මහාචාර්ය  නලින් ද සිල්වා මහතා කෝවිඩ් රෝග විනිශ්චය පිළිබඳව ඔහුගේ මතය  ප්‍රකාශකොට ඇත. කාල් පොපර්, ට්‍රොට්ස්කි සහ ස්ටැන්ලි තම්බයියා වැනි අය ගැන සඳහන් කරමින් සම්භාවිතාව ගැන අදහස් ප්‍රකාශ කරන ඔහු ව්‍යංගාර්ථයෙන් පවසනුයේ දැනට පවතින වසංගතය සහ covid වෛරසය එකිනෙක නොබැඳුණු ධර්මතාවයන් බවය. වියවුල්,  විවිධ දාර්ශනික අදහස් පවසමින්  වාස්තවික වූ සත්‍යයක් නොමැති බැව්ද  පවසන ඔහු, බටහිර විද්‍යාවන්ට ඉතා තදින් පහර දෙන අතරම, තමාගේ නලින් වාදය මගින් සහතික ලබා දෙන ධම්මික පැණිය ඉතා තණ්හාවෙන් ආරක්ෂා කරනුයේ දාර්ශනික කුහක භාවයක් පිළිබිඹු කරමිනි. සෘජුවම පෙනෙන දෙයක් ගැන මෙසේ අවුල් සහගත වූ දාර්ශනික අදහස් ප්‍රකාශ කිරීම ඔහුගේ උපක්‍රමයක් වන අතර, එයින් ඔහු බලාපොරොත්තු වන්නේ බරපතල වචන පාවිච්චි කොට, දාර්ශනික බිය ගැන්වීමකින් තමා ප්‍රකාශ කරන දෙය වඩා නිවැරදි බව පෙන්වීමටය. යථාර්ථවාදී සත්‍යයන් පිළිබඳ ප්‍රශ්න නඟන ඔහු, PCR සහ virus ප්‍රතික්ෂේප කිරීමටත්, ධම්මික පැණිය වැලඳ ගැනීමටත්  කුහක වාදී සහ මානාධික ඉහත උපක්‍රමය යොදාගනී. 

තියුණු අවියකින් කැපූ කළ මිනිසකු ගේ ගෙල සිඳී වෙන් විය හැකි බවත්, එනිසා ඔහු මරණයට පත් විය හැකි බවත් ඉතා සෘජු  ප්‍රායෝගික සත්‍යයකි. එවැනි දෙයක් සිදු වීම එයට ගොදුරු වන්නාට හානිකර සහ දුක දනවන ධර්මතාවයක් බව තේරුම් ගැනීමට ඉතා ගැඹුරු දාර්ශනික මතයන් අවශ්‍ය නැත. එනමුදු එවැනි හේතු ඵල ධර්මතාවයක් පිළිබඳව අනවශ්‍ය ලෙස ගැඹුරු විවාදයන්ට එළඹුණු අය, පෙරදිගද සිටියේය. කිසිම ධර්මතාවයකට හෝ සංසිද්ධියකට ප්‍රායෝගික වූ ඍජු හේතු ඵල රටාවන් සත්‍යන් ලෙස ගත නොහැකි බැව් පවසමින්, ඕනෑම ප්‍රශ්නයක් හමුවේ ආඳන් ලෙස ලිස්සමින්  වාද විවාද කල පඬියන් බුදුරජාණන් වහන්සේගේ දවසද එමට සිටියේය. දාර්ශනික මතය කුමක් වුවද, එම මතය පදනම් වූ සංස්කෘතික, දේශපාලන හා ආර්ථිකමය පදනම කුමක් වුවද, ගෙල සිඳ දැමීම එයට භාජනය වන්නන් හට දුක දනවන සිද්ධියක් ඇති කරන බව අවබෝධ කර ගැනීමට ගැඹුරු දාර්ශනික විවාද අවශ්‍ය නොවේ. එවැනි සෘජු ලෙස දුක් දනවන සංසිද්ධීන් ගේ හේතු දෙස බලා, ප්‍රායෝගික සහ ප්‍රතිඵල ලබා දෙන ක්‍රියාදාමයක් තුලින් දුක සංසිඳවීම, ඉතා සරල ක්‍රමයක්  ලෙස පඬියන්ට හැඟුණ ද, එය ඉතා ගැඹුරු හා මානව හිතවාදී දර්ශනයකි. එහි දී උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් ප්‍රායෝගික ඉතා ඍජු ප්‍රතිඵල ලබා දෙන ඒවා වීමද, ඒවායින් ලැබෙන ප්‍රතිඵල විමසීම ද, වැදගත්ය. එම ප්‍රතිපලය ලබාගැනීම සඳහා උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් සත්‍යයද, යථාර්ථයට ඉතා කිට්ටුද, quantum වාදය සහ බැඳුණේ ද, බටහිර විද්‍යාව ද, පෙරදිග විද්‍යාව ද, යනුවෙන් වාද කිරීම ඊතලයක් වැදුණු අයකු තුවාලය සනීප කර ගැනීමට ගන්නා වෑයම පසක තබා, ඊතලයේ වතගොත සෙවීමට ගොස් කරගන්නා මෝඩකම හා සමානය. 

