iMAGE  : via Amnesty International

මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්තඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කර මේ වන විට මාස හතක් ගතව ඇත.

අප්‍රේල් 14 වැනි දින ඔහුව රැඳවුම් භාරයට ගත් විට ඔහුගේ පවුල, මිතුරන් සහ ඔහු අයත් නීතිඥ ප්‍රජාවේ සාමාජිකයන් සමහරෙක් ඇස්පනාපිට සිදුවන අයුක්තියට එරෙහිව හඬ නැගූහ. නිහඬව සිටින ලෙසත්, ‘අධිකරණ පද්ධතියට එහි කාර්යය කරන්නට ඉඩ දෙන ලෙසත්’ එකෙණෙහිම ඔවුන්ට පවසනු ලැබිණි. විමර්ශනයට අතනොපොවා සිටින ලෙස ද ඔවුන්ට පවසනු ලැබිණි. කල්ගත වත්ම සත්‍යය ඉස්මතු වනු ඇති බවත්, එවිට හිජාස් නිදහස් වනු ඇති බවත්, එතෙක් ඉවසීමෙන් සිටින ලෙසත් ඔවුන්ට පවසනු ලැබිණි.

එතැන් සිට මාස හතක් ගත වී ඇත. මෙතෙක් කිසිදු චෝදනාවක් රහිතව වුවද, විමර්ශන අඛණ්ඩව සිදුවන බව කියති. හිජාස්ට එරෙහිව ඇත්ත වශයෙන්ම නඩු පැවරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෝ පැමිණිලි පාර්ශ්වයට නඩු නිමිත්තක් තිබේ නම්, මේ වන විට ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිය යුතු නොවේද? සදාකාලිකවම විමර්ශන පැවැත්වීම සඳහා අපි බලාධිකාරීන්ට ඉඩ දිය යුතුද?

මාස හතක් ගත වී ඇති නමුත්, මේ සිද්ධිය වටා රඟදැක්වුණු මාධ්‍ය සංදර්ශන ද අවසානයකට පැමිණ ඇත්තේ හිජාස් වැරදිකරුය යන පූර්ව නිගමනවලට එළඹි සියල්ලන්වම විකටයන් බවට පත්කරමිනි. මාධ්‍ය විසින් අනුකම්පා විරහිත ලෙස ඊනියා ‘බිඳහෙළිය නොහැකි’ සාක්ෂි විකාශනය කරමින්, හිජාස් යනු යක්ෂයෙකු බව තහවුරු කරන්නට යුහුසුළු වූහ. ඉදිරිපත් කළ සාක්ෂි කිසිවක් විශ්වාසකටයුතු නොවන බව පෙනී යන හෙයින්, අවසානයේ ඔවුන් නිසා හිජාස් වීර ප්‍රාණත්‍යාගියෙක් බවට සැලකුම් ලබයි.

මාස හතක් ගතවීත්, හිජාස් හිස්බුල්ලා තවමත් විනිශ්චයකරුවෙකු වෙත ඉදිරිපත් කර නොමැත. විමර්ශන සිදුවන ආකාරය පිළිබඳව එක් මහේස්ත්‍රාත්වරයකු නැවත නැවතත් සිය අසතුට පළකර තිබේ. එහෙත් හිජාස් අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස නියෝග කිරීමේ කිසිදු බලයක් ඔහුට හිමි වී නැත්තේ අප රටේ ක්‍රියාත්මක බිහිසුණු නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසාය. එබැවින් කිසිදු අධිකරණ සුපරීක්ෂණයකින් තොරව, හිජාස් සැබැවින්ම හුදෙකලා සිර මැදිරියක රැඳවියෙකු ලෙස කල්ගත කරයි.

