iMage: thomsonfoundation.org

කොරෝනා වසංගතය විසින් අප පොදුවේ ගත කරමින් සිටි සම්ප‍්‍රදායික සාමූහික ජීවන රටාව කුටුම්භගතකරණය කර තිබේ. සාමූහික ජීවන ක‍්‍රමයක් ගත කිරීමේදී ‘අනෙකාගේ’ (මෙහි අනෙකා යනු පවතින රාජ්‍ය ක‍්‍රමය දක්වා ව්‍යාප්ත කළ හැකි පළල් අදහසක් සේ ගත යුතුය.) ජීවන ක‍්‍රියාවලියේ සැබෑව වෙත ගමන් කිරීම පහසුය. ඒ පහසුව මේ මොහොතේ අපට නැති වීම අවාසියකි. පුරවැසියාගේ කෝණයෙන් ගත් විට රාජ්‍ය ක‍්‍රමයක් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය මූලික කොන්දේසියක් ලෙස සැළකිය හැකි මුල් -සත්‍ය තොරතුරු වෙතට ළගාවීමේ අවස්ථාවේ වාසිය ද මුළුමනින්ම අපට නොලැබෙයි.

ඒ අර්ථයෙන් මේ මොහොතේ රාජ්‍ය යනු සමාජ අන්තර්ගතයන්(Social Contents) තුළ අනේකවිධ අර්ථ නිරූපන, හැදින්වීම් හා සාධාරණිකරණයන් උත්පාදනය කරන්නා ය. ලූවී අල්තුසර් හා අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි නිරීක්ෂණය කර ඇති පරිදි කොන්දේසි අවම තීරණාත්මක අවස්ථාවලදී පවතින ක‍්‍රමය කල්පවත්වා ගැනීමට රාජ්‍යයට උදව් දීම ධනපති මාධ්‍යයේ කාර්යයි. ඒ අර්ථයෙන් රාජ්‍ය උත්පාදනය කරන අන්තර්ගතයන් සමාජය තුළ වේගයෙන් බෙදාහරිමින් තිබෙන්නේ මාධ්‍ය විසිනි. එහිදී රාජ්‍ය උත්පාදනය කරන දේ නව අරුත්ගන්වන්නා, වැඩිකොටදක්වන්නා, සාටෝපීය හෝ භාවතිශය ස්වභාවයෙන් කුපිත කරවන්නා මාධ්‍ය වෙයි. කොරෝනා ගෝලීය වසංගතය කරණ කොටගෙන ඇතිවී තිබෙන නව තත්වය හේතුවෙන් රාජ්‍ය විසින් පොදුවේ සකසන ලදුව මාධ්‍ය විසින් ආන්තීකරණය කරන ලද නව අන්තර්ගතයන් නිර්මාණකරණ කාර්යයට බලපෑම් කිරීමේ සමාජීය හැකියාව(Social Capacity) සමාජ පරිමණඩල වෙතින් වේගයෙන් ඈත්වෙමින් තිබේ.

සමාජයට අවශ්‍ය තොරතුරු ලබා දී පුරවැසියා සක‍්‍රීය දේශපාලන ක‍්‍රියාකාරිකයෙක් බවට පත් කිරීමේ සම්ප‍්‍රදායික මාධ්‍ය භූමිකාව මෙන් නොව සමාජ අවකාශයේදී රාජ්‍ය අභිලාෂයන් හා ව්‍යංගයෙන් බැදුණු මාධ්‍ය විසින් නිරූපනය කරන සංකීර්ණ භූමිකාව තේරුම්ගැනීම පහසු නැත. මෙම ලිපිය මගින් කොරෝනා වසංගතය පාදක කරගනිමින් ශ‍්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මගින් ගොඩනගන ලද්දා වූ මූලික ආඛ්‍යානය සොයා බැලීම තුළින් ඉහත සංකීර්ණ මාධ්‍ය භූමිකාව තේරුම් ගැනීමට කිසියම් ආලෝකයක් ලබාදෙයි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයෙන් කෝවිඞ් 19 පුවත් වාර්තාකරණය සදහා විශේෂ ආචාරධර්ම පද්ධතියක් (අංක:1 රූපසටහනෙන් දැක්වේ.) හදුන්වා දී තිබේ. තෝරාගත් සිංහල භාෂා පුවත්පත් තුළ අප්‍රෙල් 1 දා සිට 30 දක්වා දක්වා කාලසීමාව තුළ එම නිර්දේශයන් උල්ලංඝනය කෙරී තිබෙන වාර ගණන පහත අංක 2 ප‍්‍රස්තාරය මගින් දැක්වේ. මෙහිදී සිද්ධි හා සිද්ධි මවන්නා වූ ක‍්‍රියාකාරකම් විවිධාකරයෙන් නිරූපනය කිරීම සදහා ජනප‍්‍රිය ධාරාවේ මුද්‍රිත මාධ්‍ය, විෂය මූලික ප‍්‍රවෘත්ති ආවරණ කාර්යයෙන් බැහැරට ගෝස් ආඛානකරණය වෙත යොමුවෙමින් තිබීමේ ප‍්‍රවණතාවයක් පොදුවේ දක්නට ලැබේ.

