iMAGE:  Shehan Gunasekara 

ශ්‍රී ලංකාව සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට වර්තමාන රජය පියවර ගෙන ඇති අතර, එය  මෑතකදී සම්මත වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඇතුළුව දැනට පවතින ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීමකි. මේ අනුව, ශ්‍රී ලංකාව සඳහා තුන්වන රිපබ්ලිකන් ව්‍යවස්ථාවක් නිර්මාණය වෙමින් පවතී.තුන්වන රිපබ්ලිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිට  ගෙන ආ දෙවැන්නට වඩා කොතරම් දුරට වෙනස් වේද යන්න තවමත් පැහැදිලි නැත. ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායමේ ව්‍යවස්ථා විශේෂඥයින් නව ජනරජයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ඔවුන් සතු මූලික අදහස් තවමත් ජනතාව සමඟ බෙදාගෙන නොමැත.

කෙසේ වෙතත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පැවති විවාදය අතරතුර රජයේ සමහර මුල්පෙළ කථිකයින්  විසින් සිදු  කරන ලද කථා, ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙන තුන්වන  ජනරජයේ මූලික දිශානතිය පිළිබඳ  ප්‍රබල ඉඟි සපයයි.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභිප්‍රාය සහ අන්තර්ගතය ලෙස  20 වන ව්‍යවස්ථා සංශෝධනයේ පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී තල්ලුව එලෙසම ඉදිරියට ගෙන යාමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුව විසින් දැනටමත් අනුමත කර ඇති මූලික රාමුව වටා මෙම නව ව්‍යවස්ථාව බිහිවෙනු ඇත.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බලය බෙදීයාම  නව ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කළ හැකි සුළු වෙනසකි. මෙමගින් අනාගතයේ දී එම තනතුර ලබා ගන්නා ඕනෑම කෙනෙකුට අමිහිරි හැඟීමක් ඇති නොවන අන්දමින් අග්‍රාමාත්‍යවරයාට දැනට පවතිනවාට වඩා ටිකක් බලයක් ලබා දෙනු ඇත. මීට අමතරව තවත් වෙනස්කම් දෙකක් ඇතිවීමේ ඉඩකඩද බොහෝ දුරට ඉඩ ඇත. පළමු වැන්න නම්, මිශ්‍ර මැතිවරණ ක්‍රමයක ඇතැම් අංග ගෙන එමින් පවත්නා සමානුපාතික නියෝජන ක්‍රමය වෙනස් කිරීමයි. දෙවැන්න නම් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලාත්මක කළ පළාත් සභා වල බලතල අඩු කිරීමයි. එනම් ඍන 13 වර්ගයේ  වෙනසකි.

මේ අනුව, එහි සමස්ත දෘෂ්ටිකෝණයකින් බැලූ කල, තුන්වන රිපබ්ලික් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මීට පෙර  1978 ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා එහි 18 වන සහ 20 වන සංශෝධනවලට වඩා මූලික වශයෙන් වෙනස් නොවේ. කෙසේ වෙතත්, දුරදිග යා හැකි ප්‍රතිවිපාක ගෙන එන සියුම් නව අංගයන් මෙහි අන්තර්ගත විය හැක.මෙසේ බිහිවෙන තුන්වන ජනරජය තුල නැගී එන දිශානතීන් පිළිබඳ ඉඟි මූලාශ්‍ර හතරක් ඔස්සේ වටහා ගත හැකිය. එනම්,

(1) පාර්ලිමේන්තුවේ සහ වෙනත් තැන්වල 19 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති තර්ක

(2) ජනාධිපති සිරිසේනගේ ක්‍රියාකලාපය වෙනුවෙන් පෙනීසිටිමින්, 2018 ඔක්තෝම්බර් මාසයේ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු වලදී ඉදිරිපත් කරන ලද නීතිමය තර්ක

(3) මේ වසරේ අපේ‍්‍රල් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු වලදී ඉදිරිපත් කරන ලද නීතිමය තර්ක සහ

(4) ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂගේ කණ්ඩායමේ සමාජමය හා දෘෂ්ටිවාදාත්මක හරය වන පන්ති බලවේගයන්ගේ සමස්ත දේශපාලන ව්‍යාපෘතිය.

