් වේ ය කියල තිබුණු බිය නිසා හමුදා සොල්දාදුවෙක් දැක්කා ම අපි ගැස්සෙනවා, ඉතිං අපි පුරුදු වෙලා හිටිය මුර පොළවල් පහු කරල අපි එක්කං යන්න සිංහල යාළුවෙක් හොයා ගන්න.” යුද සමයේ දී සමහර විශ්ව විද්‍යාල සිසුහු ඔහුට ද වෙනස්කම් කර තිබිණ, “ඒ දවස්වල අපට සිංහල ශිෂ්‍යයො මුණ ගැහුණ ම ඒ ගොල්ලො අහනව අපි කොයි පළාතෙන් ද කියල? අපි ආවෙ මඩකලපුවෙන් ය කියල කිව්ව ම, ඒ ගොල්ලො අහනව ඔය ගොල්ලන් එල්ටීටීඊ එකෙන් ද, එහෙම නැත් නම් ඔය ගොල්ලො කරුණගෙ අය ද කියල. අපි ඒ ගොල්ලන් එක්ක වාද කරන්න ගියේ නැහැ, හැබැයි ඒ වගේ කාලෙක අපි ආරක්ෂා කරපු සිංහල යාළුවොත් හිටියා. කොහොම නමුත් යුද්ධය අවසන් උණත් එක්ක දැන් තත්ත්වය වෙනස් වෙලා. දැන් අපට ඕනෑම තැනක යන්න එන්න ලොකු නිදහසක් තියෙනව. අපේ ගමේ හමුදා කඳවුරේ ඉන්න සොල්දාදුවො යාළුවො වගේ. විශ්ව විද්‍යාලෙදි උණත් දෙමළ වුණු හින්ද අපි වෙනස්කම් කිරීමකට ලක්වෙන්නෙ නැහැ, ඉතිං ඒක හොඳ යි. ඒත් ඒ අතරෙ ම ආණ්ඩුව අපට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු යි. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු යි. පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දිය යුතු යි,” රාජේශ්වරන් කී ය.

අම්පාරේ මායිම් ගම්මානයකින් පැමිණි සිංහල ශිෂ්‍යාවක වූ නිමාලි යුද සමයේ දී ඇය ලද අත්දැකීම් අප සමග බෙදාහදා ගත්තා ය. “ඉපදුණු දවසෙ ඉඳලම මම ජීවත් උණේ යුද්දෙත් එක්ක. අවස්ථා කීපයක දී ම එල්ටීටීඊ එක අපේ ගම්මානය ඉලක්ක කර ගත්තා. එල්ටීටීඊ එක පරාජය කරපු දවස වෙනකම් ම බය කියන දේ අපේ ජීවිතවල කොටසක් බවට පත් වෙල යි තිබුණෙ. යුද්දෙ නිසා අපි බොහොම දුක් කරදරවලට මුහුණ දුන්නා. විශ්ව විද්‍යාලෙ යන්න මම කොළඹ ආවා ම අපේ පළාතෙ තිබුණු ආරක්ෂක තත්ත්වය නිසා ගෙදර යන එන එක සීමා කරන්න මට සිද්ධ වුණා. දැන් යුද්දෙ ඉවර යි, අපි සාමයෙන් ජීවත් වෙනවා. වඩාත් ම වැදගත් දේ අපි බයක් නැතුව ජීවත් වෙන එක.

