iMAGE :AFP via Getty Images

ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දවසකි.සියඹලන්ගමුවේ මහ ඇතා ලෙස පතළ වූ අලංකාර දළ දෙකකට හිමිකම් කියූ මෙරට විශාලතම හස්තියා පාලකයන්ගේ, වනජීවී නිලධාරීන්ගේ මුග්ධ තීරණ හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙව්වේ එදාය. අලියාගේ දළ දෙකට සිදුවූයේ කුමක්දැයි නොදනිමි. ඔහු අලි  පරිස්ථාපනයේ තවත් එක් වින්දිතයෙක් පමණි.

අලි පරිස්ථාපනය ගැන,සියඹලන්ගමුවේ මහ ඇතා ගැන මතකයට  ආවේ දැන් කතාබහට ලක් වන කාවන්තිස්ස යන නම් ලැබූ ව‍ර්තමානයේ මෙරට  සිටින විශාලතම ඇතාව ඉදිරියේදී මෙවැනිම පරිස්ථාපන ක්‍රියාවලියකට ලක්වන බවට පළ වූ තොරතුර හේතුවෙනි. (මේ සත්වයා ගජබා ලෙසද හදුන්වයි) ඇතාව අල්ලාගෙන හොරොව්පතාන අලි රැදවුමට ගෙන යන බව පැවසේ. එහිදී මේ අයුරින්ම සියඹලන්ගමුවේ මහ ඇතාව මීට දශකයකට පෙර හුන්ඩුවක් වැනි වනජීවි ලොරියක ගෙනගොස් සිදුවූ විනාශය කිසිසේත්ම බැහැර කළ නොහැක.

පළමු කාරණාව අලි පරිස්ථාපනය හෙවත් අලි ඇතුන් සිය ප්‍රජනක නිජබිමෙන් ඉවත්කර වෙනත් ප්‍රදේශවලට ගෙන යාමේ ක්‍රමය මේ වන විට ලෝකය විසින් ප්‍රතික්ෂේප කළ නොදියුණු ක්‍රමයකි. දෙවැන්න නම් ලංකාවේදී එවැනි ක්‍රමයක්වත් හරියාකාරව සිදු කිරීමට අවැසි තාක්ෂණයක් නොමැති වීමය.  දැවැන්ත හස්තිරාජයෙක්ව හරක් කිහිපදෙනක්වත් ආරක්ෂිතව ගෙනයාමට නොහැකි අන්දමේ ලොරියක දමාගෙන වෙනත් පෙදෙසකට ගෙන යාම එක් පැත්තකින් හාස්‍යජනකය. අප අලි ගම් වැදීම නවත්තන්නට යන්නේ මේ ආකාරයේ ක්‍රම වලිනි.

රටේ වන ජීවී නිලධාරීන් අලින්ගේ රකින්නන් වෙනුවට මරුවන් වූ අවස්ථා අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. දල පූට්ටුවාට සිදුවූ අපරාධය මෙහිදී නිදසුනකි. අලි ඇතුන්ව කලමනාකරණය කිරීමට ගොස් පසුගිය දශක කිහිපය තුළ ඔවුන්ට සිදුවූ හානිය සුළුපටු නැත. සිය ගණනින් අලි ඇතුන් මරණයට පත් විය. මෙයින් වැඩි පිරිස අලංකාර දළ හිමි ඇතුන් බව විශේෂයෙන් සදහන් කිරීම වැදගත්ය. මෙහෙ බොහෝ දේශපාලකයන්ට, බලවතුන්ට ඇත් දළ මේනියාවක් ඇති බව රහසක් නොවේ. තත්වය පෙන්වීමට මෙන්ම යම් යම් විශ්වාසයන් නිසාද ඇත් දළ වලට හොද ඉල්ලුමක් පවතී. මියගිය ඇතුන් බොහෝ දෙනාගේ දළ වලටද වෙච්ච දෙයක් නොමැත. (ඉල්ලුමට සැපයුමක්ද ?)

