‘………..තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම්ව වාර්තා කරන්න. විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමේන් වළකින්න’ – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

වදුරන් අතට දැලි පිහියක් ගියාම වෙන වැඩේ ගැන ගම්වල කතාවක් පවතී. ඒ ලෙසටම, ආචාරධර්ම පිළිබද කිසිදු අදහසක් හෝ තැකීමක් නැති, සමාජ වගකීමක් ගැන අල්පමාත්‍රයකින් වත් නොහිතන ‘මුදලාලි’ කෙනෙක්ට සහ ඒ මුදලාලිගෙන් යැපෙන ගෝලයෝ රොත්තකට මාධ්‍ය ආයතනයක් ලැබුණු විට වන්දි ගෙවන්නට වන්නේ සමස්ථ සමාජයටමය. එහි බලපෑම කෙටිකාලීන මෙන්ම දිගුකාලීනද වෙයි. නමුත් බලපෑමෙන් ඇති වැඩක් ඔවුන්ට නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මුදල්ය. තමන් ආශාකරන දේශපාලකයාගේ කැමැත්තය. ඒ කැමැත්ත වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් විකිණීමට සූදානම්ය.

පහුගිය කාලය පුරාම එවැනි ආකාරයේ කිසිදු වගකීමක් නැති මාධ්‍ය ආයතනයක් ලෙස ‘දෙරණ’ රූපවාහිනීය විවිධ අන්දමේ අදහස්, මතවාද සමාජය වෙත මුදා හැරියේ ය. එය ජෝතිශය ලෙසින්ද, තවත් විටක ‘සංවාද’ යැයි කියමින් ඒවා හරහා ද, තවත් විටක ‘පත්තර කියැවීම්’ වැනි දේවල් හරහා ද සමාජ ගත කලේය. පසුගියදා සජීවී සංවාද වැඩසටහනක, විරාම කාලය අතරතුරදී සමාජ ගත වූ ‘චතුර නැමැත්තා සහ වීඩියෝව’ එයට ඕනෑවටත් වඩා සාක්ෂි සපයයි. එය මාධ්‍ය ආයතනයකට තිබිය යුතු ‘සමාජ වගකීම’ පිළිබද වන හොදම උාදහරණයකි.

නමුත්, මේ වන විට කොරෝනා වසංගත තත්ත්වය මුලු ලෝකයම වෙලාගෙන තිබියදී, ලංකාව තුළ ද නිරෝධායන පනත යටතේ, නිරෝධායන ඇදිරි නීතියක් බලපැවත්වෙත්දී, රූපවාහිණී ප්‍රෙක්ෂකයන් නොමග යවන ආකාරයේ අශිෂ්ට වැඩසටහනක් දෙරණ රූපාවාහීනී ආයතනය අද උදෑසන ප්‍රචාරය කළේය. එහිදී ජෝතිර්වේදීයෙක් ලෙස හදුන්වන මංජුල පීරිස් විසින් එම ප්‍රකාශය රූපවාහිණී ප්‍රේක්ෂකයා හමුවේ තැබුවේ, ඉතාමත් නිර්ලජ්ජිත ලෙසය. එහිදි ඔහු කොරෝනා වෛරසය ආරම්භ වූයේ වල්ගා තරුවක බලපෑමෙන් බව පවසන අතර, වෛරසය මැයි මස 04 වැනිදා වනවිට ‘අන්න ලංකාවේ කොරෝනාව මර්දනය වෙන්න පටන් ගන්නවා’යැයි ඔහු පැවසුවේය. ‘යුද්ධ ඇති වන්නේත්, මෙවැනි වසංගත ඇති වන්නේත්, වල්ගාතරු, ග්‍රහයන්ගේ බලපෑමෙන්’ බව තවදුරටත්, දෙරණ රූපවාහිණියේ දි කියයි.(Time 0.20-04.31)

ජෝතිර්වේදය, වසංගත තත්ත්වය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් මාර්ගෝපදේශ

වසංගත තත්ත්වයක් ප්‍රකාශ කර තිබිය දී විශේෂයෙන් ජනමාධ්‍ය සදහා, සිය මාධ්‍ය කටයුතු සිදුකල යුතු ආකාරය ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සැලකිය යුතු කරුණු ගණනාවක් ඇතුලත් මාධ්‍ය මාර්ගෝපදේශන මාලාවක් ප්‍රසිද්ධ කලේය. එහි මෙසේ සදහන් වෙයි. ‘…………. තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම්ව වාර්තා කරන්න. පෞද්ගලික මත සමාජ ගත කිරීමෙන් වලකින්න’

දැන් විමසුම් ඇසින් මේ දෙස බලන්න. ලෝකයේ කිසිදු පිළිගත හැකි, නිළ ආයතනයක් මෙම නව කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබද නිශ්චිත සදහනක් කර නැත. (යම් සදහනක් කර ඇතත්, එය ඇතිවූයේ වල්ගා තරුවල බලපෑමෙන් යැයි කොතනකවත් කියා නැත) එසේම, වෛරසය ‘මෙම දිනයෙන් අවසන් වනවා’ යැයි කිසිවෙක්, කෙදිනකවත් කියා නැත.