මාධ්‍ය විසින් නිර්මාණය කරන්නා වූ චරිත හා සිදුවීම් දේශහිතෛෂී-දේශද්‍රෝහී, රාජ්‍ය හිතකාමී-රාජ්‍ය විරෝධී ප‍්‍රජාතන්ත‍්‍රවාදී-ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යුගල ප‍්‍රතිපක්ෂ (Binary Opposition) ස්වරූපය ගන‘. සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ නිර්මාණාත්මක හා භාවාත්මක සාහිත්‍ය ක්ෂේත‍්‍ර තුළ යුගල ප‍්‍රතිපක්ෂ නිර්මාණය කිරීම මගින් (වීරත්වට එදීරිව දුෂ්ටකම) සහෘදාකර්ෂණය පවත්වාගන්නා බවයි. මාධ්‍යයට ආඛ්‍යාන නිර්මාණය කළ නොහැකි අතර ප‍්‍රවෘත්ති වාර්තා කිරීමෙන් ඔබ්බට ගොස් ආඛ්‍යාන කාර්යයට යොමුවන්නේ රාජ්‍යට අවශ්‍ය ආන්තීකරණය වූ දේශපාලන නිෂ්පාදන ක‍්‍රියාවලියකට යෝමුවීමත් සමගය‘.

කොරෝනා මර්දන විෂයේදී ශ‍්‍රී ලංකා රාජ්‍ය ‘සමත් රාජ්‍යක්’ ලෙස පින්තාරු කිරීමට බොහෝ මාධ්‍ය (විද්‍යුත් හා මුද‍්‍රිත) ඇමරිකාව, ඉතාලිය, බ්‍රිතාන්‍ය හා ස්පාඤ්ඤය වැනි එම විෂයෙහි දැඩි අසමත්කමක් ප‍්‍රදර්ශනය කරන සුපිරිමත් රාජ්‍යයන් නිදර්ශනයට ගනිමින් සිටී. එමගින් තුලනාත්මක සංසන්දනයන් නිර්මාණය කරමින් සිටී. මෙම කරුණ සනාථ කිරීම සදහා 2020.03.01 සිට 2020.04.21 දක්වා මෙරට ජනප‍්‍රිය ධාරාවේ ප‍්‍රධාන පුවත්පත් කිහිපයක් ‘ලංකා රාජ්‍ය’ හා ‘වෙනත් රාජ්‍යයන්’ උදුරා දක්වමින් නිර්මාණය කළ ප‍්‍රධාන හා අනු සිරස්තල කිහිපයක් පහතින් දැක්වේ.

ලංකා රාජ්‍යය

කොරෝනා අවධානම ඉවරය. (ලංකාදීප, 2020.04.18)
අපි හරි බව ලෝකය තේරුම් ගනියි. (දිනමිණ, 2020.03.31)
කොරෝනා මැඩලමින් ජනතාවට සහන රැසක්. (සිළුමිණ, 2020.03.29)
අනතුර පාලනය කළා ඉතිරි ටිකත් ඉවර කරන්න ජනතා සහාය ඕනෑ. (මව්බිම, 2020.04.21)
මුතු ඇටයේ කෝවිඞ් සටන අතිවිශිෂ්ටයි. (අරුණ, 2020.03.30)