දැනට පවත්නා ගෝලීය වසංගතය මානව සංහතිය වෙත දුක දනවන, ඉතා හදිසි, අවාසනාවන්ත, සිද්ධියකි. එහිදී එම දුක් දායක අත්දැකීමෙන් මානව සංහතිය ගලවාගැනීමට විවිධ ක්‍රමවේදයන් තුළින් විවිධ විසදුම් සැපයිය හැකි බව අප විවාදයට ලක් කරන්නේ නොමැත. එනමුදු එම විසදුම් සෘජුව අත්දැකිය හැකි, ප්‍රතිඵල සාධනීය ලෙස ලබා දෙන ඒවා විය යුතුය. අද මුහුණදී ඇති ප්‍රශ්නය පිළිබඳ කුමන දාර්ශනික මත ඉදිරිපත් කළද, ප්‍රායෝගික ලෙස එහි වේදනාව තුරන් කිරීමට නම්  ප්‍රතිඵල ඉලක්ක කරගත් ක්‍රමවේදයන් ඉදිරිපත් කිරීම ඉතා වැදගත්ය. යම්කිසි මතවාදයක් අසත්‍ය යැයි හෝ නොවැදගත් යැයි ඔප්පු කිරීමට ඉතා ක්‍රෝධයෙන් සහ මානයෙන් යුතුව කටයුතු කර යෑමේදී ප්‍රශ්නය විසඳීම පිළිබඳව අමතක වීම පුදුමයක් නොවේ. ඉදිරිපත් කරන ක්‍රමවේදය කුමක් වුවද දැනට අප මුහුණදෙන ගෝලීය ප්‍රශ්නය විසදීම සදහා ප්‍රායෝගික  ක්‍රමවේදයක් ලබා දීමේදී, එයට නලින් වාදයේ සහතිකය ලබාගැනීමට වඩා එමගින්  ගැටලුවට විසඳීමක් ලබාගැනීම ඉතා වැදගත්ය.

මුලින්ම, ඉතා තදබල ලෙස සියල්ල පටලවාගත් නලින් මැතිතුමාට මහතා  හට ඉතා වැදගත් වගකීමක්  ඇත. එනම් ඔහු යථාර්ථවාදී සත්‍යයක් පිළිනොගන්නා නමුදු පහත සදහන් කාලීන ප්‍රස්තුත සඳහා ඔහුගේ දෘෂ්ඨීන් ප්‍රකාශ කිරීමයි.

දැනට මානව සංහතිය වෙත වින පමුණුවන ගෝලීය වසංගතයක් ඇත්තේද? 

එසේ ඇති නම් නලින් වාදයට අනුව එයට හේතුව ලෙස දක්වන්නේ කුමක්ද ? 