එම තත්ත්වය තුළ, මංජුල පීරිස්, දෙරණ රූපවාහිණියට පැමිණ කියන්නේ, අමූලික බොරු ය. කිසිදු ආකාරයක වෛද්‍ය විද්‍යාත්මක හෝ තාක්ෂණික තොරතුරු නොවේ. එසේම මේ නොමග යවන අදහස් තුළින් මේ වන විට අප සමාජයක් ලෙස පත්වී ඇති අවධානම් තත්ත්වයට අහිතකර බලපෑමක් එල්ල විය හැකිය. නමුත්, ඔවුන් කිසි වෙකුටවත්, ඒවා ගැන කිසිදු අවශ්‍යතාවයක් නැති සේයකි. ඒ තරමට අවධානම් තත්ත්වය තුළ පවා සිය නරුමකම මහ දවල් ප්‍රදර්ශණය කරමින් සිටී.

‘දෙරණ’ රූපවාහිණිය සහ මහජනයා

අවශ්‍ය නම්, මංජුල පිරිස්ට ඔහුගේ හිතලුව හෙවත් මිත්‍යාව ඔහුගේ ගෙදර ඇතුලේ කියා ගන්නට පුලුවන. නැතිනම්, ඔහුගෙන් ගල්පැලෙන කෙබර අසන්නට දහස් ගණන් මුදල් දී එන, මිත්‍යාවන් විශ්වාස කරන අහිංසක අනුගාමිකයන්ට කියන්න ට පුලුවන. මන්ද, මිත්‍යාව විකිණීම ඔහුගේ ජීවනෝපාය නිසාය.

නමුත්, මහජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින්, සිය මාධ්‍ය කටයුතු සිදුකරන කිසිදු රූපවාහිණී නාලිකාවකට, විශේෂයෙන් මෙවන් සංවේදී අවස්ථාවක, සෞඛ්‍ය සම්බන්ධ රාජ්‍ය ආයතන විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් උල්ලංගනය කිරීමට නොහැකිය. නිළ ආයතන මගින් දී ඇති උපදෙස්වලට විරුද්ධව කිසිවක් කළ නොහැකිය. එබැවින්, මංජුල පීරිස්ගේ බොරු, මිත්‍යාවන් දෙරණ රූපවාහිණිය විසින් මෙසේ ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින්, හිතාමතාම විකාශය කිරීම ජනතාව නොමග යැවීමකි. පදනම් රහිත, මිත්‍යා, අසත්‍ය කරුණු සමාජගත කිරීමකි. එමනිසා එහි ඇත්තේ නරුමබවක් මිස අන්කවරක් නොවේ. එසේම එය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, මාධ්‍ය සදහා නිකුත් තළ මාර්ගෝපදේශන අමු අමුවේ උල්ලංගනය කිරීමකි. එසේම, ‘දෙරණ’ රූපවාහිණියට ආචාරධර්ම පිළිගැනීමක් හෝ සමාජ වගකීමක් නැති බවට එහි එක් ප්‍රකාශකයෙක් ගේ මුවින්ම කියැවෙන විඩියෝවක් පසුගිය දා කලම්බුටෙලිග්‍රාෆ් සමාජ මාධ්‍ය වෙත් මුදා හැරියේය. බලන්න.

‘දෙරණ’ ගැන මොන කතාද? යැයි සමාජ ජාල පරීශිලකයෙක් ලියා තිබිණි. නමුත් අප සැලකිය යුතු ප්‍රධාන ‘දෙයක්’ වන්නේ දෙරණ රූපවාහිණිය භාවිතා කරන ‘සංඛ්‍යාත’ දෙරණ අයිතිකරුගේ පුද්ගලික බූදලයක් නොවන බවය. එවා අයිති මහජනායට බවය. එබැවින් ඒ පිළිබද විමසීමට සහ විචාරයට මහජනයාට අයිතියක් තිබෙන බවය.