නව රාජ්‍ය දැක්මක්

නව රාජ්‍ය ආකෘතියක් විදහාදක්වමින් , ශ්‍රී ලංකාව තුළ නීතිමය-දේශපාලනික චින්තනයේ නව දේහයක් පසුගිය වසර කිහිපය තුළ නිහඬව හැඩ ගැසීම ආරම්භ විය.මෙය විචක්ෂණශීලි දේශපාලන නිරීක්ෂකයින්ට පවා මග හැරී ඇති කරුණක් විය. නව රාජ්‍ය ආකෘතිය සඳහා වන ව්‍යවස්ථාව

(1) 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දෙමුහුන්භාවයට වඩා  තීරණාත්මක ලෙස වෙනස්වනු ඇත.

(2) වෙස්ට්මිනිස්ටර් වර්ගයේ කැබිනට්-පාර්ලිමේන්තු ආණ්ඩුවක අවශිෂ්ටයන් ඉවත දමනු ඇත.

(3) සෘජු සහ ජනප්‍රිය ජනවරමක් සහිතව, ජනතා ස්වෛරීභාවයේ කේන්ද්‍රීය ගබඩාව ලෙස ජනාධිපතිවරයාගේ විධායක ප්‍රධානත්වයෙන් යුත් ඒකීය සහ අවිවාදිත රාජ්‍ය බල කේන්ද්‍රයක් පිහිටවනු ඇත.

දේශපාලන බලය තහවුරු කරගැනීමට වෙර දරන  දේශපාලන පංතියේ කොටසක්, වැදගත් සහ බලගතු නීතිඥයින් සහ නීති විශාරදයින් පිරිසක්, සිංහල ජාතිකවාදී නායකයින් සහ අලුතෙන් බිහිවූ ධනවත් කර්මාන්තකරුවන්, වෙළෙඳුන් සහ වෘත්තික පන්තිය අතර මෙම අලුතින් මතුවූ දේශපාලන-ව්‍යවස්ථාමය චින්තනය බෙදාගෙන ඇති බව පෙනේ.

විපක්ෂවාදී සන්ධානයක් ලෙස මැතිවරණ ඡන්ද කොට්ඨාශයන් අතර 2015-2019 කාලය තුළ විකාශනය වූ “රාජ්‍ය අල්ලා ගැනීමේ” ව්‍යාපෘතිය හරහා බලගැන්වුණු රාජ්‍යයට නව දැක්මක් අවශ්‍ය විය. යහපාලන සන්ධානයේ ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී’ දේශපාලන මතවාදයට සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ මූලික ව්‍යුහය හැඩගැසී ඇති ලිබරල් ව්‍යවස්ථාමය උපකල්පනයන් වලට ඍජුව විරුද්ධත්වය දක්වමින් එකී දර්ශනය සංකල්පනය කර ඇති බව පැවසිය හැක.

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ  නිශ්චිත දෙමුහුන් පාලන ව්‍යුහයේ සෘජු ප්‍රතිපලයන් ලෙස යහපාලන පරිපාලනයේ පාලන අසාර්ථකත්වය, යහපාලන සභාග රජය තුළ ඇති වූ බල අරගලයන් සහ 2018-2019 රජය තුළ තරඟකාරී බලශක්ති මධ්‍යස්ථාන දෙකක් ඇතිවීම අර්ථකථනය කල හැක. 2018-2019 කාලය තුළ ඇති වූ පාලන අර්බුදය පිලිබඳ දේශපාලන  විචාරකයින් විසින් ඉස්මතු කරන ලද  එක් අර්ථකථනයක් නම්,  වෙස්මිනිස්ටර් වර්ගයේ කැබිනට්-පාර්ලිමේන්තු ආකෘතිය පවත්නා ජනාධිපති ක්‍රමයට බද්ධ කිරීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදුකල මූලික වැරැද්දක් බවයි.