නලින් දෘෂ්ටිය අනුව එම හේතුව පිටුදැකීමට ප්‍රායෝගිකව සෘජු ප්‍රතිඵල ලබා දෙන ක්‍රමවේදය කුමක්ද? 

එම ක්‍රමවේදය ප්‍රතිඵල ලබා දෙන බවට නලින් වාදය තුළ ඇති සහතික කල හැකි  ක්‍රමවේදය කුමක්ද? 

දාර්ශනික කුහක භාවයේ නොගැටී නලින් මැතිතුමා හෝ ඔහුගේ අනුගාමිකයන් විසින් මෙම ප්‍රශ්න වලට කෙලින් පිළිතුරු ලබාදිය යුතු ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවේ වලංගුභාවය ඇගයීමට පෙර තමන් ඉදිරියේ ඇති ප්‍රශ්නය පිළිබඳ තම දෘෂ්ටිය තුළින් අවංකව පිළිතුරු සැපයීම ඔවුන්ගේ යුතුකමකි.

ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දෙන යම්කිසි අනෙකුත් දෘෂ්ටින් ඇත්නම් දුක නැති කිරීම සඳහා ඒවා යොදවා ගැනීම පෙරදිග චින්තනය තුළ ඇති සහජීවනය හොඳින් පිළිබිඹු කෙරේ. බුදු සමය තුළින් තම චින්තනය ගොඩනඟා ගත් බව කියන නලින් මැතිතුමා, එයට කිසිදු ලෙස නොගැලපෙන ක්‍රෝධාන්විත සහ මානාධික  උගතෙකු වන බැවින්, අප එවැන්නක් ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ නැත. ඔහු යම් හෙයකින් එවැනි පරිණත භාවයක් ඇති කර ගන්නේ නම් කළ යුත්තේ බටහිර වෛද්‍ය විද්‍යාව මගින් සිදුකරන ක්‍රියාවලිය දෘෂ්ටියක් ලෙස සලකන අතරම, එහි ප්‍රායෝගික සත්‍යතාවය විචාර බුද්ධියෙන් විමසීමය.

එයට අමතරව ඔහුගේ තවත් වරදක් ඉස්මතු වේ. නලින් මැතිතුමා බටහිර වෛද්‍ය විද්‍යාව ‍ තාක්ෂණවේදයක් ලෙස පිළිගනියි. මෙයින් ඔහු අදහස් කරනුයේ එමගින් ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දෙන බව විය හැක. එනමුදු එහිදි PCR පරීක්ෂණය ප්‍රතිඵල ලබා දෙන්නේ “රෝගයක්” නිසා පමණක් බව නිගමනය කිරීම ඔහුගේ බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඇති දැනුම පිළිබඳ අඩුපාඩු මොනවට පිළිබිඹු කරයි. රෝගය නොමැති PCR positive පුද්ගලයන් වෙන් කරන්නේ ඔවුන් “සුව කිරීමටයි” යන්න ඔහු නිගමනය කරයි. මෙහිදී බටහිර ක්‍රමවේදය නිර්දය ලෙස විවේචනය කිරීමට එම දැනුම නිශ්චිත සහ නිරවුල් ලෙස ලබාගත යුතුව ඇත. විවිධ දර්ශන පිළිබඳව අච්චාරුවක් මෙන් පැටලුණු තම අල්ප දැනුම ඔහු බටහිර වෛද්‍යවේදය වෙත ද යොමු කරන බව ඉතා පැහැදිලිය. 