හිජාස් සම්බන්ධ මේ කරුණ අමුත්තක් නොවේ. යුක්තියේ කාර්යය ඉටුකිරීමට බිය නොවී ඉදිරිපත් වන නීතිඥයන් මුහුණදෙන අනතුර මෙන්ම අයුක්තියට එරෙහිව හඬනොනගන අනෙක් බොහෝ දෙනෙකුගේ නොසැලකිල්ල ද ඉන් පැහැදිලිව විදහා දැක්වේ. ඒ අනුව, දැන් නඩු විභාගයකට මුහුණ දෙන්නේ හිජාස් පමණක් නොවේ. මෙලෙසින් කණකොකා හඬන්නට පටන්ගෙන ඇත්තේ සම්පූර්ණ වෘත්තියටමයි.

හිජාස්ගේ අඩිපාරේ යන අයට ඔහු පත් වී ඇති අසීරු තත්ත්වය හා සම්බන්ධ දැඩි අභූත ස්වභාවයේ නිරර්ථක බර දැන් දැනෙනවා ඇත; හිජාස්ට පසුව තමන්ය යන හැඟීම පහළ වෙද්දී, තමන් යන මඟ හැරදමා යන්නට ඔවුන්ට සිතිවිලි පහළ වනු ඇත. හිජාස්ට එරෙහි අයුක්තිය කිසිවෙකු ආමන්ත්‍රණය නොකරන කල්හි, සියලුම නීතිඥයන් සඳහා ඉන් නව පූර්වාදර්ශයක් ඉස්මතු වේ: ඔවුන්ගේ වෘත්තිය වෙනුවෙන් දඬුවම් විඳීමේ අවදානමක් මෙන්ම, ඔවුන්ගේ සමකාලීනයන් විසින් අත්හැරීමට ලක්වීමේ අනතුර ද දැන් ඔවුන් ඉදිරියේ ඇත.

නීතිඥ ප්රජාව ප්රතිචාර දක්වයි ?

අප්‍රේල් මාසයේ දී හිජාස් අත්තඩංගුවට පත් වූ විට සිය මුල් ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාව සැලකියයුතු නිහඬ බවක් පළකළේය. නීතිඥ ප්‍රජාවේ සමහරෙක් අදාළ අත්තඩංගුවට ගැනීම හෙළාදකිමින් ප්‍රකාශ නිකුත් කළද, බොහොමයක් අය පරිස්සම් සහගතව සිටීමට උත්සුක වූහ. සමහර නීතිඥයන් හිජාස්ගේ නිදොස් බව ප්‍රශ්න කිරීමට ද යුහුසුළු වූහ. ඒ කෙසේ වුවද, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හරහා අවසානයේ යුක්තිය ඉටුවෙතැයි දැඩි විශ්වාසයක් ද පළවිය.

නමුත් දැන් මාස හතක් ගෙවී ගොස් අවසන්‍ ය. තමන්ගේ ආස්ථානය නැවත අගයමින්, මේ දරුණු අයුක්තියට එරෙහිව ශක්තිමත් ස්ථාවරයක් ගැනීම සඳහා ශ්‍රී ලාංකික නීතිඥ ප්‍රජාවට දැන් කාලය එළඹ තිබේ. ඒ, තමන්ගේම එකෙක් බාහිර ලෝකයෙන් හුදෙකලා කොට, ඔහුගේ රැකියාවේ නියැලීමට නොහැකි තත්ත්වයකට පත්කරමින්, සිය දරුවාගේ උත්පත්තිය දැකගැනීමෙන් ද වළක්වමින්, රැඳවුම් කුටියක නිකරුණේ කල් ගෙවීමට සලස්වා තිබෙන අවස්ථාවක දී ය.

මේ මාසයේ මුල දී, එංගලන්තයේ සහ වේල්ස් හි නීතිඥ මානව හිමිකම් කමිටුව විසින් හිජාස් සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රකාශයක් නිකුත් කරන ලදී. චෝදනා රහිතව ඔහුව දිගුකාලීනව රඳවා තබාගැනීම පිළිබඳව ඔවුන්ගේ සංවේගය ඉන් ප්‍රකාශ කෙරුණි. මේ කමිටුවේ සාමාජිකයන් අතර එංගලන්තයේ සහ වේල්ස් හි නීතිඥ වෘත්තියට ඇතුළත් කරගන්නා බැරිස්ටර්වරු බොහෝ දෙනෙක් සිටින අතර, ඔවුන්ගෙන් බොහොමයක් එක්සත් රාජධානියේ නීති වෘත්තියේ යෙදෙන මුල්පෙළේ බැරිස්ටර්වරු වෙති.

