හිජාස් හිස්බුල්ලා මගේ බාල සොහොයුරා ය. අගෝස්තු 25 වැනි දිනට එළඹුණු ඔහුගේ 40 වැනි උපන්දිනය ඔහුට ගත කිරීමට සිදු වුයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට අභූත චෝදනා එල්ල කරමින් අයුතු ලෙස අත්තඩංගුවට පත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේදී ය.

හිජාස් පිළිබඳව මට ඇති පැරණිතම මතකයන් අතර බොහොමයක් කළුබෝවිල සිට වාසස්ථානය මාරු කර පැමිණීමෙන් පසු අපි පදිංචිව සිටි ගල්කිස්සේ පිහිටි නිවස හා බැඳී ඇත. හිජාස් දරුවන් තිදෙනෙකුගෙන් යුත් අපේ පවුලේ බඩපිස්සා විය. අපි තිදෙනා අතර වයස් පරතරය ඉතා අවම වූ බැවින්, අපි අපේ ගෙඋයනේ පැයගණන් සෙල්ලම් කරමින් කල්ගත කළෙමු. අපේ වැඩිමල් සොයුරිය ආදර්ශයට ගෙන කටයුතු කළ ඔහු, ඇය සඳහා කළ එක් උපන්දින සුබපැතුමක දී ඇයව නිහඬ වීරවරියක් ලෙස නම්කර තිබූ බැව් මට මතක ය. කොල්ලන් වූ නිසාවෙන්ම, හිජාස් සහ මම එකිනෙකා හා සහයෝගයෙන් හවුලේ කටයුතු කළෙමු.

අපේ සෙල්ලම් බොහෝවිට රොබින් හුඩ් පිළිබඳ කථාන්තර ආභාෂයට ගත් අතර, ගෙඋයන පුරා දිවයමින්, දුනු-ඊතල විදිමින්, සෙල්ලම් කළෙමු. මා සමඟ බොහෝ අවස්ථාවල දී කරට කර සිටිය නොහැකි වුවත්, නිතර තාප්ප උඩට නගිමින්, එහාමෙහා පනිමින් සිටි මගේ හවුල්කාරයා සහ අත්උදව්කාරයා වූයේ හිජාස් ය. නමුත් තවදුරටත් සිය උත්සාහය ඊට යොදවනවා විනා, ඒ කිසිවක් නිසා ඔහු සැලුනේ නැත, එම ගුණාංගය ඔහු තුළ තවත් වසර ගණනාවක් පුරාවට අඛණ්ඩව පැවතුණි. හිජාස්ට සිය අරමුණු ඉටුකරගැනීම සඳහා වේදිකාවක් වූයේ රොබින් හුඩ් හරහා ඔහු ලබාගත් ඒ ආභාෂයයි. ඔහු හැදුනේ – වැඩුණේ ඔහු වටා සිටි මිනිසුන්ට උදව්-උපකාර කළ යුතු බවට දැඩි චේතනාවක් සිතෙහි දරමිනි (එපමණක් නොව, සතුන්ටත් ඔහුගේ උදව් ලැබුණි – මෑතකදී ඔහු අනතුරට පත්ව සිටි බළලෙකුව බේරාගත් අතර, ඉන් ඔහුගේ බළල්-ලෝලිත්වය ද තහවුරු විය). අපේ පාසල් කාලයේ එක්තරා අවදියක දී අපි දෙදෙනාම පරිසරය සංරක්ෂණය කිරීම ගැන උනන්දුවෙන් ඒ සඳහා දායකත්වය දැක්වීමට පටන් ගත්තෙමු. කොස්ගොඩ මුහුදු තීරයෙන් කැස්බෑ බිත්තර සොයාගන්නා අපි, ඒවා ආරක්ෂිතව ශා. තෝමස් විද්‍යාලයේ බිජු සුරැකුම් මධ්‍යස්ථානයට රැගෙන ආවෙමු. ඒ වන විට හිජාස්ගේ වයස වැඩිම වුවහොත්, දහයක් හෝ එකොළහක් වන්නට ඇත. ඒ කුඩා වයසේ දී ම ඔහු ඔහුගේ වගකීම් පිළිබඳව බරපතල ලෙස සැලකූවේය. සති අන්තයේ දී කැස්බෑ පැටවුන්ට ආහාර ලෙස නැවුම් මාළු ද රැගෙන ඔහුගේ පාපැදියෙන්ම පාසල වෙත ගමන් කිරීම සහ පසේ තෙතමනය හොඳින් රැඳී ඇති බව ද, ජලයේ ලවණතාව නියමිත ප්‍රමාණයට ඇති බව ද තහවුරු කරගැනීම ආදිය ගැන ඔහු අතිශයින්ම සැලකිලිමත් විය.