රාජ්‍යයේ හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විපක්ෂවාදී දැක්මේ පශ්චාත් ලිබරල් හා පශ්චාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වභාවය 2018-2019 දී පැහැදිලි දෘෂ්ටිවාදාත්මක හැඩයක් ගත්තේ මෙම පසුබිමට එරෙහිව ය.20 වන ව්‍යවස්ථා සංශෝධනය මෙම දේශපාලන මාරුවේ අතුරු ප්‍රතිපලයකි. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2015-2019 යහපාලන සහභාගයේ අසාර්ථක සහ උදාසීන ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී අත්හදා බැලීමට එරෙහි පසුබෑමේ තාර්කික ප්‍රතිපලය වනු ඇත.

නව දැක්ම සහ දිශාවන්

ශ්‍රී ලංකාවේ දේශපාලන හා ව්‍යවස්ථාමය වෙනසෙහි වර්තමාන දිශාවන් පිළිබඳව කෙනෙකුට කළ හැකි තාවකාලික නිරීක්ෂණ කිහිපයක් පහත පරිදි වේ.

(1) මුලින්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සංකල්පනය කරන ලද සහ  පසුව 18 සහ 20 දී වැඩි දියුණු කරන ලද විධායක-ජනාධිපති අධිකාරීවාදය වැඩි ව්‍යවස්ථාමය බැඳීමක් කරා තල්ලු කිරීම 

(2) වෙස්මිනිස්ටර් ආකෘතියට අනුව සැකසුනු කැබිනට්-පාර්ලිමේන්තුවේ, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ ක්‍රියාකාරිත්වය සේම පාර්ලිමේතුවේ රාජ්‍ය මුල්‍ය පරිපාලනය අඩු කිරීම සම්බන්ද ආයතනික අවශේෂයන් මකාදැමීම

(3) විධායකය පිළිබඳ ආයතනික ආවේක්ෂණය වැනි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ  අපද්‍රව්‍ය ඉවත්කිරීම.

මෙම තත්වය තුළ, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අර්බුදයට සෘජු නිෂේධාත්මක ප්‍රතිචාරයක් ලෙස මතුවන ශ්‍රී ලංකාවේ තුන්වන රිපබ්ලිකන් ව්‍යවස්ථාව, 1978 දෙවන ජනරජය යටතේ ස්ථාපිත කරන ලද අර්ධ ජනාධිපති ආකෘතියට වඩා වෙනස් අනන්‍යතාවයක් උපකල්පනය කිරීමට ඉඩ තිබේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාමුකරුවන් විසින් සලකා බැලිමේ සම්භාවිතාවයක් සහිත නව අංග දෙකක් නම්:

(1) එක්සත් ජනපදයේ මෙන්, යම් ආකාරයක විධායක සීමාවක් යටතේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්වෛරීභාවය ගෙන ඒම සහ,

(2) ප්‍රංශයේ මෙන් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් නොවන පුද්ගලයින් කැබිනට් මණ්ඩලයට පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දීම.

ජනාධිපති රාජපක්ෂගේ කොරෝනා අර්බුද කළමනාකරණ උපාය මාර්ගයන් තුලින් මෙකී හැකියාවන් පිළිබඳ ඉඟි පසුගිය දිනවලදී මතු විය. ව්‍යවස්ථාදායකයේ ජනවරමට වඩා ජනාධිපතිවරයාගේ ජනවරම ප්‍රමුඛතාවය ගත යුතු බවට මේ වසරේ මාර්තු මාසයෙන් පසුව අප්‍රකට තර්කයක් වර්ධනය වන්නටද  විය. එම තර්කය තුළ, අමුතු දෙයක් ලෙස පෙනෙන්නා සේම,පාර්ලිමේන්තුවේ ජනප්‍රිය ජනවරම පුද්ගලයන් 250 ක් අතර බෙදී යන  අතර ජනාධිපති වරම එක් පුද්ගලයෙකුට පමණක් හිමිවේ.