අලි ඇතුන්  මිනිස් ජනාවාස වලට කඩා වැදීමේ කථාවට හැරෙමු. අලින් ගම් වදින්නේ ඇයි ? එයට පිළිතුර  මේ දිනවල අපි අලින්ගේ ගම් දනව් වලට වැදී සිදු කරන ක්‍රියාකාරකම් විසින් ලබා දෙනු ඇත. අප සිංහරාජය මැදින් පාරවල් තනන්නෙමු, ඒ අතර ඇමතිවරුන්ගේ සොයුරන් රක්ෂිත අක්කර සිය ගණනින් ගිනි බත් කරති. අද අලංකාර හරිත පැහැයෙන් බබළන පරිසර පද්ධති හෙට බලද්දී ඩෝසර් වී ඇත. වැඩ කරන රටක් ! බය නැතුව තීරණ ගන්න, පරිසර වේදීන්, එන් ජී ඕ වලට ඕන ලෙස නටන්නෙ නෑ වැනි වචන පරිසර ප්‍රශ්න ඇතුළට රිංගා ඇත. රටේ වන ගහනය ගැන කතා කිරීමේදී දැන් එය 20 % ට අඩු අගයක ඇති බව බොහෝ පරිසර වේදීන් පෙන්වා තිබේ. අපි මේ යකා නටමින් ඉන්නේ කාගේ නිජබිම් වලද, අපි ඩෝසර් කරන්නේ කාගේ වාසස්ථානද ?  ඒ වනජීවීන්ගේ ගම්බිම්ය, උන්ගේ ආහාර සපයා ගැනීමේ, පිපාසය නිවා ගැනීමේ, විවේක ගැනීමේ, රිසි සේ හැසිරීමේ, ප්‍රජනනයේ යෙදීමේ ස්ථානයන් ය. අපි ඒවා ඩෝසර් කරන විට උන්ට ආහාර සොයාගෙන මිනිස් ගම්බිම් වලට ඒමට සිදුවීම ස්වභාවිකය. රටේ අලි ගහණයට ගැලපෙන සරිලන ලෙස ඔවුන්ගේ නිජබිම් පවතීද ?

අපි උන්ගේ වාසස්ථාන මතින් වාසස්ථාන තනාගෙන සිටින්නෙමු. බිස්නස් කරමින් සිටින්නෙමු. අන්තිමට උන්ම චූදිතයන් කර එකින් එකා අල්ලා ගෙන රැදවුම් වල සිර කිරීම තුළින් අලි මිනිස් ගැටුමට පිළියම් සොයමින් සිටින්නෙමු. අපගේ මේ ක්‍රියාපිළිවෙත කාම්බෝජයේ පොල්පොට්ගේ මර්ධනයට සමාන කරනු කැමැත්තෙමි. එවක පොල්පොට් පාලනය මිනිසුන් පවුල් පිටින් අල්ලාගෙන දරුවන් දෙමාපියන් වෙන්කර ඔවුන් වෙන වෙන කදවුරු වලට යොමු කරනු ලැබීය. තමන්ගේ සුපුරුදු ගම්බිම්, නගර වලින් නෙරපා හැර පවුලද සී සී කඩව ගිය කාම්බෝජ මිනිසුන් ඇවිදින මළමිනී සිහි ගැන්වූ බව කියැවේ. මේ කරමින් ඉන්නේද එබදුම ව්‍යසනයකි.

කළ යුත්තේ කුමක්ද ? අලි ඇතුන්ව ඔවුන්ගේ සුපුරුදු නිජබිම් වලම තබා ගනිමින් ඔවුන්ව රැකබලා ගැනීමටත් මිනිසුන් සහ ඔවුන්ගේ ජනාවාස රැකීමටත් පොදුවේ අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක විසදුමක් ගෙන ඒමටත් වහා කටයුතු කළ යුතුය. ඒ සදහා අවශ්‍ය ජාත්‍යන්තර සහ ජාතික සහය ලබා ගැනීම රටේ ප්‍රමුඛතාවක් විය යුතුය. දිනකට අක්කර තුන බැගින් ලෙස දැනට ගණන් බලා ඇති සීග්‍ර වන විනාශයට තිත තැබිය යුතුව ඇත. මේ කළ යුතු දේ වෙනුවට අලි ඇතුන් පරිස්ථාපනය කිරීමේ නොදියුණු උපක්‍රම හරහා වන සතුන් විනාශ මුඛයට යැවීම අප දකිමින් සිටින්නෙමු.