පොලීසිය සහ අසත්‍ය පුවත්

අන්තර්ජාලය තුළ, සමාජ මාධ්‍ය ජාලවල අසත්‍ය පුවත් පළ කලා යැයි මේ වන විට 16 දෙනෙක් අත්අඩංගුවට ගත් බව අද පොලීසිය නිවේදනය කළේය. දැන් දෙරණ රූපවාහිණිය විසින් සෞ.අධ. ජනරාල්ගේ මාධ්‍ය පිළිබද මාර්ගෝපදේශ උල්ලංගනය කරමින්, අවිද්‍යාත්මක, අසත්‍ය, මිත්‍යා අදහස් සිය වෙබ් අඩවියේත් පළ කරනු ඇත. එසේ නැතිනම් ඔවුන්ගේ වෙබ් අඩවියේ අදාළ වැඩසටහන සජීවි ව විකාශණය වී ඇත. දැන් පොලීසිය මේ අසත්‍ය අදහස් ප්‍රචාරය කල එම ආයතනයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. නමුත් මේ වන තුරුත් එවැනි මාධ්‍යක අසත්‍ය, වෛරී අන්තර්ගතයන් සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වී නැත. එයින් කියැවෙන්නේ, එැවැනි මාධ්‍ය ආයතනවල, මෙහෙයවන්නන් විසින් ‘ගහන්න ඕන’ ආකාරයේ ප්‍රකාශ සිදුකලත්, සමාජ මාධ්‍ය පරිශීලකයන්ට බලපාන නීතිය, ඔවුන්ට බලනොපනේනේ, ඔවුන් සිටින්නේ නීතියට උඩින් නිසා ද යැයි කවුරුන් හෝ ඇසුවහොත්, දෙනු ලබන පිළිතුර කුමක්ද? පොලිසිය ඇතුලු නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිතුරු දිය යුතු ප්‍රශ්ණය එයයි.

එහි අනෙක් කරුණ වන්නේ දෙරණ විසින්, මංජුල පීරිස් නැමැත්තාගේ එම අදහස විකාශය කල පසු වෙබ් අඩවි ගණනාවක් එම අදහස ප්‍රවෘත්තියක් සේ සිය වෙබ් අඩවිවල පළ කර ඇත. දැන් ඒවා පවතින්න්නේ අන්තර්ජාලය තුළය. අන්තර්ජාලය තුළ වන සමාජ මාධ්‍ය අවකාශයේ ය. දැන් එම අසත්‍ය, මිත්‍යා අදහස්, සමාජ මාධ්‍ය තුළ ‘ප්‍රවෘත්තියක්’ සේ නැවත පළ වි තිබේ. එම නිසා දැන් රූපවාහිණියට අමතරව, වෙබ් අඩවි සහ සමාජ ජාල පරිශීලනය කරන ඇතැම් ජනයා, නැවතත් ඒ අසත්‍ය, මිත්‍යා ප්‍රකාශ නිසා නොමග යැවෙන තත්ත්වයක් උදා වී තිබේ. එම නිසා, අසත්‍ය පුවත්, අදහස්, පළ කලා යැයි කියමින් අත්අඩංගුවට ගත් සමාජ ජාල පරිශීලකයින් සදහා ක්‍රියාත්මක වූ නීතිය, මෙම අසත්‍ය/මිත්‍යා අදහස, පුවතක් ලෙස පළකල සියලු මාධ්‍ය වෙත යොමුවනවා දැයි සමාජ වගකීමක් ඇති පුරවැසියන් අවධානයෙන් බලා සිටිනු ඇත.

‘වදුරන් අතට දැලි පිහිය ගියාම වදුරාත් කපාගන, අනිත් උනුත් කපන්න උත්සහා කරනවාලු, වදුරා කපා ගත්තාට අපට කම් නැත. නමුත් ‘වදුරාට’ අනිත් උන් නැතිනම්, සමාජය කැපීමට ඉඩ නොදිය යුතුමය’

කෙසේ නමුත්, දෙරණ රූපවාහිණිය විකාශය කළ මේ අසත්‍ය මෙන්ම මිත්‍යා අදහස පිළිබද, දැනුවත් සහ සමාජ වගකීමකින් යුතු සමාජ ජාල පරීශිලකයින්ගේ දැඩි විවේචනයට ලක්විය.

පහත පළවන්නේ එයට උදාහරණ කිහිපයකි. [පිංතූරය විශාල කර බැලීම සදහා ඒ මත Click කරන්න]

සම්පත් සමරකෝන් | Sampath Samarakoon