ව්‍යවස්ථාමය දෙමුහුන්භාවය නිසා පැනනගින  ගැටලු  

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පැවති  පාර්ලිමේන්තු විවාදය අතරතුර, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි රජයේ ප්‍රහාරක කථිකයන්, හිටපු ජනාධිපති සිරිසේන ඇතුළු බොහෝ අය ඉඳහිට වචන හා ක්‍රියාවෙන් ඉස්මතු කර පෙන්වූ කරුණක් පිලිබඳ නැවත නැවත අවධානය යොමු කළහ. එනම්, අවෙක්ෂණයන්,ශේෂයන්  සහ වගවීම සඳහා වන යාන්ත්‍රණයන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, රාජ්‍ය ව්‍යුහය තුල පවතින විවිධ බල මුලස්ථාන අතර කේවල් කිරීම සහ සාකච්ඡා කිරීම තුලින් සම්මුතීන් වලට එළඹීම පිලිබඳ නිසි ආචාර්යධර්මයක් අවශ්‍යවන මන්දගාමී පාලන ක්‍රියාවලියක් බව පිළිගැනීමට ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් අද ප්‍රතික්ෂේප කිරීමයි.19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අසාමාන්‍ය දෙමුහුන්භාවය සහ එහි පාලන ආකෘතිය ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක වීමට නම්, සිය ඊනියා ජනවරම නොසලකා හැර සාකච්ඡා කිරීම සහ කේවල් කිරීම තුලින් සම්මුතීන් වලට එළඹීමේ අන්තර්පුද්ගල සහ අන්තර්-ආයතනික අචාරධර්මයන් කෙරෙහි සේම ව්‍යවස්ථානුකුලව නියම  ඇති අවෙක්ෂණයන් සහ ශේෂයන් පිලිබඳ පාලක සභාගයේ දේශපාලඥයින්ට කැපවීමක් ඇත්නම් පමණි.

සැබවින්ම ජනාධිපති සහ කැබිනට් පාර්ලිමේන්තු අංගයන් ඒකාබද්ධ වූ මෙම දෙමුහුන් ආකෘතික 19වන ව්‍යවස්ථා සංශෝදනයේ අවිනිශ්චිතතා සහ විෂමතා  කිහිපයක් තිබුණි. මෙයට හේතුව 19වන ව්‍යවස්ථා සංශෝධනය, සන්ධානය තුළ විවිධ පාර්ශ්වකරුවන්ගේ ඡන්ද කොට්ඨාශ වල න්‍යාය පත්‍ර සපුරාලීම සඳහා ගෙනෙන ලද සම්මුතීන්  රැසක ප්‍රතිඵලයක් වීමයි.එබැවින්, බොහෝ දෙමුහුන් ව්‍යවස්ථාමය ආකෘතීන්හි දී මෙන්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තුළ විවිධ බල කේන්ද්‍රයන් අතර සම්මුතින්වල  ආචාරධර්ම මත පදනම්වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් වෙනුවට ඒකාධිකාරය ආදේශ කල හැකි එක් ඒකාදිපති බල කේන්ද්‍රයක් අවශ්‍ය විය.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔහු විසින්ම නිර්මාණය කරන ලද මෙම දෙමුහුන් ක්‍රමයේ මෙම විෂමතාවය හඳුනා ගත්තේය. (1972 පළමු රිපබ්ලිකන් ව්‍යවස්ථාව ද වෙස්ට්මිනිස්ටර්, රිපබ්ලිකන් සහ සමාජවාදී ව්‍යවස්ථාවන්හි  අංගයන්ගෙන් ඒකාබද්ධිත දෙමුහුන් ව්‍යවස්ථාවක් බව අප සිහිතබගනිමු.) තීරණ ගැනීමේ බලය අත්තනෝමතික ලෙස සියතට ගනිමින් ඒකාධිකාරී බල කේන්ද්‍රස්ථානයක් හරහා, ජනපති ජේ.ආර්. ජයවර්ධන තම  මෙම විෂමතාවය විසඳිය. ඔහුගේ බලවත් අග්‍රාමාත්‍යවරයාගේ හා ඒ හා සමාන කැබිනට් අමාත්‍යවරුන්ගේ ඇතුළු සියලු පාලක පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දින නොදැමූ ඉල්ලා අස්වීමේ ලිපි ළඟතබාගෙන සිටීම එම කතාවට පාද සටහනක් පමණි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී පැහැදිලි වූ එක් කරුණක් නම්, වත්මන් පරිපාලනයේ නායකයින් ව්‍යවස්ථාමය දෙමුහුන්කම හේතුවෙන් ඇති වන පාලන විෂමතාවන්ට බෙහෙවින් අකමැති බවයි. වර්තමාන ඓතිහාසික මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන කාර්යක්ෂම, ප්‍රතිපලදායි, ප්‍රතිපල මත පදනම්වූ ඍජු සහ සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය පාලන ක්‍රමවේදයන් මෙම කේවල් කිරීම, සාකච්ජා  කිරීම සහ ප්‍රතියෝජනය මගින් දුර්වල කෙරෙන බවක් ඔවුන් සිතන බව පෙනී යයි. 2018 -2019 තීරණාත්මක දෙවසර තුළ ශ්‍රී ලංකීය සමාජය තුළ කෙමෙන් පරිණත වූ පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය දෘෂ්ටිවාදයේ සලකුණු මේවා ය.