‘හිජාස් හිස්බුල්ලාව රැඳවුම් භාරයෙන් නිදහස් කරන මෙන් ද… ශ්‍රී ලංකාවේ නීතිඥයන්ට හිරිහැර, තර්ජන, බාධා සහ පළිගැනීම් පිළිබඳ බියෙන් තොරව ඔවුන්ගේ වෘත්තීය යුතුකම් ඉටුකිරීමට හැකි බව තහවුරු කිරීම සඳහා ගතහැකි සියලුම පියවර ගන්නා මෙන් ද’ එම කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලකරන ලදී.

ටික දිනකට පෙර, කලාපීය නීතිඥයන්, විනිශ්චයකාරවරුන්, නීතිවේදීන් හා නීතිමය සංවිධානවලින් සැදුම්ලත්, කලාපය තුළ ගෞරවාන්විතව සැලකෙන LawAsia සංවිධානය විසින් ද හිජාස් පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළහ. හිජාස්ට එරෙහි ඒකාකෘතික ආඛ්‍යානයන් ජනමාධ්‍ය විසින් වැඩි වැඩියෙන් ප්‍රචලිත කිරීම පිළිබඳව ඔවුන් සිය දැඩි කණස්සල්ල පළකළ අතර, ඉන් සාධාරණ නඩුවිභාගයක මූලික මූලධර්මයක් වන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය දැඩි සේ තර්ජනයට ලක්කෙරෙන ආකාරයෙන් උල්ලංඝනය වන බව ද ප්‍රකාශ කෙරුණි. හිජාස්ව නිදහස් කර, නීතිඥවරයෙකු වශයෙන් ඔහුගේ ‍රැකියාවත්, අත්තනෝමතික රඳවාගැනීමට එරෙහිව ඔහුගේ මූලික අයිතියත් ආරක්ෂා කරන ලෙස ඉන් ද ඉල්ලීම් කර තිබුණි.

තවත් වෘත්තීය නීතිඥ සංගම් දෙකක් හිජාස් වෙනුවෙන් සිය ස්ථාවරය පළකොට තිබේ. අපේ නීතිඥ ප්‍රජාව ද එවැනි ඉතා පැහැදිලි ස්ථාවරයක් ගනිමින්, හිජාස්ගේ නිදහස ඉල්ලා සිටිය යුතු කාලය දැන් එළඹ තිබේ. බොහෝ ජ්‍යෙෂ්ඨ සහ මුල්පෙළේ නීතිඥයන් ඔහුගේ අඛණ්ඩ රඳවා තබාගැනීම සම්බන්ධ සැකසහිත ස්වභාවය පිළිගැනීමට දැන් මැලිකමක් නොදක්වති.

ඉක්බිති මාස හතක් ගත වී තිබේ. ඔවුන් ඉදිරියට එන්නේ නම්, මේ ඊට හොඳම කාලයයි.

ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාව තමන්ට එරෙහිව එල්ල වී ඇති දැවැන්තම අභියෝගයට මුහුණදෙන මේ අවස්ථාව වන විට, අවසානයේ ධෛර්යය හා පෞරුෂය ජයගනු ඇතැයි ද, ඒ හා සමගම යුක්තිය ඉටුකිරීම සඳහා වූ නවමු කැපවීමක් ද ඉක්මනින්ම ඉස්මතු වනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

ගෙහාන් ගුණතිලක | Gehan Gunatilleke

 

 

සංස්කාරක සටහන : 2020 නොවැම්බර් 24 වැනි දින “Justice for Hejaaz: The bell tolls, but the Bar is silent” මැයෙන් පළකෙරුණු ලිපියේ සිංහල පරිවර්තනය – අදාළ ලිපිය http://www.ft.lk/columns/Justice-for-Hejaaz-The-bell-tolls-but-the-Bar-is-silent/4-709300 හරහා කියැවිය හැකිය.