පරිසරයට, ඔහුගේ පාසලට සහ සමස්තයක් ලෙස ජීවිතයට ඔහු දැක්වූ ආදරය ක්‍රමක්‍රමයෙන් වැඩුණේය. පාසල් දිවියේ දී ම තමා අනාගතයේ දී කවරෙකු විය යුතුදැ’යි ඔහු අවබෝධ කොටගෙන තිබුණි. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ ඔහුට ඉතාම පහසුවෙන් ජීව විද්‍යා හෝ ගණිත විෂය ධාරාව තෝරාගත හැකිව තිබුණද, ඔහු කලා විෂය ධාරාව තෝරාගත්තේය. අපේ මුල්ගුරුතුමා අපගේ නිවසටම පැමිණ ඒ තීරණය ගැන ඔහුට බැණවැදුණු අතර, වෙනත් විෂය ධාරාවක් තෝරාගැනීමට පෙළඹවූවත්, ඉන් වෙනස් වූයේ හිජාස්ගේ තීරණය නොවේ. ඒ, තමන් නීතිඥයෙකු විය යුතු බව ඔහුගේ සිතට තදින්ම කාවැදී තිබුණු නිසා ය. අපේ පවුලේ කිසිවෙකුත් ඔහුව අධෛර්යමත් නොකළේ ඔහු සිය තීරණයට පදනම් වූ පසුබිම් අධ්‍යයනය නිවැරදිව සිදු කර ඇති බවට අප සතු වූ විශ්වාසය නිසාය. ඔහු සැමවිටම තීරණ ගත්‍තේ හොඳින් සිතාමතා, දැඩි අධ්‍යයනයක් කළ පසු ය. විවාද සහ කථන තරග සඳහා දැඩි ඇල්මක් දැක්වූ හිජාස්, තමන් සතු සහජ ප්‍රබල හැකියාවන් ඒවා බව හඳුනාගෙන සිටියේය; එම හැකියාවන් නීතිඥයෙකුව තවත් මුවහත් කරගතහොත් මිනිස් ජීවිතවලට දැඩි බලපෑමක් කළ හැකි අයෙකු ලෙස තමන්ට මං විවර වන බව ඔහු දැනසිටියේය. බාලදක්ෂයෙකු, ඉන්ටරැක්ට් සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු (එහි සභාපති ලෙස 1997 දී පත්විය) සහ ශිෂ්‍ය නායකයෙකු ලෙස හැකි සෑම අවස්ථාවකදී ම කෙනෙකුට උදව් කිරීමට හිජාස් දෙවරක් සිතුවේ නැත. සමාජීය ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාවලට ද සිය නොමසුරු දායකත්වය සැපයූ ඔහු, වෝටර්පෝලෝ ක්‍රීඩාවේ ශූරයෙකු විය. මා මෙන්ම ඔහු ද ප්‍රාථමික පාසල් අවදියේ සිටම පාසල නියෝජනය කරමින් පිහිනුම් කණ්ඩායමේ සාමාජිකත්වය දැරීය. 1994 වසරේ දී වයස අවුරුදු 14ක්ව සිටි හිජාස් පාසලේ වෝටර්පෝලෝ කණ්ඩායමට එක් වූ අතර, 2000 වසරේ හොංකොංහි පැවැත්වුණු තුන්වැනි ආසියා පැසිෆික් වෝටර්පෝලෝ ශූරතා තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ඔහුට හැකියාව ලැබුණි. එම වසරේදීම වෝටර්පෝලෝ ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකා වර්ණ දිනාගැනීමට හිජාස් සමත් වීම අප සියල්ලන්ටම මහත් ආඩම්බරයක් ගෙනදුන් බව මගේ මතකයේ ඇත.