මෙහිදී අවදානය යොමු වියයුතු කාරණය වන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ රජය යම්තාක් දුරට ප්‍රහීන දෘෂ්ටිවාදයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා ඉතා බරපතල රාජ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබීමයි. කෙසේවෙතත් ශක්තිමත් විධායක ජනාධිපති ජනරජයක් පිහිටුවීම ඇතුළු එහි දේශපාලන අරමුණු මැනවින් පැහැදිලිය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය විසින්

(1) හරය ලෙස 20වන ව්‍යවස්ථා සංශෝදනය ඇතුලත් වන

(2) කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට අනන්‍යාභිමුඛ  ජනතා ස්වෛරීභාවයේ උත්තරීතර ගබඩාව වන ජනාධිපතිවරයාගේ බලතල පිලිබඳ අවිනිශ්චිතතාවයන් ඉවත් කරවන සහ

(3) 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පැවති තත්වයට වඩා තුන්වන ජනරජය ජනාධිපතිකරණය කරවන  නව ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් කරනු ඇත. 

ප්‍රජාතන්ත්‍රවාදීන් සතු විකල්ප 

තවත් එක් උදාසීන විවාදයකින් සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේදී ලබාගත් පාර්ලිමේන්තු තුනෙන් දෙකක බහුතරයද සහිතව, රජය විසින් නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට සියල්ල සුදානම්ය. ආණ්ඩුවේ මෙම ජුගුප්සාජනක, ව්‍යවස්ථාමය අනුකම්පාවිරහිත ක්‍රියාමාර්ගය නැවත්වීමට විපක්ෂයට කුමක් කළ හැකිද?  නැත, මෙය නැවත්වීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ගයක් නොමැත. නමුත්, අවම වශයෙන් මාස හයක කාලයක් තුළ සමාජගත විය හැකි නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන සාකච්ඡා, සියලු විපක්ෂ කණ්ඩායම් සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට දිගු කාලීන දේශපාලන දැක්මක් මනසේ තබාගෙන භාවිතා කළ හැක.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය කරන කාලය මැතිවරණ සමය හා සමාන ය. එය මූලික දේශපාලන කාරණා කෙරෙහි දැඩි  මහජන උනන්දුවක් ඇති කරන අතර පුරවැසියන්ට දේශපාලන සංවාදවලට සහභාගී වීමේ අවකාශයද සලසා දේ. ප්‍රජාතන්ත්‍රවාදය පසුබසින මෙවන් කාලයකදී, සිය වටිනා නිදහසේ උරුමය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම වැනි දේශපාලනයේ සැබෑ ගැටලු කෙරෙහි පුරවැසියන්ගේ උනන්දුව පුනර්ජීවනය කිරීමටද මෙය මහඟු අවස්ථාවකි. මිට අමතරව විපක්ෂයට නව ව්‍යවස්ථාව සහ එහි කෙටුම්පත් පිළිබඳ මහජන විවාදයේ නියමයන් සැකසීමේ අවස්ථාව අත්පත් කරගැනීමටද  මින් අවකාශ ලැබෙනු ඇත. නමුත් විපක්ෂය, ආණ්ඩුවේ නව ව්‍යවස්ථා යෝජනාවලට ප්‍රතිචාර දක්වනවා වෙනුවට රටේ ජනතාව සමග එක්ව, රටේ දේශපාලන සංවාදයේ කොන්දේසි හැරවුම් ලක්ෂයකට ගෙන ආ හැකි සහ නව දේශපාලන වෙනස්කම්වල දිශාව වෙනස්කල හැකි මුලික ප්‍රශ්න ඇසීමට පටන් ගත යුතුය. අතීතයේ උගත් පාඩම් වල අභාෂය ද සහිතව ජනතාව සමග තුන්වන ජනරජයක් පිලිබඳ කල්පනා කිරීම විපක්ෂයට සහ සිවිල් සමාජ ව්‍යාපාරවලට මේ මොහොතේ ඇති වඩා හොඳ දේශපාලන විකල්පයකි.