මහ ඇතා පරිස්ථාපනය කිරීම පිලිබද සිදුවීම කෙසේ අවසන්වේදැයි නොදනිමි. නමුත් අතීතයේ සිදුවීම් නම් හොද පුරෝකථනයකට ඉඩදී නැත. තවත් ඛේදවාචකයක් සිදුවූ පසු මහ ඇතා ගැන පනාමුරේ ඇත් රාජා වගේ කවි සිංදු ලියැවී පළක් නැත. ඇතා නමින් දානමය පිංකම්, සංවේදී කතා, ලංකාවේ අපූරු පුවත් වාර්ථා කිරීම් වල ඇති සංවේදී පසුබිම් ගිතය සහ ඇඩෙමින් කතා කරනවා අන්දමේ  පසුබිම් කතා තේරුමක් නැත. නැතිනම් අර පසුගිය කාලයේ මියගිය කළු කොටියාට කළාක් මෙන් මියගියාට පසු මෘත දේහය කල් තබා ගැනීමේ ක්‍රමවේද වලට ලක් කිරීමෙන් පළක් නැත. එවැනි ව්‍යසනයක් සිදුවීමට කලින් නවත්වා ගත යුතුය සිදු කිරීමට නියමිත පරිස්ථාපන මෙහෙයුම නවතා අලි මිනිස් ගැටුම විසදීමට ස්ථිර නිවැරදි ක්‍රමයන් ක්‍රියාවට නැංවිය යුතුය.

ඇතාව පරිස්ථාපනය කිරීමේ එකම අරමුණ ඌ ගම් වැදීම නැවැත්වීම යැයි දැනට විශ්වාස කරමි. කවරෙකු හෝ බලවතෙක්ට කාවන්තිස්ස මහ ඇතාගේ දළ දෙපළට ආසාවක් ඇතිව තිබේදැයි යන බියකරු සැකයක්ද ඇතිවීම නොවැලැක්විය හැකිය. මුලින් කීවා මෙන්ම මේ කටයුතු නිසා මරණයට පත් බොහෝ ඇතුන්ගේ ඇත් දළ වලට සිදුවූ දෙයක් නොමැත. මිත්‍යා විශ්වාසක ඉලක්කයක්ව ඇත්දැයි සැකයක්ද පවතී.  මීට වසරකට පමණ පෙර අලි ඇතුන් කිහිප දෙනෙක් ( ගැබ්බර සතුන්) ස්ථාන කිහිපයකදී මිය ගිය පුවතද බොහෝ දෙනෙකුට මතක ඇතුවා නිසැකය. ඒ සිදුවීම දැන් යට ගැසී ඇත. මිත්‍යා විශ්වාස, අභිචාර නිසා අසරණ සතුන් ජීවිතයෙන් වන්දි ගෙවූ අවස්ථා ඕනෑ තරම් අසන්නට දකින්නට හැකි රටක අප ජීවත් වන්නෙමු. මේ සැක සංකා මහ ඇතාගේ ජීවිතය පිළිබද යම් අවධානමක් ජනිත කරයි.

ආර්ථික ක්ෂේත්‍රයේ හානි අපට වසර කිහිපයකින් පිළිසකර කිරීමට හැකිවනු ඇත. අධික විදේශ ණය කෙදිනක හෝ ගෙවා දැමීමට හැකිවනු ඇත. කොතරම් යටපත් කළද අපේ අයිතිවාසිකම්  දිනා ගත හැකි දිනක් එනු ඇත. සමාජ හානි වලට පිළියම් යෙදිය හැකි වනු ඇත. එහෙත් වැනසූ වනාන්තර, තෙත්බිම්, සිදී යන ජල මූලාශ්‍ර අහිමි කළ සතුන්ගේ ජීවිත නැවත ස්ථාපිත කළ නොහැක. පරිසර ප්‍රශ්නය මේ මොහොතේ විසදාගත යුතුය. විනාශයන් මේ මොහොතේ නවත්වා ගත යුතුය. බලපෑම් කණ්ඩායම් ( සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංගම්, පොදු මහජනතාව) මේ සදහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුය.

ශාලිත බණ්ඩාර සමරකෝන් | Shalitha Bandara Samarakoon