iMage by: aljazeera.com

දුෂ්කර ගම්මානයක සිටින ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සිග්නල් සොයා ගැනීමට නම්, දුර කතර ගෙවා ගොස් උස් ගල් තලාවකට නැගීමට සිදු ව ඇත.

සිග්නල් සොයා කිලෝමීටර තුනකටත් වඩා යා යුතු මෙම ගමන ඇතැම් විට අලි සහ දිවියන් පවා මුණගැසෙන, වන ලැහැබින් පිරි දුෂ්කර ගමනකි.

බෝහිටියාවේ ගුරුවරුන් සහ දරුවන් 45 දෙනෙකු පමණ, මේ ගමන අවසානයේදී සිග්නල් සොයා ගැනීම සඳහා ගල් තලාවකට නගියි.

කොවිඩ්-19 වසංගතය නිසා පාසල් වසා තිබීම හේතුවෙන්, දරුවන්ගේ අධයාපනය අඛණ්ඩව කරගෙන යාමට උපකාර කරනු වස්, තොරතුරු තාක්ෂණ ආචාරිණී නිමාලි අනුරුද්ධිකාට ද පාඩම් upload කිරීම සඳහා මෙතැනට පැමිණිමට සිදුව තිබේ.

දරුවන් ද ගුරුවරුන් එලෙස එවන ලද පාඩම් ‍download කර ගැනීම සඳහා මේ ගමන සම්පූර්ණ කිරීමට අසීමිත වෙහෙසක් දරති.

සියල්ලන්ටම ලැප්ටොප් හෝ ස්මාර්ට් දුරකථන නොමැති නිසා දරුවන් පස් හය දෙනෙකුම එක් උපාංගයක් භාවිතා කරති.

ගොවිතැන් කරන ඔවුන්ගේ මව්පියෝ ද මේ ගමනට එක් වෙති. 6 වසරේ ඉගෙනුම ලබන තම පුත්‍රයා සමග දිනකට දෙවරක් ගල්තලාවකට නැගීමට එක්වන එච්. එම්. පත්මිණී කුමාරි පවසන්නේ, දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට ඉමහත් භීතියක් පවතින බව ය.

දිවයිනේ මධ්‍යම-නැගෙනහිර පළාත් අතර පිහිටි මේ ගමට මූලික පහසුකම් නොමැති අතර, දරුවන් අධ්‍යාපනය ලැබුවේ කිලෝමීටර 16ක් දුරින් පිහිටි රජයේ පාසලකිනි. දැන් එම පාසල වසංගතය නිසා වසා ඇත.

කිලෝමීටර 60 ක් ඈතින් පිහිටි ලුනුගල ගම්මානයේ වැඩිහිටියෝ තම දරුවන් ද සමග වනාන්තර රක්ෂිතයක පිහිටි කඳු මුදුනක පිහිටි ගසක් මත ඉදිකර ඇති අටිටාලයකට යති. එය අඩි 30 ක් පමණ උස වන අතර අන්තර්ජාල පහසුකම් ඇත්තේ එතැනට ය. දරුවන් තමාට ලැබුණු ගෙදර වැඩ උඩුගත කිරීමට සහ නව පාඩම් බාගත කිරීමට හැකිවන්නේ එතැන දී ය.

ශ්‍රී ලංකාවේ පාසල් බොහෝ ප්‍රමාණයක් 2020 මාර්තු මාසයේ සිට වසා දමා තිබේ.

බලධාරීන් පවසන්නේ ඔවුන් සියලු දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ඔවුන් සෑම උත්සාහයක්ම ගන්නා බව ය. නමුත් ලංකා ගුරු සේවා සංගමයේ ලේඛම් වන ජෝසප් ස්ටාලින් පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින මිලියන 4.3 ක සිසුන්ගෙන් උපරිම වශයෙන් සියයට 40 කට පමණක් අන්තර්ජාල පන්තිවලට සහභාගී විය හැකි බවයි. බොහෝ දෙනෙකුට අවශ්‍ය උපාංග සහ සිග්නල් නොමැත.

අන්තර්ජාලය හරහා ඉගෙනීමට අපේ දරුවන් පිය මනින අවදානම්කාරී මාවත

*මෙම ඡායාරූප සටහන පසුගිය ජූලි 13වනදා Sri Lankan children make a dangerous climb for online school නමින් aljazeera.com වෙබ් අඩවිය විසින් පළ කරන ලද අතර එහි සිංහල පරිවර්තනය ‘විකල්ප’ වෙබ් අඩවිය විසිනි.

##

කෙසේ නමුත්, මේ වන විට සියලු ගුරුවරුන් ස්වේච්ඡාවෙන් සිදුකරන සියලුම ඔන්ලයින් ඉගැන්වීම් නතර කර ඇත. එයට හේතුව වන්නේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ වනවිට සිය වැටුප් විෂමතා ඉවත්කර ගැනීම ඇතුළු නිදහස් අධ්‍යාපනය පිළිබද ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත ව සිටීමයි. දින ගණනාවක් තිස්සේ සිදුකරන ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් බළධාරීන් විසින් තවමත් ලබා දී නැත. තත්ත්වය එසේ තිබියදී සියලු සියලුම පළාත්, කලාපීය, ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයින් සිය රාජකාරියට වාර්තා කළ යුතු යැයි අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.