“දැන් අපේ පළාත්වල සිංහල, මුස්ලිම්, දෙමළ ජනයා අතරෙ සම්බන්ධකම වැඩි දියුණු වෙලා. අපට දෙමළ යාළුවො ගොඩක් ඉන්නව. අපි නිතර නිතර ඒ ගොල්ලන්ගෙ ගෙවල්වලට යනව එනව, ඒ ගොල්ලො අපේ ගෙවල්වලට එනව යනව. අපි ඒ ගොල්ලන්ගෙ ගෙවල්වලට ගියා ම ඒ ගොල්ලන්ගෙ අම්මල තාත්තල අපට ඇත්තට ම හොඳින් සලකනව. අපි දෙමළ අයත් එක්ක යාළුකම් පවත්තනවට මගේ අම්මල තාත්තල කැමති නැති උණත් දෙමළ යාළුවො අපි බලන්න ආවම එයාල ඒ ගොල්ලන්ට හොඳින් සලකනවා. මං බෞද්ධයෙක් උණත් මගේ දෙමළ යාළුවොත් එක්ක මං කෝවිල් යනවා,” නිමාලි පැවසුවා ය.

යුද්ධයෙන් පසුව තම ගමෙහි සිදු වන සංවර්ධනයේ ප්‍රගතිය ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ එහි බොහෝ සංවර්ධන කටයුතු සිදු නොවන බව යි. “සිංහල ප්‍රදේශත් එක්ක සංසන්දනය කරල බලන කොට දෙමළ ප්‍රදේශවල සංවර්ධන කටයුතු ගොඩක් සිද්ධ වෙමින් තියෙනව. අපේ ගම්මානවලට අවධානය යොමු නොකරන එක ගැන මම අපේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ට දොස් කියනව. දෙමළ ප්‍රදේශ සංවර්ධනය වෙන එක ගැන මට ගැටලුවක් නැහැ. ඒ ගොල්ලන්ට ඒක අවශ්‍ය යි. දෙමළ අය මේ අරගලය පටන් ගත්තෙත් සංවර්ධනයේ අඩුපාඩුකම් නිසයි. ඒ නිසා දෙමළ මිනිස්සුන්ගෙ සමාජ-ආර්ථික සංවර්ධන අවශ්‍යතාවලට විසඳුම් ලබා දෙන එක වැදගත්. අවසන් වශයෙන් මං කියන්නෙ, දේශපාලන විසඳුමක් තියෙන්න ඕන, වඩා වැදගත් දේ තමයි මේ විදියෙ තවත් යුද්ධයක් අවශ්‍ය නැහැ යි කියන එක සහතික කරන්න අපට සිද්ධ වෙනව ය කියන එක!”

අන්තිමට මා කතාබහ කළේ උතුරෙන් පැමිණි දෙමළ ශිෂ්‍යයෙකු වන නිමලරාජ් සමඟ ය. එල්ටීටීඊයේ “රාජධානිය” ලෙස පැවති කිලිනොච්චියෙහි ඉපිද එහිම හැදී වැඩුණු නිමලරාජ්ගේ කතාව නිමාලිගේ කතාවට වෙනස් නැත.

“මේ යුද්දෙ නිසා මම බොහොම දුක් කරදරවලට මුහුණ දුන්නා. මට යාළුවො ගොඩක් නැති උණා. යුද්දෙ අන්තිම දවස්වලදි, එල්ටීටීඊ එක මගේ බාල සහෝදරයා බලෙන් සටනට බඳව ගත්ත, දැං එයා වව්නියාවෙ පුනරුත්ථාපනය වෙනව. මගේ පවුලට තිබුණු හැම දේම නැති උණා, යුද්දෙ ඉවර වෙන්න කලින් ඒ ගොල්ලො ආණ්ඩුවෙ පාලනය යටතේ තිබුණු ප්‍රදේශවලට පැන ගත්ත. දැං ආපහු යාපනයෙ පදිංචි වෙලා ඉන්නව, ඒ ගොල්ල කිලිනොච්චිවල ආපහු පදිංචි කරනව ය කියල එයාලට දැනුම් දීල තියෙනව. මං හිතන්නෙ යුද්දෙ ඉවර වෙච්ච එක හොඳ යි. මුර පොළවල දී අවහිරයක් නොවී, අත්අඩංගුවට පත් නොවී දැන් අපට නිදහසේ ගමන් බිමන් යන්න එන්න පුළුවන්. විශ්ව විද්‍යාලෙදි උණත් අපි දිහා සැකෙන් බලන්නෙ නැහැ. ඒව තමයි යුද්දෙන් පස්සෙ මම දකින ධනාත්මක දේවල්. හැබැයි ගැටලුවට දේශපාලන විසඳුමක් තියෙන්න ඕන, ඒ වගේ ම සමගි සන්ධානයත් අවශ්‍ය යි.”