නලින් මැතිතුමා ගේ හැසිරීම් පිළිබඳ සලකන විට සිහියට නැගෙන්නේ හේනකට වල් අලි කඩා වැටී වගාව වනසන විට හේන මැද ඇති පැළක සිටින දාර්ශනික අදහස් පටලවා ගත් නලින්වාදී පඬියකු පිළිබඳවය. අලියා  නිසා පෙරළුණු ගස් පෙරළුණේ අලියා  නිසාමද, හේනට පැමිණියේ අලියෙක්ද, කාලි මෑණියන්ගේ අවතාරයක් ද, අලියා හේනට පැමිණීම හිතළුවක් ද, යථාර්ථයක්ද යනුවෙන් නලින්වාදී පඬියා පැල තුළ සිට කෙස් පලනු නියතය. ප්‍රායෝගික දැනුම ඇති ගොවියා තමාගේ වගාව බේරා ගැනීමට අලියා පලවාහැරීමට ක්‍රමවේදයන් ප්‍රායෝගිකව දියත් කරනු ඇත. එහිදී බුදුදහම තුළින් පෝෂිත වූ ගොවියකු අලියන් පලවා හරින්නේ අලින්ට හානියක් නොවන පරිද්දෙනි. පළමුව ඔහු සීපදයක් හෝ අලි මන්තරයක් ශබ්දනගා කියනු ඇත. සීපදය හා අලි මන්තරය දේශීය දේ වේ. එසේකලත් අලියා   නොගියහොත් ඔහු රතින්ඤා  කරලක් පත්තුකරනු ඇත. එය සැදුවේ මෙරටද , පිටරටද,  එය සැදු  තාක්ෂනය බටහිරද, පෙරදිගද, කරල පිපිරීම නිව්ටන්ගේ ප්‍රවාදය අනුව සිදුවේද, එසේත් නැත්නම් අයින්ටයින්ගේ ප්‍රවාදය අනුව සිදුවේද, යන්න ඔහුට අදාල නොවේ. ඉන්පසුවත් අලියා නොගියොත් ඔහු තමා අතෙහි ඇති අත් තුවක්කුවෙන් අහසට වෙඩිල්ලක් තබනු ඇත. එහිදී තුවක්කුව බටහිර අධිරාජ්‍යවාදීන් විසින් අපට හදුන්වා දෙන ලද්ද්දක්ද, එය නිපදවුයේ කොහිද, අනුරාධපුර යුගයේ ගොවියා එය පාවිච්චිකලේද, එසේ නොමැති නම් එය  පාවිච්චි කිරීම දේශීයත්වයට හානියක්ද යන ප්‍රශ්ණ ඔහුට අදාල නොවේ. සැබෑ දේශීය ගොවියා අලියා ට හිංසා නොකර, නොමරා, සතා හේනෙන් පලවාහරිනු ඇත. 

ඔහු අලින් පිළිබඳ හෝ අලින් ජීවත් වන විශ්වය පිළිබඳ ලෝක විභාගයකට යෑමට පෙර කල යුතු කළයුත්ත මෛත්‍රී සහගතව කරනු ඇත. සැබෑ ‘සිංහලයා’ තම ප්‍රශ්ණ වලට එසේ ප්‍රයෝගික විසදුම් සොයන්නෙකු මිස ඒදණ්ඩෙන්  එගොඩ වීමට නොහැකි පණ්ඩිතයෙකු නොවේ. 
 
ගොවියාට එතැනදි  ප්‍රායෝගිකව  වගාව ආරක්ෂා කරගැනීම සම්බන්ධ දැනුමක් ඇති  අතර, නලින්වාදී පඬියා එතනදී එම කර්තව්‍යය වෙනුවෙන් දූවිලි අංශුවක තරම්වත් ප්‍රයෝජනයක් ලබා දෙන්නෙකු නොවේ. අපට අවශ්‍ය වන්නේ එවැනි දැක්මක් ඇති අය මිස නලින් වාදී මනස්ගාත කරුවන්  නොවේ. නලින් වාදය ශ්‍රී ලාංකීය සමාජයේ ප්‍රගමනයට අබ ඇටයක පමණ වත් සේවයක් නොකර, එහි වර්ධනය හීන කර ඇත. මෙතෙක් කල් පාළු ගෙයි වළං බිඳි  එවැනි මනස්ගාතකාර පණ්ඩිතයන් හට හේනක ඇති කුරහන් කරලක් බේරා දීමට තරම්වත් ප්‍රායෝගික විචාර බුද්ධියක් හෝ දැනුමක් නොමැත. එනමුත් ඔවුනගේ දාර්ශනික ව්‍යාකූලත්වය දෙස  අප කරුණා පූර්වකව බැලිය යුතුය.  

