iMAGE:EU vs disinfo.eu

“සෞභාග්‍යයේ දැක්ම” පෙරටු කරගෙන යන ගමනේ දැන් දින 51 ක් ගෙවී ඇත. එනම් තාමත් ගෙවෙන්නේ  ‘හනිමුන් පීරියඩ්’එකය . හනිමුන් පීරියඩ් කොටින්ම කිව්වොත් ‘එන්ඩ්ලස් පැකේජ්’ එකකි.

හුස්මක් කටක් නොගෙනම වතුර බොමින් බයිට් එකට මේ රටේ ප්‍රවෘත්ති නැරඹීම හේතුවෙන් පුරවැසියන්ගෙන් හතරෙන් තුනක් වෙරි වී සිටිති. ඇතැමෙක්ගේ මුක පුට්ටු වී තිබේ.පශ්චාත්භාගය කිති කැවෙන බාබාලන්තයේ කයි කතන්දර වලට පොඩි හෝ බ්‍රේක් එකක් වත් නොදීමට තරම්ම “සෞභාග්‍යයේ දැක්ම” කාර්යක්ෂම වීමට වග බලා ගැනීම නම් අගේ කළ යුතුය. ඊටත් වඩා ඒවා බ්‍රේකින් නිවුස් කොට “එක්ස්ක්ලුසිව් ලයිව්” ලෙස ලබාදුන් මාධ්‍යයේ කාර්ය භාරයට අප කෘත ගුණ දැක්විය යුතු ය.මේ සටහන ඒ කෘත ගුණ දැක්වීමටය.

කෙසේ නමුත් ඒ වෙනුවෙන් වන පළමු කෘත ගුණ දැක්වීම කළේ ජනාධිපතිවරයා විසින්මය. ඒ පසුගිය 2019  දෙසැම්බර් 12 වන දාය.  මාධ්‍ය ලොක්කන් හමුවී ජනාධිපතිවරයා එකී කාර්ය භාරය ඉතා කෙටි කාලයක් තුළම ප්‍රශස්ත ලෙස ඉටු කිරිම වෙනුවෙන් ප්‍රසිද්ධියේම මෙරට මාධ්‍ය ප්‍රශංසා කළා පමණක් නොව මාධ්‍යයෙන් රටට  විය යුත්ත, විය යුතු විදිහ ද පැහැදිලි කළ යුතු නිසි ක්‍රමවේදයටම ඔවුනට පහදා දී තිබුණි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් විසින් නිකුත් කරන ලද “ මාධ්‍ය නිදහස තහවුරු කිරීමේ නිර්ණායක” ඇතුළත් ලිපියේ අන්තර්ගතය  කරුණු 4 කට මෙසේ  කෙටි කොට ගත හැකිය.

එනම්

  1. රටට හා රටේ කිර්ති නාමයට හිතකර ලෙස
  2. රටේ ප්‍රතිරූපය ගොඩ නැංවීමට
  3. නගර අලංකරණ,චිත්‍ර අදින රැල්ල ආදී රටට ආදරය කරන තරුණයන් දිරිමත් කිරිමට
  4. කොටින්ම ස්ව්ස් තානාපති කාර්යාල නිලධාරිනියගේ සිද්ධියේදී මාධ්‍ය පෙන්වන ලද ප්‍රශස්ත හැසිරිමේ ආකාරයටය.

ඒ අනුව තම පාලන කාලය තුළ දී  මාධ්‍ය නිදහස  උපරිමයෙන් තහවුරු කරන බවද ඔහු විසින් පවසා තිබේ. එහෙත් නිර්ණායක ගැන වග බලා ගැනීම මාධ්‍ය සතු වන බව ඉන් නොකියා කියවේ.  එහෙත් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් මාධ්‍ය විසින් අදාළ උපදෙස ඉතා හොඳින්ම පිළිපදින බව දින 51 ක අවසානය විසින් තහවුරු කරමින් තිබේ.

ජනමාධ්‍ය යනු රටක සිව්වන ආණ්ඩුව බව කියවේ. ඒ නයින්ම එහි ප්‍රබල බව ද කියවේ. යම් රටක ජනමාධ්‍ය විසින් අනුගමනය කළ යුතු ගමන් රටාව සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානින් ඉදිරිපිටදී යම් නායකයකු යම් බරපතල ප්‍රකාශයක් කිරීම අප සැහැල්ලුවෙන් දැකිය යුතු දෙයක් නොවේ. නොවැම්බර් 16 වන දා සිට මෙරට තුළ ඇත්තේ එකම මතයක් නියෝජනය කරන පිරිසක් වෙනුවෙන් වෙන්ව ඇති ඉඩහසරකි. ජනමාධ්‍ය ආයතන වශයෙන් ගතහොත් මෙරටේ ප්‍රමුඛම රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා මෙන්ම පුවත් පත් ආයතනයත් පවතින රජයේ බයිසන් ලා බවට පත්ව තිබේ. තනතුරු තානාන්තර පවා දී ඇත්තේ ඉතාම විද්‍යාත්මක ක්‍රමවේදයකට  බවට ද සැලය. මේවා නම්  අපේ රටට අලුත් අරුමයක් නොවුණත් ගතවුණු වසර 70 ටම වඩා නාය ගිය මාධ්‍ය භාවිතයක් සහ වෘත්තීය සෝදා පාළුවක් මේ දින 51 ක තුළ පැහැදිලිවම ජනමාධ්‍ය තුළ දක්නට ලැබුණි.