මෙම සිසුන් හා කතාබහ කිරීමෙන් පසුව මට හැඟුණු දෙය නම් යුද්ධය අවසන් වීම ඔවුන්ගේ බිය පහකර ගමන් බිමන් යාමට සහ වැඩ කටයුතු කිරීමට ඔවුන්ට වැඩි නිදහසක් ලබා දී ඇති බව යි. සමහර සිසුන්ට නම් මෙය ඕනෑවටත් වඩා වැඩි දෙයකි. ඔවුහු අන්යමක් අපේක්ෂා නොකරති. එහෙත් සමහර සිසුන්ට හැඟෙන්නේ යුද්ධයෙන් පසුව වහාම සංවර්ධන කටයුතු සිදු විය යුතු බව යි. කෙසේ වුව ද, පශ්චාත් යුද පසුබිම තුළ දී සිදු විය යුත්තේ කෙබඳු සංවර්ධනයක් ද යන්න ගැන ඔවුන්ට කිසිදු අදහසක් නැති බව පෙනී යයි.

ඔවුන්ගෙන් කියැවුණු කරුණුවලින් හෙළි වුණු තවත් දෙයක් නම් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් ඔවුන් තුළ දැනුවත්කමක් නැතිකම යි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන අය අත කිසිදු විකල්ප විසඳුමක් නැත. ඔවුන් යෝජනා කරන එක ම විසඳුම දෙමළ ජනයාගේ අයිතීන් සහතික කළ යුතු ය යන්න යි. සමහර සිසුන් බලය බෙදා හැරීම මත පදනම් වුණු දේශපාලන විසඳුමක් ගැන අවධානය යොමු කළ ද අඩු ගණනේ ඔවුන්ට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක්වත් නැත.

එල්ටීටීඊය පරාජයට පත්ව තුරන් වීමත් සමග, ජනවාර්ගික ගැටලුව පිළිබඳව සිවිල් සමාජය තුළ සිදු වෙමින් පැවති සංවාදය සාමාන්‍ය පුරවැසියන්ගේ හදවත්වලින් සහ මනස්වලින් අතුරුදන්ව ගොස් ඇති බව පෙනේ. ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, බුද්ධිමය කණ්ඩායම් සහ මාධ්‍ය තුළ සංවාදයක් හෝ විවාදයක් සිදු නොවේ. සිසුන්ගේ අදහස්වලින් පැහැදිලි ලෙස පෙන්නුම් කෙරෙන පරිදි, විශ්ව විද්‍යාල තුළ පවා කිසිදු සංවාදයක් හෝ පොදු එකඟතාවක් නැත.

පශ්චාත් යුද සංවර්ධනය, පුනරුත්ථාපනය, සමගි සන්ධානය සහ වඩා වැදගත් කරුණ වන ශ්‍රී ලංකාවෙහි ජනවාර්ගික ගැටලුවට කල් පවතින විසඳුමක් තහවුරු කිරීම සම්බන්ධ ගැටලු ගැන අවධානය යොමු කරන සංවාදයකට අදාළ උපකලුපතිවරුන්, මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, ශිෂ්‍ය නායකයන් සහ ශිෂ්‍යයන් මුල පිරීම මෙම පසුබිම හමුවේ කාලීන මෙන් ම වැදගත් ද වේ.

පසු සටහන* අනන්‍යතාව ආරක්ෂා කරනු පිණිස සිසුන්ගේ නම් වෙනස් කර ඇත.

මෙය, පුංචි ලෝකයකි විසිනි