සමහරවිට මෙම පඬියා අතින් අති මහත් වූ හානියක්ද  සිදුවිය හැක. අලියා යනු කාලි අවතාරය යයිද, අලියාගෙන් බේරිය හැක්කේ ඌ ළඟට ගොස් කෙසෙල් පූජා කිරීමෙන් යයිද, වැනි දාර්ශනික මතයක් ඔහු ප්‍රකාශ කළහොත් ගොවියා මහත් කරදරයකට පත් වීමට ඉඩ ඇත. නලීන් වාදී පණ්ඩිතයා කෙසෙල් කැන  වෙත සහතිකයක් ලබා දීමට තීරණය කළහොත්, පඬියා “දේශීය චින්තනය” ලෙස හදුන්වන එම මතය හේන් ගොවියා විසින් එළසින්ම භාරගත යුතු ද? නලින් වාදය තම මතයේ ප්‍රායෝගිකත්වය  තහවුරු කර ගැනීමට ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නේ ද? මෙය ඉතා වැදගත් පැනයෙකි. ඒ මන්ද යත් නලින්වාදී මතය සහතික කළ හැකි එකම ආකාරය හේනට වැඩුණු වල් අලියා ලඟට ගොසින් කෙසෙල් කැනක් කැවීමට උත්සාහ කිරීම මගින් පමණක් වන බැවිනි. නලින්වාදී වාග් ප්‍රචණ්ඩත්වය ඉදිරියේ අසරණ වන ගොවියා හට  එම මතය ඔප්පු කිරීමට ගොස් තම ජීවිතය පවා අහිමි විය හැකි නමුත්, දාර්ශනික කුහක භාවය ඒ පිළිබඳ තැකීමක් නොකරනු ඇත. නලින් මැතිතුමා ඉතා ආදරයෙන් රැක බලා ගන්නා ධම්මික පැණිය, අලියාට කෙසෙල් කැන් කැවීමට ගොවියාට අණ කිරීමට සමානය.

එසේ ගොවියාට අණ කිරීමට‍ කලින් නලින් වාදියා  එය පිළිබඳ සෘජු ලෙසත් අවංක ලෙසත්  සහතික වීමට නම් ඔහු ප්‍රථමයන්ම  අලියාට කෙසෙල් දිය යුතුය. PCR පරීක්ෂණයෙන් මගින් පෙන්නුම් කරන කෝවිඩ්-19 වෛරසය හා ගෝලීය වසංගතය අතර සම්බන්ධයක් නොමැති බව පෙන්වීමට නලින් මහතාට කළ හැකි එවැනි ඍජු පරීක්ෂණයක් ඇත. එනම් PCR positive පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් සමඟ එතුමා සහ ඔහුගේ අනුගාමිකයන්  හැසිරීමයි. එවැනි යෝජනා කිරීමක් පවා බෞද්ධ දර්ශනයට අනුව හිංසනය පිළිබඳ චේතනාවක් පාදක කොට ගෙන ඇති වන්නක් බැවින්, අපි ඉතා මෛත්‍රියෙන් අපගේ වයෝවෘද්ධ සහ වියවුල් මනසක් ඇති මහාචාර්යතුමාගෙන් එවැන්නක් නොකරනමෙන් ඉල්ලා සිටිමු. අප එසේ ඉල්ලන්නේ ඔහුගේ චින්තනයේ ඇති ව්‍යාකූලත්වය නිසා එවැනි පර්යේෂණ ක්‍රමයක් සඳහා ඔහු යොමු වේදැයි යන සාධාරණ සැකයක්  අප සිත තුළ පහළ වී ඇති බැවිනි. 

විශේෂඳ  වෛද්‍ය මහේෂ් හරිශ්චන්ද්‍ර 
විශේෂඳ  වෛද්‍ය අජිත් අමරසිංහ 
විශේෂඳ  වෛද්‍ය නිලුපුල් පෙරේරා