සංදර්ශන ඉල්ලිප්පිමටත්, ඇත්ත ප්‍රශ්න යට ගැසීමටත්, “දේශප්‍රේමය” නමැති කෝකටත් තෛලය ඕනෑම සිදුවීමකට  උලමින් තිබීම එහි ආවේනික ලක්ෂණයකි.ගර්නියා බැරිස්ර් ගේ සිට හතේ අපේ පොතින්, රන්ජන් රාමනායක දක්වා  සිදුවූ සියලු සිද්ධීන් දවස් හතම  විකාශය වන මෙගා ටෙලි නාට්‍ය මෙන් අවශ්‍ය අවශ්‍ය විදියට පිටපත් ලියමින් විශේෂයෙන්ම රූපවාහිනි නාලිකා විසින් විකාශය කළේ තමන් සතු මහජන වගකීම ගැන තඹ සතයක හෝ තැකීමකින් නොවන බව කිව යුතු නොවේ. මහජන දේපලක් වන මහජන සංඛ්‍යාත සම්බන්ධයෙන් ඔවුන් කිසිදු වගකීමකින් කටයුතු නොකළ අතර ජනමාධ්‍යවේදයේ මුලිකම අවශ්‍යතාවයන් මඟ හැර නොකළ යුතු සියල්ල කරමින් සිටින මේ ජඩ බිස්නස්කරුවන් ඇත්තටම දේශප්‍රේමින් ද යන්න ජනතාව තවත් පරක්කු නොවී සිතිය යුතුමය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ ,රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවේ සදහන් වන්නේ රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට, වැඩිදියුණු කළ යුතු බව ය. නමුත් කැබිනට් මණ්ඩලය විසින් පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කර වැලි, පස් හා මැටි ප‍්‍රවාහනය සදහා වන බලපත‍්‍ර ඉවත් කිරීම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන මෙම රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කිරීම ගැන ඔබේ “හිරු නම් සල්ලි තමයි” මාධ්‍ය ඔබට කියා තිබේද?

නැත. ඔවුන් කියන්නේ නැත. මේ එකම එක කුඩා උදාහරණයක් පමණි. ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි  ගැන තැවුණ බොහෝ දෙනෙක් ඒ ගැන  සැලුණේ නැත. අද තව වෙනතුරු සමහරුන් ඒ ගැන දන්නේද නැත. ඇත්තටම ඒ ගැන කතා කිරීමම  “සෞභාග්‍යයේ දැක්මේ” දේශද්‍රෝහිත්වය ගණයට ගැනෙන්නේ ඒ නිසාය. ඔබට තව උදාහරණ අවශ්‍ය නම් පහුගිය දින 51 තුළ නිකුත් කළ ගැසට් පත්‍ර පමණක් බලන්න . ඒවා දේශප්‍රේමි මාධ්‍ය විසින් මහජනයා වෙත හෙළි කළ යුතු ඇත්ත අනාවරණයන්ය. එහෙත් මාධ්‍ය හරහා ඒවා යට යමින් එළියට එන්නේ “දවල් මිගෙල් රෑ ඩැනියෙල්” පිටපත්ය. “මාධ්‍ය නිදහස” යනු කුණු බයිලා කීම නොවන බව මෙරටේ දේශප්‍රේමී මාධ්‍ය  නොදන්නා නිසාම එහි ඇති ගෞරවණිය වටිනාකම  අනිත් අතට මේ රටට අහිමි වෙමින් තිබේ.

කෙසේවෙතත් මේ සියල්ලටම වඩා කනගාටුවට කරුණ නම් මේවාට පදම් වී, බොරුවටම තෙම්පරාදු වී , කැඩුණු පුවත් නැරඹීමට බ්‍රේක් වෙන “දේශප්‍රේමයේ ලුණු ඇඹුල පරල කරමින්” බුදින සත්‍ය ජීරණය නොවන ජනතාවක් බිහිවෙමින් පැවතීමය. ඔවුන්ගේ මොළ ක්‍රම ක්‍රමයෙන් අක්‍රිය කරමින් පැවතීමය.

හෙටත්  “සෞභාග්‍යයේ දැක්ම”  පෙරටු කොට ගනිමින් මාධ්‍යකාරයින්ගේ  “එක්ස්ක්ලුසිව් ලයිව් – මේඩ් ඉන් ශ්‍රී ලංකා” බලමින්, ඒවා වමාරමින්  සිටීම හැර දැන් වෙන විකල්පයක් ද අපිට අහිමිවෙමින් තිබේ.

ඉෂාරා ධනසේකර | Ishara Danasekara