වෙනත් රාජ්‍යයන්

බ්‍රිතාන්‍ය ලොක් ඩවුන් (අරුණ, 2020.04.04)
ජර්මන් ප‍්‍රාන්ත මුදල් ඇමති කොරෝනා ආර්ථික අර්බූද් මැද දිවිනසාගනී. (මව්බිම, 2020.04.10)
තමන්ගෙන් වෛරසය බෝවේ යැයි ඉතාලි හෙදියක් දිවිනසා ගන. (අරුණ, 2020.04.02)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමුතු මත හා මුඛ ආවරණ දෙගිඩියාව. (අරුණ, 2020.04.02)
කොරෝනා බෝ කළේ චීනයද? ඇමරිකාවද? (දිවයින, 2020.03.01)
ස්වීස්වලින් ආපු දේවගැති සාතන් (මව්බිම, 2020.04.05)

පොදුවේ උක්ත පුවත්පත් සිරස්තල අන්තර්ගතයන් සියුම්ව විමසීමේදී එම පුවත්පත් විසින් ගොඩනැගීමට තැත් කරන ආඛ්‍යානයේ යුගල ප‍්‍රතිපක්ෂය පහත ආකාරයට ව්‍යුත්පන්න වේ.

ලංකා රාජ්‍ය ———— වෙනත් රාජ්‍යයන්

සෘජු නායකත්වය ———— දුර්වල නායකත්වය
නිවැරදි තීරණ ගත් ———— නිවැරදි තීරණ නොගත්
ජනතාවට සමීප ———— ජනතාවගෙන් දුරස්ථ
අභියෝග ජයගත් ———— අභියෝග ජයනොගත්
සාර්ථක ———— අසාර්ථක

ලෙවි ස්ට‍්‍රවුස් නැමැති සමාජ-මානව විද්‍යාඥයා දක්වන ආකාරයට ආඛ්‍යානවේදයේ මූලික ස්වරූපය යුගල ප‍්‍රතිපක්ෂ මත රදා පවතී. ලෝක ව්‍යවහාරයේ පොදු දැනුම අනෙන්‍ය වශයෙන් ප‍්‍රතිපක්ෂ යුගල් වලට බෙදමින් ලෝකය තේරුම්ගැනීමට මිනිසාට සහාය වීම යුගල ප‍්‍රතිපක්ෂ ක‍්‍රමයේ මූලික කාර්යභාරයයි. ස්ට‍්‍රවුස් නිගමනය කරන ආකාරයට ලොව දැනුම හොද-නරක, යහපත්-අයපත්, සාර්ථක-අසාර්ථක ලෙස යුගල ප‍්‍රතිපක්ෂ වශයෙන් බෙදා ලෝකය පිළිබද මිනිසාගේ අවබෝධය ව්‍යුහගත කරගනී. ඉහත මාතෘකා දෙක අනුව මෙසේ ප‍්‍රතිවිරුද්ධ ලක්ෂණ එකතු කළ විට ‘වෙනත් රාජ්‍ය’ පාර්ශවයට සෘණ ලක්ෂණ වැඩි වීමක් දක්නට ලැබේ. මෙම චක‍්‍රය තවත් වර්ධනය කළ විට එහි ආන්තික ප‍්‍රතිඵල යහපත් රාජ්‍යයට එරෙහිව අයපත් රාජ්‍ය නිර්මාණය වේ.


මාධ්‍ය විසින් ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දන සාර්ථකත්වය නැමැති සිය ආඛ්‍යානය ගොඩනගැගීමේදී නිරුත්සාහකවම වෙනත් රටවල් අසාර්ථක හා අයහපත් තැනකට තල්ලු වේ. මෙහිදී මාධ්‍ය කොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබද ගොඩනගන ලද ආඛ්‍යානය සාමාන්‍ය පොදුජන සමාජයට මතු කරගැනීමට සිදුවන්නේ කොරෝනා මර්දනයේදී බැරෑරුම් ලෙස අසාර්ථක වෙමින් පවතින ප‍්‍රතිවිරුද්ධ අන්තයේ රටවල් සමග සාපේක්ෂ සන්සන්දය කිරීමකිනි. සාමාන්‍යයෙන් යම් වස්තුවක් ඊට ප‍්‍රතිවිරුද්ධ දෙයක් සමග එකට තැබීමේදී (සංසන්දනයෙන්) එම වස්තුවේ ස්වභාවය අප තෙරුම්ගන්නේ ඊට ආවේණික නියම ස්වරූපයෙන් නොව ඊට ප‍්‍රතිවිරුද්ධ ස්වරූපයෙනි. පවතින කොරෝනා තත්වය උදාහරණයකට ගෙන උක්ත කරුණ තවත් පැහැදිළි කළහොත් ලංකාව සාර්ථක රටක් ලෙස යමෙකු තේරුම්ගන්නේ සැබැවින්ම ලංකා රාජ්‍ය ලබාගෙන ඇති සාර්ථකත්වය මත නොව ඇමරිකාව වැනි වෙනත් රටක් අසාර්ථක වූ ආකාරය ගැන තුලනාත්මක විග‍්‍රහයකිනි.