පාර්ලිමේන්තුවේ සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නව ව්‍යවස්ථා කෙටුම්පත අභියෝගයට ලක් කිරීමේදී ඉදිරි මාස කිහිපය තුල විරුද්ධ පක්ෂවලට යළිත් නොවැළැක්විය හැකි උභතෝකෝටිකයකට මුහුණ දීමට සිදුවනු ඇත. අධිකරණය විසින් විශාල මහජන විරෝධයක් ඇති වුවහොත් මිස රජයක් විසින් ගනු ලබන ප්‍රධාන ප්‍රතිපත්තිමය තීන්දුවක් අවහිර කරනු නොලැබේ. මේ වනවිටත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නීතියට ගෙන ඒමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය රජයට සතුවේ.  එවැනි තත්වයක් තුල විපක්ෂයට කල හැක්කේ, 1978 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඇතුළු අති දුර්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කලාක් මෙන්, වඩා හොඳ 3වන ජනරජයක් සඳහා ජනතා පරිකල්පනය ඇවිලවිය හැකි නව, බලවත් අදහස් සහ විතර්කයන් සහිත,  ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමයවාදය ආරක්ෂා කරන දැඩි හා ප්‍රබල ක්‍රියාමාර්ගයන් ගෙන ඒමයි.

වර්තමාන සන්දර්භය තුළ, එවැනි මැදිහත්වීමකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයේ ඇතුලත් නොවූ එහෙත්  වැදගත් කරුණු කිහිපයක් විවාදයේ කේන්ද්‍රයට ගෙන ඒම අවශ්‍ය වේ. පහත දැක්වෙන්නේ ප්‍රශ්න ස්වරූපයෙන් සකස් කර ඇති මහජන උනන්දුව මෙන්ම පරිකල්පනය ද ඇති කළ හැකි එවැනි ප්‍රධාන කරුණු සඳහා උදාහරණ කිහිපයකි:

(1) 1978 ව්‍යවස්ථාව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා, ඕනෑම දේශපාලන පක්ෂ න්‍යාය පත්‍රයකින් ස්වාධීනවූ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට අවශ්‍ය කිනම් ආකාරයේ නව ව්‍යවස්ථාවක් ද?

(2) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සේවය කල යුත්තේ පාලක පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුවද? නොඑසේ නම් සමස්තයක් වශයෙන් ජනතාවගෙන් සමන්විත දේශපාලන ප‍්‍රජාවේ අවශ්‍යතාවයන් ස ජනතා සුභසිද්ධිය පිණිසද? 

