iMAGE: AP Photo | John Minchillo

මේ දවස් වල ඇමරිකාව පුරා පැතිරී යන වර්ගවාදයට එරෙහි විරෝධතා නිසා ලංකාවේ ඉන්න මගේ හිතවතියක් මට එවා තිබුණ කෙටි පණිවිඩයක ලියා තිබුනේ : “පරිස්සමට ඉන්න, ඔහේ ඔක්කොම ගිනි තියනවා නේද කළු මිනිස්සු?” කියායි. මම මේ සටහන ලියන්නේ ඒ කෙටි පණිවිඩයට පිළිතුරක් විදියට.

ඇමරිකාවේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේ වුනත් මනුස්සයෙක්ගේ හමේ පාට, කතා කරන භාෂාව, අදහන ආගම, සමාජ පංතිය, ගැහැණුද පිරිමිද, සම ලිංගික ද විෂම ලිංගික ද  මේ වගේ නොයෙකුත් දේ නිසා මිනිසුන් හිංසනයට ලක් කරනවා නම්, ඒක හරිම පිළිකුල්සහගත දෙයක්. ඉතිහාසේ ඉදන් ලෝකයේ එක එක තැන් වලින් සුළුතර ජනතාව පීඩනයට පත් කරපු අවස්ථා අපි කියවලා තියෙනවා. දැන් හැමෝගෙම අතේ තියෙන ස්මාට් ෆෝන් එකට පිංසිද්ධ වෙන්න මේ විදියට මිනිස්සු හිංසනයට ලක් කරන ඒවා වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදා හරින නිසා, සමාජ මාධ්‍යජාලා හරහා ඒවා හුවමාරු වන නිසා අපි වෙනදාට වැඩිය මේ සිදුවීම් දකිනවා .

පසුගිය දිනක සුදු පොලිස් නිලධාරියෙක් විසින් ගෙළ සිරකර මරණයට පත් කළ 46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ කතාව ලොව පුරා මිනිස්සු කම්පනයට පත් කළ කතාවක්. මීට පෙර නිදා සිටියදී, ඇවිදිමින් සිටියදී, නිරායුධව සිටියදී, වර්ගවාදී හිංසනය නිසා කුරිරු ලෙස මරා දැමූ ජෝර්ජ්,බ්‍රියනා, අහමඩ්, එරික්, සැන්ඩ්‍රා මයිකල් වගේ සිය ගණනක් මිනිසුන් වෙනුවෙන් අද මිනිස්සු පාරවල් වලට බැහැලා ප්‍රචණ්ඩකාරී විරෝධතා වල නිරත වෙන්නේ මේ විදියට කළු මිනිස්සු මරා දමන පොලීසියට, ඒවාට අනුබල දෙන බලධාරීන්ට විරුද්ධව විතරක් නෙවෙයි කුමන අයුරකින් හෝ මනුස්සයෙකුගේ අනන්‍යතාවය පදනම් කරගෙන මනුෂ්‍යත්වයට එරෙහිව කරන හිංසනයට, ප්‍රචණ්ඩත්වයට විරුද්ධවයි.

වර්ගවාදය මොනතරම් ලෝකේ සාමාන්‍යකරණය  වෙලාද කියනවා නම්, ඉතාමත් සුහඳ කතාබහකදී පවා සැඟවුණු එහෙමත් නැතිනම් යටපත් කරන් ඉන්න වර්ගවාදී අදහස් නොදැනීම එළියට එන්න පුළුවන්. 2018 ලංකාවෙන් ඇමරිකාවට ඉගෙන ගන්න ආපු කෙනෙක් නිව් ජර්සි වලදී හමුවුණා. එයා ෆිලඩෙල්ෆියා වල වැඩමුළුවකට ගිහින් තමයි නිව් ජර්සි වලට ආවේ. කොහොමද ඒ අත්දැකීම කියලා අහනකොට එයා කිව්වේ “අම්මෝ එහෙ ඉන්නෙම කළු මිනිස්සු. බය හිතෙනවා. මට හිතාගන්න බැරිවුණා මම ඉන්නේ ඇමරිකාවේද? එයාලගේ රටේද කියලා”. මේක අහපු අපිට ඇති වුනේ මහා ලොකු තැතිගැස්මක්, වේදනාවක්.