හිජාස් යනු ඔහුගේ වැඩකටයුතු සහ ඔහුගේ අරමුණු පිළිබඳව පමණක් අවධානය යොමු කළ අයෙකු නොවේ. ඔහු විනෝදකාමී, තමන් කැමති දේවල් කරන්නට උත්සුක වන පුද්ගලයෙකි, එමෙන්ම ළමා කාලයේ දී මෙන්ම තමන් කරන-කියන දෑට අවධානය ලබාගැනීමට කැමති අයෙකි. පාසල් කාලයේදී ඔහු අසංග වැලිකල (වර්තමානයේ ආචාර්ය) වැනි සිසුන් ආදර්ශයක් ලෙස ගෙන කටයුතු කළේය. නමුත් ඔහුටම කියා වෙන් වූ තත්ත්වයක්, සම්මතයන් පවත්වාගෙන යාමට ඔහුට හැකිවිය. ඔහු සතු වූ එවැනි ඉහළ සම්මතයන්, සදාචාරයන් සහ සිතිවිලි නිසාම පවුල තුළ ඔහුට “අංකල් ජෝජ්” ලෙස නමක් ද පටබැඳුණු අතර, ඒ නම කියැවෙන වාරයක් පාසා ඔහු කේන්ති ගත්තේය. එලෙස අධි සම්මතයන් සහිත වීම නිසා අපි ඔහුව විහිළුවට ලක්කළද, බිම් මට්ටමේ මිනිසුන් සඳහා විය යුතු දේ නොපමාව, හැකි උපරිමයෙන් ඉටුකිරීමට ඔහු නොපැකිලි හා නොපසුබට විය. නීතිපති දෙපාර්තමේන්තුවේ අනුරාධපුර රජයේ නීතිඥ ධුරය භාරගත් වහාම, වසර ගණනක් තිස්සේ ඇදි-ඇදී තිබුණු අව-වරප්‍රසාදිත ගොවියන්ගේ නඩුකටයුතු වේගවත් කිරීමේ සිට, අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ ආදාහන පූජෝත්සවය සඳහා පැමිණ සිටියවුන්ට වතුර බෙදා දීම දක්වා, තමන්ට යමක් කළ හැකි සෑම අවස්ථාවක දී ම ඒ සඳහා ඉදිරිපත් වීමට ඔහු පැකිලුනේ නැත. අපේ මිතුරන් සමඟ සෑම නව වසර උදාවන සැන්දෑවකම විශේෂ දිව්‍ය පූජාවක් විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වූ අයුරු මගේ මතකයට එයි. එහි විශේෂත්වය නම් උදෑසන අපට පිරිනැමෙන අතිශයින්ම රසවත් ආහාරවේල යි. 2019 සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු උදා වූ මැයි මාසයේ දී සහෝදරත්වය පිළිබඳ පණිවිඩය බෙදාහැරීමේ වුවමනාවෙන් සිව් ආගම් නියෝජනය වන ලෙස ආගමික නායකයන් ද ගෙන්වා, රාමදාන් මාසයේ විශේෂ ඉෆ්තාර් සංග්‍රහයක් සිය පන්ති සගයන් සඳහා පැවැත්වීමට හිජාස් තීරණය කළේ ද ඒ ආභාෂයෙන් වන්නට ඇත. හිජාස් යනු එවැනි පුද්ගලයෙකි. බහු-සංස්කෘතික වටපිටාවක් සහිත වූ ක්‍රිස්තියානි පාසලක අධ්‍යාපනය ලද හිජාස්, සියලුම ආගම් නියෝජනය කළ පුද්ගලයන් හා සම්බන්ධතා පවත්වාගෙන ගිය අතර, ඒ කිසිවිටෙක ඔහු අන්තවාදී මතවාද නොදැරූ බව සහතිකය.

හිජාස් යනු නිකැලැල් වාර්තාවක් ඇත්තෙකි. ඔහු ස්වෝත්සාහී, එමෙන්ම තමන් කළ දේ නිවැරදිව සහ උපරිමයෙන් කළ කෙනෙකි. සිය මිතුරන් ද සමඟ නීති විද්‍යාලය නියෝජනය කරමින් නවසීලන්තයේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ පැවති මූට් උසාවි තරග සහ සේවාදායකයන් සඳහා උපදේශනය සැපයීම සම්බන්ධ තරගවලට සහභාගී වී, නොයෙක් සම්මානවලින් පිදුම් ලැබ, රටේ නම දිදුලවන්නට ඔහුට හැකියාව ලැබුණි. එමෙන්ම, නීති විද්‍යාලයේ දී හොඳම දක්ෂතා සඳහා වූ වෝල්ටර් ලද්දුවහෙට්ටි රන් පදක්කම මෙන්ම ජූරිය ඇමතීම සඳහා වූ හෙක්ටර් ජයවර්ධන අනුස්මරණ රන් පදක්කම ද දිනාගැනීමට ඔහු සමත් විය. නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් පසු ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණේය. ඔහු චිවනිං ශිෂ්‍යත්වලාභියෙකු ද වූ අතර, නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලන්ඩන් යුනිවර්සිටි කොලීජියෙන් හැදෑරුවේය. පුණ්‍ය ආයතන වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා සිය කථන හැකියාව පාවිච්චියට ගත් ඔහු, අව-වරප්‍රසාදිත ජනයා වෙනුවෙන් සිය හඬ අවදි කිරීමට ද එම හැකියාව යොදාගත්තේය. සිය නිජබිම වෙනුවෙන් ඔහුට ඇත්තේ අප්‍රමාණ ආදරයක් සහ ගෞරවයකි, එමෙන්ම රටේ ප්‍රතිසන්ධාන වැඩකටයුතු සඳහා ද ඔහු සිය දායකත්වය නොමසුරුව සැපයුවේය.