(3) දේශපාලන ප්‍රජාවේ අවශ්‍යතා පිළිබිඹු කරන එවැනි ව්‍යවස්ථාවක් බහු වාර්ගික, බහු සංස්කෘතික හා බහුත්ව සමාජයක් සඳහා ස්ථිර ලෙස ඔබින්නේ කෙසේද?

(4) නීති සම්පාදනය සහ පාලනය පිළිබඳ නොවෙනස් මූලධර්මයන් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මඟ පෙන්විය යුතු හා ඊට ඇතුළත් කළ යුතු මූලික ව්‍යවස්ථාමය වටිනාකම් මොනවාද?

(5) ශ්‍රී ලංකාවේ නිල නාමයේ නිරුපනය කෙරෙන පරිදි නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු, ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී සහ ජනරජ මූලධර්ම මොනවාද?

(6) රටේ නොවිසඳුනු ජනවාර්ගික ගැටුම් සහ ගැටුම් සහගත බහුතර-සුළුතර සබඳතාවල පසුබිමට එරෙහිව සියලු ජන කොටස්වල පුරවැසියන්ගේ විශ්වාසය හා පක්ෂපාතීත්වය බලපැවැත්විය හැක්කේ කිනම් ආකාරයේ ව්‍යවස්තවකටද?

(7) ජනතාව විසින් රජයන්ට සහ පාලකයින්ට පවරනු ලබන දේශපාලන බලය සිමා නොකළ යුත්තේ ඇයි සහ බලයට එවැනි සීමාවන් ඇති ව්‍යවස්ථා එසේ සිමාවන් රහිත ව්‍යවස්ථාවලට වඩා හොඳ වන්නේ ඇයි?

දේශපාලන කතිකාවත ගැඹුරු කිරීමේ අවශ්‍යතාවය 

අවාසනාවකට මෙන් මෙතෙක් කල් ලංකාවේ කතා බහට ලක් නොවී පැවති එක් හේතුවක් නිසා මේ වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලන සංවාදය ගැඹුරු කිරීම අතිශයින් වැදගත් ය. එකී කරුණ නම්, ශ්‍රී ලංකාවේ ස්වදේශික නූතන දේශපාලන චින්තනය ලෙස නිත්‍යානුකුලව හැඳින්විය හැකි වඩාත් වැදගත් දේශපාලන හා ව්‍යවස්ථාමය අදහස් සමහරක් සෝල්බරි, පළමු රිපබ්ලිකන් සහ දෙවන රිපබ්ලිකන් ව්‍යවස්ථාවන් පිළිබඳ ඇති වූ පොදු දේශපාලන සාකච්ඡාවලින් මතු වූ ඒවා වීමයි.

කණ්ඩායම් අයිතිවාසිකම්, සුභසාධන ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ පුරවැසිභාවය, වෙනස්කොට නොසැලකීම, දේශපාලන බලයට ඇති සීමාවන්, මහජන ස්වෛරීභාවය, පාලකයින් පත්කරන්නන් ලෙස මහජනයාගේ භූමිකාව, ඡන්ද අයිතියේ පාරිශුද්ධ බව, බලය අයුතු ලෙස භාවිතා කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ නොවෙනස් පුද්ගල නිදහස වැනි මෙකි සංකල්ප සියල්ල නුතන දේශපාලන විඥානය තුල අන්තර්ගත වේ. ඒ තුල බටහිර හෝ ලිබරල් කිසිවක් නැත. ඒ වෙනුවට ඒවා ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යායක හා දර්ශනයේ ප්‍රධාන අංගයන්  වේ.

