Ampara, සිංහල, Democracy, Human Rights, Life quips

ආයුධ සන්නද්ධ පිරිසක් ගම ගිණි තිය යි – එයට එරෙහිව ගම්වැසියන් විරෝධයක

අම්පාර, රාගම්වෙල ගම්මානයට පසුගිය 23 වන දින හදිසියේ කඩා වැදුනු අයුධ සන්නද්ධ පිරිසක් විසින් ගම්වැසියන්ට පහරදී නිවාස 07 පමණ ගිනි තබා ගම්වැසියන් පලවාහැර ඇති අතර පසුදින විශේෂ කාර්‍ය බලකාය විසින් ගම්මානය වටකොට ගම තුලට කිසිවෙකුටත් පැමිණීම වලක්වා ඇති බවට වාර්තා වේ. එසේම මේ අවස්ථාවේදී එම සිද්ධිය ආවර්ණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට පවා ගම්මානය තුලට ඇතුල් වීම වැළැක්වීමට ආරක්‍ෂක අංශ විසින් ක්‍රියා කර ඇත.

වැඩි දුරටත් වාර්තා වන්නේ එම පදිංචි කරුවන් අතර තාවකාලික බලපත්‍ර සහිත පදිංචිකරුවන් මෙන්ම අනවසර පදිංචිකරුවන් ද පදිංචිව සිටින බවත් ය.
මෙයට විරෝධය දක්වා 27 වන දින ගම්වැසියන් විසින් පොතුවිල් සිට පානම හරහා ඔකඳ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබූ අතර එහිදී ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ වසර ගනණාවක් ගොවි ජනතාව භුක්ති විඳි නිවාස, ඉඩම් හා හේන් වල අයිතිය ඔවුන්ට නැවත ලබා දෙන ලෙසයි.
පසුව ඉකුත් 27 වන දින එහි විහාරස්ථානයේ හිමිනම වූ වෙල්ලස්ස නැගෙනහිර ප්‍රධාන සංඝනායක පානම චන්දරතන හිමියන් ප්‍රමුක පිරිස විසින් තම අයතිවාසිකම් ඉල්ලා මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉඳිරිපත් කර ඇත.

සංචාරක වටිනාකමක් සහිත අක්කර 100ක පමණ වපසරියකින් යුත් මෙම භූමි භාගයට රටේ ඉහළම තැන බැල්ම වැටීම, දුප්පත් ජනතාවගේ කරුමයට හේතුවක් බව ගම් වැසියන් පවසයි.

කණගාටුවට කරුණ නම් මෙම ගැටලුව විසඳීම සඳහා මෙතෙක් කිසිදු වගකිවයුතු නිලධාරියෙකු ඉදිරිපත් නොවීමයි. නිරායුධ ගම්වැසියන්ට මහ රෑ පහරදුන් සන්නද්ධ කල්ලිය සෙවීම වෙනුවට ආරක්‍ෂක අංශ ගම්වැසියන් ගමෙන් පිටමංකොට නැවත ගමට ඇතුළුවීම වළක්වා මුරකාවල් දැමීම නිසා මේ වනවිට ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී ඇත.

සටහන – අම්පාර පුරවැසි මාධ්‍යවේදියෙක්