වර්ගවාදය සුදු කළු භේදයට එහා ගිය දෙයක්. මට මතකයි අපි නිව් ජර්සි වල ඉන්න කාලේ අධ්‍යාපන වැඩමුළුවකට සහභාගී වෙන්න මම වොෂින්ටන් DC ගියා. මම ගියේ මට බොහොම හිතවත්, නිව් ජර්සි වල විශ්ව විද්‍යාලයක වැඩ කරන සුදු ජාතික ඇමෙරිකානු ආචාර්යවරියක් සමඟ. අපි නැවතිලා හිටියේ වොෂින්ටන් වල ඇයගේ නෑදෑයෙකුට අයිති ගෙදරක. ඒක මහල් නිවාස සංකීරණය තියෙන්නේ. අපි කිහිපවතාවක් එළියට ගියා ඇතුළට ආවා. ඒ නිවාස සංකීර්ණයේ පිළිගැනීමට සහ දොරටුව විවෘත කරන්න හිටපු දෙදෙනාම බොහොම සුහදව කතා කරා. “කොහොමද? අද දවස හොදයිද?, සුභ දවසක් “ මේ වගේ සුහද වචන වලින් අපිට කතා කළා. එකම එක වෙලාවක මම කෝපි එකක් ගේන්න තනියම එළියට ගිහින් එනකොට අර වෙනදා සුහදව කතා කරපු දෙදෙනාම මාව නවතා මම යන්නේ කොහෙද? ඇයි? කා සමගද ඉන්නේ වගේ ගොඩක් ප්‍රශ්න අහල මගේ නම ඔවුන්ගේ පොතේ තියෙනවද බලනකන් මට යන්න දෙන්න බෑ කිව්වා. ඒ වෙලාවේ මට බය හිතුනා. හැබැයි මම ඇහුවා මම මගේ මිතුරිය සමග උදේ එළියට යනකොට ඔයා හොඳට කතා කරා නේද? ඇයි දැන් මාව නවත්තන්නේ කියලා. මේක හැමෝටම එහෙම යන්න එන්න පුළුවන් තැනක් නෙවෙයි වගේ එක එක කතා කිව්වා. මගේ නම අමුත්තන්ගේ පොතේ තියෙනවා කියල පස්සේ මට යන්න කිව්වා. මේ සිද්ධිය කෙනෙක්ට හිතෙන්න පුළුවන් පොඩි දෙයක් කියල. ඒත් මේක හරිම බරපතල තත්වයක්. මේක සිදුවෙලා පැය දෙකකට විතර පස්සේ අපි නැවත එළියට ගියා. එවිට මාව ප්‍රශ්න කරපු නිළධාරියා මගේ මිතුරියට කිව්වා උදේ වුන දේ ගැන සමාවෙන්න අපිට එච්චර ගානක් ගියේ නෑ මෙයා ඉන්නේ ඔයා එක්ක කියල. මේක අහපු මගේ මිතුරියට  බොහොම කේන්ති ගියා. ඇය කිව්වා සමාව ගන්න ඕනි මගෙන් නෙවෙයි මෙයාගෙන්. මෙතන හම සුදු ද නැද්ද කියල බලල ඇතුළට ගන්න තැනක්ද? මේ විදියට පොඩි බහින් බස් වීමක් සිදු වුණා. ඒ සිද්ධිය එතනින් ඉවර උනා. අපි එදා හවස්වරුවම ඇමරිකාවේ දිනපතා මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන මිනිස්සු ගැන ඒවා සාධාරණීකරණය කරන, ඒවාට උඩගෙඩි දෙන පාලකයෝ ගැන කතා කරා.

මගේ අදහස දෙමල්ලු, තම්බි, මරක්කලයෝ කියල ලංකාවේ බහුතරය වන සිංහල බෞද්ධ මිනිස්සු සුළුතර ජන කොටස් පහත් කරලා අපහස කරලා වෙනස් විදියට සළකනවා වගේම තමයි ඇමරිකාව වගේ රටවල් වල හමේ පට අනුව කතා කරන විලාසය අනුව මිනිසුන්ට එක එක විදියට සලකන්නේ. පොඩි වරදටත් (වරදක් කරත් නැතත් නීතිය හමුවට ගේන්නත් කලින්) මැරෙනකන් වද දීලා මරන්නේ. මේක සුදු මිනිස්සුන්ගේ රට කියනවා වගේම භයානක නැද්ද මේක සිංහල බෞද්ධයාගේ රට කියන එක? යමෙක් උපන් රට මව්රට නම් ලංකාවේ ඉපදුන සිංහල බෞද්ධ නොවන කෙනෙක් මගේ රට කියන්නේ කොයි රටටද?

ප්‍රියංකා ගුණරත්න | Priyanka Gunarathne