එවැනි අදහස් වඩා හොඳ ව්‍යවස්ථාමය නියෝග සහ සිය දේශපාලන සමාජයට වඩාත් උචිත දේශපාලන විධිවිධාන පිළිබඳ ජනතාව දරණ අදහස්  පිළිබිඹු කරයි. මෙකි අදහස් සැබවින්ම මර්දනකාරී, කුරිරු හා දූෂිත වූ ආණ්ඩු සහ පාලකයින් යටතේ ඔවුන් ලැබූ ඍණාත්මක අත්දැකීම්වලට වලට එරෙහිව හැඩගැසී ඇත. මේ අතර ඇතැම් අවස්ථාවල ජනතාව තමා සතු තාර්කික දේශපාලන විනිශ්චය කිරීමේ  හැකියාව හැල්ලුවට ලක් කරමින් වැරදි දේශපාලන තීරණ ගැනීමේ ප්‍රවණතාවයක්ද ඇති බව අප අමතක නොකළ යුතුය. නමුත් තමන් ගත් අනුවන දේශපාලන තීරණ වල බරපතලකම වටහාගත් විගස ඔවුන් යලිත් ප්‍රකෘති සිහියට හා තර්කානුකූලභාවය කරා පැමිණෙති.

ඒකාධිපතිවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය සමඟ වැඩි සම්බන්ධයක් ඇති ව්‍යවස්ථාවන් පිළිබඳ දේශපාලන ජනතා කතිකාවතක් ශ්‍රී ලංකා සමාජය තුල නිර්මාණය වෙමින් පවතී. නිර්දය සමාජමාද්‍ය ජාලා හාස්‍ය,  20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එදිනෙදා ඇතිවන විවේචනාත්මක සංවාද මෙන්ම මිලිටරිකරණය හරහා රජය විසින් කොවිඩ් 19 වසංගතය හසුරවන ආකාරය ශ්‍රී ලංකේය  දේශපාලනයේ නව කරුණක් පෙන්නුම් කරයි: එනම් ජනතාව මිට මස කිහිපයකට පෙර සිය නිදහස් තේරීමෙන් බලයට පත් කල රජයේ ඒකාධිපති ව්‍යාපෘතියෙන් ක්‍රමයෙන් ඉවත් වීමට පටන් ගෙන ඇති බවයි.

විරුද්ධ පක්ෂ සහ සිවිල් සමාජය ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාව තුල දැඩි ඒකාධිපති තුන්වන ජනරජයක් කිරීමට දරන ඕනෑම උත්සාහයන්ට විරුද්දව ගෙන එන  ස්වාදීන ප්‍රතිපත්තිගරුක විවේචනයක් සහ උද්යෝගිමත් ප්‍රතික්ෂේප කිරීමක් සමඟ ආමන්ත්‍රණය කළ යුතු පුරවැසි ඡන්ද කොට්ඨාශයන් මේවා ය. එසේ ගෙන එන විවේචනය පෙර පැවති ජනරජයන් දෙකටම වඩා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී හා රිපබ්ලිකන් තුන්වන ජනරජයක් සඳහා වූ පශ්චාත් අධිකාරීවාදී දර්ශනයක නැංගුරම් ලා තිබිය යුතුය.

ශ්‍රී ලංකාවේ විපක්ෂ හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය මෙන්ම ජනරජය ද නැවත ගොඩනැගීමේ නව අවස්ථාවක් ලැබී ඇත. ඒ අනුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඉදිරියේදී ඇති වීමට නියමිත විවාදය එකී මැදිහත් විමට අවශ්‍ය දැවැන්ත දේශපාලන අවකාශයක් විවෘත කරයි.

“ශ්‍රී ලංකාව සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තුන්වන ජනරජයක් ගැන සිතීම” යනු අනාගතයේ ශ්‍රී ලංකාවේ බෙදී ගිය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් එකම හවුල් වේදිකාවක් කරා ගෙන යා හැකි තේමාව විය හැකිය.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ | Prof. Jayadeva Uyangoda

 

 

 

සංස්කාරක සටහන : මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් ‘ A Constitution for a Third Republic? Time to Imagine a Better Republic for Sri Lanka’ නමින් ඔක්තෝම්බර් 31 වන දින අප සහෝදර  Groundviews වෙබ් අඩවියේ පළ කළ ලිපිය විකල්ප වෙබ් අඩවිය විසින් සිංහලට පරිවර්තනය කරනු ලදුව මෙසේ පළවේ .