නිරන්තරයෙන්ම උද්‍යෝගීමත් චරිතයක් වූ හිජාස්, සැමවිටම පාහේ ‍යම් දෙයක් ගැන සැලසුම් කරමින් සිටි අයෙකි. සුළු නමුත් සිත ආනන්දයෙන් පුරවන උදාහරණයක් ලෙස පෙන්වාදිය හැක්කේ, නිවසේ ඊද් සැමරුම් සිදුකරන ආකාරය ඔහු විසින් සැලසුම් කරන ආකාරයත්, එය සියල්ලන්ටම විනෝද විය හැකි, සතුටුදායක දිනයක් බවට තහවුරු කිරීම සඳහා ඔහු දරන උත්සාහයත් ය. ඔහු සහ ඔහුගේ බිරිඳ එක්ව, මගේ වයස අවුරුදු 1 1/2ක් වූ බාලම දරුවාගේ සිට අපේ වයස අවුරුදු 19ක් වූ ඥාති දියණිය දක්වා වූ පවුලේ සියලුම දරුවන් වෙනුවෙන් විශේෂ තෑගි මිලට ගෙන කදිමට අසුරා තිළිණ කරති. ඒවා තෑගි දෙන විට ඔහු කදිමට හැඳපැළඳගෙන, නටමින් ගයමින් සියල්ලන් සතුටු කරයි. මෙවැනි සුළු දේවල් නිසාය අපි ඔහුගේ වියෝවෙන් තවමත් තැවෙන්නේ – විශේෂයෙන්ම මේ ඔහුගේ ජීවිතයේ සන්ධිස්ථානාත්මක උපන්දිනයක් වීම නිසා ය. මේ දිනය සතුට සහ විනෝදය පිරුණු දිනයක් විය යුතු වුවත්, දැන් අපේ පවුල නිරන්තරයෙන් දුකෙන් තැවෙන්නන් වී හමාරය. වයෝවෘද්ධ අපේ දෙමාපියන් දුක නිසාම අසනීපයට පත්ව ඇති අතර, මේ ගත වූ කාලය තුළ අදහාගත නොහැකි තරම් වයසට ගොස් ඇති බවක් පෙනේ.

මගේ නෑනා තව සති කිහිපයකින් සිය දරු ප්‍රසූතිය සඳහා මුහුණදීමට සූදානම් වන අතර, ඔහු අත්තඩංගුවට පත් වූ ආකාරයත්, සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට හා එහි එක් මහමොළකරුවෙකුට උදව්-උපකාර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා, අන්තවාදියෙකු ලෙස හංවඩු ගසනු දකින්නට ලැබීමත් නිසා ඈට ද ඒ සම්බන්ධයෙන් සෘණාත්මක බලපෑමක් ඇතිව තිබේ. සිය පවුලේ අනාගතය වෙනුවෙන් හිජාස් සතු වූ සැලසුම් අපමණකි, නමුත් ඒ සියල්ලම දැන් කාල නියමයක් නොමැතිව ඇණහිට තිබේ. සියල්ලන්ම දැන් දෙවියන්ට යාඥා කරමින්, සියල්ල හොඳින් සිදුවිය යුතුයැ’යි අපේක්ෂා සහගතව සිටිති. ඔහුගේ අහිංසක බව ගැන කියාපෑමත්, කවදා හෝ යුක්තිය ඉටුවේයැ’යි බලාපොරොත්තු සහගතව ජීවිතය ගෙවනවා විනා වෙන කිසිවක් කළ නොහැකි වීම ගැන මට ඇත්තේ නොදැරිය හැකි වේදනාවකි.

හිෆ්‍රාස් හිස්බුල්ලා | HEFRAZ HIZBULLAH

සංස්කාරක සටහන : මෙහි මුල් ලිපිය හිෆ්‍රාස් හිස්බුල්ලා විසින් “My Brother Hejaaz” මැයෙන් ඉංග්‍රීසි බසින් රචිත අතර, 2020 අගෝස්තු 27 වැනි දින ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ පළ කෙරුණි.