ඉහත සිරස්තල දෙස නැවැත හැරී බැලූවොත් ඒවාට සමගාමීව ඉදිරිපත් කෙරෙන විස්තර කරුණු හරිහැරි සොයා නොබලා වාර්තා කර ඇති බව පෙනේ. නිදසුනක් ලෙස ‘කොරෝනා අවධානම ඉවරයි’ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපුටා දක්වමින් ලෙස සකසා තිබූ සිරස්තලය ඉන් දින දෙකකට පසුව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් නිවැරදි කර තිබුණි. එසේම එය මාධ්‍යවේදයේ අතිමුඛ්‍ය කාර්භාරය වන තොරතුරු වාර්තාකිරීමේ ගුණයට ද පටහැනිය. මෙහිදී සිදුවී තිබෙන්නේ කලා නිර්මාණයක සිදුවිය යුතු ආකාරයේ ප‍්‍රබන්ධ නිර්මාණයයි. එනම් තම තමන්ගේ අභිමතය පරිදි වීරයා හා දුෂ්ටයා නිර්මාණය කිරීමේ සුපුරුදු ආඛ්‍යානයයි.

අවසන් වශයෙන් ලෙවි ස්ටුවර්ස් ප‍්‍රාථමික සමාජ පිළිබද සිය අත්දැකීම් අනුසාරයෙන් අඛ්‍යානයක කාර්යභාරය පිළිබද කරන විග‍්‍රහය මෙහිදී වැදගත්ය. මානව අත්දැකීම්වල ඇති පරස්පර විරෝධනයන් බේරුම් කරගැනීමට ආඛ්‍යාන යෝදාගන්නා බව ඔහුගේ මතයයි. මෙහිදී කොරෝනා වසංගතය හේතුවෙන් අප ගෙවමින් සිටින ජීවිතයේ ඇති වී තිබෙන පරස්පර විරෝධයන් දෙස අවධානය යොමු කළ හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනුවෙන් අප ශිෂ්ටාචාරිකව හදුනගන්නා දෙය ශීඝ‍්‍රයෙන් දෘඩ අධිකාරිවාදය වෙත ඌනනය වීම, ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයයේ වැදගත් අංශ අකර්මන්‍යව තිබෙන මොහොතක පුරවැසිභාවය රැකගැනීම වෙනුවෙන් ගත් යුතු මග තීරණය කරගැනීම, ජනප‍්‍රියවාදී හා බහුතරවාදයේ ඉල්ලීම්වලින් පිටත අක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රදවා ගැනීම මේ මොහොතේ ඇතිවී තිබෙන පැහැදිළිව පෙනෙන පරස්පරයන් ය. අඛ්‍යාන විසින් පුරවැසියා හා දේශපාලන සංස්ථාපිතයන් අතර ඇතිවී ඇති මෙම පරස්පර විරෝධය ස්වභාවික පැවැත්මේ ම වැදගත් කොටසක් දක්වන අතර පරස්පර විරෝධයන් යටතේ ජීවත් වීමට පුරවැසියා පොළඹවයි. ඒ අනුව ආඛ්‍යානවාදය යථා ලෝකය තුළ අප මුහුණ දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි ප‍්‍රශ්න සාර්ථකව නොවිසදන අතර සංකේතාත්මකව හා තාවකාලික පැලැස්තර යෝජනා කරයි. ඒ නිසාය කොරෝනා අවධියක මාධ්‍ය ආඛ්‍යාන භාවිතය පිළිබදව බරපතල ලෙස සැළකිය යුත්තේ!

ධනුෂ්ක සිල්වා | Dhanushka Silva